ශිෂ්‍යත්වයෙන් පසු ඔබේ දරුවා

ශිෂ්‍යත්ව ප්‍රතිඵල පැමිණීම නිසා මව්වරුන් හා දරුවන් අතර සබඳතා දැඩි වන හා අඩුවන කාලයක් මේ. ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දරුවන්ටත් වඩා වෙහෙස වන්නේ මව්වරු. තරඟකාරි අධ්‍යාපනික රටාව නිසා මව්වරුන්ට දොස් නඟන්න නොහැකි වුණත් මේ තරඟය අවසානයේ හැම කෙනෙකුටම ලැබෙන්නේ සිනාවක් පමණක් ම නෙවෙයි. ප්‍රතිඵල කුමක් වුවත් දරුවාට මව් සෙනෙහස අවශ්‍යයයි. එසේම ඔබත් දරුවාත් අතර සම්බන්ධය වඩාත් තහවුරු විය යුතු මොහොතක් මේ.

ඔබේ දරුවා ශිෂ්‍යත්වය සමත් නම්.. 

ඔබේ දරුවා ශිෂ්‍යත්ව විභාගය සමත් නම් ඔබ බොහොම සතුටෙන් වග අපට විශ්වාසයි. පොරොන්දු වූ තෑගි දරුවා අතට දෙන්න අමතක කරන්න එපා. ඒ ඔබත් දරුවාත් අතර විශ්වාසය ගොඩනැඟෙන්නට හොඳම සාධකයක්. දරුවාට තම ජයග්‍රහණය වටිනා එකක් වග හැඟවිය හැකි දේ ආදරණීය හාදුවක්, වැළඳ ගැන්මක් සමඟ ඔබ ලබා දෙන අගය කිරීම.තෑග්ගක් ලබා දිය යුත්තේ දරුවාට සතුට ලබා දීමටත් තව තවත් ජයග්‍රහණ ලබා ගැනීම වෙනුවෙන් උත්තේජනය කිරීමටත්. එසේම ජයග්‍රහණය යනු උඩඟු විය යුත්තක් නොවන වගත් දරුවාට කියා දෙන්න.අසමත් මිතුරන් කොන් කිරීම හෝ වැඩි වරප්‍රසාද බලාපොරොත්තු වීම තරම් නොවන වග කියමින් වඩාත් තරඟකාරී අධ්‍යාපනික ජීවිතය ඇත්තේ මෙතැනින් ඉදිරියට වග දරුවාට පහදන්න.

ඔබේ දරුවා විභාගය අසමත් නම්..

ඔබේ දරුවා අසමත් නම් ඔබ ක්‍රියා කළ යුත්තේ බොහෝ කල්පනාකාරීව. අසමත් වේදනාව සමඟ දෙමාපියන්ගේ ආදරය අහිමි වේදැයි බියෙන් දරුවා පසුවෙන කාලයක් මේ. පරාජය ජීවිතයට පන්නරය රැගෙන එන බව දරුවාට කියා දෙන්න. හැකි තරම් මහන්සි වී ප්‍රතිඵල ලබා ගත යුතු ආකාරයත් ඇතැම් විට මහන්සියේ තරමට ප්‍රතිඵල නොලැබෙන වගත් එහෙත් අප කඩා වැටෙන්ට අවශ්‍ය නැති බවත් දරුවාට පැහැදිලි කරන්නට හැකි කෙනා වෙන්නේ මව. සමත් හොඳමමිතුරන්ට ලැබෙන තෑගි ගැන අසමින් දරුවා පසුවන්නේ දුකින් විය හැකියි. ඒ නිසා ත්‍යාගයක් ලබා දී තව දුරටත් දරුවාව විශ්වාස කරන බව කියන්න.

තරඟ විභාගයක් නිසා මානසික කඩා වැටීමට ලක්වූ දරුවෙකු හෝ තමන් ගැන අධි තක්සේරුවක් සහිත දරුවෙකු බිහි වීම පාලනය කළ හැකි හොඳම පුද්ගලයා වන්නේ අම්මා වග හොඳින් සිහි තබා ගන්න.

 – නිබන්ධිකා වන්නිනායක –

Related Articles

Don't Miss


Latest Articles