එයා මැරිලා හුඟක් කල් 6

පහුවදා මම වැඩට ගිහිල්ලා මගේ වෝර්ඩ්  එකේ ඉන්න ලෙඩ්ඩුන්ගේ ෆයිල් ටික බලන්න පටන් අරගන්නකොට  රාජරත්නම්ගෙන් කෝල් එකක් ආවා.මට දැනුනේ ලොකු සතුටක්..

“හෙලෝ ඩොක්ටර් .. වෙරිගුඩ් මෝර්නින් …”

“අම්මා .. රාජා.. ගුඩ් මෝර්නින් ..කොහෙද  දෙයියනේ  මෙච්චර කල් ගිහිල්ලා හිටියේ…”

“ඩොක්ටර් .. බය උනාද.. මේ රාජාගේ බෙල්ල කපන්න එහෙම කාටවත් බෑ…”

මගේ හිත කියෙව්වා වගේ එහෙම කියපු රාජරත්නම්  හයියෙන් හිනාවුණා..

“හරි ඩොක්ටර් ..අද හවස මොකද ..නිවාඩුවක් තියෙයිද හම්බවෙලා කතාකරන්න..”

“ඩෙෆිනීට්ලි.. රාජා වයිනොට්…
සේම් ප්ලේස්.. සේම් ටයිම්..”

“ඕකේ ඩොක්ටර් ඕකේ…”

එහෙම කියපු රාජා දුරකථනය තිබ්බා.මගේ හිතට දැනුනේ ලොකු සහනයක්. මාස  ගානක් අතුරුදහන් වෙලා හිටපු රාජරත්නම් එනකොට.. ටිකක් හරි මට ප්‍රහන්ගේ තත්වය යහපත් කරන්න පුළුවන් වෙලා තිබිච්ච එක හිතට ලොකු සතුටක් දැනුනා.අඩුම තරමේ  මං මේ වැඩේට මහන්සි වුණා කියන එක වත්  රාජරත්නම් ට දනවන්න පුළුවන් වීමම ලොකු දෙයක්. නැත්තං රාජා සමහරවිට හිතන්න පුළුවන් මම එයාගෙ වැඩේ ගණන් ගත්තේ නැහැයි කියලා…

මාසයකට වැඩි කාලයක් මම ගත්ත උත්සාහය අතරෙන් ප්‍රහාන් යම්කිසි මට්ටමකට දෙයක් ප්‍රකාශ කරන්න පුළුවන් විදිහේ තත්ත්වයක උන්නා.ඊයෙ රෑ වුණත් මම බොහොම තදබල විදිහට බල කිරීමක් සිද්ධ කළා නම් එයා අමාරුවෙන් හරි එයාගේ කතාව කියන තත්ත්වයක උන්නා.ඒ උනාට මට හිතට යම්කිසි බයක් දැනුනා නැවතත් බල කරන්න ගියොත් එයා හිටපු තත්වයටම වැටෙයි කියලා.සමහර ලෙඩ්ඩුන්ට එහෙම වෙන්න පුළුවන්.සුව වේගෙන එන මොලේ රසායනික තත්ත්වය ආපහු අතීතයේ මතක් වීමෙන් ඇතිවන පීඩනය හින්දා නැවතත් ඒ රසායනික තත්වයන් වෙනස් වෙන්න පුළුවන්.එහෙම වුණහම ආපහු සැරයක් ගොඩ ගන්නවා කියන එක ටිකක් අමාරු දෙයක්.මම ඒ හින්දා ගොඩක්ම බල කරන්නේ නැතුව රාජරත්නම් එක්කම ප්‍රහානගේ අතීත කතාව දිග අරගන්න කල් බලාගෙන හිටියා.

හවස මේල් නර්ස්ට ප්‍රහාන් ව භාරදීලා මම පැය දෙකකට විතර එළියට යන බව ප්‍රහන්ට දැනුම් දීලා ගෙදරින් ආවා.ඒ මාසය පුරාවටම ප්‍රහාන් එයාගේ අම්මව හම්බවෙච්ච හැම අවස්ථාවකම කතා කරපු දෙබස් රෙකෝඩ් කරපු කැසට් පීස් ටිකත්  මම එදා අරගෙන ගියා.රාජ රත්නම්ට දෙන්න.සමහරවිට ප්‍රහන් කතා කරන්න නැතුවත් ඇති.නමුත් මොනවා හරි අම්මගේ කටින් හරි කියවෙන්න පුළුවන් කියලා මට හිතිච්ච හින්දයි හැම අවස්ථාවකම මම රෙකෝඩරය සක්‍රීය මට්ටමේ තියලා ගියේ.ඇත්තටම ඒ ගැන ප්‍රහාන් ගෙ අම්මා දැනගෙන හිටියේ නෑ.මොනවා හරි රහසක් එයාලා හංගනවනම් ඒ දේවල් දැනගන්න තමයි මම එහෙම කලේ.

එදා දවස මට බොහොම බලාපොරොත්තු ගෙනාපු දවසක් වුණා. මෙච්චර දවසක් මම කලේ ලෙඩ්ඩුන්ට බෙහෙත් දීපු එක විතරයි.සනීප වෙලා ගිය ලෙඩ්ඩු අතර ආපහු සැරයක් අසනීප වෙලා ආපු අයත් හිටියා. මම කැලිඩෝ  එකට යන ගමන් ඔහේ කල්පනා කර කර ගියා.

පාරේ පිස්සු වැටිලා හිටපු ගෑනු කෙනෙක් මීට අවුරුද්දකට විතර කලින් හොස්පිටල් එකට ගෙනාවා මට හදිසියේ මතක් උනා. ඒ ගෑණු කෙනාගේ නමවත් කිසි කෙනෙක් දන්නේ නැහැ.අපි හැමෝම එයාට කතා කළේ අයිරංගනී කියලා. අයිරංගනීගේ  කටින් පිට වෙච්ච එකම වචනය මගේ ළමයා දීපන් මගේ ළමයා දීපන් කියන එක විතරයි.  උන් මගේ ළමයාව දුංකලයක් කළා. මගේ ළමයා දීපන් මගේ ළමයා දීපන්… දවස පුරාම එකම විලාපයයි.  අකුණක් ගහන වේගයෙන් විදිල්ලක් කොටන වේගයෙන්  ඒ සිද්ධිය ආපහු සැරයක් ඇයි මට මතක් වුනේ.. අපි මාස ගාණක් අයිරංගනීට බෙහෙත් කළා. සාමාන්‍ය තත්ත්වයට එයාව පත් කර ගන්න පුළුවන් උනාද නැද්ද කියන එක මට හරියටම හොයාගන්න බැරුව ගියේ ඒ කාලෙදිම හරියටම මට එංගලන්තයට යන්න සිද්ධ වෙච්ච හින්දයි. ක්‍රිස්ටිනා… මගේ ජීවිතය කනපිට පෙරලපු ගෑනියෙක් . මඟුල් ගෙදරට මාසයක් තියලා කසාදයට අකමැති උනහම මානසික  රෝගී දොස්තර කෙනෙක් වෙච්ච මාව උනත් පිස්සු වැටුන. ඒ හින්දා හිටපු ලෙඩ්ඩු සේරම   මම ඩොක්ටර්  ජයසූරියට භාර දීලා පිස්සෙක් වගේ එංගලන්තයට ගියා.අවුරුදු ගානක් තනිකඩව හිටපු මට ක්‍රිස්ටිනා විතරයි හිතට කැපෙන කෙල්ලෙක් විදිහට හම්බවුණේ. ඊටත් මෙච්චර වයසට ගිහිල්ලා.. හහ්..ගෑනු නම් මොනවද..
ඊට පස්සේ  මම එදා හවසම තිබිච්ච අන්තිම ෆ්ලයිට් එක බුක් කරගෙන එන්ගලන්තෙ ට දිව්වා..
සමහර දේවල් ජීවිතයේ වැරදුනේ මග ඇරුනේ හොඳ වෙලාවට කියලා හිතෙන්නේ සෑහෙන කාලයක් ගියාට පස්සේ. ඇත්තටම ඒ වෙලාවේ මගේ කසාදය ක්‍රිස්ටිනා එක්ක සිද්ධ වුණා නම් සමහරවිට මමත් සාමාන්‍ය දොස්තර කෙනෙක් විතරක් වෙන්න තිබුණා. ඒ උනාට දැන් මට හිතෙනවා ප්‍රහාන් ගේ සිද්දියත් එක්ක මම අමුතුම ආරක කෙනෙක් වෙලා කියලා.හුඟක් වෙලාවට අපි ලෙඩ්ඩුන්ට බෙහෙත් කරනව විතරයි.අපි ඒගොල්ලන්ගේ පෞද්ගලික ජීවිතේ විස්තර හොයන්න යනවා හරි අඩුයි. එහෙම හොයන්න ගියොත් අපිට බෙහෙත් කරන්න කාලයක් නැතුව යනවා. සියයට සීයක්ම නැතත් මම නම් හැම තිස්සේම උත්සාහ කරනවා ලෙඩාගෙ  වටපිටාව ගැන උපරිමයෙන් හොයාගන්න. ප්‍රහාන් ගෙ සිද්ධිය මාව මෙච්චර දුරක් ගෙනෙයි කියලා මම කොහොමත් හිතුවේ නෑ.කැලිඩෝ එකට තව ටිකක් දුර තිබුන හින්දා මම ඩොක්ටර් ජයසූරියට කෝල් එකක් ගත්තා.එතකොට එයා වැඩ කර කර හිටියේ උච්චුවේලි හොස්පිට්ල් එකේ .

“හලෝ මචං … අසේල … ආෆ්ටර් ලෝන් ටයිම්.. හව් බඩී…”

පුරුදු විදිහටම ජයසූරිය හරිම ලෙන්ගතු විදිහට මට කතා කළා.

“කොහොමද මචං .. බිසි නම් සමාවෙයං..පොඩි ඔත්තුවක් දැනගන්නත් එක්ක කෝල් එකක් ගත්තේ…”

“නෑ නෑ කියහං.. මොකෝ කේස් එක..”

“ආහ්.. නෑ නෑ.. මේහ්.. උඹට මතකද අර මීට ටික කාලෙකට කලින් මං පොඩි කරදරයක් වෙලා එංගලන්තයට ගියා.”

“ඔව්.. ඔව්.. අර ක්‍රිස්ටිනාගෙ සිද්ධිය නේ..”

“අන්න හරි මචං..ඒකෙදි උඹට මතකද අයිරංගනී කියලා අපි නම දාගත්තු පේෂන් කෙනෙක් හිටියා. අර සමාජ සේවා ස්වේච්ඡා කණ්ඩායමකින් හොස්පිටල් එකට බාර දීපු ලෙඩා..”

“ම්ම්… කවුද බං…”

“අර හැමතිස්සේම තමන්ගේ ළමයව ඉල්ලලා අඬපු ගෑනු කෙනා… අර හැමතිස්සේම කියන්නේ උන් මගේ ළමයා
දුන්කළයක් කලා කියලා..”

“ආ ඔව්… මතකයි… ඉතින් මොකද කේස් එක..ආපහු ඇවිල්ලද..”

“නෑ ආපහු ඇවිල්ල නම් නෑ… ඒ ලෙඩාට මොකද වුනේ කියලා දැනගන්න කතා කළේ.. මම පොඩි රිසර්ච් එකක් කරනවා… hospital එකේ පහුගිය වාර්තා බලන කොට තමයි මට අයිරංගනී ව මතක් උනේ…”

මං පොඩි බොරුවකුත් කිව්වා.නැත්නම් ජයසූරිය හිතයි එකපාරටම මම පහුගිය ලෙඩෙක් ගැන මොකද එහෙම අහන්නේ කියලා..

“ආ.. හරි හරි මට මතකයි..අපි සෑහෙන්න එයාට බෙහෙත් කළා.සමාජ සුභසාධන ආයතනයෙන් කිව්වේ ඒ  ගෑනු මනුස්සයා මෙන්න මේ මරදාන පැත්තේ පාරෙ හිගන ගෑනු කෙනෙක් කියලා.. කොහොමහරි මේ ගෑණු කෙනාට බබෙක් හම්බවෙන්න ඉඳලා තියෙනවා.ඒ බබා හම්බවෙනකොට බබා මැරිලා තියෙනවා.හම්බවෙලා තියෙන්නේ කාසල් එකේදී.කාසල් එකේදී තමයි මේ ලෙඩේ ඒ අම්මට ඇවිල්ලා තියෙන්නේ.එතකොට මෙයා කාත් කවුරුවත් නැති කෙනෙක් හින්දා සමාජ සුභසාධන ආයතනයත් එක්ක එකතුවෙලා තමයි අපේ හොස්පිටල් එකට එව්වේ…”

“හරි මචං ඊට පස්සේ මොකද වුණේ.. ඒ මනුස්සයගෙන් වෙන මුකුත් විස්තරයක් දැනගන්න බැරි උනාද.. “

“අපි බෙහෙත් කළාට එයාව සියයට සීයක් සනීප කරන්න බැරුව ගියා. අන්තිමේදී කිසි දෙයක් කතා කරන්නේ නැති ගැහැනු කෙනෙක් තමයි ඉතුරු වුණේ..ඒ හින්දා  ඉන් එහාට කිසි දෙයක් අපිට දැනගන්න පුළුවන් වුණේ නෑ. සිරිසහන හරි සිරිසෙවන කියලා මොකක් හරි සමාජ සේවා ආයතනයකින්ම ආපහු එයාව අරගෙන ගියා.ඒගොල්ලොම තමයි මැදිහත් වෙලා බාර දීලා තිබුනෙත් හොස්පිට්ල් එකට.. “

“ම්ම්ම්.හරි මචං …ඊට වඩා විස්තරයක් උඹට මතක නෑනෙ..”

“ම්ම්.. කොහොම හරි  ඔය ගෑණු මනුස්සයාට ළමයා හම්බවෙලා තියෙන්නේ දුංකලයක් වගේ  වේලිලා ගිහිල්ලා ලු. හම්බවුණා ම  ළමයව පෙන්නලා තියෙනවා. “

“කවුද උඹට ඒ කතාව කිව්වේ…”

“ඒකත් ඔය සමාජ සුභසාධන ආයතනයේ හිටපු ගෑණු කෙනෙක් තමයි අපේ වෝඩ් මිසිට කියලා තිබුණේ..එයා තමයි මටත් කිව්වේ.”

“ඇත්තටම මචං එහෙම වේළිලා දුංකලයක් වගේ වෙච්ච ළමෙක්ව හම්බවෙන්න පුළුවන්ද…”

එතකොට ජයසූරිය හයියෙන් හිනා වුණා..

“දැන් උබේ රිසර්ච් එක මානසික ලෙඩ්ඩු ගැනද ගෑනුන්ට හම්බෙන ළමයි ගැනද…”

මමත් හිනා වුණා..

“නෑ මචන්.. මට ඒක ඇත්තටම ලොකු ප්‍රශ්නයක්.ඇත්තටම එහෙම ළමයි හම්බවෙන්න පුළුවන්ද..”

“නෑ අසේල මෙහෙම යි.. ඕකෙ ඉතිං දෙපැත්තක් තියෙනවා..පළවෙනි එක තමයි අපි ඒ දේ ඇහැට දැක්කේ නැති එක…දෙවෙනි දේ තමයි මොනා හරි හේතුවක් මත එහෙම වෙන්න පුළුවන් කියන එක.ඒකෙ තියෙන භයංකර බව හින්දා වෙන්න ඇති ඒ අම්මට ඒ විදිහට දෙයක් වුණේ. හැබැයි ඉතින් මේ ගෑනු කෙනා හිගන ගෑනු කෙනෙක් හින්දා ඒ ප්‍රශ්නය ඉන් එහාට ගියේ නෑ..”

“ඒ කිව්වේ…”

“ඒ කිව්වේ ඉතින්.. උඹ නිකමට හිතපන්කෝ සාමාන්‍ය හොඳ  පවුලක මනුස්සයෙකුට ඔහොම වුණයි කියලා..ඉතිං ඕක රෙයා සිද්ධියක්නේ..එහෙනම්  ඉතින් ඕකට හොඳ පබ්ලිසිටි එකක් හම්බවෙනවා. එහෙමනම් hospital එක මීඩියා කාරයෝ වටකර ගන්නවා. මේ නිකන් හිගන ගෑනියෙකුට ඔහොම දෙයක් උනහම කවුද ගණන් ගන්නේ..”

ජයසූරිය කියපු දේවල් මම ගොඩක් කල්පනා කරන්න පටන් ගත්තා.මෙතන මොකක් හරි සම්බන්ධයක් තියෙනවා කියලා මට හිතුනා.

උඹ නිකමට හිතපන්කෝ සාමාන්‍ය හොඳ  පවුලක මනුස්සයෙකුට ඔහොම වුණයි කියලා..ඉතිං ඕක රෙයා සිද්ධියක්නේ..එහෙනම්  ඉතින් ඕකට හොඳ පබ්ලිසිටි එකක් හම්බවෙනවා. එහෙමනම් hospital එක මීඩියා කාරයෝ වටකර ගන්නවා. මේ නිකන් හිගන ගෑනියෙකුට ඔහොම දෙයක් උනහම කවුද ගණන් ගන්නේ..

ජයසූරිය අන්තිමට කියපු වචන ටික මට රැව් පිළිරැව් දිදි ඇහෙන්න පටන් ගත්තා..

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles