සිරුරේ බර අඩු කර ගන්න පහසු සාර්ථක ක්‍රමයක්.

සිරුරේ බර අඩු කර ගැනීමට තිබෙන වඩාත් ප්‍රතිඵලදායී ම ක්‍රියාව ලෙස සැලකෙන්නේ ආහාර පාලනයයි. නමුත් සිරුරේ බර අඩු කර ගැනීම සඳහා ආහාර පාලනය කිරීම හැමවිටම පරාජය වෙන තරඟයක් වැනියි. මක් නිසාද යත් සෑම විට ම ඔබ අතින් එය මග හැරෙනවා. විද්‍යාඥයින් පවසන විදියට එලෙස ආහාර පාලනය කිරීමට උත්සහ කරන සෑම දස දෙනෙකුගෙන්ම අට දෙනෙකු ම එයින් අසාර්ථක වෙනවා.

සමහර අවස්ථාවලදී පුද්ගලයන් හොඳින් ආහාර පාලනය කිරීමට සමත් වූවත්, ඔවුන්ගේ ශරීරය පරිනාමිකව අමතර ශක්තිය ගබඩා කරගැනීමට උත්සහා කිරීම හේතුවෙන් හැමවිට ම ශරීරය සමග අපහසු අරගලයකට මුහුණදීමට සිදුවෙනවා. ඇත්ත වශයෙන් ම විද්‍යාඥයන් සොයාගෙන තිබෙන අන්දමට අධික තරබාරු පුද්ගලයන් ඔවුන්ගේ බර අඩු කිරීමට උත්සහ කිරීමේදි ශරීරයේ බර ක්‍රමයෙන් අඩු වී යන විට ඒ සමගම ඔවුන්ගේ ශරීර ව්‍යූහයන් තුළ සමතුලිතතාවය නැතිව යනවා. එය ඔවුන්ට බොහෝ අහිතකර ප්‍රථිපල ගෙන ආ හැකි අතර නිසි පරිදි නොවන ශරීර බර අඩු කිරීම පසුව බොහෝ ගැටලු ඇති කරනවා.

විශේෂඥයන් පවසන ආකාරයට අධික ලෙස ආහාර පාලනය හෝ දියරමය ආහාර ගැනීම සෞඛ්‍ය සම්පන්න ලෙස ශරීරයේ බර පාලනය කිරිමේ දීර්ඝ කාලීන සැලැස්මක් ලෙස අසාර්ථකයි.

ඒ වෙනුවට ඔවුන් සරල පිළිවෙත් කිහිපයක් දීර්ඝ කාලිනව අනුගමනය කිරීම සඳහා යෝජනා කරනවා. ඉතින් ඔබටත් සිරුරේ බර අඩු කර ගැනීමට අවශ්‍ය නම් මේ සරල පුරුදු ඔබේ දෛනික ජීවන රටාවට එක් කරගන්න කියල අපි ඔබට යෝජනා කරනව.

සජලනය වී සිටින්න

හැම විටම ජලය පානය කරන්න. ඔබ ජලය පානය කිරීමට අකමැති අයෙකුනම් එයට දෙහි යුෂ ස්වල්පයක් එකතු කරගැනීමෙන් ජලය පානය කිරීම පහසු වෙන්න පුලුවන්.

වෛද්‍යවරුන් පවසන ආකාරයට ඇතැම් පුද්ගලයන් තිබහ සහ බඩගින්න පටලවා ගනියි. බඩගිනි බව දැනුනත් බොහෝ වෙලාවට ඒ තිබිය හැක්කේ ශරීරයේ විජලන තත්වයක් බව ඔවුන් පවසයි. එවැනි අවස්ථාවක ඔවුන්ට අවශ්‍ය වන්නේ ජලය ස්වල්පයක් බවත් එයින් ඔවුන්ට සෑහීමකට පත් විය හැකි බවත් වෛද්‍යවරුන්ගේ නිරීක්ෂණයයි. 2016 දී පුද්ගලයන් 18000 ක් පමණ යොදාගෙන ඇමරිකාවේ කරන ලද පරීක්ෂණයකින් සනාථ වූයේ එදිනෙදා ජීවිතයේ වැඩිපුර ජලය පානය කරන පුද්ගලයන් ආහාර ගන්නේ අඩු ප්‍රමාණයක් බවත් අඩු කැලරි ප්‍රමාණයකින් ඔවුන්ගේ ශරීරය තෘප්තිමත් වන බවත්‍ ය. එමෙන්ම ඔවුන් කෘත්‍රිම ආහාර, සීනි, ලුණු, තෙල් වැනි දෑ ද අනෙකුත් විජලන ශරීර සහිත පුද්ගලයන්ට වඩා අඩු පරිමානයකින් පරිභෝජනය කිරීම එහි තවත් එක් නිරීක්ෂණයක්.

කෘත්‍රිම රසකාරක අඩංගු පානයන්ගෙන් වැළකෙන්න.

කෘත්‍රිම සීනි සහ රසකාරක මිනිසුන්ගේ තරුබාරුකම වර්ධනයට සහ දියවැඩියා තත්වයන් ඇතිවීමට සෘජු ලෙස බලපාන බව විද්‍යාඥයින් සොයාගෙන තිබෙනවා. මීයන් යොදාගෙන කරන ලද පරීක්ෂණයකින් ලද දත්ත අනුව සතුන්ගේ රුධිර නාල වල කෘත්‍රිම සීනි සහ කෘත්‍රිම රසකාරක ඉතා වෙනස් ලෙස ප්‍රතික්‍රියා කරන බව සොයාගන්නා ලදි. ඒවා ඉතාමත් අහිතකර ලෙස තරබාරුකම වැඩි කිරීමටත් දියවැඩියා තත්වයන් ඇති කිරීමටත් බලපානු ලබනවා. එබැවින් කෘත්‍රිම ආහාර සහ සීනී පරිභෝජනය කිරීමෙන් වැලකී සිටීම සෞඛ්‍ය සම්පන්න ශරීරයක් පවත්වාගෙන යාම සඳහා උපකාරි වෙනවා.

සුවදායි නින්දක් සිරුරට අත්‍යාවශ්‍යයි.

අප බොහෝ දෙනෙක් සම්පූර්ණ රාත්‍රියක් නොනිදා අපට එක ලෙසම ශරීරය ක්‍රියා කිරීමට හැකියි සිතනවා. නමුත් ස්නායු වෛද්‍යවරුන් පවසන පරිදි හරි නින්දක් නොලැබීම අපේ ශරීරය බොහෝ කරදරවලට පත් කරනවා. දුර්වල කරනවා. ඒ සමගම එය සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර ගැනීම සඳහා අපව පොළඹවන බවත් ඔවුන්ගේ අදහසයි.

2013 දී පළවූ පර්‍යේෂණ පත්‍රිකාවක සඳහන් වන පරිදි අඩු නින්දක් ලබන පුද්ගලයන් ප්‍රමාණවත් පරිදි නින්දක් ලබන පුද්ගලයන්ට වඩාහැමවිටම වැඩි කැලරි ප්‍රමාණයක ආහාර අනුභවයට ගනී. එයින් ඔවුන්ගේ ශරීර බර වර්ධනයට ලක් වෙනවා. ප්‍රමාණවත් නින්දක් ලැබීම සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් උදෙසා අත්‍යාවශ්‍යයි.

වෙලාවට ආහාර ගන්න.

මේ අවවාදය අපි හැමතිස්සෙම අසා තියනවා. නමුත් පර්‍යේෂණ විශාල ප්‍රමාණයකින් සනාථ වී තිබෙන පරිදි උදෑසන සහ දහවල් ආහාර ගැනීම තුලින් දවසේ අනිත් වෙලාවල් වල ඇතිවෙන අසාමාන්‍ය කුසගිනි තත්වයන් මඟහරවා ගන්න පුලුවනි. අපි හැමවිටම පුරුදු වී සිටින්නේ පහසු, නොසැලකිලිමත් සහ ඉක්මන් ආහාර ගැනීමේ රටාවකටයි. ඔබ තරුබාරු කමින් සහ වෙනත් රෝගවලින් පීඩා විඳින අයෙකු නම් ඒ ක්‍රමය ඔබට නොගැලපෙනවා පමණක් නොව එය ඔබව තවත් තරබාරු කරයි. එබැවින් දවසේ ප්‍රධාන ආහාර වේල් තුන හරියට වෙලාවට ගන්න. විශේෂයෙන් ම උදෑසන ආහාරය. එය ඉතා විශාල ආහාර ප්‍රමාණයක් විය යුතු නැහැ. කුඩා ආහාර ප්‍රමාණයක් වූවත් කාලය අරගෙන රසවිඳින ගමන් අනුභව කරන්න. එහි ප්‍රතිඵල කාලයත් සමග ඔබටම වැටහේවි.

උදෑසන ව්‍යායාම කරන්න.

අධ්‍යනයන්වලින් හෙළිවී තිබෙන අන්දමට ඔබ උදෑසන අහාර ගැනීමට පෙර ව්‍යායාම කිරීම මගින් ශරීරයේ තිබෙන මේදය වැඩි ප්‍රතිශතයකින් දහනය වනු ලැබෙයි. ඒ ඔබ ව්‍යායාම කරන විට මේදය ඔබේ ශරීරයට ශක්තිය සපයන ඉන්ධනයක් ලෙස ක්‍රියාත්මක වෙන නිසායි.

ව්‍යායාම කිරීම මගින් ඔබේ ශරීරයේ තරුබාරුකම නැති කරනවා පමණක් නොවේ. එය ඔබගේ මානසික සෞඛ්‍ය තත්ත්වය වර්ධනයටත් බොහෝ උපකාරී වෙනවා. එමෙන්ම ඔබේ හදවත , පෙනහළු වගේම මනසත් සෞඛ්‍ය සම්පන්න කරන අතර මහලු වීම වළකනවා.

ඔබ අධික තරුබාරු කමින් පීඩා විඳින අයෙක් නම් මේ ඉහත සඳහන් කරුණු ඔබේ ජීවිතයට එකතු කරගැනීම ඉතාම වැදගත් සහ ප්‍රථිපලදායි බව අපි යෝජනා කරනවා. එසේම ශරීරයට අනවශ්‍ය කරදර නොදී නොදැනී ම තමන්ගේ බර පාලනය වන අතරතුර ඉතාම සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතකට පුහුණු වීමටත් මෙම කරුණු ඔබට උපකාර වෙනවා.

Related Articles

Don't Miss


Latest Articles