ඒකපාර්ශ්වික 01

දුරකථනය නාද වන විට මේඝා උන්නේ අඩ නින්දේය. සෙනසුරාදා නිසා උදෑසන අට නමය වනතුරු නිදන්නට මේඝා සිතුවේ පහුගිය දින කිහිපයක් පුරාවටම හරිහැටි නින්දක් නොලැබූ නිසාවෙනි. කොට්ටය අසල තිබූ දුරකථනය අතට ගෙන බැලූ මේඝාට දුරකථන තිරයේ දක්නට ලැබුණේ ” ලොකු අක්කා ” ලෙසිනි. මේඝා ඇමතුමට පිළිතුරු දුන්නේ දෙගිඩියාවෙනි.

” හෙලෝ මේඝා , කොහෙද ඉන්නේ ? ” 

ලොකු අක්කා සුපුරුදු තෙතමනයක් නැති හඬින් ඇසුවේ මේඝා වචනයක් වත් කියන්නට කලිනි.

” ගෙදර. අද සෙනසුරාදානේ “

” ආ එහෙමද ?  මෙහේ අම්මා ලෙඩ වෙලා ඉන්නේ නිකන්වත් බලන්න එපා ” 

ලොකු අක්කා කෑ ගසන්නේ අම්මා අසනීප වීමට හේතුව තමා නිසා වගේය.

” තමුසෙ ඔහෙට වෙලා සැපට නිදි. ගෙදර ප්‍රශ්න ගැන කිසි ගානක් නෑ. තමුසෙ ඉතින් කොහොමත් මහා ආත්මාර්ථකාමී ගෑනියෙක්නේ ” 

දෑස් වලින් කඳුලු ගලාගෙන එන්නට ගත වූයේ මොහොතකි. මේඝා ආයාසයෙන් වචන ගලපා ගත්තාය.

” සල්ලි ඕනෙද ? ” 

” ඔව්. පුළුවන් නම් විස්සක් විතර දානවකො. චූටිටයි මටයි දෙන්නටම සල්ලි නෑ මෙච්චර කරන්න. අම්මට පපුවේ මහන්සිය කිව්වට ඩොක්ටර් ළඟට ගියාම එක එක රිපෝට්ස් ගන්න කියනවා. ඕවා අපිට කරන්න බෑ. ” 

එසේ කියූ ලොකු අක්කා ඇමතුම අවසන් කළේ තමා ළඟ සල්ලි තිබෙනවාද නැද්ද කියාවත් අසන්නට නොනැවතෙමිණි.මේඝා කොට්ටෙන් මුහුණ වසාගෙන දෙනෙත් වලට උනන කඳුළු වලට ගලා යන්නට ඉඩ හැරියාට එය සිතනා තරම් පහසු වූයේ නැත.

” තමුසෙ මහ ආත්මාර්ථකාමී ගෑනියෙක් ” 

අක්කලාගේ මුවින් නිතරම එවදන් පිටවූවත් මේඝා සෑම විටකම උත්සහ කලේ ඔවුන්ව පහසුවෙන් තබන්නටය. ලොකු අක්කා ” ලොකූ වුවත් ,පොඩි අක්කා ” චූටී ” වූවත් අම්මා තමාට ඇමැතුවේ ” මේඝා ” කියාය. ලොකු අක්කා ඇගේ හීන පසුපස හඹා යද්දි මෙන්ම පොඩි අක්කා විවාහ වෙද්දිත් මේඝාට සිදුවූයේ වගකීම් සියල්ල කරට ගෙන ජීවිතය වෙනුවෙන් සටන් කරන්නටය. එහෙත් ලබන්නට සිදුවූයේද චෝදනා සහ අපහසම පමණකි.

කුඩා කල තාත්තා හැර ගිය පසු අක්කලා දෙන්නාගේ සහ අම්මාගේ කෙනෙහිලිකම් මැද ඉගෙනීම් කටයුතු අවසන් කළ මේඝා සියල්ල හැර දමා කොළඹ පැමිණියේ දහසකුත් බලාපොරොත්තු ඇතිවය.තාත්තා කර තිබූ එකම හොඳ දෙය නම් බැංකු පොත් වල සැලකිය යුතු මුදලක් ඉතිර කර තබා යෑම වුවත් අක්කලා දෙදෙනාම නිස්කාරණේ ඒවා නාස්ති කර දැම්මේ එක එක හේතු කියමිනි.  පාසල් යන කාලයේ සිටම තිබූ ලිවීමේ හැකියාවට පින් සිදු වන්නට ” Rainbow Eye ” නම් වූ වෙළඳ ප්‍රචාරණ ආයතනයක ඉතා හොඳ වැටුපක් සහිතව රැකියාව ලද මේඝා බින්දුවේ සිට ජීවිතය පටන් ගත්තේ ඔය සියල්ල එලෙස සිදුවෙමින් පවතිද්දීය. 

” ලොකු අක්කා රඟපාන්න ආසයිනේ.ඔයාට පුළුවන් නේ එයාට උදව්වක් කරන්න.ඔයාගේ ඔෆිස් එකේ ටීවී ඇඩ් එහෙම කරනවා කියලා අක්කා කිව්වා ” 

තමා කරන රැකියාව ගැනවත් , ආයතනය ගැනවත් මෙලොව හසරක් නොදන්නා අම්මා දිනක් දුරකථනයෙන් අමතා කිව්වේ ලොකු අක්කාගේ උවමනාවට බව මේඝා නොදන්නවා නොවේ.නිලියක වීමේ ආසාව ලොකු අක්කා තුල පැන නැග්ගේ ඉගෙනුමද පසෙකලා වුවත් අම්මා කිසි දිනක ඇයට වචනයක් වත් කිව්වේ නැත. 

” මම බලන්නම් අම්මේ. Tv commercials වලට ඉතින් වැඩිපුර ගන්නේ professional models ලානේ. ” 

” ඔයාට ඉතින් කොහොමත් අපි මොනහරි කිව්වොත් බැහැනේ.සහෝදරකමක් ගෑවිලාවත් නෑ ” 

අම්මා සාප කරමින් ඇමතුම විසන්ධි කර දැමූ ආකාරයත් ඉන් සති ගනනාවක් යනතුරුමත් අම්මාගෙන් ඇමතුමක් නොවූ බවත් මේඝාට මතකය.

” පොඩි අක්කා වෙඩින් එක ගන්න යන්නේ.එයාට සල්ලි ටිකක් හොයලා දෙන්න වෙයි ” 

අම්මා කතා කලේ උවමනාවකටය. ඒ ඇරෙන්නට ඔවුන් තමාගේ සැප දුක අසන්නටවත් අමතන්නෙ නැති බව මේඝා දනී.

” මං කොහෙන්ද අම්මේ සල්ලි හොයන්නේ ? හම්බ කරන කීය හරි තමයි මං පුළුවන් වෙලාවට අම්මට දාන්නේ.මාත් ජීවත් වෙන්න එපැයි ” 

මේඝා කිව්වේ සැබෑවටමය. කොතරම් කෙනහිලිකම් වලට ලක් වූවත් පවුලට නොසලකා ඉන්නට ඇයට සිත් දුන්නෙ නැත.වැටුපෙන් කොටසක් අම්මාට වෙන් කලේ ඒ නිසාය.

” ඇයි ඔයා ලඟ තාත්තා දාපු සල්ලි ඇතිනේ ? ” 

” ඒක මම අල්ලන්නෙවත් නෑ කියලා අම්මා දන්නවනේ. මට හදිස්සියක් උනොත් කියලා මම ඒක තියන් ඉන්නේ ” 

” මේකත් හදිස්සියක් තමයි.තමන්ගෙ අක්කගෙ වෙඩින් එකට දෙන්නෙ නැති සල්ලි මොකට තියන් ඉන්නවද ? ” 

අම්මා කියන්නේ මහා අසාධාරණ කතාවකි. මේවාට පිළිතුරු දිය යුත්තෙ කෙසේදැයි කියාවත් මේඝාට නොතේරේ.

” සතයක් වත් දෙන්න එපා මේඝා. ඔයාට අසනීපයක් උනොත් හොස්පිට්ල් එකකට ගෙවන්න හරි තියෙන්නෙ ඕකනේ ” 

අම්මාගෙ ඇමතුම ගැන කී විට මේඝාගේ හොඳම මිතුරිය නිකිනි කීවේ එහෙමය. එය ඇත්තය. තමාට කිසිවෙකුගේ පිහිටක් නැත. ඒ නිසාම මුදල් ඉතිරියේ වටිනාකම මේඝා දන්නේය. මාස දෙක තුනකට පසුව දිනක මේඝා ආරාධනා නොලැබූ පොඩි අක්කාගෙ විවාහය කෙරුන බව මේඝා දැන ගත්තේද නැන්දා කෙනෙකුගෙනි.

” මුන් නම් මිනිස්සු වෙන්න බෑ ” 

මේඝා රැකියාවට නොයා හඬා වැටෙද්දි නිකිනි වගේම ඇය ඇරුනුකොට මේඝාට සිටින එකම කුඩා කල සිට යාලුවා වූ ධනුක තරහෙන් පිපිරෙමින් කීවේය. මේඝාගේ ජීවිතේ අගක් මුලක් නෑරම දන්නේ ඔවුන් පමණක් නිසා මේ අසාධරණකම් හමුවේ නොවැටී ඉන්නට මේඝාට තරමක හෝ හයියක් වන්නේ ඔවුන් දෙදෙනාය.කෙසේ හෝ පවුලේ විශේෂ අවස්ථා වලට ආරාධනා නොලැබුනත් එක කුස උපන් සහෝදරියගේ විවාහයට ආරාධනා නොලැබීම දරන්නට තරම් මේඝා ශක්තිමත් නොවීය.

සියල්ල එකින් එක සිහි වෙද්දි මේඝා බොහෝ වේලා හැඬුවාය.හිතට දැනෙන්නේ සුවිශාල බරකි. එය නිදහස් කරගන්නට ඇයට උවමනා විය. නැවතත් දුරකථනය අතට ගත් මේඝා නිම්නාදගේ අංකය ඇමතුවේ ඉන්පසුවය.

” Line busy ” 

තිරයේ සටහන් වූයේ එලෙසිනි. මේඝා කිහිප වරක් නිම්නාද ඇමතුවාය. නිම්නාද ඇමතුමට පිළිතුරු දුන්නේ මේඝා හයවෙනි වරටත් ගත් පසුය

” ඇයි මේඝා ?” 

නිම්නාද අසන්නේ කරදරයෙනි.

” කතා කරන්න පුළුවන් ද ?” 

මේඝා හැඬුම අතරින් ඇසුවාය.

” මොකද ඔයා මේ උදේ පාන්දර අඬන්නේ ?” 

නිම්නාදට එතරම් වගක් නැති බව මේඝාට දැනුනි.සති දෙක තුනක් තිස්සේ නිම්නාද මෙහෙමය.එහෙත් එයට හේතුවක් හිතා ගන්නට මේඝාට නොහැකිය.

” ලොකු අක්කා කතා කරා ” 

” ඉතින් ?” 

මේඝා කෙටියෙන් නමුත් ලොකු අක්කා සමඟ සිදුවූ කතා බහ නිම්නාද ඉදිරියේ දිග හැරියාය.නිම්නාද නිහඬව සියල්ල අසා උන්නේය

” හරි හරි දැන් ඕක හිතන්නෙපා .මම පස්සෙ ගන්නම්. දවල් ශූට් එකක් මට ” 

එපමණක් පමණක් කියා නිම්නාද ඇමතුමෙන් ඉවත් වෙද්දි මේඝාට හෙලුනේ දිගු සුසුමකි. ආදරණීයෙකු හඬා වැටෙන විට කෙනෙකුට දිය හැකි පිළිතුර එයද කියා මේඝා කල්පනා කලාය. මේ ඉන්නේ කාලයකට පෙර තමා සමඟ හුන් නිම්නාද නොවන බව මේඝාට පසක් වෙමින් තිබුනත් එය පිළිගන්නට තරම් මේඝාට සවියක් තිබුනේ නැත. අමිහිරි යමක් සිදුවෙන්නට යන සේයාවක් දැනුනත් මේඝා උන්නේ ඒ සිතුවිල්ලෙන් මෑත් වෙන්නට උත්සහ කරමිනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles