ශනිදාව නිසොල්මන් ය. පෙර දා රාත්‍රියේ පටන් විටින් විට ඇද හැළුණ වැස්ස උදේ සිට මුරුගසං වැස්සක් බවට පත් ව තිබේ. කැෆේ එකේ වැඩ කරන ගෑනු ළමයා නිවාඩුවක් ඉල්ලූයෙන් කේක් ඇන්ඩ් කොෆී අවකාශයෙහි වූයේ ගෙදර අය පමණකි. නො නවතින වර්ෂාව නිසා කම්මැළි සිතී සඳැස් උපකාරක පන්ති නොයා ගෙදර නැවතුණේ ය. වැස්ස කියන්නේ ම තවත් නිදන්නට කියා ය. උසස් පෙළ පේන නො පෙනෙන මානයේ දී පාඩම් කරන්නට මේ තරම් කම්මැළි හිතෙන්නේ ඇයි දැයි ඔහු ට තේරෙන්නේ නැත.
“හරි ශෝක්…මේ සැරේ එග්සෑම් කරන ළමයෙක් නේද මේ…නැගිටිනව නැගිටිනව”
දෙවන වතාවටත් කාමරයට ආ තඹරු කොට්ටයක් ගෙන මල්ලී ට පහර කිහිපයක් ගැසුවා ය.
“තේ එක ඇල්වතුර වෙලා. මොන නින්දක්ද මේ…ක්ලාස් ගියානං උගන්නන දෙයක්වත් අහං ඉන්නවනෙ. කාලෙ නාස්ති නොකර නැගිටල පාඩං කරනනකො”
“හරි හරි මං නැගිටින්නං. ඔයා යන්නකො”
කොට්ටය සඳැස් ගේ පිට මතට ම අතැර තඹරු කාමරයෙන් නික්මුණේ මල්ලී ගැන සානුකම්පාවෙනි. විභාගය කිට්ටු වෙද්දී පොත් පේන්නට බැරි රෝගයක් ඇයට ද තිබූ බව තඹරු ට අමතක නැත. දිවාකර වෝකර් එකෙහි උදව්වෙන් හෙමි හෙමිහිට ඇවිදිමින් සිටියේ ය.
“අනේ තාත්තෙ අපිට කතා කරන්නැතුව තනියම ඇවිදින්න එපා තාම. චුට්ටක් හරි එහෙ මෙහෙ වුණොත්”
තඹරු ඉක්මනට දිවාකර වෙත ගොස් ඔහු ගේ අතකින් අල්වා ගත්තේ ය. ඔහු ගේ මුහුණ මත සිනහ රැල්ලක් නැඟිණ.
“අලුතෙන් මොනා වෙන්නද බබූ…වෙන්න තියන හැම දේම වෙච්ච මනුස්සයෙක්නෙ මම”
“වෙච්ච දේවල හැටියට මෙහෙම ඉන්න එක ලොකු දෙයක් නේ…”
තඹරු හඬ නගා සිනහ වූවා ය. අඬන්නට කාරණා වට කොටගෙන සිටිනා මිනිසුන් සිනහ වෙන්නට ඉතා කුඩා හේතුවක් හෝ සොයනා බව දැන් ඇයට ප්‍රත්‍යක්ෂ ය.
‘වනේ ගිජිඳාය දුටුවොත් වනසාය…ළිඳේ පනිඳාය වැටුණොත් ඌ කාය…අතකින් කර වැළකි අතකින් දඬු බෑය…මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය’
තඹරු ගේ සිතට ඒ සිව් පදය සිහි වූයේ නිරායාසයෙනි. දැන් ඇය සිටින්නේ එහෙව් අවදානම් තත්වයක යයි තඹරු ට සිතේ. ඇය පමණකුදු නොව ඇගේ මුළු පවුල ම ඇතැම් විට අවදානමේ ය. තඹරු වූ කලී දිවාකර ගේ දියණිය බව යම්කිසි මොහොතක ඩිලන් විසින් දැනගනු ලැබුවහොත් ඔවුන්ට මොනවා සිදු වේදැයි සිතා ගත නො හැකි ය. පැණි කන මිනිසාට වන මරණ තුනෙහි අවදානමටත් වැඩිය ඔවුන් කෙරේ වන අවදානම දරුණු වන්නට පිළිවන. සියප පුතුන් ද ඔවුන් ගේ පැත්තේ යයි දැන ගත හොත් ඩිලන් වන අලියාට හෝ නාගයාට හෝ කරවලා නම් සර්පයාට ද වඩා භයානක හෝ විෂකුරු වනු නො අනුමාන ය. නමුත් ඒ තරම් භයානක තත්ව යටතේත් එල්ලී ගෙන සිටින වැල්පොටෙහි වූ මී වදයක පැණි වල රස බලන්නා මිනිසා සේ ඇය ද ඩිලන් නමැති අපරාධකාරයාට දඬුවම් පමුණුවන දවසක් ගැන රස සිහින දකියි. නමුත් තවමත් ඒ සඳහා ඇය සතුව ප්‍රමාණවත් සාක්ෂි නො මැත්තේ ය. ඩිලන් ඇයට වඩා අඩි කිහිපයක් ඉදිරියට ගොස් සිටිනා බව ද තඹරු නො දැන සිටියා ය.
“අපි හෙමිහිට පහළට යමුද බබූ…”
දිවාකර බලාපොරොත්තුවේ දීප්තිමත් දෑසකින් ඇදෙස බලා විමසුවේ ය. තඹරු උනන්දුවෙන් හිස සලා තාත්තා ගේ අත වඩාත් දැඩිව අල්වා ගත්තා ය.
‘මහළුව බැරි වුණාම ඔබ හට ඇවිදින්න…අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න’
ළමා වියෙහි දී අපමණ වාර ගණනක් අසා පුරුදු ළමා ගීතයක ඒ සංවේදී කොටසෙහි හැබෑ අරුත මේ මොහොතේ තඹරු ගේ හිත ළඟ ජීවමාන වූයේ ය. උගුර හිරවෙනු ද ඇස් දැවීගෙන කඳුළක් කාන්දු වෙනු ද ඇයට දැනිණ. ඒ අධි සංවේදී බව දෙතොල් තද කොට නැගූ සිනහවකින් හා හිස දෙපසට සැලීමෙන් සඟවා ගෙන තඹරු තාත්තා ගේ අත් දෙක ම අල්වා ගත්තා ය. දිවාකර ඉතා ප්‍රවේසමෙන් වෝකර් එක පිටගැට මත තබා අඩිය අඩිය පහළට බැස්සේ ය.
“අනේ…ඔයා පහළට ආවද..”
රන්මුතු ගේ දෑස් දිළිසිණි. ඇය උරහිස ඔසවා ගවුම් කරින් ඇස් කොන තද කොට ගත්තා ය.
“හෙමි හෙමිහිට උදේට පහළට ආවනං මට ඔයාට උදව්වක් කරන්නත් පුළුවන්නෙ රං”
“උදව්නං නැතත් කමක් නෑ. ඔයා මෙහෙම උත්සාහ කරන එකම අපිට ඇති. නේද බබූ…”
“ඔයාගෙං ගැලවිලා ගිය ඔටුන්න…කොහොමහරි…කවදහරි මං ආයෙ ඔයාගෙ ඔළුවට දානව තාත්ති”
තඹරු ඒ කියා ගත්තේ උගුර යටිනි. සිනහ වෙන්නට දැරූ උත්සාහය, ඇය කඳුළුත් එක්ක පොරබදනා බව නො සැඟවී ය.
“ඒ කිව්වෙ බබූ…”
රන්මුතු නෙතු විසල් කොටගෙන විමසුවා ය.
“තාත්ති ආයෙ පත්තර කරන්න ඕනෙ. හදිස්සියක් නෑ. අපි හෙමින් පටන්ගමු. මට මතකයි ඉස්සර වීක්එන්ඩ් වල අපි හතර දෙනාම තාත්තිගෙ දිවාකර බිල්ඩින් එකට යන හැටි. මායි මල්ලියි රිටර්න් පත්තර ගොඩවල් උඩ නැගගෙන සෙල්ලං කරනව. ප්‍රෙස් එකේ කඩදාසි තීන්ත සුවඳ මට තාමත් දැනෙනව වගේ. අම්මි හරි මහන්සියෙන් ගොඩදාගත්තු කේක් ඇන්ඩ් කොෆී තමයි අපේ හුස්ම. මං මේකට ඒතරං ආදරෙයි. ඒත් දිවාකර පබ්ලිශර්ස් අපේ හාට් එක. අපේ ආඩම්බරේ. අපේ ගෞරවේ. කවුරුහරි ඒක තාත්තිගෙං උදුරගත්තනං…එයාට බලං ඉන්න වෙයි දිවාකර පබ්ලිශර්ස් ආයෙ නැගිටින හැටි”
“බබූ…ඔයා මොනාද මේ කියන්නෙ…”
රන්මුතු තව තවත් විශ්මිත වූවා ය. දිවාකර ප්‍රකාශන වල අසාර්ථකත්වය මත ඒවායේ අලෙවිය කඩා වැටුණා කියා මිස, ඩිලන් රණසිංහ ඒ ව්‍යාපාරය කූට උපක්‍රමයකින් බිඳ දැමුවායි දිවාකර තබා රන්මුතුවත් තවම නොදනිති. තඹරු මඳහසක් නගා ගත්තා ය. සමහර දේවල් ගැන කල් ඇතිව කටමැත නොදොඩා සිටින එක හොඳ ය. වඩාත් හොඳ ක්‍රමය වනුයේ ඒවා සිදු වූවාට පස්සේ සමරණ එකයි.
“මං කියන්නෙ අපි ආයෙ හෙමිහිට දිවාකර පබ්ලිශර්ස් පටංගමු කියල. ඉස්සල්ලම තාත්ති සනීප වෙලා ඉන්නකො. දැං අපිත් ලොකුයිනෙ. තාත්තිගෙ උදව්වට දැන් අපිත් ඉන්නවනෙ”
දිවාකර අලුත් හුස්මකින් පපුව පුරවා ගත්තේ ය. බලාපොරොත්තු කියන්නේ මිනිහෙකුට ජීවත් වීමට ජීවිතාශාව දල්වන්නා වූ මහඟු ඖෂධයයි. හෙතෙම ඒ අලුත් ගින්දරින් ඇවිලී ගියේ ය.
වැහි සුවඳ හාත්පස පැතිරී තියේ. වැස්ස වැඩි හින්දා කැෆේ එකට වැඩි සෙනගක් බලාපොරොත්තු විය නො හැකි බව රන්මුතු කීවා ය. ව්‍යාපාර වූ කලී එසේ ය. උච්චාවචනයන් බලාපොරොත්තු විය යුතු ය. ඒවා උපේක්ෂාවෙන් විඳ දරා ගත යුතු ය. ලැබෙනා දේ ගැන දෛවයට ස්තූතිවන්ත විය යුතු ය.
දිවාකර තරමක වෙහෙසකින් වාගේ අසුන්ගත වූයේ ය. නමුත් ඔහු ගේ මූණේ වන්නේ ජයග්‍රාහී බවකි. අකාලයේ මළගම් ගිය සිය ව්‍යාපාරය යළිත් උත්පත්තියක් බලාපොරොත්තු වෙනවායි ඇසීම ම ඔහු තුළ නව පණක් ඇති කොට තිබේ.
“ඔව් අපි බලමු බබූ. සමහර විට අපිට ඒක කරන්න පුළුවන් වෙයි”
“සීතලයි නේ…කෝපි එකක් හදන්නද…”
රන්මුතු උනන්දුවෙන් විමසුවා ය.
“හැබැයි බ්ලැක් කොෆී…කිරි නැතුව…”
වැස්ස චමත්කාරයක් ව ඇද හැලේ. තඹරු දොරකඩ ට විත් වැස්ස ට අත්ල පෑවා ය. වැහි දිය අහුරක් ලහි ලහියේ අත්ලෙහි පිරිණ. සුළඟට ආනත වූ හිරිකඩක් ඇය තෙමාගෙන හමා ගියේ ය.
“අනේ බොරුවට තෙමිල ලෙඩවෙන්න එපා බබූ”
රන්මුතු ගේ ද වර්ෂාවේ ද හඬ අතරින් කළු පාට ඇක්වා රිය හෙමිහිට අයින් කොට නැවතිණ. විදුලි කෙටුවේ තඹරු ගේ හදවතෙහි ය. වතුර බින්දු පහළට රූටා යන තෙත්බර වීදුරුව අතරින් සමනල් ඒ රුව දුටුවේ පුංචි කෙල්ලක සේ ය. පාට දේදුනු කුඩය ඉහලා ගත් ඔහු දිගු අඩි තබා කේක් ඇන්ඩ් කොෆී දෙසට ආවේ ය. වැලමිට ළඟට ඔසවාගත් කමිස අතින් නග්න වූ ශක්තිමත් පිරිමි අතේ වැහි දියට තෙමී ඇළුණු තද කොළ පාට ඝණ රෝම පවා යුවතිය ගේ ඇසට හසු විය.
“හානේ…පුතා…කොච්චර හොඳද මේ වෙලාවෙ ආපු එක…කම්මැළිකමේ අනේ හිටියෙ”
රන්මුතු විගස ඉදිරියට ආවා ය.
“දැං ඉතිං යන එන මං නෑනෙ ආන්ටි. සීතලට කෝපි එකක් තිබුණනං කියල හිතද්දිත් ඔයාව තමයි මතක් වුණේ”
රන්මුතු හඬ නගා සිනහ වූවා ය. ඒ ගමන් ඇය වමත ඔහු ගේ බඳ වටා යවා ක්ෂණයකට ඔහු වැළඳගත්තා ය.
“එහෙනං හොඳ වෙලාවට ආවෙ”
“හ්ම්…කෝපි සුවඳයි”
තඹරු දෑස් හකුළා ගත්තා ය. ඇය ඉන්නවා ද කියාවත් ඔහුට ගාණක් ඇත්තේ නැද්ද?
“මගෙ එක බොන්න. මං එකක් හදං එන්නං”
මේ සීතලේත් හදවත උණුහුම් වී යන බවක් තඹරු අත්වින්දා ය. සමනල් දිවාකර අභියස අසුනේ හිඳගත්තේ ය. තඹරු දෝතින් ම උණුහුම් කෝපි කෝප්පය අල්වා ගෙන මේසයකට හේත්තු වී උගුරක් තොලගෑවා ය. ඇගේ දෑස් ඔහු මත දඟ කරමින් තිබිණ.
“අංකල් පහළට ඇවිත් ඉන්නව දකින්න ලැබුණ එක කොච්චර සතුටක්ද…”
“ඔය අද තමයි පුතා මුලින්ම එහෙම ආවෙ”
“ඒකනෙ ආන්ටි…අද සමරන්න ඕන දවසක්නෙ”
දිවාකර ද උස් හඬින් සිනහ වූයේ ය. කම්මුල් පවා සිනහ වෙන සෙයක් තඹරු ට දැනිණ. සමනල් මේ විදිහට සිය පවුල තුළ මුහු වෙන එක ඇයට කිසි දා වචන කළ නො හැකි චිත්ත ප්‍රීතියකි. ගෑනු ළමයෙකු ජීවිතයේ එක් වරක් හෝ ඒ සතුට අත්විඳ තිබිය යුතු ය. සඳැස් පහළට ආවේ ද ඒ වෙලාවේයි. ඔහු කෙළින් ම සමනල් වෙතට විත් එතැන පුටුව ඇද අසුන් ගත්තේ ය.
“ක්ලාස් ගියෙ නැද්ද බං…”
“නෑ අයියෙ. කම්මැළි හිතුණ අප්ප. වහිනකොට කොට්ටයක් බදාගෙන නිදියනව කියන සැපේ විඳින්න අයිතියක් ඒලෙවල්ස් කරන අපිටත් තියෙන්න ඕනනෙ”
“මූ බලන්නකො තඹරු…ඔයා වතුර බාල්දියක්වත් හලල ඇහැරෙව්වෙ නැද්ද…”
ඇය මලක් වාගේ සිනහ වූවා ය. වැස්සට පෙති තෙමී මොලකැටි වූ මලක් වාගේ! සමනල් ට ඒ දර්ශනයෙන් නෙතු මුදවා ගන්නට මඳක් අසීරු විය. ඔහු ඒ සිහිනයෙන් හැබෑවට ඇද වැටුණේ සඳැස් බොරුවට කැස්ස නිසා ය.
“කැස්සයි වැස්සයි හංගන්නම බෑනෙ අප්ප”
කියා නැගිටගත් සඳැස්, තඹරු වෙත ගොස් ඇගේ කෝපි කෝප්පය උදුරා ගෙන උගුරු කිහිපයක් බීවේ ය. ඇගේ ඇස් මත ආදරණීය රැවුමක් විය.
“ඇත්තටම අංකල් කැමැත්තෙන්ම පහළට ආපු එක සෙලිබ්‍රේට් කරමු නේද ආන්ටි…සඳැස් කොල්ලත් ඉන්නෙකේ…ආන්ටි මහන්සි වෙන්නෙපා උයන්න. අපි හොඳ තැනකින් ඕඩර් කරමු”
ඊළඟට කතා බහ ඇදී යමින් තිබුණේ ඒ ඔස්සේ ය. වැස්ස මෝරා වැඩෙමින් තිබූ නිසා ද ප්‍රීතිමත් කතා බහ නිසා ද පාරේ ගමන් කළ වාහන ගැන කිසිවෙකු ගේ අවධානය යොමු වන්නට විදිහක් නැත. ඩිලන් රණසිංහ ගේ සුඛෝපභෝගී ජීප් රථය කේක් ඇන්ඩ් කොෆී ඉදිරියෙන් හෙමිහිට ඇදී ගියේ ය. අව් කණ්ණාඩි පැළඳ සිටි ඔහු හිස හරවා බලත්දී උනුන්ට සම්මුඛ ව අසුන්ගෙන උන් සමනල් දිවයුරු රණසිංහ ද දිවාකර ද ඇස් වලට හසු විය.