“අයෑම් සොරි”
මෙනුක කිව්වේ රමිත්ගේ උරහිස මත හිස තබාගෙනය. අසරණ වූ මොහොතක ගිලෙන්නට යන මිනිසෙකු පිදුරු ගහක එල්ලී පණ බේරගන්නට තනනවාක් මෙන් මෙනුක එදා රැයේ රමිත් ව හමුවිය. ඒ සුපුරුදු බාර් එකෙන් හොඳටම බීමත්ව එලියට එද්දී පය පැකිලී වැටෙන්නට ගිය මොහොතකය. තමව කවුරුන් හෝ අල්ලාගත් බව තේරුණද ඒ රමිත් විය හැකි බව මෙනුක කිසි විටක සිතුවේනැත.
තමා හිතෙන් වද වෙමින්, විඳවමින් හුන් මොහොතක තමාව සනසන්නට ආ මිතුරා තමා විසින් අතහැර දමන ලද්දෙකු විය හැකි බව මෙනුක කිසිසේත් සිතා තිබුනේ නැත.
“අයෑම් සොරි, මම ඒ කරපු වැඩේ වැරදි. අද උඹ මෙහෙම ඉන්නව දකිද්දි මට රිග්‍රෙට් නොකර ඉන්න හැටියක් නෑ.මට එහෙම නොකර ඉන්න තිබුනෙ. එහෙනම් දුක් විඳින්නෙ මං විතරනෙ. මං හිතන්නෙ නැතුව කල දේ හන්ද අන්තිමේ උඹත් දුක් විඳිනවා”
රමිත් කිව්වේ ඇත්තටමය.
එහෙත් මෙනුක සිතමින් උන්නේ වෙන දෙයකි. රමිත් කල දේ වරදක් බව සැබෑ ය. එහෙත් අරුණලීත් තමාත් අතර වූ ආදර සබඳතාවය අද ඊයෙක පටන් ගත්තක් නොවේ. ඒ වසර ගණනාවක් පැරණි පෙමක. නෑ හිතවතුන්ද පවුලේ සාමාජිකයන්ද දැන හුන් ප්‍රේමයකි. විවාහය දක්වා ඇදී ආ ප්‍රේමයකි. ඒ ප්‍රේම්‍ය අතර මගදී බිඳ වැටෙන්නට තමාගේ පැත්තෙන් වූ වරදක් හේතුව වුවත් අරුණලීට තමාට සමාව දෙන්නට තිබුනා නොවේද? මේ වරද අමතක කරන්නට තිබුනා නොවේද? තම සමග් බෙදාගත් ආදරය සහ කාලය සමග ගත් කල මේ වරද සුලු නොවෙද?
“උඹ අවුලෙන් ඉන්නෙ මං හින්ද කියල මම දන්නව. මගෙ හිතට වැඩියෙත්ම අමාරු ඒ හන්දා. උඹ මට සමාවක් දෙයි කියල මම හිතනවා”
රමිත්ගේ ජීවිතයේ බොහෝ පිරිමි මිතුරන් හිඳි බව සැබෑවකි. එයින් බොහෝ ඒවා ඉතාම කෙටිකාලීන සබඳතා විය. රමිත්ට ජීවිතයේ සැබෑවටම හදවතට දැනුන සබඳතාවය වූයෙ මෙනුක සමග තිබූ බැඳීමයි. ඒ ආදරය යැයි කියා විග්‍රහ කරන්නට ආසියාතික රටක ඉපිදුණ තරුණයකු වූ රමිත්ට නොහැකි වූයේ හිත ඇතුලෙන් ආදරය ඇති විය හැක්කේ විරුද්ධ ලිංගිකයන් අතර පමණකැයි සිතුවිල්ලක් තිබුණ බැවිනි. එහෙත් ආදරය යැයි රමිත් අකුරු කරන්නට අකමැති යම් බැඳීමක් තමා හා මෙනුක අතර වූ බව රමිත් පිළිගත්තේය. රාජකාරිය අවසන් වී දෙදෙනාම කැමති චිත්‍රපට බලන්නට යන්නත්, අවන්හල් වලින් කෑම කන්නත්, විවිධ දේ ගැන කතා බස් කරන්නටත්, ශරීරයෙන් එක් වෙන්නත් හේතුව වූයේ ඒ නමක් නොමැති බැඳීම බව රමිත් සිතුවේය.
“ඇයි බං අරුණලී මට එහෙම කලේ?” බීමත්ව හුන් මෙනුක තමන්ගේ උරහිසේ එල්ලී එහි වාරුවෙමින් අරුණලීගේ නම පවසද්දී රමිත්ට දැනුනේ දෙපා සිට ඉහලට ඇදී ආ ගින්නකින් තමා දැවෙන බවකි. රමිත් සහ මෙනුක පමණක් හුන් ලෝකයක අරුණලී ලංකාවේ රැඳී සිටියදී සැමදා රාත්‍රියේ මෙනුක ඇමතුවද රමිත්ට එදවස එහි වේදනාවක් දැනුනේ නැත. මොනවා නැතත් අවසානයේ මෙඋක ඔහු ලඟින්ම රැඳී සිටින තමාව තෝරගනු ඇතැයි සිතුවිල්ලක් හිතේ තිබුණ නිසාවෙනි. එහෙත් ඒ සියක්ක බිඳ වැටුනේ අරුණලී ලංකාවේ සිට වට්සැප් ඔස්සේ මෙනුකට බලන්නට විවාහ මංගල කාඩ් පත් එවූ දිනයේය.
ඒ රමිත් දකින්නට හෝ අසන්නට බලාපොරොත්තු වූ පණිවිඩයක් නොවේ.
“ඇයි වෙඩින් කාඩ් ඩිසයින්ස් එවල තියෙන්නෙ?” රමිත් කිසිම දිනක අරුණලීව නමින් හෝ වෙන් කර කතා බහ කරේ නැත. ඒ ඇයි කියා පැහැදිලි කරන්නට අමුතුවෙන් ඕන කමක් තිබුනේ නැත. තමා අරුණලීට වෛර කරන බවත්, තමාගෙන් රමිත්ව ඈත් කරන්නට ආ නපුරු බලවේගයක් ලෙසට හිතන බවත් රමිත් දැන උන්නේය.
“ඇයි උඹ එහෙම අහන්නෙ?”
“ඇයි ඒ වෙඩින් කාඩ් ඩිසයින් එවල තියෙන්නෙ කියල ඇහුවෙ”
“ඇයි මං උඹට කියල තිබ්බෙ අපි මේ ඉයර් එකේ මැරි කරන්න ඉන්නෙ කියල. ඒකට සිලෙක්ට් කරන්න එව්වෙ වෙඩින් කාඩ්”
“උඹ මැරි කරාම මට මොකද වෙන්නෙ?”
සියල්ල ඇරඹුණේ ඒ ප්‍රශ්නය සමගින් බව රමිත්ට අමතක නැත. බීමතින් උන් මෙනුක උන්නේ ගෙදර දිර හැරගන්නවත් බැරි තරම් අසිහිනියෙනි. රමිත් ලඟ තිබූ අමතර යතුර රමිත්ගෙන් ඉල්ලා ගන්නට මෙනුකට මතක් වූයේ නැත. එකාතකින් මෙනුකව වත්තම් අරගෙන රමිත් අනෙක් අතින් දොර හැරියේ ඒ යතුර භාවිතා කරය. නිවස තිබුනේ අඳුරකින් වටවීය. එයටත් එහා ගේ ඇතුලේ තිබුනේ පුදුමාකාර පුස් ගඳකි. ඒ වේදනාවට බර සිතකින් මෙනුක ගත කල පසුගිය කාලය ගැන කියන සුවඳක් මෙනි.
ඒ පුස් ගඳ නැතිනම් වේදනාබර මතකයන්වල සුවඳ රමිත්ගේ නැහැපුඩු කරා ගොස් හදවත පතුලේ පතිත වෙද්දී කිමල් උන්නේ ආදරයේ පලමු දියවරින් පපුවම අලුත් කරගනිමිනි.
එහෙත් ඒ ආදරය වදන් කරන්නට පෙර අරුණලී විසින් ඇගේ ගැඹුරු දෙනෙත් අස්සේ හංගාගෙන හිඳින කතාව, දුරකතනයට එන ඇතැම් ඇමතුම්වලට බියෙන් මෙන් පිලිතුරු දෙන්නටත් හේතුව සොයාගත යුතු බව කිමල් සිතුවේය.
එහෙත් ඒ ඇගෙන් හෝ කාර්‍යාලයේ ඇගේ මිතුරන්ගෙන් අසන්නට හැකි කාරණාවක් නොවේ. තමා විසින්ම ඇයට නොදැනෙන්නට සෙවිය යුතු කාරණාවකි.
කාර්‍යාලයේ වැඩ අරුණළීට විනෝදයක් වුවා යැයි කිවයුතුමය. අරුණලී උන්නේ සතුටෙනි. උදෑසන අවදි ව සුන්දරව හැඳ පැළඳ කාර්‍යාලයට විත් රාජකාරියේ නියැලෙන්නටත්, විවේක වෙලාවේදී මිතුරන් සමග එලියට යන්නටත්, හවසට සියල්ලන් සමග එක්ව ටින් කිරි තේ බොන්නට යාමත් අරුණලීගේ ජීවිතය ගිලි තිබූ අන්ධකාරයෙන් මදක් හෝ ගොඩගන්නට උපකාරයක් වී තිබුනි.
එදා හවස අරුණලීට වෙනදාට වඩා කාර්‍යාලයේ රැඳී ඉන්නට වූයේ හදිසියෙම අවසන් කරන්නට ආ නිසාවෙනි. ඒ කිමල්, අරුණලී සහ නිශාන් නම් තවත් තරුණයෙකු විසින් එක්ව අවසන් කරන්නට තිබූ කටයුත්තකි.
“දැන් මේකෙ කම්පිටිටර් ඇනලිසිස් එක සම්පූර්ණයෙන්ම අපි කරල ඉවර කරානෙ”
“ඔව්”
කිමල් සහ නිශාන් එක්ව වැඩ කරද්දී අරුණලී උන්නේ තමගේ ලැප්ටොප් පරිගණකය ඉදිරියේ වාඩි වී ප්‍රසන්ටේශන් එකේ අවසන් ස්ලයිඩ්ස් කිහිපය හදමිනි. මේ පිච් එකද කල යුත්තේ තම ය. ඉතින් එයට මැනවින් සූදානම් විය යුතු ය. හෙට දහවල් දොලහ වෙද්දී මෙයට අදාල සියලුම ක්‍රියේටිව්ස්ද සකසා අවසන් කරගත යුතු බැවින් අද රැයේ කෙසේ හෝ මේ පවර්පොයින්ට් ප්‍රසන්ටේශන් එක ලියා අවසන් කල යුතු වේ.
“අම්මෙ අද එන්න රෑ වෙනව මම ඔෆිස් එකේ හදිසි වැඩක් ආවා”
“කොහොමද පුතේ එන්නේ? මම තාත්තට එන්න කියන්නද?”
“එපා අම්මේ ඔෆිස් එකේ ට්‍රාන්ස්පෝට් දෙනව හත් පහු වෙලා ඉන්නවනම් ඔෆිස් එකේ. මට එන්න පුලුවන්”
“ගොඩක් රෑ නොවී එන්න ඒ උනාට හොඳේ. තව ගෑණු ළමයි ඉන්නව නේද?”
තමා අද එන්නට පමා වන බව කියා අරුණලී ගෙදරට පණිවිඩය දුන්නේ දැන් විනාඩි කිහිපයකට පෙරය. රාත්‍රී ආහාරයට ගෙදර යන්නට නොලැබෙන නිසාවෙන් කිමල් පිට්සා ඇණවුම් කර තිබුණි. එහෙත් අරුණලීට කන්නට පිරියක් නැත.
“අරුණලී ඔයාගෙ ස්ලයිඩ්ස් ඉවර කරන්න තව ගොඩක් වෙලා යනවද?”
කිමල් ඇසුවේ පිට්සා කැබලි කිහිපයක් සහිත පිඟානක් අරුණලීගේ මේසය මතින් ගෙන තබමින් කන්න යැයි ඇස්වලින් ඉඟි කරමිනි.
“නෑ, සර් තව පොඩ්ඩක්. හාෆ් ඇන්ඩ් අවර් වලින් වගේ ඉවර කරගන්න පුලුවන් වෙයි”
“එහෙනම් නිශාන් ට යන්න කිව්වට කමක් නැද්ද?” එයාගෙ අම්ම විතරයි ගෙදර ඉන්නෙ කියල යන අහනව. ඔයාට ඉන්න අමාරු නම් ගිහිල්ල හෙට උදේ ඇවිල්ල ඉතුරු ටික කම්ප්ලීට් කරන්න”
“සර් යනවද දැන්?”
“නැ ඔයා ඉන්නවනම් මට ඉන්න පුලුවන්. ඔයාගෙන් මම ඇහුවෙ ඒකයි”
“ඉවර කරල ගියොත් ලේසියි සර්. හෙට උදේ මට කාල්සන් එකේ ඩෙඩ්ලයින් එකකුත් තියෙනව.මේ පිච් එකට රෙඩි වෙන්නත් තියෙනවනෙ”
“නෝ වොරීස් මම එහෙනම් නිශාන්ට යන්න කියන්නම්.ඔයා වැඩේ ඉවර කරන්න. මම අර පැත්තට වෙලා ඉන්නම්. සපෝට් එකක් ඕන නම් කතා කරන්න”
කිමල් එතනින් ගිය පසු අරුණලී ආපසු දෙනෙත ලැප්ටොප් පරිගණකයටම රුවා ගත්තාය.මේ වැඩේ ඉක්මණින් ඉවර කරන්නට හැකි තරමටවඩා හොඳ ය. එතකොට හෙට උදේට බාගෙට නතර කල වැඩ වලින් දවස අරඹන්නට සිදුවෙන්නේ නැත.
එහෙත් ඒ සිතුවිල්ලට වැඩි වෙලාවක් සිතේ රැඳෙන්නට අවකාශ ලැබුනේ නැත. දුරකතනය නාද වෙද්දී අරුණලී සිතුවේ ඒ අම්මා වන්නට හැකි යයි කියාය. එහෙත් දුරකතනයේ සටහන් වී තිබුනේ ධන හයයි එක අංකයකි. ඒ ඔස්ට්‍රේලියාවට හිමි දුරකතන කේතය බවත් ඔස්ට්‍රේලියාවේ සිට තමා අමතන්නට හිඳින්නේ එකම එක අයෙකුත් පමණක් බව අරුණලී දනී.
“උඹ මං කියන දේට අකමැති නම් දැනගනින්, මං ලංකාවට එනව. මම ඇවිත් උඹටයි උඹේ මහ එවුන්ටයි හොඳ පාඩමක් උගන්නනවා. බැල්ලි උඹ මතක තියාගනිං, උඹට මාව අමතක කරල හොඳින් ඉන්න මම ඉඩක් දෙන්නෙ නෑ. මම වලට ගියත් උඹවත් කුදලගෙනමයි යන්නෙ”
මෙනුකගේ කට හඬ දුරකතනය ඔස්සේ ඇදී එනු පමණක් අරුණලීට මතකය.
කාර්‍යාලයෙ ඉදිරිපස පැත්තේ අසුනක වාඩිවී හුන් කිමල් වහා දුව ආවේ කුමක් හෝ මහ හඬින් බිඳෙනු ඇසුණ හඬටය.
“චර චර” හඬින් කිමල්.පැලඳ උන් දුඹුරු පැහැ කාර්‍යාල සපත්තුවට පෑගුණේ වීදුරු කටුය.