රස ගුණ පිරුණු නෝකෝල් මැල්ලුමක් හදමු

විටමින් C, B6, පොටෑසියම්, මැංගනීස්, ෆෝලේට් සහ ෆයිබර් වගේ පෝෂක වලින් සංතෘප්ත නෝකෝල් කියන්නෙ ශරීරයේ බර සෞඛ්‍යාරක්ෂිත ලෙස අඩුකරන්න, රුධිර පීඩනය නිසි ආකාරව පවත්වගෙන යන්න වගේම ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරන්නත්, ඇස් වල පෙනීම වැඩි දියුණු කරන්නත්, අස්ථි ශක්තිමත් කරන්නත් හොඳ සහයෝගයක් ලබා දෙන එළවළුවක්. 

කොච්චර ගුණදායක වුනත් නෝකෝල් කියන්නෙ අපි වැඩිදෙනෙක් අතර විශේෂයෙන්ම කුඩා දරුවො අතර එතරම් ජනප්‍රිය ආහාරයක් නම් නෙමෙයි. 

එහෙම කියල ගුණදායක දේවල් ශරීරයට ලබා නොදිත් බෑනෙ. ඒ නිසා ඔන්න smart lady අපි වෙනස්ම ක්‍රමයකට හදන නෝකෝල් මැල්ලුමක් හදාගන්නෙ කොහොමද කියල ඔබත් එක්ක බෙදාගන්න තමයි අද මේ ලැස්ති වෙන්නෙ. 

මුලින්ම අපි බලමු අපිට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියල?

අවශ්‍ය ද්‍රව්‍ය 

නෝකෝල් කොළ 250 g ක

ගාගත් පොල් අඬු කෝප්ප 01 ක් පමණ

සිහින්ව ලියාගත් රතු ලූණු ගෙඩි 05 ක් 

සිහින්ව ලියාගත් අමු මිරිස් කරල් 02 ක් 

ලුණු කුඩු

කහ කුඩු තේ හැඳි ¼ ක් 

කුඩාවට කපාගත් වියළි මිරිස් කරල් 02 ක්

කරපිංචා ඉත්තක කොළ

අබ තේ හැඳි 01 ක් 

තෙල් 

සාදාගන්නා ආකාරය 

මුලින්ම, නෝකෝල් කොළ හොඳින් සෝදා වතුර බේරාගෙන සිහින්ව ලියා පසෙකින් තබාගන්න. 

මුලින්ම, භාජනයක් ගෙන එයට ගාගත් පොල්, අමු මිරිස්, ලූණු, කහ කුඩු සහ රස අනුව ලුණු කුඩු එකතු කර හොඳින් කලවම් කරගන්න. 

දැන් මේ මිශ්‍රණය ගලේ අඹරාගන්න. 

(කුඩා වංගෙඩියක් ආධාරයෙන් කොටාගන්න වුනත් පුළුවන්)

ඊළඟට, අඹරාගත් පොල් මිශ්‍රණයට ලියාගත් නෝකෝල් කොළ ටික එකතු කර හොඳින් කලවම් කරගන්න. 

දැන්, සාමාන්‍ය ප්‍රමාණයේ භාජනයක් ලිපතබා එයට තෙල් මේස හැන්ඳක් පමණ එකතු කරගන්න. 

තෙල් රත්වූ පසු එයට අබ ඇට දමා අබ පිපිරී අවසන් වූ පසු වියළි මිරිස් සහ කරපිංචා එකතු කර බැඳීමට තබාගන්න. 

වියළි මිරිස් සහ කරපිංචා මඳක් බැඳුණු පසු එයට පොල් මිශ්‍රකරගත් නෝකෝල් කොළ ටික දමා හොඳින් හැඳිගාමින් විනාඩියක් දෙකක් පමණ කොළ ටික මලවාගෙන ලිපෙන් ඉවත් කරගන්න. 

ඔන්න රස වගේම ගුණ පිරුණු නෝකෝල් මැල්ලුම රසවිඳින්න ඔබට දැන් පුළුවන්. 

මේ වගේම රසවත් කෑමක් ගැන ඔබත් එක්ක කතා කරන බලාපොරොත්තුවෙන් අපි අද ඔබෙන් සමුගන්නවා. 

රසට කන්න – සුවෙන් ඉන්න !

සටහන – දුලානි නවෝද්‍යා  

Related Articles

Don't Miss


Latest Articles