අර්ශස් ගැන කතා කරන්න ලැජ්ජද?

අර්ශස් ගැන කතා කරන්න ලැජ්ජද? 

අද smart lady අපි කතා කරන්න සූදානම් වෙන්නෙ සමාජයෙන් ⅓ ක පිරිසකට ඇති යැයි විශ්වාස කරන ඒ වුනත් වැඩි කතාබහට ලක් නොවෙන පීඩාකාරී සෞඛ්‍ය ගැටළුවක් වන අර්ශස් සම්බන්ධවයි. 

ශරීරයේ ඕනෑම ස්ථානයක ඇතිවෙන සෞඛ්‍ය ගැටළු වලට ඔබ දක්වන අවදානය හා සමාන අවදානයක් යොමුකල යුතු සහ නිසි ප්‍රතිකාර සහ සැළකිලි දැක්විය යුතුම අර්ශස් කියන්නෙ මොන වගේ තත්වයක්ද කියල අපි මුලින්ම බලමු. 

අර්ශස් කියන්නෙ මොකක්ද?

අර්ශස් එහෙමත් නැත්නම් hemorrhoids කියන්නෙ, ඔබේ ගුද මාර්ගයේ පහළ කොටසේ මළපහ පිටකිරීම සඳහා හැඩගැසී ඇති ඉලිප්පුණු ප්‍රදේශ, ඉදිමුණු තත්වයට පත්වීමෙන් ඇතිවෙන සෞඛ්‍ය ගැටළුවකට කියල සරලවම හඳුන්වන්න පුළුවන්. 

ගුද මාර්ගයේ මේ ප්‍රදේශ වල ඇති මේ රුධිර නාලිකා ඇඳීමට ලක්වෙලා ඉතාම තුනී තත්වයට පත්වෙන්න පුළුවන් වගේම ඒවා ඉදීමී, දැවිල්ලක් ඇතිවීම වගේ තත්වයන් වලට පත්වෙන්නත් පුළුවන්. 

අර්ශස් කියන්නෙ භයානක රෝගී තත්වයක් නොවුනත් අර්ශස් කියන්නෙ ඉතාම පීඩාකාරී සෞඛ්‍ය ගැටළුවක් කියල දැනටමත් අර්ශස් රෝගයෙන් පෙළෙන ඔබ දන්නව ඇති. 

අර්ශස් ගුද මාර්ගයෙන් පිටත වගේම ගුද මාර්ගය තුළත් ඇතිවෙන්න පුළුවන්. ගුද මාර්ගය ඇතුළත ඇතිවෙන අර්ශස් තත්වය අභ්‍යන්තර අර්ශස් / internal hemorrhoids සහ ගුද මාර්ගයෙන් පිටත ඇතිවෙන අර්ශස් තත්වය බාහිර අර්ශස් / external hemorrhoids කියල හැඳින්වෙනවා. 

ඒ වගේම අභ්‍යන්තර අර්ශස් වර්ග 04 කුත් හඳුනාගන්න පුළුවන්.

පළවෙනි වර්ගයේ එහෙමත් නැත්නම් grade 1 අර්ශස් ගුද මාර්ගයෙන් පිටතට පැමිණීම සිදුවෙන්නෙ නෑ. 

දෙවෙනි වර්ගයේ එහෙමත් නැත්නම් grade 2 අර්ශස් ඔබ මලපහ පිටකිරීම සඳහා තටමන විට ගුද මාර්ගයෙන් පිටතට පැමිණෙනව වගේම ඉබේම නැවත ඇතුලට යාමත් සිදුවෙනවා. 

තුන්වෙනි මට්ටමේ එහෙමත් නැත්නම් grade 3 අර්ශස් ඔබ මලපහ පිටකිරීම සඳහා තටමන විට ගුද මාර්ගයෙන් පිටතට පැමිණෙන නමුත් ඉබේම ඇතුලට යාම සිදුවෙන්නෙ නෑ. ඔබ ඒවා අතින් ඇතුලට යැවිය යුතුයි. 

ඒ වගේම හතරවන මට්ටමේ එහෙමත් නැත්නම් grade 4 අර්ශස් දිගටම ගුද මාර්ගයෙන් පිටතම පවතින අතර එවා ගුද මාර්ගයෙන් ඇතුලට යාම සිදුවෙන්නෙත් නෑ. 

ඊළඟට අපි බලමු අර්ශස් හඳුනාගන්න අපිට උපකාරි වෙන රෝග ලක්ෂණ මොනවද කියල?

රෝග ලක්ෂණ 

අභ්‍යන්තර අර්ශස් බොහෝ විට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන්න පුළුවන් වගේම ඔබේ මලපහ වල සහ මලපහ කල පසු වැසිකිලියේ රුධිරය දකින්න ලැබෙන්නත් පුළුවන්. 

මීට අමතරව,

මලපහ කරන විට ඇතිවෙන වේදනාව (සාමාන්‍ය අවස්ථාවේදීත් / වාඩිවී සිටින විට වේදනාව ඇතිවෙන්න පුළුවන්)

රෝස පැහැයෙන් පෙනෙන මෘදු සහ තෙත් ගැටිති

ලේ ගැලීම

කැසීම

ඉදිමීම වගේ රෝග ලක්ෂණ ඇතිවෙන්න පුළුවන්. 

දැන් අපි අවදානය යොමු කරන්න සූදානම් වෙන්නෙ අර්ශස් ඇතිවෙන්න හේතු මොනවද කියලයි. 

හේතු

මළ බද්ධය

මේ තත්වය ඇතිවෙන්න ඔබ අවශ්‍ය පරිදි ජලය පානය නොකිරීම, පලතුරු සහ තන්තු අඩංගු ආහාර අඩුවෙන් ඔබේ ආහාර වේලට එකතු කර ගැනීම වගේ හේතු බලපාන්න පුළුවන්. 

මළ බද්ධය නිසා ඝනවූ මලපහ පිටකිරීමේදී ලේ කැටියක් ඇතිවෙන්න පුළුවන්. 

මළපහ කරන විට තැටමීම

ශාරීරය වෙහෙසවා කරන වැඩ කටයුතු (බර එසවීම වැනි) වලදී වෙහෙසට පත්වීම. 

තරබාරුව

ගර්භණී වීම

ගර්භණී අවස්ථාවේදී වර්ධනය වන ගර්භාෂය මඟින් ඔබේ රුධිර නාල තද කිරීම සිදුකරන විට අර්ශස් තත්වයන් ඇතිවීම ඉතාම සුලභව දකින්න ලැබෙන තත්වයක්. 

ගුද සංසර්ගය

වැඩි වේලාවක් වැසිකිලියේ වාඩිවී ගත කිරීම 

වයස්ගත වීම

වයසට යාමේදී ගුද මාර්ගයේ පටක වල ශක්තිය අඩුවී ඒවා දුර්වල වීම වගේම උපතේදීම දුර්වල ගුද මාර්ගයේ පටක පැවතීමත් මේ සඳහා හේතු වෙන්න පුළුවන්. 

හොඳයි, දැන් අපි බලමු අර්ශස් රෝගයේ ඇතිවෙන්න වැඩි අවදානමක් තියෙන අවදානම් සාධක මොනවද කියල?

අවදානම් සාධක 

ජාන බලපෑම 

ඔබේ දෙමාපියන්ට හෝ පවුලේ අයට අර්ශස් රෝගය තියෙනව නම් ඔබටත් අර්ශස් සෑදීමේ අවදානමක් තියෙනවා. 

වයස

වයස්ගත වීමත් සමඟ ගුද මාර්ගයේ පටක දුර්වල වීමේ අවදානමක් තියෙනව කියල අපි කලින් සඳහන් කරා ඔබට මතක ඇති.

ගර්භණීභාවය

ඔබ ගර්භණී නම් ඔබට අර්ශස් වැළදීමේ ඉඩකඩ වැඩි බවත් සඳහන් කළ යුතුයි. 

වැඩි වේලාවක් වාඩිවී සිටීම

ඔබ වැඩිපුර වාඩිවී, එකම ඉරියව්වෙන් ඉන්න කෙනෙක් නම් ඔබේ ගුද මාර්ගයේ රුධිරය එකතු වී රුධිර නාල මත පීඩනයක් ඇති කිරීම මීට හේතුව ලෙස සඳහන් කරන්න පුළුවන්. 

ඉතිං, ඔබ මේ අවදානම් කාණ්ඩ වලට අයිති කෙනෙක් නම්, අර්ශස් රෝග ලක්ෂණ පිළිබඳ වඩා සැළකිලිමත් වීමත් අපි ඉහත සාකච්ඡා කර රෝග ලක්ෂණ එකක් හෝ කීපයක් දකින්න ලැබෙනව නම් ඒ ගැන වෛද්‍යවරයෙක් හමුවී අදාල උපදෙස් ලබා ගැනීම අත්‍යාවශ්‍ය බවත් අපි ඔබට මතක් කරනවා. 

එහෙනම්, ඔබේ ශරීරයේ අනෙකුත් ස්ථාන වලට වගේම අවදානයක් ඔබේ ගුද මාර්ගයටත් ලබාදෙන ලෙස ඔබට මතක් කරමින් අපි අද ලිපිය අවසන් කරනවා. 

සුවෙන් ඉන්න !

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles