මා හද තුළ ඔබ 39

සමනල් චීස් සැන්ඩ්විචස් ද ෆිශ් පැටිස් ද ටින්කිරි එක් කළ කහට වැඩි තේ ද ඇනවුම් කළේ ය. ඒවා මේසය මත තබා, කුඩා කවාකාර මේසයෙහි අඩියක් තරම් පරතරයකින් හිඳිනා තඹරු පියුම්රා දිවාකර දෙස බැලුවේ ය. ඉක්මනින් විකසිත කළ ඇගේ ඇස් පිහාටු වල තෙතමනයක් තැවරී තිබිණ. ඒ ඇස් වෙන කවදාටත් වැඩියෙන් කතා කළේ ය.

“කන්න”

කියමින් ඔහු සැන්ඩ්විච් එකෙහි පොලිතීන් වැස්ම ඉවත් කොට ඇය වෙත පෑවේ ය. තඹරු එය අල්වා ගත්දී කලබල වැඩි කමට ම සමනල් ගේ අතැඟිල්ලක අත ගැටිණ. ඕ සීතලෙන් සීත වී ගියා ය. ඒ සීතල හින්දා ම ඇය උණු උණුවේ ම ටින්කිරි තේ උගුරක් දෙකක් බීවා ය. සමනල් ගේ පිරිමි ඇස් ඇය විනිවිද බලාගෙන ද ඒ දෑසින් ඈ සිය ආත්මය තුළට අවශෝෂණය කර ගනිමින් ද සිටියේ ය. වසු පැටවෙකු ගේ සෙයින් බියපත් ඒ ලොකු ඇස් දුටු ඔහු ක්ෂණික සිනහවක් නගා ගත්තේ ය. තඹරු ඒ සිනහව පිළිගත්තේ නෝක්කාඩු බැල්මකිනි. ඒ වෙලාවේ ඇගේ ඇස් සිනහවක් හා පොර බදමින් රැවුමක් දරා ගෙන සිටියේ ය.

“නරකයි ඔයා”

සමනල් තවත් හයියෙන් සිනහ වූයේ ය.

“මීටත් වැඩිය ඔයා ළඟදි හොඳට ඉන්න බෑ අප්ප”

ඇයට බොහෝ දේ සිහි විය. බිග් මැච් පැරේඩ් ගිය ට්‍රක් රථයක ට්‍රම්පට් හඬ ඇගේ සවන් තුළ පිළිරැව් දුන්නේ ය. නුගේගොඩ හන්දියේ බෝ ගසෙහි බෝ පත් සිලි සිලිය දැනෙන්නා සේ විය. “තඹරූ” කියා දඩබ්බර කොල්ලන් කෑ ගසනා හඬින් සවන් පිරී ගියේ ය. කේක් ඇන්ඩ් කොෆී වල කැෂියර් එක ළඟ පැත්තට හේත්තු වී ඇය වෙත නැඹුරු වූ සමනල් දිවයුරු රණසිංහ ගේ හිතුවක්කාර ඇස් මේ මොහොතේත් එලෙසින් ම ඈ වෙත දැල්වීගෙන තිබිණ.

“තියන මුරණ්ඩුකමට ගේ අතෑරල ගිහිං ඇනෙක්ස් එකක් අරං නැවතුණාට දැං ඉතුරු දේවල් තනියම කරගන්න පුළුවන්ද…උයාගන්න…තේ එකක් හදාගන්න…රෙදි ටික හෝදගන්න තරංවත් පුළුවන්ද…”

ප්‍රථම වරට ඈ සිය ප්‍රේමයේ සබකෝලය මතින් නැගී සිටිමින් කතා කළා ය. මෙතෙක් හැංගිමුත්තං කරමින් සිටි ජීවිතය දැන් එහි සැබෑ වේශයෙන් ඔවුන් ඉදිරියට පැමිණ තිබේ. සමනල් ගේ මුව මත වන දඟකාර සිනහව කවදත් ඇය වශී කර ගත්තා වූ බන්ධනයකි.  ඒ සිනහව පිපෙත්දී බොහෝ විට ඇය කළේ ඉවත බලා ගන්නා එකයි. නො එසේ වී නම් ඒ සිනහ දැලේ පැටලෙන්නට හැකි බව ඈ දැන සිටියා ය. නමුත් මේ මොහොතේ තඹරු ඒ සිනහවේ අතරමං වන්නට හිතට ඉඩ දුන්නා ය.

“ඇනෙක්ස් එකක් ගත්ත එකේ..ඒව ටික කරගන්න ඉතිං ගෑනියෙක් ගේන්න වෙනව”

“ආ…එතකොට ගෑනියෙක් ගේන්නෙ උයෝගන්නයි රෙදි හෝදගන්නයි කියල හිතුවද…”

“නෑ ඒවට විතරක්මත් නෙවේ”

සමනල් ව්‍යංගාර්ථය රැඳි අඩ  සිනහවකින් තොල් පිට පෙරළුවේ ය.

“අනේ බෑ අනේ…හරි නරකයි ඔයා”

ඇගේ කොපුල් රතු විය. ඇස් තෙත් විය. ඕ බිම බලා ගත්තා ය. සමනල් සිය පුටුව ඇය වෙතට තව ටිකක් ලං කොට ගෙන මේසය මත වූ ඇගේ වමතෙහි පිටි අත්ල සිය වම් අතින් වැසෙන සේ අල්වා ගත්තේ ය. මුළු සිරුර ම උණුහුම් වී යනු තඹරුට දැනිණ.

“ගොඩක් ප්‍රශ්න වලට මූණ දෙන්න වෙයි තඹරු. ඒත් ඒ හැම අපහසුවකටම වැඩිය…අම්ම කියන මතකය මාව මුරණ්ඩු කරන්න ඇති. මං මෙච්චරකල් හිතං හිටියෙ සමනල් කියන්නෙ එයාගෙ අම්මටත් එපා වෙච්ච දරුවෙක් කියල. ඔයාගෙ තාත්තව කවදාවත් හම්බවුණේ නැත්තං මං මැරෙනකල්ම එහෙම හිතං ඉඳී. හැබැයි දැං මට යන්න වෙනම පාරක් ඇරිල තියනව තඹරු. ජීවතුන් අතර ඉන්නවනං මං කොහොමහරි අම්මව හොයාගන්නව. මං රඟපාන්න දන්න මනුස්සයෙක් නෙවෙයි. මං අවංක මිනිහෙක් තඹරු. හිතේ එකක් තියාගෙන තව එකක් කරන්න කවදාවත් මට බෑ. ඒක නිසා…තාත්ත අම්මට මොනාහරි කළා කියල තේරුං ගත්තට පස්සෙ මොන හේතුවක් නිසාවත් මට ඒ වහළ යට ඉන්න බෑ”

ඔහු ගේ ඇස් වල ගැඹුරේ අවංක වේදනාවක් දිළිසිණි. තඹරු, ඇගේ අත්ල වසා ගෙන තිබි සමනල් ගේ අත ඇගේ  සුරතින් අල්වාගත්තා ය.

“මං කැමතියි ඔයාගෙ ඒ විදිහට. හිතේ දෙයක් තියාගෙන බොරුවට හිනා වෙලා ඉන්නැතුව ගහ මරාගෙන හරි ඒක විසඳගන්න මිනිස්සුන්ට මං කැමතියි. මාත් එහෙම කෙනෙක්”

“එහෙනං අපි දෙන්න හැමදාම ගහ මරාගෙන ඉමු”

“ගහ මරාගෙන හරි එකට ඉමු”

ඒ ඔවුන් බරපතල ලෙස නො ගත් පොරොන්දුවක් සේ ය. ඔවුන් ඉදිරියේ නිම්හිම් නැති අලුත් මාවතක් විවර වෙමින් තිබිණ. සේවකයන් අතින් කෑම ටික සැපයුණාට, රෙදි පෙරෙදි සෝදා මැද තැබුණාට අම්මා ගිය දා පටන් ඔහු පවුලකට අයත් නැතිව ඉබාගතේ හැදුණු ජීවියෙකු සේ සමනල් ට යමක් කමක් තේරෙන දා පටන් ම හැඟිණි. පවුලක අවශ්‍යතාවය, ලොකු වෙන්නට වෙන්නට ඔහු ට දැඩිව දැනුණේ ය. පෙම්වතියක සොයා ගත හොත් ඒ පාළුව නැති වෙතැයි සිතා ඔහු පාසල් කාලයේ පටන් යුවතියන් කිහිප දෙනෙකු සමග ම සම්බන්ධතා පැවැත්වී ය. ඒවා නො තේරුම් කාලයේ ජීවිතය සොයා යමින් ඇති කර ගත්තා වූ සබඳතා වන අතර, ඒවායින් ඔහු ගේ දිවියෙහි වන හුදෙකලාව හෝ හිස්කම සපුරාලිය නො හැකි බව වැටහෙත්දී හෙතෙම ගෑනු ළමයින් ගෙන් දුරස් වී සිටියේ ය. නමුත් හිත ඇදී ගිය ගෑනු ළමයින්ගේ ඇස් තුලින්, ඔවුන්ගේ ආත්මය තුළ ඔහු වෙනුවෙන් එහෙව් ඉඩක් වේ දැයි නිරන්තර විමසිලිමත් වෙන්නට ඔහු පුරුදු ව සිටියේ ය. තඹරු ඔහු ගේ ඇසට හසු වන්නේ පෙම්වතියක ඇසුරු නොකරමින්  පා වෙවී උන් හුදෙකලා දස වසරකට පමණ පසුයි.

“කොයිතරං කටෙන් නරිවාදන් ගැහුවත් ගෑනු සුවඳක් නැති පිරිමියෙක්ගෙ ජීවිතේ මහ මූසලයි තඹරු. පුස් ගඳයි. අම්මවත් හිටියනං මට එහෙම නොදැනෙන්න තිබුණ”

ඒ වෙලාවේ සමනල් ගේ දෙතොල් මත්තෙහි ලා සිනහවක් විය. නමුත් ඇස් ගැඹුරෙහි වූයේ අන්ත අසරණකමකි. තඹරු යන්තමින් ඔහු ගේ උරහිසක කම්මුලක් ස්පර්ශ කළා ය.

“ආයෙ එහෙම නෑනෙ”

“ඔයාව දැක්ක දවසෙ ඉඳලම මංම නොදන්න මොකද්දෝ හේතුවකට මට එහෙම දැනෙන්න ගත්ත. ඒත් ඉතිං බලන්න වුණේ පොඩි පහේ ගණං පාරක් නෙවෙයිනෙ”

“වටින දේවල් තමයි වැඩිය ගණං”

තඹරු මොණරියකගේ ආඩම්බර බැල්මෙන් යුතුව හුරතල් සරින් මිමිණුවා ය. ඔහු ඇගේ උරහිස වටා සුරත යවා තවත් ඈ ඔහු වෙතට ලං කොට ගත්තේ ය.

ඒ දවස වෙන් වී තිබුණේ ඔවුන් වෙනුවෙනි. එතෙක් මෙතෙක් ජීවිතයට දැනෙමින් පැවතියා වූ හිස්තැන් කොයි මොහොතේ හෝ අහෝසි ව ගොස් තිබිණ. අලුත් බලාපොරොත්තු වලින් හදවත් පිරී සිව් නෙත් අරුණාලෝකය බඳුව ප්‍රභාමත් ව තිබිණ. හදවත් විසින් එතෙක් ප්‍රේමය යදිමින් තිබී ඇති බව ඔවුන්ට ප්‍රත්‍යක්ෂ වන්නට විය. ප්‍රේමය පවතින විට ජීවිතය හරි සැහැල්ලු ය. ජීවිත ඉදිරියට එන්නට නියමිත පිරිපත පවා කුරු කුහුඹුවන් සේ ක්ෂුද්‍ර වන්නට ගනී. එතෙක් අපභ්‍රංස සේ දැනිය හැකි ගැටළු විසඳා ගැනීමට ලහි ලහියේ මාවත් පෙනෙන්නට ගන්නේ ය. ප්‍රේමය බලවත් ය. ප්‍රේමය ඉවසිලිවන්ත ය. ප්‍රේමය සියල්ල උසුළා ගන්නේ ය!

හැන්දෑවේ ගාලු කොටුවෙන් රියට ගොඩවෙන්නට හදත්දී ම තඹරු ගේ දුරකතනය හැඬවෙන්නට ගති.

“අම්ම වෙන්නැති”

කියමින් ඇය බෑග් එකේ සාක්කුවෙන් එය පිටතට ගත්ත ද තිරය මත සනිටුහන් ව තිබුණේ ගැලැක්සි ගෲප් ඔෆ් කම්පනීස් හි දුරකතන අංකයකි.

“ආන්සර් කරල බලන්නකො”

තඹරු දුරකතනය දෙසත් ඔහු දෙසත් මාරුවෙන් මාරුවට දෙගිඩියාවේ ඇස් වලින් බලත්දී සමනල් ඉවසීමෙන් කීවේ ය. තඹරු දුරකතනය සවනට ගත්තා ය.

“අපේ ඇසිස්ටන් කෝඩිනේටින් මැනේජර් තඹරු නේද මේ…”

“ඔව්. කවුද කතා කරන්නෙ මිස්ට පෙරේරා නෙවෙයිනෙ…”

“මං ඩිලන් රණසිංහ”

තඹරු ගේ ඇස් ලොකු වූයේ ය. සමනල්  ඇය වෙතට නැඹුරු වී දුරකතනයේ ස්පීකර් ඔන් කළේ ය.

“මං කතා කළේ…ඔය ළමය අපේ සමනල්ට කිට්ටුයි කියල දන්න නිසා. මේ මනුස්සය මේ පොඩි දේකට කලබල වෙලා ගෙදරින් ගිහින්. උදේ ඉඳලම ෆෝන් එක ඕෆ්. සමනල් කොහෙද නැවතිල ඉන්නෙ කියල ඔය ළමය දන්නවද…එයාගෙ යාළුවො කිසි කෙනෙක් ඒ ගැන දන්නෑ”

ඩිලන් රණසිංහ ගැන එතුවක් හිතේ පැසවමින් තිබි වෛරය පරයා, ඔහුත් තාත්තා කෙනෙකු නොවේද යන අනුකම්පාසහත බවින් තඹරු ගේ හිත ලිහිල් වන්නට වූයේ ය. ඇය ඒ මොළොක් දෑසින් සමනල් දෙස බැලී ද ඔහු ඉඟි කළේ කිසිවක් හෙළි නො කරන ලෙසයි.

“මං අසනීප වෙලා ලීව් පිට ඉන්නෙ සර්. බ්ලඩ් ප්‍රෙශර් වැඩි වෙලා හොස්පිටලයිස් වෙලා හිටියෙ. මට මේ ටිකේම මිස්ට සමනල් මීට් වුණෙනං නෑ”

බොරුවක් ගොතාගන්නා එක කෙතරම් අසීරු දැයි දැනුණේ එය කියනා විට ය.

“එහෙමද…බැරි වෙලාවත් කතා කළොත් ඉන්න තැනක් දැනගෙන මට පණිවිඩයක් දෙන්නකො”

ඇය යමක් කියන්නට ද පෙර රිසීවරය තැබිණ. තඹරු නැවත ද වතාවක් සමනල් දෙස බැලුවා ය. ඔවුන් අතරේ භයානක නිහැඬියාවක් වර්ධනය වේ යයි සිතෙන තරමට සමනල් ගේ මුහුණේ වූයේ අනපේක්ෂිත ගුප්ත බවකි.

“මොනා වුණත් එයාගෙ ඇතුළෙ තාත්ත කෙනෙක් ඉන්නවනෙ. ඒ තාත්තට එයාගෙ පුතා ගැන තොරතුරක් නොදැන ඉන්න බෑ”

“අම්ම කෙනෙක්ට වුණත් එහෙමයි කියල එයාට හිතන්න තිබුණ”

ටික දුරක් එනතුරු ම ඒ හදිසි ගුප්ත ගැස්ම ඔවුන් අතරේ කැකෑරෙමින් තිබිණ. සමනල් ගේ හිත නිරවුල් කරන්නට තඹරු වෙනදාටත් වැඩිය දොඩමළු වූවා ය. විවිධ අවස්ථා වල ඇගේ ප්‍රේමය ඉල්ලමින් පැමිණි තරුණයන් ගැන කීවා ය. ඇය ඔවුන් ට අකමැති වෙන්නට හේතු වූ කාරණා දැන ගන්නට සමනල් ට ඕන විය. එන ගමනේ දී ඔහු කේක් ඇන්ඩ් කොෆී වෙත එන තුරු ම රිය නතර කළේ නැත. රන්මුතු පෙර ගමන් ආවා ය. අලුත් තත්වය යටතේ අම්මා ට මූණ දෙන්නේ කෙසේ ද කියා සිතත්දී තඹරු ට යම් අපහසුවක් දැනිණ. ඒ අපහසුව නිසා ම අම්මා වෙනසක් ඉව කරාවි ද යන භීතිය ද ඇයට හිරිහැර කළේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles