ආරි අක්කා පිස්සු හැදිලා වගේ හිනාවෙන විදිහ අපි දෙන්නම බලාගෙන හිටියේ හිත යටින් ඇත්තටම බය වෙලා.ඒ අව් අස්සේ මම ඉක්මනටම වෙලාව බැලුවේ මට බය හිතුනා රෑ එකොළහ මාරට ළංවෙලා නං අර දෙන්නා අතන ඉඳගෙන පොලිසියට කතා කරයි කියල.
“ගෑණු කාමර ඇතුලට අරගෙන මොන නෙයියාඩ ගමක් නටනවද කියලා කවුද දන්නේ මහත්තයො ..
එළියට එන හැම ගෑනිම කියන්නේ උන්ගේ ඇගට ඒ මිනිහා අතවත් තිබ්බේ නෑ කියලයි..මොන බොරුද..උන්ව මත් වෙන්න මොනවා හරි දීලා කරන්න තියෙන හැම බලු වැඩේම ඒ ගෑනිට කරලා වෙන්න ඇති එළියට එවන්නෙ..
නැත්නම් මහත්තයෝ උන් එළියට ඇවිල්ලා පැයක් යන්න ඉස්සරවෙලා ළමයා හම්බවෙන්න අමාරු වෙයි ඈ…”
“ඒ කියන්නේ ඒ මනුස්සයට ගෑනු ගෙනිහිල්ල දෙන්නේ කොහාටද ඕගොල්ලෝ..”
“මේ අවට තියන සාමාන්‍ය හෝටල් කාමරවලට තමයි ඒ මනුස්සයා එන්නේ. එක මනුස්සයෙක්ද කීපදෙනෙක්ද කියන්න අපි දන්නේ නැහැ.අපේ ඩයිවර්ට කෝල් එක ආවහම අපි ලෑස්ති කරගෙන ඉන්න ගෑනු කෙනාව එතනට ගෙනිහින් දානවා.ආපහු පැය තුන හතරකින් අපේ වාහනය එතන නවත්තගෙන ඉන්නවා.ඒ ගෑනු කෙනා එළියට ආපු ගමන් අපේ වාහනය නග්ගගෙන මෙතනට ගේනවා.සමහර ගෑනුන්ට මෙතනට ගේනකොටත් ළමයා හම්බවෙන්න අමාරු වෙලා ඉවරයි.”
“ඉතින් ඊට පස්සේ …”
“ඊට පස්සේ ඉතින් මොනා කරන්නද ළමයා මේක ඇතුලේ හම්බවෙනවා..”
“එතකොට ඒ ලමයි ?”
මම එහෙම ඇහුවහම භූමිතෙල් ලාම්පුවේ එළියෙන් ආරි අක්කගෙ ඇස් දෙක දිලිසෙනවා දැක්කා…
“ළමයි!
මොන ළමයිද..”
එහෙම කියපු ආරි අක්කා ආපහු සැරයක් එයාගේ ගොරෑඩි කටහඬින් හිනාවෙන්න පටන් ගත්තා.
“උන්ට ළමයි හම්බවෙන්නේ නෑ මහත්තයෝ..උන් දාහක් විලි රුදාව විඳලා එළියට එවන්නේ වේලිච්ච දුංකල නැට්ටක්…”
“මො.ක..ක්..?”
“ඔව් මහත්තයෝ … උන්ගේ බඩවල් වල ළමයි නෑ..හිටපු ළමයින්ට මොනා වෙනවද කියන්න දෙයියො තමයි දන්නේ… එළියට එන්නේ මැස්සෝ බීල ඉවර වෙච්ච පාන්කඩ කෑල්ලක් විතරයි…”
“එහෙම කොහොමද වෙන්නේ?..ඒක හරි පුදුම කතාවක් නේ..එතකොට ඒ අම්මලා ඒ ගැන අහන්නේ නැද්ද …”
“දරු කැක්කුමක් තියෙන අම්මන්ඩිලව මේ වැඩේට අපි ගන්නේ නෑ මහත්තයෝ.. කුසේ ඉන්න දරුවා එළියට ආපු ගමන්ම දාලා යන විදිහ කල්පනා කර කර ඉන්න ගෑනුන්ව තමයි අපි මේ වැඩේට අරගන්නේ…අපි නොදන්නවා උනාට කොච්චර ඉන්නවද ඒ වගේ ගෑණු ..හරි හමන් මිනිහෙක් නැතිව …
ඉන්න හිටින්න තැනක් නැතුව… පාරවල් දිගේ ඇවිදින ගෑනු වගේම හරි හමන් මිනිහෙක් හිටියත් කන්න බොන්න දෙන්න විදිහක් නැතුව ඉන්න ගෑනු වගේම අවලමේ ගිහිල්ලා ළමයි හම්බවෙන්න එන ගෑනුත් කොච්චර ඉන්නවද…අනික මේ හරියෙන් උඩ හරියට යනකොට කොයිතරම් අසරණ පවුල්ද තියෙන්නේ?…
මං හිතන්නේ ඔය එක්ක එන ගෑනියෙකුට බර ගානක් ඔය බිස්නස් කාරයෝ ගෙවනවා.. ළමයා බඩට ආපු දා ඉඳන් කරන්නේ මොනවද කියලා කල්පනා කර කර ඉන්න ගෑනුන්ට හම්බවෙච්ච ළමයා මැරිලයි කියලා දැන ගත්තහම දැනෙන සනීපෙ මහත්තයලට තේරෙන්නෙ නෑ.. ජීවිතෙන් භාගයක් ගෑනුන්ව අතපත ගෑව මට උන්ගේ හුස්මත් තේරෙනවා මහත්තයෝ.. බඩ හෑල්ලු කරගෙන මාස දෙක තුනක් කාලා බීලා සතුටින් ඉන්න පුළුවන් තරම් මුදලක් කැටි කරගෙන යන්න තියෙන එක කොයිතරම් වාසනාවක්ද..”
“කවුද එතකොට ඒ මුදල් කටයුතු කරන්නේ..”
“අපේ ඩයිවර් ඒ ගෑනුන්ගේ බර හෑල්ලු උනාට පස්සේ උන්ට සල්ලි අර බිස්නස් කාරයා දීලද කියල බලනව. ඊට පස්සේ උන්ව ගෙවල් ගාවින් ගිහිල්ලා බස්සනවා.කතාව එතනින් ඉවරයි.”
“එතකොට ඒ මළකුණු වලට මොකද කරන්නේ?…”
ආරිඅක්කා ආපහු සැරයක් මහා ගොරෑඩි හඬකින් හකහක ගගා හිනාවෙවී ඇඟිල්ල දික් කරලා මහා ඝන වනාන්තරය පෙන්නුවා.
“මේ ළඟ පාතම ඉස්කෝලයකුත් තියෙනවා නේද..මෙච්චර දෙයක් මෙතන වෙනවා කියන ගමේ මිනිස්සු දන්නේ නැද්ද..”
“මෙහෙ කොහෙද මහත්තයෝ ගමක්… හතර වටේම තියෙන්නේ හද්ද වනාන්තරේ..ඔය ඉස්කෝලේ වැහිලා කොච්චර කල්ද..ඕකේ ළමයි කෝ.. “
“එතකොට ආරි අක්කලාට පඩි ගෙවන්නේ කවුද.. “
“අපිට ඕන කරන මුදල් හදලා ඔක්කොම වෙත්තමුනි මහත්තයා තමයි බේරන්නේ..අපිට සල්ලි ඕනවටත් වඩා හම්බවෙනවා.කරන්න තියෙන්නෙත් බොහොම පොඩි වැඩක් හින්දා ඉන් එහා එක අඩියක්වත් අපි දෙන්න හොයන්න යන්නේ නෑ..”
“එතකොට මෙච්චර කාලයකටම හැම ගෑණු කෙනාම තමන්ගේ ළමයා මැරිලයි කියලා දැනගත්තහම සන්තෝසෙන් ගෙදර ගියාද..”
මම එහෙම ඇහුවේ අපේ ඉස්පිරිතාලෙට ආපු අපි නම දාගත්තු අයිරංගනී කියන ගෑනු කෙනාගේ කතාව කවදාවත් මට අමතක වෙන්නේ නැති හින්දා.
බෝතලේ භාගයකටත් වඩා ඉවර කරලා තිබිච්ච ආරි අක්කා මම එහෙම ඇහුවහම ටික වෙලාවක් කල්පනා කරන්න පටන් ගත්තා.
“නෑ …මම හිතන්නේ එකම එක සැරයක් ඔන්න ඔය හමුදාවට ගිය මනුස්සයෙකුගේ ගෑණු කෙනෙකුට ළමයෙක් හම්බවෙන්න ඇවිල්ල කොහොම හරි අපේ ඩයිවර් ඒ ගෑනු කෙනාව මේ වැඩේට කැමති කරගෙන තිබුණා.ඒ ගෑනු කෙනාගේ මනුස්සයා හමුදාවට ගිහිල්ලා නැතිවෙලා තමයි ඉඳලා තියෙන්නේ.ඒ ගෑණු කෙනාට කසාදෙන් ළමයි ඉඳලා නෑ..තනියම තමා ජීවත් වෙලා තියෙන්නේ.නම නං මට හරියට මතක නෑ..සෙව්වන්දිද මන්දා..මොකක් හරි සම්බන්ධයකින් බඩට ළමයෙක් ආවහම මේ ගෑණු කෙනාට ගමට මුහුණ දීගන්න බැරුව තමයි ඉඳලා තියෙන්නේ.කොහොම හරි අර වැඩෙන් පස්සේ ළමයා හම්බවෙන්න අමාරු වෙලා මෙහෙට ගෙනාව.හම්බවෙච්ච ළමයා මේ ගෑනි ඕනෙමයි කියලා කිව්වා.එච්චර කාලෙකට මට ළමයා ඕනෙයි කියන ගෑනියෙක් ඔය දැක්කමයි..කොහොම හරි හම්බවෙච්ච ළමයා මේ ගෑනි දැක්කට පස්සේ බයවෙලා කලන්තේ දැම්මා.සිහිය ආපු වෙලේ ඉඳන් මේ ගෑණි කෑ ගහන්න ගත්තේ මගේ ළමයා දීපියාව්…මගේ ළමයා දීපියාව්… උඹල මගේ ළමයාව දුන් කලයක් කලා කියලයි…
තුවාල පිටින්ම ඉස්පිරිතාලෙට ගෙනිහිල්ල දැම්මා නම් මේ වැඩේ අහුවෙන හින්දා අපි තුවාල සනීප වෙනකම් මාස එකහමාරක් විතර වෙනකන් ඒ ගෑනීව මෙහෙ බැඳලා දාලා තියාගත්තා…දවසකින් දෙහෙකින් මේ කෑගැහිල්ල නවතියි කියලා හිතුවට ඒක නැවතුනේ නෑ.අපි අනුරාධපුරේ ඉස්පිරිතාලෙට මේ ගෑණිව ගෙනියන්න හදනකොට වෙත්තමුනි මහත්තයා අපිට දැනුම් දුන්නා මෙහෙ ගෙනියන්න එපා කෙලින්ම අංගොඩටම ගෙනියන්න කියලා.පස්සේ අපි
සිරි සහන කියන සමාජ සේවා ආයතනයෙන් මේ ගෑනු කෙනාව ගෙනියන විදිහට එහේ ඉස්පිරිතාලෙට බාර දුන්නා.වෙත්තමුනි මහත්තයා අපිට දැනුම් දුන්නා සති දෙකක් ඇතුළතත් ඒ ගෑණු කෙනාව සනීප කරන්න බැහැයි කියලා කියනවා නම් ඉක්මනින්ම ආපහු බාරගන්න කියලා.”
“ඉතින් බැරි වෙලාවත් ඒ ගෑනු කෙනාට සනීප වුණා නම්..ඒ ගෑනු කෙනා ඇත්ත කියයි කියලා ඔයාලට හිතුනේ නැද්ද…”
“ඔව් ඒක ප්‍රශ්නයක් තමයි.ඒ හින්දා තමයි මම හැමදාම ඒ ගෑනු කෙනාව බලන්න ගියේ.වෙත්තමුනි මහත්තයා මට දැනුම් දුන්නා ඒ ගෑණු කෙනාගේ පොඩි හරි වෙනසක් තියෙනවා නම් එයාට කියන්න කියලා.එක දවසක් මට තේරුණා ඒ ගෑණු කෙනාගේ පොඩි වෙනසක් තියෙනවා කියලා.මම ඒක එවලෙම වෙත්තමුනි මහත්තයාට දැනුම් දුන්නා.ඊට පහුවෙනිදම කොහොම හරි වෙත්ත මුනි මහත්තයා ඒ ගෑනු කෙනාගේ ටිකට් කප්පවාගෙන අරගෙන ආවා..”
“කෝ දැන් එතකොට ඒ ගෑනු කෙනා..”
“ඕව මහා කරදර වැඩ මහත්තයෝ.. ඔය ඕන තරම් හදිසි අනතුරු මේ රටේ සිද්ධවෙන්නේ…”
එහෙම කියලා ආරි අක්කා ආපහු සැරයක් හයියෙන් හිනා වුණා..
“ඒ කියන්නේ ඒ ගෑණු කෙනාව මැරුවද…”
“මරනවනම් ඉතින් මහත්තයෝ එදාම මරන්න එපායැ..ඒ ගෑනු කෙනා තමයි දැන් සිරිසහන කාන්තා සහන ව්‍යාපෘතිය ගැන ඇහුවහම අපිට පෙන්නන්න ඉන්න එකම රෝගියා.. “
“එතකොට දැන් ඒ ලෙඩා කෝ..”
“මං හිතන්නේ ඔය කොළඹ පැත්තෙ මොකක් හරි සාත්තු නිවාසයක තමයි ඉන්නේ..”
“ඇත්තටම ආරි අක්කේ ..ඇයි ඒ ගෑනු කෙනාව නිකන්ම අත ඇරලා දාන්නැතුව ඕගොල්ලෝ ඉස්පිරිතාලෙට ගෙනිච්චේ..නිකං හරි ඒ ගෑනු කෙනාගෙ කටින් පිටවුනා නම් ඔය සිද්ධිය එළි වෙනවනේ..”
“නිකන්ම අතහැරලා දාන්න බෑ මහත්තයෝ ..එතකොට වෙන කවුරු හරි සමාජ සේවා ආයතනයකින් ඔය මනුස්සයා ඉස්පිරිතාලෙට ගෙනිච්චොත් සීයට සීයක් සනීප කරලා තමයි එලියට ගන්නේ.සීයට සීයක් සනීප වුනා නම් ඇත්ත එළි වෙනවා.ඒ හින්දා ටික දවසක් ඉස්පිරිතාලෙ තියලා හරියටම සනීප වෙන්න නොදී එළියට අරගෙන අපේ තැනක රඳවා ගත්තේ ඒකයි.. එතකොට අපිට කියන්න පුළුවන් මානසික රෝහලකටත් ඇතුළත් කරලා බෙහෙත් දීල බැරි තැන තමයි අපේ තැන තියාගෙන ඉන්නේ කියලා..”
මට මේ මුළු කණ්ඩායම ගැනම හරි පුදුම හිතුනා.එක පුංචි දෙයක් ගැන උනත් කොයිතරම් දුරට හිතනවද කියන එක මට හිතුනා. අහුවෙන්න තියන හැම අවස්ථාවක්ම මග ඇරගෙන මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් දෙන්න උත්තර දාහක් හදාගෙන මුං මේ නටන නාඩගම මොකක්ද කියලා මට හිතුනා.
“එතකොට ආරි අක්කේ කොච්චර කාලයකට සැරයක්ද ඕගොල්ලෝ අර ව්‍යාපාරිකයාට ගෑනු හොයලා දෙන්න ඕනේ..”
“ආ..මං හිතන්නේ මාස තුනෙන් තුනට වගේ හොයලා දෙන්න ඕන.”
“එතකොට මේ ව්‍යාපාරිකයෝ එක්කෙනෙකුටද නැත්නම් කීපදෙනෙකුටද කියන එක ඕගොල්ලෝ දන්නේ නැද්ද…”
“සත්තයි මහත්තයෝ ඒකනං අපි දන්නේ නෑ..අපිට එක්කෙනෙක් ගේන්න කිව්වහම අදාල තැනට අපි ගෙනිහින් දෙනවා.”
“කවුද එහෙම ඕගොල්ලන්ට කතා කරන්නේ…”
“අපිට පණිවිඩය එන්නෙ වෙතත්මුනි මහත්තයාගෙන් විතරයි.. “
දැන් නම් මහත්තයෝ රෑ එකොළහටත් ලඟයි.මටනම් දැන් හරි නිදිමතයි.”
එහෙම කියපු ආරි අක්කා අපෙන් උත්තරයක් බලාපොරොත්තු වෙන්නෙ නැතුව එයාගේ මහා ලොකු ලෝගු ගවුම කැටි කරලා අල්ලගෙන නැගිටින ගමන් ලාම්පුවත් එයාගේ අතට අරගත්තා.සම්පූර්ණ විස්කි බෝතලයක් බීලත් බොහොම නිරුපද්‍රිතව කෙලින් කටින් ඉන්න මේ අම්මණ්ඩි ගැන මට හරි පුදුම හිතුනා. රෑ එකොළහ ගැන කියනකොට රාජරත්නම් මගේ මූණ දිහා බැලුවේ තව ටික වෙලාවක් පහුවෙනෝතින් අරුන් දෙන්න ඉන්තේරුවෙන්ම පොලිසියට කතා කරන බව කතාව දන්න හින්දා….