සුහදිනී -22

“ලෝක යුද්දෙ පටන් ගන්න යන්නේ.උඹ කෝලිට දාන බෝල් වගේ නෙවේ මේවා”

සියුම් ඇඳ මත නාද දෙන අහස්ගේ ජංගම දුරකථනය ඔහු අත තැබී ය.ඒ තිරය මත සාරණ්‍යා යැයි සටහන් වී තිබේ.අහස් ඇය සමඟ ප්‍රේමයෙන් සිටි කාලයේ නම් ඇයගේ අංකය සටහන් වූයේ සුරතල් නමකින් බව සිහිව සියුම්ට සිනාවක් නැඟිණ.

“ආන්සර් නොකර හිටපං”

ඔහු ඊළඟ අවවාදය ලබා දුන්නේ ය.එහෙත් අහස් කියන්නේ හයේ පන්තියේ සිටම මිතුරා දෙන සෑම අවවාදයකට ප්‍රතිවිරුද්ධ දේ කරන්නෙකි.

“මොනවද ඔයා කියන්නේ?”

අහස්ගේ හඬ කෝපයට බර වූවානම් සියුම් සතුටු ය.නමුත් එය උපහාසයට බරව තිබේ.සාරණ්‍යා තවත් උරණ විය හැකි බව තේරුම් ගත් සියුම් හැකි ආකාරයට මිතුරා සන්සුන් කිරීමට උත්සාහ කළේ ය.සාරන්‍යා එකත් එකටම අසන්නේ වෙබ් අඩවියේ කතාව බව සියුම් ට පැහැදිලි ය.ඒ සම්බන්ධයෙන් ඕනෑවට වඩා කෝප ගැනීමෙන් අහස් ඇය සමග ගැටුමක් ඇති ඇති කර ගන්නවා දකින්නට සියුම් කැමති වූයේ නැත.

ඒ මිතුරියකි.ඒ හමුව සැලසුම් කිරීමක් නොවේ. අහඹු හමුවීමකි.දන්නා හඳුනන මිනිසුන් නොදන්නා ගානට සිටින්නට සාරන්‍යා උපදෙස් දුන්න ද ඒ කිසිම දිනෙක කරන හැකි දෙයක් නොවේ.අතිශය සතුටුදායක මොහොතකදී බදා වැළඳගෙන ප්‍රීති වනවාට වඩා මිතුරන් සමග රැඳිය යුත්තේ ඔවුන්ගේ වේදනාත්මක මොහොතකදී ය.සාරණ්‍යාට තමන් අතිශය අසාර්ථක වූ දවස් වලට ඇනුම්පද කියන්නට සිහිපත් වන තරමටම තරඟය සම්පූර්ණයෙන්ම තමන්ගේ අතට ගන්නා දවසට පුදුමාකාර ආදරයක් දීමට සිහිපත් වූ ආකාරය ගැන තමන්ට අමතක නොවන බව අහස් පැවසී ය.

ඒ කියවිල්ල සියුම්ට නතර කරන්නට හැකි වූයේ නැත.නමුත් අහස් වේගයෙන් කියවාගෙන ගොස් දුරකථනය විසන්ධි කිරීමෙන් පසු සියුම්ට අසන්නට තිබුණේ වෙනත් ප්‍රශ්නයකි.

“මොකටද බං එච්චර හෑල්ලක් ඉංග්‍රීසියෙන් කියාගෙන ගියේ. අනිත් එක උඹ කියලා තියෙනවා නේද ඒකිට ඉංග්‍රීසී බෑ කියලා.ඔය වගේ කාරණාවලදී මිනිස්සු පහත්  කරනවාට මම විරුද්ධයි.”

අහස් මන්ද ස්වරයකින් හිනැහියේ ය.ඔහු අනතුරුව ළඟදී කණ්ඩායමට එක් වූ තරුණයෙකුගේ නම පැවසී ය.ඔහු අන්ත දුෂ්කර ගමනක් පැමිණි බව සියුම් ද අසා තිබේ.

“හොඳට ප්ලේ කරල ඉවර උනාට පස්සෙ මිනිහට බය හිතෙනවා.වැරදිලා හරි මෑන් ඔෆ් ද මැච් වෙලා නම් කතා කරන්න වෙනවට කොල්ල බයයි.පුළු පුළුවන් හැටියට ඌට ඉන්ග්ලිෂ් උගන්නන්න අපි තීරණය කර ඊට පස්සේ.ඒකට කාලය යන හින්ද මම දවසක් ඌට වෙන කතාවක් කිව්වා.ඌ කතා කරන්නේ අපේ රටේ මිනිස්සුන්ට නේ බං.අනිත් මිනිස්සුත් අහන් ඉන්නව තමයි ඒ උනාට ඌ කියන දේවල් දැනගන්න ආසාවෙන් ඉන්නෙ අපේ රටේ මිනිස්සු.ඒ හින්ද උඹ දන්න සිංහලෙන් බය නැතුව කතා කරපන් කරපං කියල මම ඌට කිව්ව.”

අහස් එසේ කියන්නේ භාෂාව නිසා කිසිම දිනෙක තමන් කෙනෙකු පාගා නොදමන බව කියන්නට ය.පාසල් කාලයේ සෑම වසරකදීම ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් පන්ති තෑග්ග හිමි කර ගත්තේ ද ඔහු ය.ක්‍රිකට් නිසා කාර්යබහුල වන්නට පෙර ඉංග්‍රීසි භාෂා තරග සියල්ලෙහිම  ඉදිරියෙන් සිටියේ ඔහු ය.නමුත් ඔහු කිසිදිනෙක ඉංග්‍රීසි ආභරණය කරගත්තේ නැත.ඒ නිසා ඒ කතාව ඇත්ත බව සියුම් ද දනී.ඔහුට ඇති පුදුමය මේ මේ මොහොතේදී වෙනස්වීම ය.

“ඕක කාටහරි කියල ප්ලෑන් කරලා සකීම කරපු දෙයක් කියලා සාරන්‍යා කියනවා.සාරන්‍යා මහ කැත විදියට සකී ගැන කතා කරේ.මේක මට මාර ප්‍රශ්නයක් උනාට සකීට මාරම ඇචීව්මන්ට් එකක් කියලයි එයා කියන්නේ.ගොසිප් සයිට් එකක පදයක් හැදෙන එක කෙල්ලෙකුට එහෙම මාර දෙයක් වෙනවද? මට එයාව රිද්දන්න හිතුණේ ඒකයි.”

ඇය කිසිම දිනක අහස්ව හැර දමන්නට සිතන්න සිටි බව  සියුම් සිහි කළේ ය.ඔහු සාරණ්‍යාව බිඳුවක් වත් ප්‍රිය නොකරන බව ඇත්තකි.නමුත් දැක ඇති සත්‍ය ගැන පැවසීමට එය බාධාවක් නොවේ.

“එයාට ඕන වුණේ ලංකාවේ අනුශ්කා ශර්මා වෙන්න මිසක් මට ආදරේ කරන්නත් නෙවෙයි.”

 ආදරය ඇත්තේ භෞතික කාරණා සම්පුර්ණ කර ගැනීමෙන් බොහෝ ඉදිරි තැනක ය.සමාජ තත්ත්වයන් සකසා ගන්නට ආදරය පාවිච්චි කරන අය දවසක ඕනෑවටත් වඩා මානසිකව ඇද වැටෙන බව අහස් දනියි.එවැනි සිදුවීම් ඔහු ඕනෑ තරම් දැක තිබේ.එතැනට දැනදැනම වැටෙන්නට ඔහුට උවමනාවක් නැත. 

“ගිය මිනිස්සු ගියානම් හොඳයි.හරි! සාරණ්‍යා මොනවහරි කරොත් අපි ඒක එතකොට බලාගමුකෝ.මේ ප්‍රශ්නෙටත් මම කියන්නේ හෙමින් සැරේ යට යන්නේ ඉඩ අරින්න.සකීගේ මූණ පේන්නේ නැති එකම ලොකු දෙයක්නෙ.මම පොඩ්ඩක් විපරම් කරලා බැලුවා සකීගෙ පස්සෙන් ආපු කවුරුත් කැම්පස් එකේ නැහැ.එහෙම රිජෙක්ට් වුණ එකෙක් හිටිය නං ඔන්න මේ වෙලාවෙ පළිගන්නව.මේවා වෙබ් සයිට් වලින් කරන විකාර වැඩ කියලා අපේ එවුන් පණ යනකන් ඒක රිපෝට් කරනවා.ගොඩක් වෙලාවට ගැලවිලා යන්නත් පුළුවන්.”

සියුම් පැවසූ දිග කතාවට පසු අහස්ට පැවසීමට තිබුණේ වෙනම කාරණාවකි.එය සියුම්ගේ කෝපය අවුලුවන්නට සමත් විය.

“මට සකීව මුණ ගැහෙන්න ඕන!”

යට යමින් පවතින සිද්ධියක් නැවත මතු කරගන්නට මිතුරාට ඇති උවමනාව ගැන සියුම් කෝප ගත්තේ ය.නොනවත්වාම විවිධ ඕපාදූප හදා ගැනීම වෙනුවට ඔහුට කරන්නට අප්‍රමාණ වැඩ ඇතැයි පවසමින් සියුම් ඔහුට බැණ වදින්නට පටන් ගත්තේ අහස්ගේ සැබෑ අදහස් ගැන කිසිම වැටහීමකින් තොරව ය.

“ඒ ළමයට පාඩුවෙ ඉන්න දීපං”

අහස් කියන්නේ සෙල්ලක්කාරයෙකු නොවේ.නමුත් අනතුරු ඇඟවීම කෝකටත් හොඳ බව සියුම් සිතී ය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles