ඒකපාර්ශ්වික 18

මේඝා සිහිසුන් වී ඇද වැටෙනු මුලින්ම දුටුවේ අහස් ය. ඔහු අත තිබූ වතුර වීදුරුව රැගෙන දිව විත් මේඝාගේ හිස ඔඩොක්කුව මතට ගෙන ඇයට වතුර ඉස කිහිප වරක් කතා කලද ඇයට හරි හැටි සිහියක් ලැබුනේ නැත.

” මේඝා ? මේඝා ? ” 

මේඝා යන්තමින් ඇසි පිය සැලුවද සම්පූර්ණයෙන් දෑස් හැර බලන්නට තරම් ඇයට ප්‍රාණවත් බවක් තිබුනේම නැත. අවට කිහිප දෙනෙකු සිටින බව පෙනුනත් ඒ මොහොතේ සිදුවන්නේ කුමක්දැයි හරියටම තෝරා බේරා ගන්නට මේඝා අපොහොසත් විය.

” මේඝාව හොස්පිට්ල් ගෙනියමු. ඔයාලාගේ  වෙහිකල් එක ගන්න කියන්න  ” 

අහස් කෑගැසුවේ වටපිට බලමිනි. ඔහු උන්නෙ බොහෝ කලබලයෙනි.නමුත් කළ යුතු දේ පිළිබඳව කිසිවෙකුටත් අදහසක් නොවීය.

” අහස් ප්‍රඩක්ශන් ටීම් එකේ වෙහිකල් එක තාම ඇවිත් නෑ ” 

අපූර්වා කීවාය. එකෙණෙහිම අහස් මේඝාව දෝතට ඔසවා ගත්තේ කිසිවෙකුටත් කිසිවක් හිතන්නට ඉඩ නොතබමිනි. අහස් කෙලින්ම ගියේ ඔහුගේ රථය දෙසටය. අපූර්වා එහි දොර විවෘත කර අහස්ට ඉඩ දුන් පසුව අහස් මේඝාව පරිස්සමින් ආසනය මත තබා හිස අත ගාන ආකාරය අපූර්වා බලා සිටියාය. 

” අපූර්වා යන් ” 

අහස් රියදුරු අසුන දෙසට දිවගියේ අපූර්වාට එසේ කියමිනි. අපූර්වා රථයට නගිද්දි කාර්යාල සගයෙක් බිම වැටී තිබූ මේඝාගේ දුරකථනය ගෙනවිත් අහස්ට ගෙනවිත් දුන්නේ එයට නිකිනිගෙන් ඇමතුමක් පැමිණෙමින් තිබුණු නිසාය.

අහස් නිකිණිගේ ඇමතුමට පිළිතුරු දී මේඝාගේ තත්වය පැහැදිලි කර හැකි තරම් වේගයෙන් රෝහල දෙසට රථය ධාවනය කරන අයුරු අපූර්වා නිහඬවම බලා උන්නාය. ඒ අතරතුර රථයේ තිබූ වතුර බෝතලයක් ගෙන අපූර්වා දෙසට දිගු කර එය මේඝාට පොවන ලෙස කියමින් වරින් වර පසුපස හැරී මේඝා දෙස බලන කලබලකාරී සුන්දර තරුණයා දෙස අපූර්වා බලා සිටියේ පිරුණු හැඟීමකිනි.

පෙර දින රැයේ ලබාගෙන තිබූ බෙහෙත් අධි මාත්‍රාව සහ හරි හැටි ආහාර නොගැනීම නිසා මේඝා සිටියේ තරමක දුර්වල තත්ත්වයකය. ඒ නිසා ඇයව හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කරන්නට වෛද්‍යවරුන්ට සිදු විය. 

නිකිනි සහ ධනුක රෝහලට දිව ආවේ කලබලයෙනි. මේඝාව රෝහලට රැගෙන එන අතරතුර නිකිනි මේඝා ඇමතුවේ ඇගෙන් මගහැරුණු ඇමතුම් කිහිපයක්ම තිබූ නිසාවෙනි. දුරකථනයට පිළිතුරු දුන් අහස් මේඝා පිළිබඳව විස්තර කියූ නිසා නිකිනි ධනුක සමග පැමිණියේ අහස්ට ස්තුති කරමිනි.

” තෑන්ක්ස් මචන් ” 

ධනුක අහස්ට අතට අත දී කීවේය.නිකිනිට සහ අහස්ට අමුතුවෙන් හඳුනාගන්නට දෙයක් නොතිබුණත් ඇයද අහස්ට ස්තුති කරන්නට අමතක කළේ නැත. 

” උදේ ඉඳලම එයාගේ මූඩ් එක එච්චර හරි නෑ කියලා මම නෝට් කලා.එයාගෙන් ඇහුවට එයා කිව්වේ නැහැ. ඒත් මම හිතුවේ නැහැ මෙහෙම දෙයක් වෙයි කියලා. කෝකටත් ඩොක්ටර් කියන විදියක් කරලාම මේඝාව ඩිස්චාජ් කර ගමු  ” 

අහස් කීවේ දෙදෙනාම දෙස බලමිනි.

” හරියට සිහිය ආවට පස්සේ තමයි එයා ඩොක්ටර්ට කියලා තිබ්බෙ ඊයේ එයාගේ ඩ්‍රග්ස් වලින් එයා හයි ඩෝස් එකකින් ගත්තා කියලා ” 

අහස් ධනුකට තවත් විස්තර කීවේය. එහෙත් ඒ ” ඩ්‍රග්ස් ” මොනවාදැයි අසන්නට අහස්ට හිත දුන්නේ නැත. මේවා නිවී සැනසිල්ලේ අසා ගත යුත්තේ මේඝා ගෙන්ම බව ඔහු සිතුවේය. 

” මේකි කොහොමත් ඉඳලා හිටලා ඔය වගේ මැටි වැඩක් කරලා මරාලයක් පාත් කර ගන්නවා තමයි “

ධනුක කීවේ මේඝා කෙරෙහි ආදරයෙනි. ඒ වගේම ඇය අනතුරකින් මිදීම ගැන සැනසීමෙනි. ඒ වචන වල ඇත්තේ මේඝා කෙරෙහි ඇති දයාබරත්වයම බව අහස් තේරුම් ගත්තේය.

මේඝා රෝහල් සයනය මත වැතිර දෑස් පියාගෙන උන්නාය. පියාගෙන සිටින දෑස් පියන් දෙපැත්තෙන් කඳුළු බිංදු බේරි වැටෙන ආකාරය දුටු විට නිකිනි මේඝාගේ අත මතින් අත තැබුවාය.

” මේඝා ඇයි ? ” 

නිකිනි ඇසුවේ සෙමිනි.

” මාව ගෙදර එක්කගෙන යන්න ” 

මේඝා මිමිණුවාය.

” දැන්ම යන්න බෑනේ.සේලයින් එක ඉවර වෙනකන් ඉන්න වෙනවා. අනික .. ” 

නිකිනි මඳකට නතර වූවාය.මේඝා හිස හරවා ඇය දෙස බලද්දී ඇය දුටුවේ නිකිනි ඇගේ සිනහව තද කරගෙන සිටින ආකාරයයි.

” මොකද ? ” 

මේඝා ඇසුවේ රවමිනි.

” නැහැ ඉතින් ඔයාව මෙහාට ගෙනාපු එක්කෙනා නම් කිව්වේ හොඳටම හොඳ වෙනකන් ඔයාව මෙහේ තියෙනවා කියලා. ඒ නිසා අපිට නං ඔයාව අරන් යන්න බැරි වෙයි ” 

නිකිනි ඔය කියන්නේ අහස් ගැන බව මේඝා දනී. එහෙත් මෙය සිනාසිය හැකි වේලාවක් නොවේ. මේඝා උන්නේ හිතේ බරිනි. නිම්නාද යළිත් පැමිණ සමුදී ගිය දිනයේ සිට ඒ බර තවත් වැඩි වුවා මිස බිඳකින්වත් අඩු වූයේ නැත. 

අහස් මේඝා අසලට ආවේ විනාඩි කිහිපයකට පසුවය. ඔහු එන විට නිකිනි ඉවතට ගියේ මේඝා අසල එක් අයෙකුට වඩා රැඳී සිටීමට අවසර නැති නිසාය. 

” දැන් කොහොමද ? ” 

අහස් ඇසුවේ සෙමිනි. එහෙත් කරුණාවෙනි.

” හොඳයි ” 

මේඝා කීවේ ඉවත බලාගෙනය.අහස් දෙස බලන්නට බැරි බවක් ඇයට දැනේ. 

” මං බය වුනා ” 

අහස් නැවතත් කීවේය. මේඝා එවර ඔහු දෙස බැලුවේය.

” නෑ මං කිව්වේ , මං ඉස්සරහ කවදාවත් කාටවත් ඔහොම වෙලා නෑ. ඒ නිසා මං බය උනා ” 

අහස් නැවතුනේය. මේඝා සිහිසුන් වී ඇද වැටුනු අයුරු ඔහුට නැවත මතක් විය. 

” තැන්ක් යූ අහස් ” 

මේඝා මිමිණුවේ දුකෙනි. තමාට මෙසේ විය යුතු නැති බව ඇය දනී. එහෙත් තමාව මේ තත්ත්වයට පත් කළේ පණ සේ ආදරය කළ ආදරණීයයා නොවේද ? 

” ඔය විදියට කල්පනා කර කර හිටියොත් ඔයාට අමතක වෙයි මේඝා ඔයාට ආදරේ කරන්නෙ කොහොමද කියලා ” 

මේඝා බැලුවේ පුදුමයෙනි. අහස් මේ කියන්නේ මොනවාද ? ඔහු මොනවා හෝ යමක් දැනගෙනද ?

” මොන හේතුවක් නිසාවත් හිතුමතේට තමන්ට ඕන විදියට බෙහෙත් බොන්න බෑ ආපහු. ඇහුනද ?” 

ඒ ස්වරයේ තිබුනේ ආදරණීය විධානයකි. මේඝා නිහඬ සිටි නමුත් එය තේරුම් ගත්තාය. ජිවීතයට තවත් බැඳීම් ලං කර ගන්නට බියය. කොතරම් බැඳී සිටියත් මිනිස් හිත තේරුම් ගන්නට තරම් තමා පරිණත නැති බව මේඝා සිතුවාය. එහෙත් අහස් කෙරෙහි අහිතක් සිතන්නට මේඝාට උවමනා නොවූයේ ඔහු තමා වෙනුවෙන් කල උපකාරය නිසාය.

” මේඝා ? මං දෙයක් අහන්නද ? ” 

අහස් තවත් අඩියක් මේඝා වෙතට ලං වෙමින් ඇසුවේය. ඒ දෑස් වල ලියවී තිබුනේ ප්‍රශ්නාර්ථයකි.  

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles