“මහත්තයො… මං ආරියවතී නෙමෙයි… ඔය එක එක සෙප්පඩ විජ්ජාකාරයෝ ගැන හොයන වෙලේ මගේ ජීවිත කතාව ලියන්න පුළුවන් ඔහෙලට..
මං සෞම්‍ය මූර්ති..මගේ ගම වැල්වටිතුරේ..යාපනේ..ප්‍රභාකරන් ස්වාමිගේ ගමේ… අපේ අම්මා කෝවිලේ නාගකන්‍යාවක්.. දෙයියන්ට කැප වෙච්ච නාගකන්‍යාවක්..මාව හම්බ උනෙත් දෙයියන්ගෙන් කියලා තමයි ඒ දවස්වල කිව්වේ..මොන බොරුද මහත්තයො ..
කෝවිලේ පූසාරියා මගේ තාත්තා බව මුළු වැල්වැටිතුරේ ගමම දන්නවා. උන් දෙන්නට කරන්න ඕනේ සාපේ දෙයියො කළේ මට.. මම ගෑනියෙකුත් නෙමෙයි පිරිමියෙකුත් නෙමෙයි…මම දන්න දා ඉඳලා මට හම්බවුණේ මිනිස්සුන්ගේ හිනාව විතරයි.මං ඉස්කෝලේ ගියේ පහේ පන්තියට විතරයි.
මට අහවල් එකක් නෑයි කියලා උන් හැමදාම මට විහිළු කරනවා. සාම්මිල්ගෙ ඔලුවට කළු ගලකින් ගහලා ඌව තිරික්කලේ අල්ලුව ගාව මරලා දාලා මං පිස්සෙක් වගේ හැතැක්ම ගානක් දුවගෙන ගියා.
දුම් කළ පටවන්න ආපු ලොරියක පිටිපස්සෙ හැංගිලා අනුරාධපුරේට එනකන් මං ආවා.එතන ඉඳන් කැකිරි පටෝපු ලොරියක නැගලා දඹුල්ලට එනකන් ආවා.එතනින් ආපහු එළවළු පටවපු ලොරියක කොළඹ මැණින් මාකට් එකට ආවා. වලානේ වසනතා අක්කා තමයි මට කන්න බොන්න දුන්නේ.මම තමයි එදා ඒ ගෑණිගෙ බන්ඩක්කා ගෝනි තුනම කර ගහගෙන ගෙනිහින් දුන්නේ.වසන්තා අක්කා මාව එයාගේ ගෙදර අරගෙන ගියා.මාව ඉස්කෝලේ ඇරියා.
වසන්තා අක්කාගේ රස්සාව තමයි එළවළු විකිනිල්ල… ඊට අමතරව ගමේ හදිබ්බාගේ ගෑණුන්ට ළමයි හම්බවෙන්න අමාරු උනහම උන්දැ තමයි වින්නබු වැඩේ කරන්න ගියේ.. උන්ද තමයි මට ආරියවතී කියලා නම දැම්මේ.. උන්දැගේ පඩංගු ගවුම් දෙක තුනක් තමයි මං ඊට පස්සේ ඇන්දේ..එව්වලට බොරු නූල් ඇදලා මයෙ ඇගේ ගානට මං හදාගත්තා. වින්නබු කං කරන්න යනකොට පිරිමි සනුහරෙ වද්ද ගන්නේ නැති හින්දා දෙකට දෙවාරනේ නැති මට ගෑනු ඇඳුම් අන්දලා ඉස්තීර බේදයක් අරන් දුන්නේ උන්දැ තමයි..දෑතේ රස්සාවකට කියලා දෙයක් මං එතනින් තමයි ඉගෙන ගත්තේ.. ගෑනු ඇඳුම් ඇඳ ගත්තාට මගේ ශරීරය පිරිමි ශරීරයක්.ඒක හරියටම දැනගෙන හිටියේ මමයි වසන්තා අක්කා යි විතරයි.
වින්නඹු කමේ අත් උදව්වට ගියාම තමයි මට තේරුනේ සියයට සීයක්ම ගෑනියෙක් නොවීමේ වාසිය කොයිතරම්ද කියල..ඒ අම්මලා විඳපු වේදනාව දැක්කහම මට මගේ දේවදාසි අම්මව මතක් වුණා. ඒ දවස්වල ගමේ මිනිස්සු කියන කතාවක් තමයි අපේ අම්මා කපුවත් එක්ක සැට් වෙනකොට අම්මගේ හැට්ටේ එල්ලුවේ ගණ දෙයියන්ගේ මූණ වැහෙන්නලු..ඒක ලු මාව හම්බවෙන්න ආවෙ.අම්මට දඩුවමක් හැටියට…එහෙම එවුන්ගෙන් එතකොට මං ඒ දවස්වල ඇහුවා එතකොට කපුවට දඬුවමක් නැද්ද කියල…”
අන්දෝ සංසාරයක් නැතුව බහුභූත කියවගෙන යන මේ මනුස්සයා ගැන මට බය හිතුනා.දැන් නං ගානට වැදිලා කියලා මටයි රාජටයි දෙන්නටම තේරුනා..
“ඉතින් ආරි… ඊටපස්සෙ…”
දවසක් වසන්ත අක්කා ගෙදර තිබිච්ච එළවළු කඩාගෙන මැණිං මාකට් එකට පටවන ලොරිය ගාවට යනකොට එහා පැත්තෙන් ආපු වෑන් එකක වැදිලා එතනම නැතිවුණා.ජීවිතය හරි පුදුමයි මහත්තයෝ.එතකොට මට හරියටම වයස අවුරුදු දාසයයි.. වසන්ත අක්කගෙන් පස්සේ මාව ආරක්සා කරන්න කිසි කෙනෙක් නැතුව ගියා.
ගමේ උන් සේරම හිතාගෙන හිටියේ මම ගෑනියෙක් කියලා.වසන්ත අක්කගේ හත් දවසේ දානෙන් පස්සේ මම තනිවුනේ නෑ.හැම තිස්සේම මොකෙක් හරි එකෙක් ගේ වටේ කැරකෙන්න පටන් ගත්තා.
එක දවසක් මහ රෑක මම හිටපු ටකරන් පැලේ දොර කඩාගෙන අලුගුත්තේරුවෙක් ඇතුලට පැන්නා. ඇහිපිල්ලමක්වත් ගහන්න නැති වේගයෙන් ඌ මම ඇඳගෙන හිටපු හැට්ටේ ඉරලා දැම්මා.ඊට පස්සේ මම ඇඳගෙන හිටපු සාය අතින් ඇදලා බිමට දැම්මා. මහත්තැන්නට හිතාගන්න පුළුවන්ද ඊළඟට වෙච්ච දේ…”
ආරි එහෙම අහනකොට අපි දෙන්නා ආරි දිහා බලාගෙන හිටියේ චිත්‍රපටියක් බලනවා වගේ. ආරියාගේ කතාව ඔහේ කියාගෙන ගියේ හරියට ලස්සන චිත්‍රපටියක් එකින් එක එකින් එක රූප දිග අරිනවා වගේ.
“හිතාගන්න පුළුවන්ද ඊළඟට වෙච්චි දේ…”
ආයිත් පාරක් ඒ දේම අහපු ආරි මහා සද්දෙන් හකහක ගාලා ගොරෑඩි විදිහට හිනාවෙන්න පටන් ගත්තා.
“ඌ…ඌ…. එතකොට තමයි හරියටම දැක්කේ මම කවුද කියල…ඌ හූ තියලා කෑ ගහන්න පටන් ගත්තා. මට ඒ වෙලාවේ ආවේ යක්ෂ තරහක්…මම හැබෑවටම ගෑනියෙක් වෙලා හිටියනම් ඌ ඔය ටකරන් පලු හතර අස්සේ මාව නැත්තටම නැති කරලා දානවා.මම පිරිමියෙක් කියලා දැනගෙනත් දැන් ඌ කරන්න යන්නෙත් ඒකම තමයි.ඌට ඕනෙ වුනා මේ ඕපදූපෙ හතර වටේ ඉන්න හැමෝටම දැනුම් දෙන්න. එතකොට අනික් මිනිස්සුන්ට වුවමනා වෙන්නේ ඌ ගෙට පැන්නේ ඇයි කියන එක දැනගන්න නෙමෙයි. ඌ මගේ ඇඳුම් ඉරුවෙ ඇයි කියන එක දැනගන්න නෙමෙයි…ඒ වෙලාවේ මගේ අතට අහු උනේ වතුර බීලා මේසේ උඩින් තියලා තිබිච්ච වීදුරුව..දෙපාරක් හිතන්නෙ නැතුව මම ඒක මේසෙ ගහල කෑල්ලක් කඩලා උගේ බඩ කපල කපල දැම්මා. මගේ ඇඳුම් ඉරලා හූ තියන්ඩ ඌට ගියේ තප්පර පහයි නං වීදුරුව කඩලා උගේ බඩ කපන්න මට ගියේ තත්පරයයි…
ඌ මැරුණද නැද්ද කියන්න මම දන්නේ නෑ..මම පිස්සෙක් වගේ මුහුදු වෙරළ දිගේ දිව්වා.. දිව්වා දිව්වා… මං දන්නෑ කොච්චර දුරක් මම දිව්වද කියලා..අන්තිමේදි මහ රෑ මොරටුව හරියෙදි මම පාර පනින්න යනකොට කාගේදෝ වාහනයකට හැප්පුනා.මට සිහිය එනකොට මම හිටියේ කාමරයක් ඇතුලේ.ඉස්පිරිතාලෙක නෙමෙයි කාගේ හරි ගෙදරක කාමරයක් ඇතුලේ..ඒ වෙන කවුරුත් නෙමෙයි වෙත්තමුනි මහත්තයාගේ ගබඩාකාමරේ…ගෙට පැන්න එකාට වීදුරු කටුවෙන් ඇනලා මුහුදු වෙරළ දිගේ දුවගෙන යනකොට මගේ ඇඟේ නූල් පොටක්වත් තිබුණෙ නෑ. වැල්ලෙ ගෑනියෙක්ගේ රෙදි වැලක තිබිච්ච සාරි හැට්ටෙකුයි සාරියකුයි පටලගෙන තමයි මම ඒ රෑ ඊට පස්සේ හිටියේ..වෙත්තමුනි මහත්තයා හිතල තියෙන්නෙත් මම ගෑනියෙක් කියලා..මාව හැප්පිච්ච වෙලේ එයා තමයි දාගෙන ගෙනල්ල තියෙන්නේ.ඉස්පිරිතාලෙකට නොගිහින් වෙත්තමුනි මහත්තයා මාව ගෙදර අරගෙන ආවෙ ඇයි කියන්නේ මම අදටත් දන්නේ නෑ. සමහර විට මැරුණොත් හොර රහසම වල දාන්නම් කියලා හිතලා වෙන්න ඇති…
හිතපු තරම් අමාරුවක් නැහැයි කියලා තේරුනාම වෙත්තමුනි මහත්තයා මගේ විස්තර ඇහුවා. මං සම්පූර්ණ ඇත්ත කතාවම වෙත්තමුනි මහත්තයාට කිව්වා.එයා තමයි ඊට පස්සේ සිරිසහන කියලා ආයතනයක් තියෙනවා..ඒකෙ වැඩ කරමු කියලා මාව එක්කගෙන අනුරාධපුරයට එනකන් ආවේ.මට දැන් වයස අවුරුදු හැටක්.. ඔය සිද්ධිය වෙනකොට මට වයස අවුරුදු දාසයයි.. එතකොට වෙත්තමුනි මහත්තයා ත් ගැටයා කාලේ…එදා ඉඳන් මේ වෙනකන් මං ඒ ආයතනයේ වැඩ කරනවා. මමයි යසපාල කියන අපේ ඩ්‍රයිවරුයි විතරයි මේ ආයතනයේ වැඩ කරන්නේ.වෙත්තමුනි මහත්තයා මේකට කොහොම සම්බන්ධ වෙනවද කියන්න මම ඇත්තටම දන්නෙ නෑ.. මේක එච්චර හොඳ ආයතනයක් නෙමෙයි මහත්තයෝ.අපි කවදාවත් ඇස් දෙකට දැකලා නැති ලොකු ලොකු ව්‍යාපාරිකයින්ගේ එක එක අසහන පිරිමහන්න ගෑණු හොයලා දෙන එක තමයි අපි කරන්නේ.ඒ ගෑනුත් නිකං ගෑනු නෙමෙයි.ළමයා වදන්න ඔන්න මෙන්න ළං වෙච්ච බඩ දරු අම්මණ්ඩිල..”
“මො..ක..ක්..”
කියලා .. රාජරත්නම් ඇහුවේ ආරිගෙ විශ්වාසය හොඳටම දිනාගන්න අදහසින් කියලා මට තේරුනා ..
“මගෙ අම්මේ… ඒ මොකක්ද ඒ…”
කියලා මමත් ඇහුවෙ අපි කිසි දෙයක් දන්නෙ නැති බව ආරිට අඟවන්න…
“එතකොට ආරි අක්කට අයිති වෙලා තිබුණේ බඩ දරු ගෑනුන්ව හොයලා දෙන එක විතරද..”
“මොන පිස්සුද මහත්තයෝ..ගෑණු හොයන වැඩේ කළේ අපේ ඩයිවර්..
ඒ ගෑණු අර මිනිස්සු ගාවට ගිහුං ඉවර වුණාට පස්සේ තමයි මගේ වැඩේ පටන් ගන්නේ .. “
“ඒ කිව්වේ …”
“ඒ වැඩේ ඉවර කරලා එළියට එන හැම ගෑනියෙක්ම ගෙනල්ල දාන්නේ අපේ ගෙදරට..සිරිසහන කියලා ආයතනයක් නෑ මහත්තයෝ..මේ කට්ට කබල් බංගලාව තමයි සිරිසහනේ..”
කියපු ආරි අක්කා හක හක ගාලා හිනා වෙන්න පටන් ගත්තා.
“ඒ මොකද ආරි අක්කලාගේ ගෙදරට අරගෙන එන්නෙ. “
එතකොට ආරි අක්කා තවත් හයියෙන් හිනා වෙන්න පටන් ගත්තා..
“මහත්තයලා හිතන්න එපා මම මේ විස්තර කියන්නේ අරක්කු බෝතලේට මත්වෙලා කියලා..අරක්කු බෝතල් දහයක් බිවුවත් වෙරි වෙන ගෑනියෙක් නෙමෙයි මම..වෙත්තමුනි මහත්තයාව මට ඊයේ හම්බවුණා.එයා තමයි කිව්වේ අද මහත්තයලා දෙන්නෙක් රෑ වෙලා එයි.. ඒගොල්ලන්ට මම දන්න කියන හැම විස්තරයක්ම කියන්න කියලා..අන්න.. අන්න ඒකයි මේවා සේරම මම කියන්නේ… හ..රී…”