fbpx

සුළි සුළඟක සුසුමක් – 16 වන කොටස

ඒ වෙලාවේ ගල් බැම්ම මත සින්දු කියමින් හිටියේ සංකල්ප විතර ය. සංචාරක කණ්ඩායම්  දෙකක් පමණ හයිලන්ඩ් ගෙස්ට් වෙත පැමිණ ඇති බව, නවතා ඇති වාහන දෙක අනුව මම නිගමනය කළෙමි. සංකල්ප ගේ සගයන් ඒ නිසා කාර්ය බහුල ව සිටිනවා ඇත.

මම හරි බරි ගැසී ගල් බැම්ම මත හිඳ ගතිමි. පරිසරය සිහිලැල් බව යළි මතක් කරමින් පවනක් හමා ගියේ ය. මම සීතලට අත් දෙක බැඳ ගතිමි.

අඩ සඳක් පායා ගෙන එමින් තිබිණ. ලා කහ පාට එළියක් ගහ කොළ මත තැවරී තිබුණේ ය. නමුත් විදුලි පහන් වල තද එළිය නිසා ළසඳ එළිය යටපත් ව ඇති බව පෙනිණ.

සංකල්ප ගේ තරු ඇස් ඒ සියල්ලට වඩා ප්‍රභාමත් ව දිළිසෙන බව දැනුණේ ය. එහෙයින් ම ඒ එළියෙන් ඇස් නිලංකාර කර ගන්නට නොයා මම ඔහු ගෙන් ඉවතට නෙතු හරවා ගෙන සිටියෙමි.රාත්‍රියේ සිහිලැල් නිහඬ බව, අප අතරේ වන මුණිවතෙහි අසීරුව වැඩි වැඩියෙන් දනවන ලදී.

“මං ආවෙ සින්දු අහන්නනෙ. ඒ ගමන එයා සින්දු කියන එක නතර කළා”

මම හිතේ නැති බොරු නෝක්කාඩුවක් මවා ගතිමි.

“සින්දු ලියන්න පුළුවන් ඔයා ඔහොම ඉන්නකොට”

“ඔන්න ඔන්න මේ…ඕන්නැති ඒවට ආවොත් දන්නවනෙ මං කවුද කියල…”

අඩ සඳ දෙස බලා ගෙන ඔහු  හිනැහුණේ ය. රන් වන් සඳ කිරණ වැද කහ පාටට බබලන ඒ කොපුලක් මත ඉඩ හොයමින් දඟ කරන රැවුල් කොට දෙස මම බලා සිටියෙමි.

“ඔයා ආවෙ මොකටද…නිදා ගන්නනෙ මං සින්දුවක් කිව්වෙ”

Mini Stories

අයිතියක් නැති තැන්.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 29 වන කොටස

Mini Stories

ඉරිසියාව

ළපෙති මල්

ළපෙති මල් – 30

Mini Stories

සුවඳ නැති අතීතය

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 28 වන කොටස

Mini Stories

දිවිල්ල

ළපෙති මල්

ළපෙති මල් -29

Mini Stories

සුරපුරය

ඒ හඩ නින්දෙන් මා අවදි කොට තබන බව මම නො කියා සිටියෙමි. ගුවන් විදුලි නාලිකාවක වසර පහක් තිස්සේ සේවය කරන මා, ගායකයෙකු නො වන කොල්ලෙකු ගේ හඬකට මේ තරම් උමතු වී සිටීම අතිශයෝක්තියක් ද කියා මට ම නො සිතුණා නොවේ. නමුත් ජීවත් වෙත්දී අපි එහෙව් අත්දැකීම් වලට මුහුණ දෙමු. සියල්ල සන්තක ව තිබියදීත් ඉතා කුඩා යයි සිතිය හැකි දේ වලට අපි ලොබ බඳිමු.

“සමහර විට හෙට අනිද්දම මං යයි”

ඒ බවක් ඔහු ට කිව යුතු යයි මීට කලින් මා සිතා උන්නේ නැත. මේ මොහොතේ ඔහු ඉදිරියේ එය කියවේවියි මා සිතුවේ ද නැත. නමුත් මා නො දැන ම මගෙන් ඒ වචන ගිලිහී තිබිණ. සංකල්ප මදෙස බැලුවේ තැති ගෙන ය. වදනක් කියා ගත නොහී ඔහු ගොළු වී හිඳින බව ද මට පෙනෙන්නට තිබුණේ ය. නමුත් එම කාරණාව මත ශෝක වන්නට අවැසි නැතැයි සිත මට කීවේ ය. මා රත්නපුරයට ආවා සැබවි. මා ආවේ අප්පච්චි ගේ වියෝවෙන් පෑරුණ හිත මත පරිසරයේ ඔසු ගැල්විය හැකි දැයි බලන්නට ය. බැඳීම් වල වන අස්ථිර භාවය තේරුම් ගෙන බැඳීම් වලින් දුරස්ථ ව සිටින්නට ය. ඒ නිසා රත්නපුරය කියන්නේ මට අත් හළ නො හැකි තවත් බැඳීමක් නො විය යුතු ය.

“චැනල් එකෙං අම්මටත් කෝල් කරල කියල…ආයෙ වැඩට එන්න කියල. අම්මනං කියන්නෙ වැඩට යන එක තමයි මට මතක වලින් ඈත් වෙන් හොඳම දේ කියල. වැඩ කරනකොට මොන දෙයක් ගැන වුණත් හිත හිතා ඉන්න වෙලාවක් නැති නිසා. මෙහෙට වෙලත් මං අප්පච්චි ගැන ම හිත හිතා මානසික රෝගයක් හදා ගනී කියල බයක් අම්මට තියෙනව මං හිතන්නෙ”

සංකල්ප ගෙන් වචනයක හෝ අනුබලයක් නොවී ද මම කියවා ගෙන ගියෙමි.

“මටත් හිතෙනව එහෙම කරන එක හොඳයි කියල. හැබැයි කොළඹට වඩා මෙහෙ ගෙදරට මං කැමතියි. ගහ කොළ මල් එක්ක ඉන්න පුළුවන් නිසා. ඔයා විශ්වාස කරනවද එහෙදි සමනලයෙක් දකින්න නැති තරං. මෙහෙ මිදුල රෑට කණාමැදිරියංගෙං පිරිලනෙ. එහෙදි සෑහෙන කාලෙකට මං කණාමැදිරියෙක් දැකල තිබුන්නෑ මං හිතන්නෙ. අනිත් එක රූම් එකේ ජනේලෙ ළඟ ඉඳලම චිත්‍රයක් වගේ දකින්න පුළුවන් අර කඳු යායෙ ලස්සන…”

මා රත්නපුරයට කැමති වන්නට හේතු ඒවා ලෙස සංකල්ප ට හුවා දක්වන්නට මට ඕන වන්නට ඇත.

“ඒත් ඒ දේවලට වුණත් බැඳෙන්න හොඳ නෑ කියල දැං මට හිතෙනව”

“ඉන්න කිව්ව කියල ඔයාව නතර කර ගන්න බෑ කියල මං දන්නව”

ඔහු සුසුමක මැද හරියෙන් අරඹා කීවේ ය. හයිලන්ඩ් ගෙස්ට් නාම පුවරුව ආසන්නයේ වන පහන් කණුවක් වටේ කැරකෙන මෙරූ සමූහයක් මගේ නෙතු ගැටිණ.  පහනක් කියන්නේ සොඳුරු ලොවක් කියා සිතා ඒ මත්තේ ඔවුහු දිවි පුදති.

“අඩු ගානෙ අවුරුදු විසි ගණනක් තිස්සෙ හිතේ තියං හිටපු දෙයක් ඔයාට කියාගන්න හරි පුළුවන් වුණානෙ”

මම හිතක් පපුවක් නැතිවා සේ ඒ වචන වල බර වම් කනෙන් අසා දකුණු කනෙන් බැහැර කරමින් සිටියෙමි. ඔහු කතා කළේ හිතට නැගුණ දේ වලින් අඩකටත් අඩු ප්‍රමාණයක් වන්නට ඇත. මට ඒ බව ඔහු ගේ ඉරියව් වලින් පෙනුණේ ය.

“ඒ නිසා අපි ඉක්මනට ආයෙ කොහෙ හරි යමුද…කියන්න බෑ ආයෙ කොයි කාලෙක මෙහෙ එන්න පුළුවන් වෙයිද කියල…මෙහෙම නතර වෙලා ඉන්න. සමහර විට කවදාවත් බැරි වෙන්නත් පුළුවන්…”

“හ්ම්..”

ඔහු ඒ හඬ පිට කළේ උගුර යටින් සේ ය. සංකල්ප එක් වන ම මගෙන් ඉවතට මුහුණ හරවා ගත්තේ ය. මට වෙනසක් දැනිණ.

“ඒයි…ඇයි…”

මම මඳක් ඔහු වෙතට නැඹුරු වී ඒ මුහුණ දෙස බලනා උත්සාහයක් ගතිමි. සංකල්ප හඬනවා මා දුටුවේ ඒ වෙලාවේ ය.

“සං…කල්ප…”

එවර ඔහු මගෙන් මුහුණ සැඟවීමේ උත්සාහයක් නො ගෙන ම ඉකි හඬ නැගෙන සේ හැඬුවේ ය.

“අනේ දරු…වො…”

මම ඔහු ගේ උරහිසට මුදු ලෙස තට්ටු කරන්නට වූයෙමි.

“දැං ඔයා කියයි ගෑනියෙක් වගේ අඬන කොල්ලෙක්නෙ කියල. පිරිමින්ටත් කඳුළු තියෙනව උත්තරා. උන්ටත් දුක් වේදනා දැනෙනව. මේ අවුරුදු ගාණක් තිස්සෙ පපුවෙ ගල් කරං හිටිය දුක වෙන්න ඇති. ඇස් වල ගල් කරං හිටිය කඳුළු වෙන්නැති. තවත් මේ කඳුළු හංගං ඉන්න මට බෑ උත්තරා”

“හරි හරි. ඔයා අඬන්න. හිතේ තියෙන දුක දිය වෙලා යනකල් අඬන්න”

මවකගේ සෙනෙහසින් මම මඳක් ඉස්සී ඔහු ගේ හිස පිරිමැද්දෙමි. මගේ හදවත මට දැනුණේ අධි ශීතකරණයක කාලයක් තිස්සේ දමා තිබූ වස්තුවක් සේ ය. එහි අයිස් බැඳී ගල් වී තිබිණි. එය එසේ පවතිනවාට මගේ යටි හිතෙහි කැමැත්තක් ද විය.

“අම්ම නැති වුණාට පස්සෙ…තාත්ත කුඩම්ම කෙනෙක් ගෙදරට ගෙනාවට පස්සෙ…මේ ලෝකෙ තනි වෙච්ච කොල්ලෙක්ට ඔයාගෙං මුකුත් ඉල්ලන්න අයිතියක් නෑ. ඔයා වෙන ලෝකෙකට අයිති ගෑනු ළමයෙක්. මේ ටික දවසෙ මතක මට තව අවුරුදු පණහකට ඇති වෙයි”

“මොනවද ළමයො මේ කියන්නෙ…සං…කල්ප…”

“ඔයා යද්දි අඬන්න බෑ. ඒක නිසා මං දැං අඬන්නං”

ඔහු දෙවැළමිට කලවා මත තබා ඉදිරියට මඳක් නැඹුරු වී දෝතෙහි මුහුණ හොවා ගෙන හැඬුවේ ය. ළමා විය ගෙවූ පිරිමියෙකු හඬනවා මා ඒ දුටුවා ම ය. මා විවාපත් ව යන දාක අප්පච්චි හඬනු ඇතැයි අම්මා නිතර කීවා ය. අක්කා විවාහ වන දිනයේ ඔහු හැඬුවේ නැත. හඬන්නට තව කල් තියෙනවා යි ඔහු කීවේ ය. අප්පච්චි මගේ විවාහයක් ගැන එතරම් උනන්දු නො වුණේ ත් මා යන දාට හඬන්නට බැරි කමට යයි කියමින් අම්මා කිහිප වර සිනා සී තිබේ. ඒ කඳුළු දකින්නට තබා ඒ ගැන හිතන්නට හෝ මම බිය වීමි. නමුත් අද හදිසියේ ම මම පිරිමියෙකු ගේ කඳුළු දකිමි.

ඒ සීතලේ තවත් ටික වෙලාවක් අපි ගොළු ගැසී අඳුර දෙස බලා සිටියෙමු. හිටි ගමන් සංකල්ප ගල් බැම්ම මතින් බිමට පැන්නේ ය.

“දැං යන්න ගෙදර…සීතලත් වැඩියි. අනිත් එක නීලා ඇන්ටි හොයයි”

මම ඔහු ට අවනත ව හයිලන්ඩ් ගෙස්ට් ගේට්ටුවෙන් පිට වීමි. මා එපා කීවත් සංකල්ප අපේ ගේට්ටුවෙන් ඇතුළු වූයේ ය.

“නිදියන්න කලිං බෙහෙත් ටික බොන්න ඕනෙ…හොඳද…”

ඔහු මතක් කළේ ය. මම හිස වැනුවෙමි. ඇයි දෝ මන්දා මට අප්පච්චි සිහි විය.

බරාඳයට ගොඩ නොවී සංකල්ප ආපසු හැරුණේ ය. ඔහු ගේ ජැකට් එක තවමත් මගේ උරහිස් මත විය. ඔහු සීතලේ යත්දී මට එය දිය යුතුය කියා සිහි නොවූවා නොවේ. නමුත් අමතක වුණා සේ මම එහෙමම කාමරයට ගියෙමි.

රාත්‍රියේ මා නිදා ගත්තේ ඒ ජැකට් එක ඇඳ ගෙන ය. සංකල්ප ගේ සුවඳ මට දැනිණ. ඔහු ගේ ගැඹුරු ගී හඬ සවන් ළඟ මිමිණෙනවා රාත්‍රිය පුරා ම මට දැනිණ.

උදේ කෑමෙන් පස්සේ මම නාලිකා ප්‍රධානියාට දුරකතන ඇමතුමක් ගතිමි.

“මං කැමතියි ආයෙ වැඩ කරන්න”

මා කතා කළේ මට හෝ නෑසෙන තරම් හෙමිහිට ය.

“නියමයි උත්තරා. නියමයි. ඔයා ගත්තෙ හොඳ තීරණයක්. ඔයා ඔහොම තැනකට එන බව අපි මුල ඉඳලම දැන ගෙන හිටියා”

හෙතෙම ප්‍රීතිමත් ව ජය පැන් බොන සූදානමක හිටියේ ය.

“මිස්ට සේනක…ඒත් දැන්ම නෙවෙයි”

“ආ..”

“මට තව ටිකක් කල් ඕන වෙයි. ඒ වෙනකල් මං වෙනුවෙන් බලං ඉන්න චැනල් එකට පුළුවන් ද කියන්න මං දන්නෑ. හැබැයි මට දැනෙනව…මං තව ටිකක් මෙහෙම ඉන්න ඕන වගේ”

ඒ දැනුම් දීම කළා ට පස්සේ මගේ හිතට සැනසිල්ලක් දැනිණ. මම ජනේලයෙන් ඈත පෙනෙන කඳු වැටිය දෙස බලා ගෙන බෝ වේලාවක් ගත කළෙමි. අම්මා මා ඇමතුවේ ඒ වෙලාවේ ය.

“මොකද්ද ළමයො ඔයා මිස්ට සේනකට කියල තියෙන්නෙ…එහෙමත් බලං ඉන්න පුළුවන් ද ආයතනයකට සේවකයෙක් වෙනුවෙං…”

කවදාවත් නොවූ අයුරින් අම්මා දැන් ආයතනය පැත්තේ සිට මිනිසුන් දෙස බලන්නී ය. අප්පච්චි ටත් වඩා ඇතැම් විට අම්මා සාර්ථක ව්‍යවසායිකාවක් වනු ඇත.

“මං බලං ඉන්න කිව්වෙ නෑ අම්ම. මං කිව්වෙ බලං හිටියොත් මං එන්නං කියල. තව ටිකක් මං මෙහෙම ඉන්නං අම්ම”

ඇය දිගු සුසුමක් හෙළුවා ය.

“මන්දා දරුවො. මට ඕනෙ ඔයාව ජොබ් එකකට යවා ගන්න නෙවෙයි. ඔයාගෙ හිත සාමාන්‍ය තත්වෙට ගේන්න. මං ඔයාගෙං මෙහෙම දෙයක් අහන්නද උත්තරා…”

හිතෙහි මඳ ගැස්මක් ඇති නොවූවා ම නොවේ. නමුත් මම ‘අහන්න’ යනුවෙන් කොඳුරා ගතිමි.

“ඔයාගෙ හිතේ කවුරු හරි ඉන්නවද…”

“ඒ කිව්වෙ…”

“ඔයා කැමති කවුරු හරි ඉන්නවද…පිරිමි ළමයෙක්…”

“අම්ම මේ මොන විකාර අහනවද මන්දා”

සිත්හි මඳ නොරිස්සුමක් ඉහිරෙමින් තිබිණි.

“අයිය කෙනෙක් ගැන මට කිව්ව. ඩොක්ට කෙනෙක්. සිංගපෝර් වල හොස්පිට්ල් එකක වැඩ කරන්නෙ. අයිය අහනව…එයාට ඔයාව ප්‍රපෝස් කරන්න”

මම දුරකතනයත් ඇතිව ම යහන මතට වැටුණෙමි. සියල්ලතිබියදීත් කිසිවක් ම නැති සෙයින් හිත හිස් ව පවතින අවස්ථා උදා වන්නේ ය. මේ මොහොතේ මට දැනුණේ ත් මා හිස් ව ඇතිවා මෙනි.

“ඇයි අනේ මට මෙහෙම පාඩුවෙ ඉන්න දෙන්නෙ නැත්තෙ…”

මම මිමිණුවෙමි.

“මේ අහන්න උත්තරා. ඒ ඔයාගෙ අයිය. මොනා වුණත් දැං එයාගෙ ඔළුවෙ තමයි ඔයා ගැන වගකීම පැටවිලා තියෙන්නෙ. අපි එයාට ඇහුංකන් දෙන්න වෙනව පුතේ. හිතුවක්කාර වෙන්න හදන්නෙපා”

මම ඇස් දෙක පියා ගතිමි. මා රත්නපුරයට ආවේ සියල්ලෙන් විනිර්මුක්ත වන්නට සිතා ගෙන නොවේ ද? නමුත් එවැන්නක් සිදු වන බවක් පෙනෙන්නට තිබේ ද?

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x