“මේ මගේ නෙට්ෆ්ලික්ස් ලොගින්ස්. ඔයා ඒව යූස් කරල ලොග් වෙන්න. තව අකවුන්ට් දෙකක්ම තියෙනව ෆ්‍රී. කැමතිනම් නංගිටත් එක්ක දෙන්න”
කිමල් වීරවර්ධනව තමාව නිවසින් ඇරලවා ගිය පසු රාත්‍රියේ එවා තිබූ ඒ කෙටිපණිවිඩය අරුණලී දුටුවේ සෙනසුරාදා උදෑසන මදක් ප්‍රමාද වී අවදි වීමෙන් අනතුරුවය. ඒ කෙටි පණිවිඩය ඔස්සේ කිමල් වීරවර්ධන තමා වෙත ගෙනවිත් තිබුණේ හිමිදිරියක් ප්‍රහර්ශයට පමුණුවන අන්දමේ හැඟුම් සමුදායකි.
“තැන්ක්‍යු ඒත් එහෙම හරි නෑ නේද?”
ඇඳමත හාන්සි වී හිඳින අතරම අරුණලී එසේ කෙටි පණිව්ඩයක් යැව්වේ දෙතොල මත සුන්දර සිනාවක් සනිටුහන්ව තිබියදීය.
“නෑ ඒකට කමක් නෑ. ඔයා ගන්න නංගිටත් දෙන්න. දැන් ද නැගිට්ටෙ?”
“ඔව්”
“ඊයෙ රෑ පරක්කු උනාට තාත්තා බැන්නෙ නෑ නේද? රෑ වෙච්ච නිසා තමයි මම තාත්තා එක්ක කතා කරන්නවත් ආවෙ නැත්තෙ? මුකුත් හිතුවද දන්නෙත් නෑ”
“නෑ නෑ තාත්තා මුකුත් කිව්වෙ නෑ, තැන්ක්‍යු වන්ස් අගේන් ඊයේ රෑ මාව ඩ්‍රොප් කරාට”
කිමල් උන්නේ සෙනසුරාදා උදෑසන විශ්ව විද්‍යාලයේ පැවැත්වීමට නියමිත දේශනා සඳහා යාමට සූදානම් වෙමිනි. කාමරයේ කණ්ණාඩිය ඉදිරිපසට වී කමිසය සකසමින් උන් කිමල්ගේ මුව රැඳි සිනහව ඇඳිනුවේ පේශලාය වීරවර්ධනය. අවුරුදු තිස් ගණනක් වයසැති වුණත් පේශලාගේ හුරතලුන් දෙදෙනා කිමල් සහ බාල පුතු සමල් ය. සමල් උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තයේ හිඳින පේශලාගේ මල්ලී ලඟට ගිය පසු මේ විසල් නිවසේ පේශලගෙ තනිය මකන්නට හිටියේ කිමල් පමණකි.
“ගෙදර පාලුව මැකෙන්න ගෑණු ලමේක් ගේන්න කාලෙ හරි” බව කීප වතාවක් කිව්වද කිමල් උන්නේ ඒ බව නෑසු කන්වය. වසර ගණනාවක් පුරාවට එකම කතාව කියා එපා වීම නිසාවෙන්ම පේශලා බොහෝ කලයකට පෙර ඒ කතාබහ නැවත නැවත කිමල්ට මෙනෙහි කර දීම අමතක.කර දැමුවාය. එහෙත් මේ සුන්දර උදෑසන කණ්ණාඩිය ඉදිරිපිට වී සිනාසෙමින් කමිසය සකසන කිමල් ගේ මුහුණේ රැඳී ඇති සිනහව සහ සතුට කියන්නේ වෙනස්ම අන්දමේ කතාවකි.
“මොකද අද සෑහෙන්න සතුටකින් වගේ?” පේශලා ඇසුවේ හෙමින් සැරේ කිමල්ගේ කාමරයට ඇතුලුවෙමින් තේ කෝප්පය ඔහුගේ මේසය මත තබමිනි. කිමල් හිස හරවා අම්මා දෙස බලද්දීත් ඒ සිනහව එක් මොහොතකටවත් දෙතොලින් මැකී ගියේ නැත.
“ඉතින් අම්මා කැමති නැද්ද මම සන්තෝසෙන් ඉන්නවට?”
“අනේ මොකද මම අකමැති. මට කොච්චර සන්තෝසද? හැබැයි ඔය හිනාවෙන විදියටනම් මට හිතෙන්නෙ මෙච්චර දවසක් සතුටු වෙන්න නොතිබිච්ච කාරණාවක් ඇවිල්ල කියල තමා”
අම්මා තරම් තමාව හොඳින්ම අඳුනගන්න හැකි අයෙක් මේ ලොව නැති බව කිමල් දනී. එහෙත් තවම ඇයට මේ සිනහවට යටින් ඇති හේතුව පවසා බලාපොරොත්තු ඇති කිරීමට කාලය හොඳටම වැඩිය.
“ම්ම්ම්”
“තව ඉතින් ඕක හංගගෙන ඉන්න හේතුවක් නෑනෙ. කියල දැම්ම නම් ලේසිනෙ මටත් සාරියක් එහෙම ලෑස්ති කරගන්න” පේශලා කියන්නෙ මද සිනහවක් ඇතිවය.පුතාලා ඉතින් අම්මලාට ලේසියෙන් දෙයක් කියන්නේ නැත. එහෙත් මේ තාත්තා කෙනෙකුගේ සෙවණැල්ලක් නැති නිවසකි. මෙහි අම්මත් තාත්තාත් වන්නේ තමා ය.
“එහෙම දෙයක් තියෙනව, නැත්තෙ නෑ. ඒත් තාම මම ඒ ලමය එක්කවත් ඒ ගැන කතා කරල නෑ. එයා කැමති උනොත් විතරක් ඔන්න මම අම්මට ඇවිල්ල කියන්නම් හොඳේ” කියමින් කිමල් අම්මා ලඟ දණ නවා වැන්දාය.
“බුදුසරණයි, ආයෙ ඉතින් ඒ ළමයට අකමැති වෙන්න හේතුවක් තියෙනවද පුතාගෙ? මෙච්චර දවස් ඉතින් ඔයානෙ ගෑණු ලමයින්ට අකමැති උනේ. ගෑණු ලමයි ඔයාට අකමැති එන එකක් ය” කියමින් පේශලා පොඩි දරුවෙකු මෙන් තමා ලඟ නැවී වඳින පුතාගේ හිසකෙස් සෙමෙන් අත ගා සෙත් පැතුවාය.
කාරයට නැගී විශ්ව විද්‍යාලය බලා යන අතරවාරයේත් කිමල් උනේ සන්තෝසයෙනි. අම්මාකිව්වක් මෙන් මෙතුවක් කාලයක් පුරාවට, අතීතයේ උන් පෙම්වතියන් කිහිප දෙනෙකුම විවාහයක් ගැන කතා කරද්දී ඒ බැඳීම් වලින් ඉවත් වූයේ තමන් මිස ඒ යුවතියන් නොවේ. අතීතයේ ඇසුරු කලා වූ කිසිවෙකු විවාහයක් දක්වා බැඳීමක් ගෙන යන්නට සුදුසු යැයි කිමල් කිසි දිනක සිතා තිබුනේ නැත. එහෙත් අරුණලී වනාහී එයට හාත්පසින්ම වෙනස් අයෙකි. මෙතෙක් කලක් තමා යුවතියන් ප්‍රතික්ශේප කලද මේ සිදුවීමේදී තමන්ව ප්‍රතික්ශේප වීමට වැඩි ඉඩක් ඇති බව කිමල් වීරවර්ධන නොදන්නවා නොවේ. අරුණලී ජීවිතයේ ඉතාම තුරුණු වියකදි දරුණුවටම ආදරය නිසාවෙන්ද විවාහය නිසාවෙන්ද හිත රිදවාගෙන තිබේ. එය ඇගේ හිතට පමණක් නොව ඇගේ පවුලේ ජීවන රටාවටද බොහෝ බලපෑම් එල්ල කරනු ලැබුවා වූ සිදුවීමකි. ඉතින් ඊළඟ බැඳීමක් ආරම්භ කරන්නට අරුණලී පසුබාන්නට ඇති ඉඩකඩ මෙන්ම පවුලේ අය අරුණලී ගේ ඊලඟ සහකරුවා තෝරා ගැනීමේදී වඩා ප්‍රවේශම් සහගත වන්නට ඇති ඉඩ ද ඉතා ඉහලය.
ඉතින් මේ ගමනට සහභාගි විය යුත්තෙත් ලැබෙන ඕනම පිලිතුරක් දරාගන්නා භාරගන්නා අදිටනිනි.
එදා සඳලිනීට දේශන තිබුණේ නැත. එහෙත් ප්‍රොජෙක්ට් එකක වැඩ සඳහා මිතුරන් සමග විශ්වවිද්‍යාලයටත් අනතුරුව පුස්තකාලයටත් යන බලාපොරොත්තුවක සඳලිනී උන්නාය. වෙනදා තරම් උදෑසනක පිටත්වෙන්න නොවූ නිසා හිස කේ වල රෝස්මරී තෙල් ආලේප කරමින් උන් සඳලිනී අක්කාගේත් තමාගේත් කාමරයට ආවේ රෝස්මරී සුවඳ පතුරුවාලමිනි.
අරුණලී ඒ මොහොතේ උන්නේ කාමරයේ ඇති රූපවාහනි තිරය අන්තර්ජාලයට සම්බන්ධ කර කිමල් විසින් එවන්නට යෙදුණ නෙට්ෆ්ලික්ස් ලොගින්ස් භාවිතා කර නෙට්ෆ්ලික්ස් වෙත ලොග් වෙමිනි.
“නෙට්ෆ්ලික්ස් අකවුන්ට් එකක් ගත්තද ඔයා? මරුනෙ කීයක් ගියාද?” කියා සඳලිනී ආවේ සතුටත් කුකුසත් ප්‍රශ්නයක අලවා තබමිනි.
එහෙත් ඒ ප්‍රශ්නයට දියයුතු පිලිතුර කුමක්ද කියා සිතාගන්නට අරුණලීට අපහසුය. මේ කිමල් විසින් ශෙයාකරන්නටයෙදුණ නෙට්ෆ්ලික්ස් ලොගින්ස් යැයි කියන්නට හැකි නමුත් එය කියන්නට බැරි හේතුවක්, යම් පැකිලීමක් හිතේ ඇති බව අරුණලීට සිතේ. එහෙත් කෙතරම් නොකියා ඉන්නට හැදුවද ලොගින්ස් යොදා නෙට්ෆ්ලික්ස් වෙත යොමු වූ විගස එහි තිබූ පලමු ගිණුමේ නම දුටු සඳලිනීගේ මුලින් පුදුමයකුත්, අනතුරුව එක්තරා අන්දමක සතුටකුත්, එක් පසෙකින් බයකුත් ඇතිවුණා නොවේ.
“කිමල් අයියද ලොගින්ස් ශෙයා කරේ?” සඳලිනී එසේ ඇසුවේ මනමාල බැල්මකුත්, හිනාවකුත් මුහුණේ රඳවාගනිමිනි.
“ඔව්”
“එයා කොහොමද දන්නෙ අපිට නෙට්ෆ්ලික්ස් නෑ කියල?”
“ඊයෙ එද්දි මගෙන් ඇහුව කම්මැලි නැද්ද ගෙදරටම වෙලා ඉන්න කියල, නෙට්ෆ්ලික්ස් බලන්නෙ නැද්ද කියල”
“ඉතින්?”
“මං කිව්වා ඉස්සර නෙට්ෆ්ලික්ස් බැලුව මෙනුඅ එයාගෙ ලොගින්ස් ශෙයා කරල තිබුණා කියල. ඊටපස්සෙ මම ඒ ලොගින්ස් වලින් ලොග් අවුට් උනා කිව්වම එයා රෑ එයාගෙ ලොගින්ස් එවල තිබුණා. ඔයාටත් දෙන්න කිව්වා ඕනනම්”
අරුණලී කිව්වෙ මද පසුබෑමකිනි. කිමල් විසින් මෙසේ කරන්නට හේතුව අරුණලීට අපහැදිලි වුවද අරුණලීට වඩා සමාජය හුරුපුරුදු, ගැහැණු පිරිමි බේදයකින් තොරව මිතුරු මිතුරියන් ඇසුරු කරන, වඩා සමාජශීලී සඳලිනීට තේරුම් ගන්නට අපහසු වූයේ නැත.
කිමල් වීරවර්ධන වනාහී නරක පුද්ගලයෙකු වන්නට නොහැකි බව ඔහුගේ සෘජු බැල්මත්, පැහැදිලි දෙනෙතත් කියාපාන බව ඇත්තක් නමුත් අක්කා හෝ තමන්ගේ පවුලේ අය හිඳින්නේ තවදුරටත් මිනිසෙකු ගේ බැල්මකින්, හැසිරීමකින් මිනිසුන් විශ්වාස කරන්නට හැකි අඩියක නොවේ.
මෙනුක අයියා යහපත්, ගුණගරුක පුද්ගලයෙකු බව තමා ඇතුලු සියලු දෙනාම සිතූ යුගයක් විය. එහෙත් ඒ සියලු විශ්වාසයන් බිඳ වැටෙන්නට ගියේ කෙතරම් කුඩා කාලයක් ද?
කිමල් වීරවර්ධන සම්බන්ධයෙනුත් එවන් දෙයක් නොවෙතැයි කියන්නට හැක්කේ කාහටද?
“අක්කෙ මං දෙයක් අහන්නද?” සඳලිනී ඇසුවේ වඩා බරැති හඬකින් අරුණලීගේ දෙනෙත් අස්සටම එබෙමිනි. ඒ දෙනෙත් අස්සේ තමන් අසන්නට යන ප්‍රශ්නයට සැබෑ පිලිතුර සැඟවී තිබේදැයි සොයාගනු අදිටනිනි.
“හ්ම්ම්”
“කිමල් අයියා මේ හැමදේම කරන්නෙ ඔයා ගැන බලාපොරොත්තුවකින් වෙන්න බැරිද?” නංගී විසින් අසන්නට යෙදුණේ තමාට ලෙහාගන්නට බැරුව හිත අස්සේ සැංගවී එලියට පනින්නට බලාපොරොත්තුවෙන් උන් ප්‍රශ්නයම බව අරුණලී තේරුම්ගත්තේ ඒ ප්‍රශ්නය සවන් මත පතිත වූ පලමු තප්පරයේමය.
ඒ විය හැකිද? කිමල් වීරවර්ධන හිඳින්නේ තමා ගැන බලාපොරොත්තුවෙන් ද?
“මං හිතන්නෙ නෑ. එයා යාලුවෙක් විදියට උදව් කරන්න මම.කරදරෙන් ඉන්න හන්දා. ඇයි ඔයා එහෙම කිව්වේ?”
“අක්කෙ මම හිතන්නෙ නෑ යාලුවෙක් උනත් ඔච්චර ඔයා ගැන කරදර වෙන්න ඕන කියල. අනික ඔයාලා දෙන්නට යාලුවො වෙන්නවත් කාලයක් තිබුනෙ නෑනෙ”
“මං හිතන්නෙ නෑ එයා එන්නෙ එහෙම අදහසකින් කියල”
“ඔයා නොදන්න ගොඩක් දේවල් තියෙනව අක්කෙ. ඔයා අහිංසක හන්ද ඔහොම හිතන්නෙ. ඔයා හිතනවද කොල්ලෙක්, නිකන්ම නිකන් කොල්ලෙක් නෙවෙයි ඔයාගෙ ඔෆිස් එකේ ඔයාගෙ ඩිපාර්ට්මන්ට් හෙඩ්. මං හිතන්නෙ නෑ කිසිම කොල්ලෙක් තමන් ලොකුවට අඳුරන්නෙ නැති තමන්ගෙ ඔෆිස් එකේ ටීම් එකේ වැඩ කරන කෙල්ලෙක් වෙනුවෙන් ඔච්චර නහීවි කියල වෙන බලාපොරොත්තුවක් නැත්තම්. දැන් ඔයාගෙ අනිත් යාලුවො එහෙම කරන්නෙ නෑනෙ. එතනම වෙනස පේනවනෙ. ඒවෙනසට හේතුව තමයි එයා ඔයා ගැන වෙන දෙයක් හිතාගෙන ඉන්න එක”
සඳලිනී කියූ දෙය නොපිලිගෙන ඉන්නට, නොඅසා ඉන්නට හැකියාවක් අරුණලීට තිබුනේ නැත. අරුණලී උන්නේ තිගැස්සීය. නංගී කියන කතාව ඇත්තක් නම් තමා.කල යුත්තේ කුමක්ද?
“ඔයා එහෙම කියද්දි මට හරි බය හිතෙනවා.මං ආයෙ එයා එක්ක කතා නොකර ඉන්නද නංගි?”