“ඒ දෙන්න මාර පර්ෆෙක්ට් කපල් එකක්. මම හිතුවෙ අපිටත් එහෙම වෙන්න පුලුවන් වෙයි කියල”
මේ වගේ සිතුවිලි, කතාබහ අද සමාජයේ දුලබ නෑ. තරුණ ප්‍රජාව ඉක්මනින් විවාහ වලට එළඹෙනව. ආදරය හෝ විවාහ යෝජනා හේතු කරගෙන. ඒ තරම්ම ඉක්මනින් වෙන් වෙන්නත් පෙළඹෙනව.
“අපේ කාලෙ නම් ඔහොම නෑ” කියල අම්මල අත්තම්මල කිව්වට කාලෙ වෙනස්, මිනිස්සු වෙනස්, සිතුවිලි වෙනස්. හැබැයි විවාහයක පදනම, විවාහයකදි එකිනෙකාගෙන් වෙන්න ඕන යුතුකම් කාලෙන් කාලෙට වෙනස් වෙනවද එහෙම නැත්තම් හැමදාමත් නියතයක් විදියට පවතිනවද?
මේ ගැන ලස්සන අර්තකතනයක් සමාජයට ලැබුන පසුගිය දිනකදි India Today Conclave 2024 වැඩසටහනේදි. මේ වැඩසටහනට සහභාගි වුණා ඉන්දියාවෙ හිඳින කිර්තිමත් කතුවරියක්, Infosys පදනමේ සභාපතිනිය සහ දානපතිනියක් වන සුදා මූර්ති මහත්මිය.
ඔයාල දන්නවනේද එංගලන්තයේ අගමැති තනතුර දරන්නෙ ඉන්දියානුවෙන් වන රිශී සුනක් කියලා? අන්න එතුමගෙ නැන්දණිය තමයි සුදා මූර්ති මහත්මිය.
මේ වැඩසටහනේදි මෙතුමිය අලුතෙන් විවාපත්වන ජෝඩුවලට තමන්ගෙ වගකීම් සහ යුතුකම් ගැන හරිම ලස්සන උපදෙස් මාලාවක් දෙනවා.රැකියාව සහ ජීවිතය සමතුලිත කරගැනීම ගැන, වගේම ශක්තිමත්ව පවුලට සම්බන්ධ සියලුම දෙනා සමග යහපත් සබඳතාවයක් පවත්වාගෙන යන ආකාරය ගැන මේ කතාබහේදි අදහස් ඉදිරිපත් කරන්න සුදා මූර්ති මහත්මිය කටයුතු කරා.
“මේ ලෝකෙ පරිපූර්ණ, සර්ව සම්පූර්න ජෝඩු නෑ. හැම බැඳීමක්ම ඇතිවෙන්නෙ ගොඩනැගෙන්නෙ ඒ බැඳීමට ආවේණික, ඒ බැඳීම පවත්වාගෙන යන පාර්ශ්වවලට ආවේණික හොඳ සහ නරක, ශක්තීන් සහ දුර්වලතා එක්ක.ජීවිතේ පුරාවට අපි කරන්නෙ ගනුදෙනුවක්නෙ. අපි ආදරය, කැපවීම, රැකවරණය ලබා දෙන තරමට තමයි අපිට පෙරලා ඒ දේවල් ලැබෙන්නෙ.
මගේ හොඳ වගේම අඩුපාඩු තියෙනව, ඒ වගේම තමයි එයාගෙත් හොඳ වගේම අඩුපාඩු තියෙනව”
මේ කතාව මොනතරම් ඇත්තද කියල හිතල බලන්න අපේම සබඳතා, එහෙම නැතිනම් අපි දැකල තියෙන යහපත් සබඳතා සැලකිල්ලට අරගෙන. අපේ අම්මල තාත්තල තමන්ගෙ විවාහ ජීවිතයන් හොඳට ගෙව්ව. හැබැයි ඒ ජීවිතේ ඇතුලෙ තිබුනෙ එක්තරා විදියක ආදරණීය ගනුදෙනුවක්. ආදරේ විතරක් නෙවෙයි රැකවරණය, උදව්ව, කැපවීම අවශ්‍ය තැනකදි ලබා දෙන සබඳතාවයක් පවත්වාගෙන යන එක හරි පහසුවක්.
හැබැයි ඒ තැනට එන්න කල කැපවීම, මහන්සිය එතරම්ම පහසු නෑ.
“එයයි මමයි දෙන්න සෑහෙන වෙනස්. අපි බැන්දට පස්සෙ තමා ඒක තේරුනේ. මගෙ විදියට ජීවත් වෙන්න එයා කැමති නෑ” වගේ දේවල් විවාහයන් ඇතුලෙ ලොකු ප්‍රශ්න කරගෙන අපි හරියට දුක් විඳිනව. එහෙමත් නැතිනම් ආදරයෙන් ගොඩනගා ගත්ත සබඳතාවලට තිත තියනව.
ඒත් විවාහයක් කියන්නෙ එයාගෙ විදියට මමවත් මගේ විදියට එයාවත් ජීවත් වෙන්න ඕන, කාලසටහන් ගත කරල ගෙවන්න පුලුවන් ජීවිතයක් නොවෙයි. ආදරය හේතුකරගෙන ඇතිවන බැඳීමකදි එකතුවෙනෙ එකිනෙකට වෙනස් දෙන්නෙක් වෙන්න පුලුවන්. ආදරේ නිසාම අපි කරන්න ඕන ඒ වෙනස්කම් පිලිගන්න එක. එයාගෙ වැරදි අඩුපාඩු තියෙනව. අපි සමහරවෙලාවට එයාගෙ වැරදි අඩුපාඩු ඇඟිල්ල දික් කරල පෙන්නන්න පුලුවන්.
හැබැයි අපි කිසිම වරදක් නැති සම්පුර්ණ,පරිපූර්ණ කෙනෙක් වෙන්නත් බෑ නේද? එකම වෙනස මම එයාගෙ වැරදි නිසා එයාගෙන් වෙන් වෙන්න හේතු හදනකොට එයා මගෙ අඩුපාඩු පිලිඅරගෙන මාත් එක්ක ආදරයෙන් ඉන්න හේතු හොයනව වෙන එක වෙන්න පුලුවන්.
“අපි විවාහ උනාම අපි සටන් කරන්න බැඳිල ඉන්නව. මේක සටනක්.කෙනෙක්ට තරහ ගිහින් ඉන්නකොට, අනික් කෙනා කරන්න ඕන ඒ ඇවිලෙන ගින්නට පිදුරු දාන එක නෙවෙයි එයාට සිසිල් වෙන්න, නිවෙන්න ඉඩ දෙන එක”
කොච්චර ඇත්ත කතාවක් නේද? ඒ වගේම ඇත්තටම විවාහයක් ඇතුලෙ සතුට රැඳෙන්න හේතුවෙන කාරණාවක් නේද?
සමහර ජෝඩු ඉන්නව ආදරයෙන් බැඳුනට, ආදරය හේතු කරගෙන විවාහ උනාට සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස්. හැබැයි ඒ වෙනස කිසිසේත්ම වෙන්වෙන්න හේතුවක් විය යුතු නෑ වගේම එහෙම කරගන්නත් එපා. අපි එයාව ආදරයෙන් පිලිගන්නවනම් එයාගෙ හොඳ වගේම දුර්වලතාත් ආදරයෙන් පිලිගන්න ඕන. ඕනම කෙනෙකුගෙ අඩුපාඩු තියෙනව. අඩුපාඩු නැති කෙනෙක්ව මේලෝකෙන් හොයාගන්න එක කිසිකෙනෙක් මැරුණ නැති ගෙදරකින් අබ මිටක් හොයාගන්නවටත් වඩා අපහසු වෙන්න පුලුවන්.
එයා තරහ ගන්න කෙනෙක්, ඉක්මනට කලබල වෙන මනුස්සයෙක් වෙන්න පුලුවන්. ඒක දුර්වලතාවයක් බව දැනගෙන එයා ඒක වෙනස් කරන්න උත්සහ කරනව වෙන්න පුලුවන්. ඉතින් ආදරේ නම් කරන්න ඕන එයාට වෙනස් වෙන්න උදව් කරන එක. එයාට තරහ ගියාම රණ්ඩුවෙනවට, බැනගන්නවට වඩා ප්රශ්නය ලස්සනට විසඳගන්න පුලුවන් වෙයි ඔයා සංසුන්ව හිටියොත්, කලබල නොවී හිටියොත්.
සුදා මූර්ති මහත්මිය කියන විදියට මේ තමයි යහපත් සබඳතාවයක් පවත්වාගෙන යන්න පුලුවන් ධර්මතාවය.
ඒ විතරක් නෙවෙයි මේ කතාබහෙදි විවාහක ජෝඩුවක් මේ විවාහය ඇතුලෙ කරන්න ඕන වැඩකොටස ගැනත් සුදා මූර්ති මහත්මිය ලස්සන අදහසක් ඉදිරිපත් කරනව.
“මේ යුගයේ ඉන්න හැම පිරිමියෙක්ම තමන්ගෙ බිරිඳට මුලුතැන්ගෙයි වැඩවලට උදව් වෙන්න ඕන. ඒක හරිම වැදගත්”
අපේ අත්තම්මලගෙ කාලේ සීයල රස්සාවලට ගියා අත්තම්මල ගෙදරට වෙලා දරුවො, ගෙදොර බලා ගත්තා.හැබැයි දැන් කාලෙ වෙනස්නෙ. ගෙදර බිරිඳ සහ සැමිය දෙන්නම වැඩට යනව. ගෙදර වියදමට හවුල් වෙනව. ඉතින් ගෙදර උයන පිහන වැඩවලට සැමියාගෙ දායකත්වයක් ලැබීමත් ඇත්තටම වැදගත් කියන කතාව සුදා මූර්ති මේ කතාබහේදි ඉස්මතු කරල පෙන්වනවා.
කෙනෙක්ට හිතෙන්න පුලුවන් “මේව ඉතින් කියන්න ලේසියි කරන්න ගියාමනෙ අමාරුව තේරෙන්නෙ” කියල.
හැබැයි අන්‍යෝන්‍ය අවබෝධය, Effective Communication, විවාහයේ බර බෙදාගන්න තියෙන කැමැත්ත වගේම වගකීම් දැරීමේ හැකියාව කියන දේවල් යහපත් සබඳතාවයක්, විවාහයක් ගොඩනැගෙන්න ගොඩක් ඉවහල් වෙනවා.
“රස්සාවට ගිහින් ඇවිත් උයන්න. ඔෆිස් එකේ මොන වැඩ තිබ්බත් ඇවිත් උයන්න කියන කතා අද කාලෙට ගැලපෙන්නෙ නෑ. එයාට වැඩ බහුල දවසට සැමියට පුලුවන් උයන පිහන වැඩවලට උදව් වෙන්න. ඒක තමයි වෙන්න ඕන දේ. ඔයාලා දෙන්නටම බලාපොරොත්තු තියෙනව. හැබැයි ඒ බලාපොරොත්තු වලට යන්න, ඔයාලා දෙන්නම මහන්සි වෙන්න ඕන”
ඉතින් අමතක කරන්න එපා,
මේ බැඳීම ඔයාලා දෙන්නගෙම. ඒ බැඳීම හයිය කරගන්නත්, අත නොහැර අල්ලගෙන ඉන්නත්, බලාපොරොත්තු වලට එකට යන්නත් ඔයාලා දෙන්නගෙම ආදරය, රැකවරණය, කැපවීම සහ මහන්සිය උවමනයි!
එහෙම බැඳීම් තමයි වඩා වටින්නෙ!