රසවත් පොළොස් සොසේජස් හදමු..

ඔබටත් ඉන්නවද සොසේජස් කන්න කැමති පොඩ්ඩෙක් හරි ලොකු පොඩ්ඩෙක් හරි?

හැබැයි රසකාරක, වර්ණක යෙදූ ක්ෂණික ආහාර සහ සැකසූ මස් වලින් ඇතිවෙන සෞඛ්‍ය ගැටළු ගැන වැඩි කතාබහක් වගේම වැඩි අවදානයක් යොමුවෙලා තියෙන මේ කාලයේ සොසේජස් වගේ කෑම බීම වෙළඳපොලෙන් මිලදී ගන්න කලින් ඒ ගැන දෙපාරක් හිතන්න smart ඔබට සිද්ධ වෙලා තියෙන බව අපි දන්නවා. 

මේ හැමදේටම විසඳුම් ටික ටික හොයාගෙන යන ඔබට smart lady අපි නිරන්තරයෙන් උදව් කරන බව ඔබ දන්නවනේ.

ඔන්න අදත් ඒ වගේ සෞඛ්‍යාරක්ෂිත, රස වගේම පෝෂණයෙනුත් අඩුවක් නැති විසඳුමක් ඔබට කියල දෙන්නයි අපි මේ සූදානම් වෙන්නෙ. 

මස් වෙනුවට සොසේජස් යොදාගෙන අපිට හුරුපුරුදු කුළුබඩු වල රසත් මුසුකරගෙන පොළොස් සොසේජස් හදන විදිහ ගැන මේ ලිපියෙන් ඔබව දැනුවත් කරන්නයි අපේ අද බලාපොරොත්තුව. 

එහෙනම් මුලින්ම බලමු අපිට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියල?

අවශ්‍ය ද්‍රව්‍ය 

පොතු ඉවත් කරගෙන කුඩා කැබලි වලට කපාගත් පොළොස් 300 g ක් 

කඩල පිටි 50 g 

කුඩාවට කපාගත් ලොකු ලූණු ගෙඩියක් 

කුඩාවට කපාගත් සුදුළූණු බික් 03 ක් 04 ක් 

සිහින්ව ලියාගත් කරපිංචා ඉත්තක කොළ

සූදුරු තේ හැන්ඳක් 

කහ කුඩු

කෑලි මිරිස් කුඩු

ලුණු කුඩු

ගම්මිරිස් කැබලි 

සෝයා සෝස් තේ හැඳි 1 ½ ක් 

ෆොයිල් කොළ

සාදාගන්නා ආකාරය

මුලින්ම කුඩාවට කපාගත් පොළොස් කැබලි තරමක් විශාල භාජනයකට දමා එයට කහ කුඩු සහ ලුණු කුඩු ස්වල්පයක් එකතු කර පොළොස් කැබලි වැසෙන සේ වතුර දමා හොඳින් තම්බා ගන්න. 

පොළොස් හොඳින් තැම්බුණු පසු වතුර බේරා ඉවත්කර නිමෙන්නට තබාගන්න. 

පොළොස් කැබලි නිමුණු පසු කුඩා කැබලි වලට ඉරාගන්න. 

දැන් ඉරාගත් පොළොස් කැබලි බ්ලෙන්ඩර් කෝප්පයකට දමා එයට කපාගත් ලූණු, සුදුලූණු, කරපිංචා, සූදුරු, කඩල පිටි, රස අනුව කහ කුඩු, කෑලි මිරිස් සහ ගම්මිරිස් කුඩුත් සෝයා සෝසුත් එකතු කරගන්න. 

දැන් මේ සියල්ල හොඳින් අඹරා ගන්න. 

අඹරාගත් පොළොස් මිශ්‍රණය බ්ලෙන්ඩර් කෝප්පයෙන් ඉවත් කර වෙනම භාජනයකට දමා නැවත අතින් හෝ හැන්ඳෙන් හොඳින් කලවම් කරගන්න. 

ඊළඟට, ෆොයිල් කඩදාසිය A4 කොළයක ප්‍රමාණයේ කොටස් වලට කපා ගන්න.

දැන්, හැන්ඳකින් පොළොස් මිශ්‍රණයේ ස්වල්පයක් අතට ගෙන එය සොසේජස් හැඩයට සකසා ගන්න. 

සකසාගත් පොළොස් මිශ්‍රණ රෝල ෆොයිල් කඩදාසිය මත තබා රෝලක් සේ සකසා ගන්න. 

දෙපැත්තෙන් ටොෆියක් ආකාරයට අඹරාගෙන සකස් කරගන්න. 

මේ විදිහට පොළොස් මිශ්‍රණය හොඳින් ආවරණය වෙන විදිහට එකම ප්‍රමාණයේ සොසේජ් රෝල් සකසා ගන්න පුළුවන්. 

දැන් මේ සකසාගත් පොළොස් සොසේජ් රෝල් නටන උණුවතුර භාජනයක් උඩ තැබූ දැලක් මත තබා වසාගෙන විනාඩි 30 ක් හුමාලයෙන් තම්බා ගන්න. 

විනාඩි 30 කට පසු සොසේජ් රෝල් ටික ඉවතට ගෙන විනාඩි 15 ක් තබාගන්න.

විනාඩි 15 කට පසු ෆොයිල් ආවරණ ප්‍රවේශමෙන් ඉවත් කරගෙන සාදාගත් සොසේජස් පෙට්ටියක අසුරාගන්න. 

පොළොස් සොසේජස් සහිත භාජනය ශීතකරණයේ උඩ කොටසේ තබා ඔබට අවශ්‍ය වෙලාවට බැඳගෙන ආහාරයට ගන්න පුළුවන්. 

මේ සාදාගත් සොසේජස් සති 02 ක් දක්වා ශීතකරණයේ උඩ කොටසේ ගබඩා කර තබාගන්න ඔබට පුළුවන්. 

ඔන්න එහෙනම් අපි පොළොස් සොසේජස් හදාගෙන ඉවරයි. 

බය නැතුව ඔබේ පොඩ්ඩන්ට වුනත් දෙන්න පුළුවන් පොළොස් සොසේජස් මේ විදිහට හදල බලමු නේද?

මේ වගේම රසවත් ගුණවත් කෑමක් අරගෙන නැවත ඔබ හමුවෙන බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා. 

රසට කන්න – සුවෙන් ඉන්න !

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles