තලංමැහැරලා හැන්දෑවේ පහට විතර පිට වෙනවා කියලා කියපු හින්දා අපි දෙන්නා ඊට කලින් පොළොන්නරුවේ වැව සිසිල හෝටලයට යන්න පිටත් වුනා.
මොන විදිහකින් හරි තලංමැහැර ප්‍රහන්ව ජනාධිපති මන්දිරය ඇතුලට ගෙනිහින් තිබුණා.ඒ කොහොමද ගෙනිච්චාද කියන එක ඉතින් දැනගන්න වෙන්නේ මට ප්‍රහන්ව ආපස්සට හම්බවුණාම තමයි. නිරුපද්‍රිතව ප්‍රහාන් ජනාධිපති මන්දිරය ඇතුලට ගියා කියලා අපි දෙන්නා දැනගත්තේ රත්නාලෝකගේ කාමරය ඇතුලට යන්න යනකොට තමන්ගේ ෂර්ට් එක අස්සේ හංගගෙන හිටපු ජංගම දුරකථනයේ වට්සැප් වීඩියෝ කෝල් එක ප්‍රහාන් සක්‍රීය කර ගත්තු හින්දයි. “
“තලම්මැහැර ගේම් කාරයා..නැත්තං කොහොමද ප්‍රහාන් ව චෙක් කරන්නේ නැතුව ඇතුලට අරින්නේ..මේ ප්‍රහාන් කොහොම හරි ෆෝන් එකත් අරගෙන ගිහිල්ලා තියෙන්නේ”
මම එහෙම කිව්වහම රාජරත්නම් හිනා වුණා..
ඇඟිලි සලකුණු යොදන යන්ත්‍රය ගාව කීප පාරක් උත්සාහ කරපු ප්‍රහාන් ඊට පස්සේ පරිගණකය ළඟට ගියේ එතන මුර පදය කොහොම හරි හොයාගෙන ඒකෙන් හරි ඇතුල් වෙන්න බලාගෙනයි.
රාජරත්නම් දිගටම වාහනය එළවන නිසා ප්‍රහන්ගේ ක්‍රියාකාරකම බලන්න පුළුවන් වුනේ මට විතරයි.ප්‍රහාණ් එයා කතා කරන එක විතරක් අපිට ඇහෙන විදියටත් අපෙන් පිට වෙන හැම ශබ්දයක්ම අතිශය පුංචි මයික් එකක් ආධාරයෙන් ඇහෙන විදිහට කන ඇතුළෙ හංගගෙන හිටියා.ප්‍රහාන් කොහොමත් වැඩකාරයා හින්දා ඒ වගේ පුංචි පුංචි ඉටිකිරිස් වැඩ හොඳට පුළුවන් වෙලා තිබුණා.
ප්‍රහන් තමන්ගේ දුරකථනය කොතන කොහොම හංගගෙන ඉන්නවද කියන එක මට හිතාගන්න බැරුව ගියා.ඉතාම පැහැදිලිව එයා යන එන හැම මාර්ගයක්ම අපිට පේන විදිහට දුරකථනය එයා හදාගෙන තිබුණා.
රාජරත්නම් එළවන නිසා එයාට පේන්නේ නැති නිසා ප්‍රහන් සිද්ධ කරන හැම දෙයක්ම මම එයාට විස්තර කලා..
ඇතුලත් වීමට යොදා ගන්න මුරපදය තුන් පාරකට වඩා ගහන්න බැරි නිසා ඒ වෙලාවේ ප්‍රහන්ට ඒ වෙනුවෙන් ගොඩක් ප්‍රවේසම් වෙන්න සිද්ධ වුනා.පළවෙනි පාර දෙවැනි පාර අපතේ ගිය හින්දා තුන්වැනි පාර ප්‍රහාණ්ට වඩා වැඩියෙන් හිතන්න සිද්ධ වුණා. ප්‍රහාන් පාවිච්චි කරපු හැම මුරපදයක්ම මට පෙනුනා. තුන්වෙනි පාර මුරපදය වෙනුවෙන් ප්‍රහන්ට ඉක්මන් වෙන්න සිද්ධ වුනේ කවුරු හරි කාමරය පැත්තට එන සද්දය ඇහුන හින්දා වෙන්න ඇති කියලා මට හිතුනා. ඒ කලබලය අස්සේ ප්‍රහාන්ගේ දුරකථනය එහෙට මෙහෙට හෙලවෙනවා කියලා පෙනුනත් විනාඩියක් ඇතුලතදී ප්‍රහන් ආපහු උන්නේ රත්නා ලෝකගේ නිදන කාමරය ඇතුළේ කියන එක මම දැක්කා. ඉක්මනින් කාමරයේ දොර අගුළු දාගත්ත ප්‍රහාන් අපිට පණිවිඩයක් දුන්නා..
“ඩොක්ටර් ..පාස්වර්ඩ් එක තමයි
සමනල්ලු දෙන්නම ඉවරයි..
කියන එක ….
මට එකපාරටම මතක් උනේ ඩොක්ට එදා කිව්වේ ආරි අක්කාව හම්බවෙන්න යනකොට කියපු එක..”
ප්‍රහන් බොහොම හෙමින් අපිට විස්තරය කිව්වා.
“සමනල්ලු දෙන්නම ඉවරයි”…. ඒක අපිට කියලා දුන්නේ වෙත්තමුනිනේ..ඒකම කොහොමද..රත්නාලෝකගේ පාස් වර්ඩ් එක වෙන්නේ..”
“ඩොක්ටර්.. මේක අයිස් කන්දක්..එළියට පේන්නේ හතරෙන් එකයි..ඉතුරු සේරම හැංගිලා තියෙන්නේ..මට හිතෙනවා අපි ඉන්නේ ටයිටැනික් නැවේ කියලා..”
රාජරත්නම් එහෙම කියනකොට මගේ පිට කොන්දත් එක්ක සීතල වෙලා ගියා. ලෝකයේ හිතාගන්න බැරි තරම් දරුණුම මිනිස් කණ්ඩායමක් එක්ක අපි මේ හැප්පෙන්න යන්නේ කැට පෝලයක්වත් අතේ නැතුව කියලා හිතෙනකොට මට එකි ගගහා අඬන්න.
ඔය සේරම දේවල් වෙනකොට අපි දෙන්න හෝටලේ ළඟටම ඇවිල්ලා හිටියා.අපට තව පැය කීපයක් ඉතුරු වෙලා තිබුණා .
තලංමැහැරලා මෙහාට එනකන්.එතකොට දැන් සෑහෙන්න කළුවර වැටිලා තිබුණේ.ප්‍රහාන් එයාගේ රාජකාරිය
රත්නාලෝකගේ කාමරය ඇතුලේ කරගෙන යනකොට අපි දෙන්නා හෝටලය මිදුලෙන් කැබ් එක වාහන නැවතුම්පොළට දැම්මා.
තලංමැහැර කියපු විදිහටම අපි වගීශ සතරසිංහව හම්බ වෙන්න යනකොට එයා උන්නෙ තවත් ටුවරිස්ලා වගයක් එක්ක කතා කර කර.අපිව දැකලා බොහොම සුහදශීලි විදිහට එයා අපිව පිළිගත්තා.ඊට පස්සේ තවත් විනාඩියක්වත් පරක්කු වෙන්නේ නැතිව වැව කිට්ටුවම වැව පැත්තට මුහුණ දාලා තිබිච්ච ඇත්තෙන්ම ලොකු කාමරයකට අපිව ගෙනිච්චා.
“මං මේ විජේතුංග සර් කියපු හින්දම තමයි මේ විදිහට කරන්නේ.. නැත්නම් මගේ රස්සාවත් ගහලා යන වැඩක් මේක .. නිකමට සර්ලා හිතන්නකෝ..කවුරුහරි ගෙස්ට් කෙනෙක් අපෙන් කාමරයක් අරගෙන එන්නේ ඒ මනුස්සයට සම්පූර්ණයෙන් නිදහසේ ඒක ඇතුලේ ඉන්න ඕන හින්දා.මේ විදිහට කබඩ් එකක් ඇතුලේ සමාජ පර්යේෂකයෝ දෙන්නෙක්ව හංගලා තියෙනවා කියලා ඒ මනුස්සයා දැනගත්තොත් එහෙම මොනාවෙන් මොනවා වෙයිද…”
වගීශ අපිත් එක්ක එහෙම කිය කියා කාමරය පැත්තට ගියා.
තලංමැහැර වගීශට මුදලින් හොඳට සලකලා තියෙන බව මම දැනගෙන හිටියා. නැත්නම් කිසිම සේවකයෙක් මේ වගේ බරපතල අවදානම් කටයුත්තකට අත ගහන්නේ නැති බව මම දැනගෙන හිටියා.රාජරත්නමුයි මමයි ඕනවට වඩා වගීශ එක්ක කතා කරන්න ගියේ නැත්තේ කොහෙන් හරි වචනයක් වැරදුනොත් අපේ හොරේ එළිවෙයි කියලා බය වෙච්ච හින්දා. ඒ හින්දා අපි දෙන්නා හිතලම කිසිම දෙබසක් පිට කරන්නේ නැතුව හිටියා.කාමරයේ දොර ඇරලා දීපු වගීශ ආපහු සැරයක් හෙමිහිට වටපිට බැලුවේ කවුරුවත් මේක දකිනවාද කියලා බලන්න වගේ.
” ඉක්මනට එන්න සර් ඇතුලට ..මෙන්න මේක තමයි කබඩ් එක…මෙන්න මේ දාර වලින් තමයි සර්ලට බලන්න වෙන්නේ..මට වැඩි වෙලාවක් මෙතන ඉන්න බෑ..මේ කබඩ් එක ඇතුලට සර්ලා යන්න..”
එහෙම කියපු වගීශ ඉක්මනින්ම ආපහු කාමරයෙන් එළියට ආවා.අපි දෙන්න ඇතුලට ගියහම එයා දොර වහලා ලොක් කරලා යතුර ආපහු අරගෙන යන සද්දය අපිට ඇහුනා.
“ඩොක්ටර් වොශ්රූම් එකට යනවා නම් ඉක්මනට ගිහිල්ල එන්න අපිට කොච්චර වෙලාවක් මේක ඇතුලේ ඉන්න වෙයිද දන්නෙ නෑ..”
අපි දෙන්නම මාරුවෙන් මාරුවට වොෂ්රෝම් එකට ගිහිල්ලා ඇතුලේ වතුර බිංදුවක්වත් හලන්නේ නැතුව බොහොම පරිස්සමින් ආපහු ආවා. රාජරත්නම් ආපහු සැරයක් එයාගේ පොලිස් ඇහැ දාලා හොඳට කරකවල බැලුවා අපේ අඩි සලකුණු එහෙම පේන්න තියෙනවද කියල. ඊට පස්සේ අපි දෙන්නම අර කබඩ් එකේ දොර ඇරලා ඇතුලට ගිහිල්ලා ඉඳගත්තා.ඒක බොහොම සුවිශේෂී විදිහට හිතලා හදපු කබඩ් එකක් කියලා මට හිතුනා.ඇතුළතින් ඉඳගන්න කෙනෙකුට පිටතින් සිද්ධ වෙන හැම දෙයක්ම බොහොම පැහැදිලිව පෙනෙන විදිහට හදපු කබඩ් එකක්.හැබැයි එළියෙන් ඉන්න කෙනෙකුට ඒක ඇතුලෙ කවුරුහරි ඉන්නවා කියන එක පේන්නේ නැහැ.
“මට නං හිතෙන්නෙ මේක තලම්මැහැර ප්ලෑන් කරලම තියපු කබඩ් එකක් වගේ..නැත්නම් අපි දෙන්නෙකුට මේ විදියට ඉදගන්න පුළුවන් සැප පහසු කබඩ් එකක් හෝටල් කාමරයක තියෙයි කියලා හිතෙන්න අමාරුයි..”
කවුරුවත් ළඟපාතක නැතත් මම බොහොම හෙමින් රාජරත්නම්ට කිව්වා.
“ඩොක්ටර් .. දැන් ඇත්තටම
රත්නාලෝක මේ කාමරයට ආවට පස්සේ අපි කවුරුවත් දන්නෙ නෑ අපි දෙන්නට මොනවා වෙයිද කියල..මේක නිකං හරියට අර ට්‍රෝජන් අස්සයගෙ කතාව වගේ.
අපි දෙන්නටම ඉවසීමෙන් ඉන්න පුළුවන් වෙයි.කිසිම සද්දයක් හැල හොල්මනක් නොකර.මොන දේ උනත් අපි දෙන්නා එකටම ඉන්න ඕනේ..”
“රාජා .. ඔයා ඔහොම කියනකොට මට බයත් හිතෙනවා..”
” බයවෙන්න එපා ඩොක්ට මම සූදානම් ශරීරය කියලා මගේ රිවෝල් එකත් අරං ආවේ… වෙන ඕන දේකට මුහුණ දෙමු. හරි දැන් ඔය කබඩ් එකේ දොර වහන්න.තව කොච්චර වෙලාවක් මෙහෙම ඉන්න වෙයිද දන්නෙ නෑ..දැන් කීයද ඩොක්ට වෙලාව..”
“දැන් වෙලාව හරියටම රෑ අටයි හතලිස් පහයි. ඒක නෙමෙයි රාජා ඇත්තටම ඔයාට හිතෙන්නේ නැද්ද මොකක් හරි ලොකු ප්ලෑන් එකකට අපි දෙන්නව අහුවෙලා ඉන්නේ කියලා.මං කියන්නේ ප්‍රහානුත් එක්ක.. ඇයි දන්නවද මම එහෙම කියන්නේ..මට හිතෙනවා මේ ප්‍රශ්නය විසදෙනවා ලේසි වැඩියි කියලා..මං කියන්නේ කවුරුහරි මේක විසඳන්න උදව් කරනවා කියලයි මට හිතෙන්නේ..”
අපි කතා කළේ කූඹියෝ තරං හෙමින්…හැබැයි මම එහෙම ඇහුවහම රාජරත්නම් ඇස් දෙක ලොකු කරලා මං දිහා බැලුවා.එළිය දාලා තිබිච්ච ලයිට් එකක එළියෙන් අපේ කාමරය යාන්තම් එළිය වෙලා තිබුණා.
“ඩොක්ටර්…. මට සමාවෙන්න මෙහෙම කියනවට..මේ ගමන එනකොට මගදී මට එහෙම හිතුණා..ඒත් අපි ප්‍රහාන් ව ත් දැන් යවලා ඉවරයි.අපිට විතරක් ආපහු හැරෙන්න බෑ කියලා මට හිතුනා.හැබැයි මම එහෙම කියන එක වැරදියි.ඩොක්ටර් … මේ බලන්න .. ඔයාට දැන් උනත් ටික වෙලාවක් තියෙනවා බේරිලා යන්න ඕනේ නම්..අපිට පුළුවන් වගීශ ට කතා කරලා ඉක්මන් වෙන්න… හැබැයි … ඩොක්ටර් විතරයි … මං එන්නෙ නෑ…. “
” පිස්සු ද රාජා … මං එහෙම ඔයාව දාලා යන්නේ නෑ..ඔන්න ඔහේ ඕන දෙයක්… මොනා වුනත් තලම්මැහැර අපිට කළේ ලොකු උදව්වක්.. එයා මේකට සම්බන්ධ නොවුන නම් මේ වෙච්ච එක දෙයක්වත් අපිට කරගන්න හම්බවෙන්නේ නෑ…”
මම එහෙම කියනකොටම අපිට ප්‍රහන් මොනවා හරි පෙන්නනවා කියලා පෙනුනා..ඒ වෙනකොට ප්‍රහාන් රත්නාලෝකගේ කාමරය ඇතුළට ගිහිල්ලා පැය හතරකටත් කිට්ටු කාලයක් වෙන්න ඇවිල්ලා තිබුණා.මේ වෙනකොට
රත්නාලෝක ජනාධිපති මන්දිරයේ නැති හින්දා උඩ තට්ටුවට කිසිම කෙනෙක් ආවේ නැහැ.ඇත්තටම ඒක ප්‍රහාන්ගේ පරීක්ෂණවලට ලොකු උදව්වක් වුණා. ප්‍රහාණ් එයාගේ හැකියාව ප්‍රයෝජනයට අරගෙන රත්නාලෝකගේ පෞද්ගලික පරිගණකය ක්‍රියාත්මක කරගෙන තිබුණා.තලම්මැහැර අපිට කියලා තිබුණේ රත්නාලෝකගේ කාමරයේ තියෙන පරිගණකයත් හරි රත්නාලෝකගේ ජීවිතයත් හරි කියලයි.
රත්නාලෝකගේ පරිගණකයේ තිබිච්ච ලිපියක් ප්‍රහාන් අපේ දුරකථනයට එව්වා …