අරුණලී විසින් සියදිවි නසාගන්නට කටයුතු කර බව මෙනුක දැනගත්තේ අම්මාගෙනි. අම්මා ඒ ගැන කිව්වේ වේදනාවකින් නමුත් මෙනුක ගැන කෝපයකිනි. අම්මාගේ කෝපවත් හඬේ තැවරී තිබුණේ ” උඹ අපි හැමෝගෙන ජීවිත විනාස කරා” යන කතාව බව මෙනුක නොහැඳිනුවා නොවේ. ඒ නිසාම දුරකතනයෙන් අරුණලී අමතා කතා කල මෙනුක නැවත වරක් සමාව සහ දෙවන අවස්තාවක් ඉල්ලා සිටියේය.
“අපිට බැරිද අරුණි ආයෙ වතාවක් මේ හැමදේම අලුතෙන් පටන් ගන්න” මෙනුකගේ හඬ දුරකතනය ඔස්සේ ආවේ බිඳී ගෙන මෙනි. එහෙත් අරුණලී උන්නේ ඒ බිඳුණු හඬින් තමා අපහසුවෙන් ගත් තීරණයට බිඳී යන්නට ඉඩ නොදෙමිනි.
“මගෙ හිතේ ඔයා ගැන කිසිම තරහක් නෑ”
අරුණලී ඒ වදන් පවසා මද නිහැඬියාවක් ගත්තාය. ඒ ඊලඟට කිව යුත්තෙ කුමක්ද කියා වටහාගන්නට අපහසු නිසාවෙනි.
“ඒ උනාට මට ආයෙම සෙට්ල් වෙන්න කියන්න එපා මෙනුක. මට ඒක කරන්නබෑ. අයෑම් සොරි”
“ඔයාට පුලුවන් ද බබා මම නැතුව ඉන්න?”
“ආයෙ සෙට්ල් උනත් මට ඔයා ඉන්නව කියන විශ්වාසෙ තව දුරටත් අපි අතරෙ නෑ නේද? මාව එපා නිසා නේද ඔයා වෙන කෙනෙක්ට ලං වුනේ”
ඒ ප්‍රශ්නයට දෙන්නට උත්තරයක් මෙනුකට තිබුනේ නැත. ඔව් කියා අරුණලීගේ සිත රිදවන්නද? නෑ කියා ඇයව තවත් රවටන්නද? උභතෝකෝටියකි.
“අපි ආයෙ එකතු උනා කියල ඒ බැඳීමෙන් තවත් තේරුමක් තියේවි කියල මම හිතන්නෙ නෑ. අපි දෙන්නට එක්කහු වෙලා ගමනක් යන්න පුලුවන් කමක් නෑ. එහෙම තේරුමක් නැතිදෙයක් කරල තවත් හිත රිද්දගන්නවට වඩා අපි මේ විදියට වෙන් වෙන එක හොඳයි මෙනුක. මාත් එක්ක තරහ වෙන්න එපා”
අරුණලී කිසිම දිනක තමාට මෙපරිද්දෙන් කතා කර නැති බව මෙනුකට මතකය. ඒ වෙනස් වූ වචන, හැඟීම් සහ හඬින් කියා පාන්නේ ඇයගේ සිත රිදී ඇති අන්දම නොවේද කිය මෙනුක දහස් වරක් හිතුවේය. ආදරේ නම් අතෑරිය යුතු බවටහ්, ආදරය කල කෙනාට නිදහස දිය යුතු බවටත් ලියවුණ වදනක් මුහුණු පොතේ කොහේ හෝ තැනක තම දුටුවා මෙනුකට මතකය. තමා මේ කරන්නට යන්නේ එයම නොවේද? නැතිනම් අරුණලී කරන්නේද එයම නොවේද? ඇයට අනුව තමා ආදරය කරන්නේ රමිත් ටය. තමා ඔහු සමග සබඳතාවයක් පටන් ගෙන තිබෙන්නේ ඒ නිසාමය. එහෙත් ඒ හුදෙක් ශාරීරික සබඳතාවයක් පමණක් යැයි කියන්නට හැකිද? එය දැනටමත් ඇගේ සිතේ තමා ගැන ඇති අප්‍රසන්න හැඟීම් උත්සන්න කරන්නට හේතුවක් වනවා නොවේද?
තමන්ගේත් මෙනුකගේත් ප්‍රී ශූට් එකෙහි ජායාරූප තවමත් ජායාරූප ගත් ආයතනයේ ෆේස් බුක් පිටුවේ තිබේ. ගෙදරත්, නිදන කාමරයෙත් දකින දකින තැන තිබෙන තමන්ගේත් මෙනුකගේත් ආදරයේ සටහන් ගලවා ඉවත් කරන්නට අරුණලී කටයුතු කරාය. ඒ එවන් දේ දකිද්දී උත්සන්න වන වේදනාව තවදුරටත් දරා ගන්නට නොහැකි නිසාවෙනි. එය සහමුලින්ම හිත සනසාගන්න උදව්වක් නොවුනත් මානසික උපදේශකවරයාගේ උපදෙස් සහ සැසි හමුවේ බිඳී තිබුන හදවත මදින් මද පිලිසකර කරගන්නට අරුණලී කටයුතු කරාය.
අනෙක් අතට විභාගය අවසන්ව නිවස බලා ඇවිත් උන් සඳලිනී හැකි සැම විටම කටයුතු කලේ අක්කාගේ සිත සනසන්නටය. ඇයව යතා තත්ත්වයට රැගෙන එන්නටය. විවිධ රස මසවුලු සකසමින්, හිනා යන කොරියන් චිත්‍රපට බලමින්, ගී අසමින් අක්කා සමගම කාලය ගත කරන්නට සඳලිනී කල කැපකිරිම අරුණලී ට යතා තත්ත්වය මදින් මද එන්නට හෙදකමක් වූයේ නැතැයි කිව නොහැක.
බිඳෙන් බිඳ කාලය ගෙවෙද්දී හිත හදාගන්නට අරුණලී උත්සහ කරද නිවසේ උඩුමහලේ අරුණලී හිඳිනවා දුටු ගමේ කාන්තාවන් කිහිප දෙනෙක්ම සුභාගෙන් ඒ බව අසනට කටයුතු කලහ.
“ලොකු දූගෙ මංගල්ලෙ කැඩුණලු නේද? මොකද්ද උනේ?” කියා මුහුණට අසන කාන්තාවන් තැන් තැන්වල “සුභාගෙ ලොකු දූ මංගල්ලෙ දවසෙ වෙන මනුස්සයෙක් එක්ක කමරේක් ඉඳල අහුවෙලාලු, ඒ පිරිමි ළමය ගහලලු හෝටලෙන් පැන්නුවෙ. ඒ පිරිමි ළමයා රටිනුත් ගිහිල්ල කියන්නෙ ලැජ්ජාව හන්ද්ද්” කිය කිසිම ඇත්තක් නැති කතා දහසක් ගම පුරා පතුරා ඇති බව ආරියරත්නත් සුබාත් දැන උන්නද ඔවුන් එකිනෙකා හ ඒ ගැන කතා නොකලේ කතා කර පලක් තිබේද කියා සිතාය.
එයටත් වඩා මේ කත අරුණලීට ඇසීම ඇයව තවත් දුක්ඛ දෝමනස්සයන් වල හෙලන්නකැයි සිතීමය.
මුලින්ම ආවේ කඩේ ගෙදර නැන්දාය. කඩේ ගෙදර නැන්දා යමක් දන්නවාය යන්නෙහි අදහස ගමේ සියල්ලන්ම ඒ බව දන්නවාය යන්න බව අරුණලීට අලුත් දෙයක් නොවේ. එහෙත් මේ කතා නතර කරන්නට නොහැක. තමන්ට සැමදාම මෙසේ ගෙදරටම වී සැඟවී ජීවත් වෙන්නටවත් නොහැක. මෙයට විසඳුමක් තිබිය යුතුය යන්න මේ දිනවල ලද සැනසීමක්, මානසික උපදේශනයත් නිසාවෙන්ම අරුණලී තේරුම් ගත්තාය.
“අනේ දන්නෙ නැද්ද අක්කෙ, අපල කාලවලට ඔහොමනෙ”
“මොකද්ද නංගියෙ ඇත්තටම උනේ? රට්ටු ඉතින් එක එක කතා කියනව ඇත්තනැත්ත දන්නෙ ඉතින් නංගිලමනෙ”
“දන්නෙ නැද්ද ඉතින් පොඩි ප්‍රශ්නයක් උනා අක්කෙ. පස්සෙ කතා කරමුකො අක්කෙ. බත් එක ලිපේ තියල ආවෙ රොස් වෙනව ඇති” කියා සුභා විගහට ගෙට ගොඩ උනාය.
“එහෙනම් මං පස්සෙ වෙලාවක එන්නම්කො දූ බලන්නත් එක්ක” කියා ඇය නික්ම ගියද යන අතරමග නිවෙස් වලා ගොඩ වී මේ බව සොයන්නට, මේ තතු කියන්නට නොපැකිලෙන බව සුබා දනි. ඔය කත ඉතින් නවත්තන්නට අපහසුය. ආරි කිව්වාක් මෙන් මිනිස්සුන්ට ඕන දෙයක් කියන්නට ඉඩ දී හිත සනසාගත යුත්තේ මොනවා නැතත් දරුවා දැන් ඉන්නේ තමන් ලඟ කියා සිතමිනි.
“දැන් මොනවද පුතේ ඔයා කරන්න හිතාගෙන ඉන්නෙ?”
ආරියරත්න මහතා කතව ඇරඹුවේ රාත්‍රියෙය. මෙහි ආ මුල් දවස්වල මෙන් සියල්ලන්ටම පස්සේ කන පුරුද්ද අරුණලී උපදේශන සහය සමග කෙමෙන් වෙනස් කරගත්තායින් පසු නැවත වරක් පවුලේ සියල්ලන්ටම එක මේසයක වාඩි වී කෑම කන්නට අවස්තාව ලැබිණි. ඒ පෙර අතිතයේ තරම්ම නිදහස් නිවහල් හිතකින් නොවුනද මද සැනසීමක් එහි නොවුනා යැයි කිව නොහැක. මොන දේ උනත් තමන්ගේ නිවසේ තරම් සැනසීමක් තමන්ටවෙන කොහෙදිවත් දැනෙන්නේ නැත.
“දැන් පුතා ගෙදරටම වෙලා ඉන්න එක අපරදෙනෙ..හිත පෑදෙන්නත් එක්ක මොනවහරි ඉගෙන ගත්ත නම් හරි නැත්තම්.ජොබ් එකකට වගේ වත් ගියා නම් හොඳ නැද්ද?”
සුබා හෙමින් සැරේ එලවලු මාලු බත් පතට බෙදන අතරවාරයේ ආරි එහෙම කිවේ හිස් පිඟාන දෙසම බලාගෙන ඉන්නා අරුණලී වෙත දෙනෙත් යොමු කරමිනි. අක්කා දෙස විටින් විට හොර ඇහින් බලන අතරවාරයේ සඳලිනි උන්නේ බත් බෙදා ගනිමිනි.
“හිතට අමාරු බව, කරදර බව ඇත්ත. ඒ උනාට මම හිතන්නෙ ගෙදරටම වෙලා ඉන්න ගියොත් ඔය හිතේ කරදර තව වැඩිවෙයි කියල. නේද සුභා?”
“ඒක නම් එහෙම තමා. අනේ මන්දා ඒ උනාට ඉතින්, දූ කල්පනා කරල බලන්නකො”
අම්මත් තාත්තත් මොනව කීවද තමා දැන්ම එවන් අභියෝගයක් භාරගන්න සුදුසු තත්ත්වයක හිඳිනවාද යන ගැටලුව අරුණලීට නොතිබුනා නොවේ. එහෙත්නිවසටම වී මෙසේ කාලය ගතකරන්නට අපහසු බව ඇත්තකි.නංගී නැවත විශ්ව විද්‍යාලය බලා ගිය පසු තමා තනිවන බවත් ඒ තනිකම අතීතය ආයෙ ආයෙ වර්තමාන සිතුවිලි අතරට ගෙන එන බවත් අරුණලීට සිතේ. ඉතින් හොඳම දේ තාත්තා කියන පරිද්දෙන් සිත වෙහෙසට පත් කරන දෙයක් කිරිම නොවේද?
“ආයෙ ස්ටඩි කරන්නනම් බෑ”
“එහෙනම් අක්කා ජොබ් එකකට යන්නකො. ඔයා කලින් වර්ක් කරතැනට ආයෙ යන්න බැරිද?”
“අනේ එහෙ ආයෙ යන්න බෑ නංගි. ඒ මිනිස්සු අහවි ඇයි මම ආයෙ ආවෙ කියල”
“හරි හරි එතනටම යන්න ඕන කියල එකක් නෑ. දූ කැමති නම් මම වෙන තැනක ජොබ් එකක් හොයල දෙන්නම්කො. එහෙම නැත්තම් ඔයා උනත් හොයාගෙන කියන්නකො. අපිට හොඳද කියල බලන්න පුලුවන් නෙ ගිහිල්ලා”
එසේ කියමින් අනාගත් බත් කටක් ආරියරත්න මුව රුවාගෙන කතාව අවසන් කරද අරුණලී උන්නේ සිත සමග දොඩමලු වෙමිනි. අලුත් රැකියාවකට යාම මේ නීරස, කල්පනාවෙන් බර ජීවිතයට වෙනසක් එක්කරන්නක් වුවද එතන මිනිසුන්ගෙන් පවා තමන්ට අතීතය සඟවා ගෙන හිඳින්නට අපහසු බව අරුණලී දනී. එහෙත් තමගේ තතු කටක් ඇර කිසිවෙකුට කියන්නට හැකි දේවල් ද?
ඒ හා සම්බන්ධ ගැටලු වලට, මිනිසුන් අසන ප්‍රශ්න වලට පිලිතුරුදෙන්නට හැකියාවක් තමන්ට තිබේද?
ජීවිතය මේ උගන්නන්නට යන්නේ දරාගැනීම ගැන පාඩමක් ද?