මගුලක් හරි මගුලක් වෙච්ච කතාවක් තමයි මේක!(Laapataa Ladies)

අලුතෙන්ම Netflix ආව ලස්සනම ලස්සන ඉන්දියන් චිත්‍රපටයක් ගැන තමයි මම අද කතාකරන්න යන්නෙ.මේ චිත්‍රපටය හරිම Classic කතාවක්. මේ ඊයෙ පෙරේද වගේ තමයි Netflix එකට ආවෙ. ලස්සන Storytelling එකක් විදියට මේ කතාව හඳුන්වන්න පුලුවන්.

චිත්‍රපටයෙ නම Laapataa Ladies. කතාව පටන් ගන්නෙ මෙන්න මේ විදියට.

දීපක් කියන්නෙ හරිම අවංක, ආදරණීය මනුස්සයෙක්. ඉන්දියාවෙ ගොඩක්වෙලාවට පිතෘ මූලික සමාජයක් ගම්මාන ආශ්‍රිතව දකින්න ලැබුනට, මේ දීපක්ගෙ ගෙදර නම් එහෙම නැති බවක් තමයි පෙන්වන්නෙ. චිත්‍රපටය ආරම්භයෙදිම අපිට පෙන්වන්නෙ දීපක් ඈත පලාතකින් කසාදයක් කරගෙන මනමාලිව තමන්ගෙ ගමට එක්කරගෙන යන දර්ශනේකින්. කොහොමහරි ඉන්දියාව කියන්නෙ ලොකු රටක්නෙ. ඉතින් ටිකක් දුර බයිසිකල්වල ඇවිත්, තව ටිකක් දුර බෝට්ටුවක ඇවිත් කොහෙද කැලෑවක් මැද්දෙ තැනකින් තමයි දීපක් එයාගෙ මනමාලි වෙච්ච පූල් එක්ක කෝච්චියට නගින්නෙ තමන්ගෙ ගමට යන්න.

කෝච්චිය පුරාම මනමාල ජෝඩු පිරිල. මොකෝ මේ හැමෝම බැඳල තියෙන්නෙ හොඳම හොඳ නැකැත් දවසක.

ඉන්දියාවෙ ඉතින් මනමාලියො දන්නවනෙ. හැමෝම අර එකම වගේ රතු සාරි ඇඳල මූන වහගෙනනෙ ඉන්නෙ සාරිපොටෙන්. සාරිය අස්සෙ ඉන්නෙ කවුද කියල ඇත්තටම හොයාගන්න බෑ.

ඉතින් මේ දීපක් පූල්ට හරි ආදරෙයි වගේම පූල් උනත් දීපක්ට හරිම ආදරෙන් තමයි ඉන්නෙ. ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශයක ජෝඩුවක් උනාට මේ දෙන්න අර සම්ප්‍රදායික නෑ.

මගුල් ගෙදර ඉවරවෙලා දීපක්ගෙ ගෙදර අය යනව තමන්ගෙ ගම්බිම්වලට. පූල්ව කැන්දගෙන දීපක් තමන්ගෙ ගමට යන්නෙ දවස් දෙකකට පස්සෙ. කෝච්චියෙ තමා යන්නෙ. අම්මල බලාගෙන ඉන්නෙ දීපක් පූල් එක්කරගෙන ගෙදර එනකම්.

කොහොමහරි කෝච්චියෙ පූල්ටයි දීපක්ටයි ඉඳගන්නෙ ලැබෙන්නෙ තව මනමාල ජෝඩු ගොඩක් ඉන්න තැනක. ඉතින් ටිකක් වෙලා වාඩිවෙලා යද්දි මහන්සියට දීපක්ට නින්ද යනව. හදිසියෙම දීපක් ඇහැරෙන්නෙ කෝච්චිය ගැස්සිල නතර කරද්දි.

මේ වෙද්දි මහ රෑ. කලුවරේ තමයි හැමදේම පේන්නෙ. ඉතින් ස්ටේශන් එකේ තිබ්බ ලයිට් එකෙන් දීපක් දකිනව මේ තමන් බහින්න ඕන ස්ටේශන් එක බව. ටක්ගාල ඉස්සරහ වාඩිවෙලා සාරියෙන් මූණ වහන් උන්නු පූල්ගෙ අතට තට්ටුවක් දාලා බහින්න කිව්ව දීපක් බඩු ටික පැක් කරගෙන කෝච්චියෙන් බහිනව.

පූල් බහිනව.

ඉතින් දෙන්න ඔන්න ස්ටේශන් එකේ ඉඳල පයින්ම තමා ගෙදරට යන්නෙ. ඉතින් ගෙදර යද්දි රෑ උනත් මොකෝ අම්මල තාත්තල ඇහැරන් ඉන්නව අලුත් ජෝඩුව පිලිගන්න. දීපක්ගෙ අම්ම තාලිය අරගෙන එනව අලුත් ජෝඩුවට පූජාව කරල පිලිගන්න. ඉතින් ඉස්සෙල්ලා චාරිත්‍ර අනුව දීපක්ට ආශීර්වාද කරන අම්මා පූල්ට කියනව “සාරි පොට අයින් කරන්න පුතේ ආශිර්වාද කරන්න” කියල

සාරි පොට අයින් කරයින් පස්සෙ තමා කට්ටියට තරු විසික් වෙන්නෙ.

පූල් කියල හිතාගෙන දීපක් කෝච්චියෙන් බස්සවගෙන ඇවිත් තියෙන්නෙ වෙන කවුද කෙල්ලෙක්. කෙල්ලෙක් නෙවෙයි වෙන කවුද මනමාලියෙක්.

කොහොමද වැඩේ?

“තමන්ගෙ ගෑණිව අඳුරගන්න බැරිඋනාද?” කියල තාත්තා බනිනව.

“මූණ වහන් ඉද්දි ගෑණි අඳුරගන්නෙ කොහොමද?” දීපක් අහනවා.

“ඔයාගෙ නම මොකද්ද?” අම්මා අර අලුත් කෙල්ලගෙන් අහනව.

“පුශ්පා රානි” කියල කෙල්ල උත්තර දෙනවා.

තාත්තා ආයෙ දීපක්ට බනිනව  “තමන් මේ දවස් දෙහෙකට කලින් බැන්ද ගෑණි නෙවෙයි තමන්ට එහා පැත්තෙන් ඇවිදන් එන්නෙ කියල තේරුනේ නැද්ද?”

“මූණ වහං ඉද්දි අඳුරන්නෙ කොහොමද?” දීපක් ආයෙ අහනව.

ඉන්පස්සෙ තාත්ත අර කෙල්ලගෙන් අහනව “ඔය ලමයටවත් තේරුනේ නැද්ද මේ තමන්ගෙ මනුස්සය නෙවෙයි බව?”

මේ කෙල්ල අර වෙන ගමේ කෙල්ලො වගේ කටවහං ඉන්නෙ නෑ. අනිත් පැත්තට උත්තර දෙනවා.

“කොහොමද දන්නෙ? මූන වහං ඉද්දි මෙලෝ දෙයක් පේන්නෙ නෑනෙ. සපත්තු විතරයි පේන්නෙ”

දීපක්ගෙ ආච්චි එතකොට කියනව “ළමයො තමන්ගෙ මනුස්සයගෙ සපත්තු අඳුරන්නෙ නැද්ද?” කියල

කෙල්ල එතකොට කියනවා “මනුස්සයත් අලුත්, සපත්තුත් අලුත්, කොහොමද අඳුරගන්නෙ?”

කට්ටියගෙ කට පොඩ්ඩක් වැහෙනව මේ කෙල්ල කතාකරන්න ගත්තම. මොකෝ ඉන්දියාවෙ ගම්වල මිනිස්සු එක්ක එහෙම අලුත බැඳපු කෙල්ලො හරි හරියට කතාකරන්නෙ නෑ.

ඉතින් ඔය ඒව මේව අස්සෙ දීපක් තමන්ගෙ යාලුවො එක්ක යනව පූල් ස්ටේශන් එකෙන් බැහැලද කියල බලල එන්න.

ඒ අස්සෙ තව මනමාල පවුලකටත් හරි ඇබැද්දියක් වෙලා, එයාලගෙ මනමාලිත් කෝච්චියෙන් බැහැල නෑ. ඒ මිනිස්සුත් පන දාගෙන මනමාලිව හොයනව. ඒ මනමාලිගෙ නම ජයා.

දැන් මේ බලන විදියට පූල්, ජයා සහ පුශ්පා රානි කියන මනමාලියො තුන් දෙනාම මාරුවෙලා.

හැබැයි හොඳම කතාව ඒක නෙවෙයි.

මාරුවෙච්ච මනමාලියො ගැන කියල පොලිසි වලට පැමිණිලි දෙකක් එනව. එකක් ජයා මනමාලි වෙනුවෙන්, අනික් එක පූල් මනමාලි වෙනුවෙන්.

හැබැයි පුශ්පා රානි මනමාලිව නම් කවුරුවත් හොයන පාටක් නෑ.

ඇයි ඒ?

පුශ්පාට මනමාලයෙක් නැද්ද?

ඒ ගැන දැනගන්න ඔන්න නිවාඩුපාඩුවෙ  Laapataa Ladies බලන්න ඕන!

මේවත් ජයසිරි මංගලම් කියල හිතෙන චිත්‍රපටයක් මේක!

Related Articles

Don't Miss


Latest Articles