ඒකපාර්ශ්වික 23

වර්ෂා නිවාස සංකීර්ණය වෙත පැමිණෙන විට මධ්‍යම රාත්‍රියට ආසන්න විය. නිම්නාද නිදි වර්ජිතව ඔහුගේ වැඩ වල නිරත වී සිටින බව වර්ෂා දුටුවේ නිවසේ දොර විවෘත කරන විටමය. ඇය ගොස් නිම්නාද ඉදිරියේ වාඩි වූයේ දිගු කතා බහකට මුල පිරීමේ අදහසිනි.

” ඔයා තාම වැඩද ? ” 

” හ්ම් ” 

නිම්නාද දුන්නේ කෙටි පිළිතුරකි. ඔහු හිස ඔසවා වත් වර්ෂා දෙස බැලුවේ නැත. දහවල් වරුවේ පිටතට යාමේ සැලසුම පසෙකලා තමා පිටව ගිය නිසා නිම්නාද කෝපයෙන් ඇතැයි වර්ෂා සිතුවාය. 

” මට දවල් මේඝාව හම්බුනා. එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් එක්ක  ” 

මේඝා ගැන කියූ සැණින් නිම්නාද තමා වෙත අවධානය යොමු කරන බව වර්ෂා දැන උන්නාය. සිතූ පරිදිම නිම්නාද එසැණින් හිස ඔසවා වර්ෂා දෙස බැලුවේ පුදුමයෙනි.

” කොහෙදිද ?” 

නිම්නාද ඇසුවේය. එහෙත් එයට පිළිතුරු දෙනු වෙනුවට වර්ෂා හට තමාට කියන්නට ඊට වඩා යමක් ඇතැයි ඇගේ මුහුණේ ඉරියව් වලින්ම නිම්නාද අනුමාන කළේය.

වර්ෂා නිම්නාද දෙස බලාගෙන දහවල වූ සිදුවීම නැවත සිහිපත් කළාය. පසුතැවිල්ල මුසු වූ කුමක්දෝ හැඟීමක් වර්ෂාට ඒ මොහොතේත් දැනෙමින් තිබුනි.

තමා නිම්නාද සමඟ ළඟදීම විවාහ වන බව මේඝාට පවසද්දී දහසකුත් හැඟීම් ඇගේ මුහුණේ ලියැවුණු බව වර්ෂාට මතකය.ඒ සැණින් එතැනට පැමිණ නතර කල වාහනයෙන් බැස ආවේ ” අහස් ” ය. නිරූපණ ක්ෂේත්‍රයේ කා අතරත් හොඳ හිත දිනා සිටින ” අහස් ” ය. වසර ගණනාවකට පෙර තමා බලාපොරොත්තු තබා ගෙන සිටි ඔහුය.

ඕනෑම තරුණයෙකුව තමා වෙත ලෙහෙසියෙන්ම නම්මා ගත හැකි බව වර්ෂා සිතා ගෙන සිටියත් එය එසේ නොවන වග තමාට ඔප්පු කර පෙන්වූයේ අහස් ය. කඩවසම් බවින් අඩුවක් නොවූ අහස්ව නිරූපණ ක්ෂේත්‍රයේ අවස්ථා ගණනාවකදී මුණගැසී තිබුණත් ඒ එක මොහොතකදී වත් ඔහු තමාගේ මායම් වලට හසු නොවූ බව වර්ෂා සිහිපත් කලේ වේදනාවෙනි. ඔහුත් සමඟ වෙළඳ දැන්වීම් වල වැඩ කිරීමට ලැබූ අවස්ථා දෙකකදීම ඔහු තමා සමඟ වැඩ කිරීම ප්‍රතික්ෂේප කර තිබූ බවද වර්ෂාට සිහි විය.

” මොකද්ද මෙතන වෙන්නෙ? ” 

මේඝා සහ වර්ෂා සිටින තැනට පැමිණි අහස් මේඝාගේ පස සිට ගත්තේ ඇයව ආරක්ෂා කරන්නට පැමිණි ආරක්ෂකයෙකු සේය. 

” මේඝා ? ” 

වර්ෂාගේ වදන් අසා අසරණකමේ හිණිපෙත්තේ සිටි මේඝාට අහස්ගේ පැමිණීම ගෙන ආවේ විශාල අස්වැසිල්ලකි. ඇගේ බැල්මේ තිබූ අසරණකම හඳුනා ගන්නට අහස්ට අපහසු වූයේ නැත. වර්ෂා බලා උන්නේ අහස් මේඝා දෙස බලා සිටි බැල්මය. තමාගේ යටි සිත ඉරිසියාවෙන් පුපුරු ගසන බව වර්ෂාට දැනුනේ ඒ බැල්ම දුටු විටය. 

” මේඝා මං ඔයාට කතා කරන්නේ ?” 

අහස් නැවත කීවේය.

” නෑ. මං.. මං මේ වර්ෂා එක්ක කතා කලා ” 

මේඝා අමාරුවෙන් වචන පිට කලාය. සිදු වන්නට ඇති දේ අහස් අනුමාන කලේ ඒ අනුවය.

වර්ෂා සූදානම් වූයේ වචනයක් වත් නොකියා පිටව යාමටය. ඔවුන් දෙදෙනා අතර කුමක් වූවත් එය බලා ඉන්නට බැරි කමක් වර්ෂාට දැනුනි.

” වර්ෂා ඔහොම ඉන්නවා “

අහස්ගේ හඬෙහි වූයේ කවදාවත් නොවූ සැර පරුෂ බවකි. විධානයකි.එයට තිගැස්සුනේ වර්ෂා පමණක් නොවේ. මේඝාද උන්නේ පුදුම වීය.

” තමුනුයි නිම්නාදයි මොන මගුලක් කර ගත්තත් කමක් නෑ. මේ කෙල්ලට පාඩුවේ ඉන්න දෙනවලා. ආයේ මෙහෙම පාරවල් ගානෙයි අරහෙයි මෙහෙයි කියවන්න තියා ගෙන මම නරක මිනිහයි කියන්න එපා. ඒක අර තමුන්ගේ නිම්නාදටත් ගිහින් කියනවා මං කිව්වයි කියලා “

අහස් තවත් පියවරක් ඉදිරියට තැබුවේය. මේඝා වහාම ඔහුගේ අතකින් අල්ලා ඔහුව නතර කලාය. වර්ෂාට කියන්න දෙයක් ඉතිරිව නොතිබූ නිසා ඇය වාහනයට නැගුනේ වෙව්ලමිනි. 

මේ සිදු වූයේ කුමක්ද ? මේඝා සහ අහස් අතර මෙවන් කිට්ටු බැඳීමක් ඇත්නම් මේඝා නිම්නාද පසුපස එනවා යැයි නිම්නාද කීවේ බොරුද ? වර්ෂා රථය ධාවනය කලේ වේගයෙනි. තමා වසඟයට ගන්නට මහත් වෑයමක් දැරූ අහස් මේඝා වැනි සරල සාමාන්‍ය කෙල්ලක හා බැඳෙන්නට හැකිද ? 

නිම්නාද වර්ෂා කියූ සියල්ල අසා සිටියේය.නමුත් එකල තමා අහස් පිළිබඳව බලාපොරොත්තුවෙන් සිටි බව පමණක් වර්ෂා නිම්නාදට සැඟවූවාය.

” මේඝා අහස්ගේ අතේ එල්ලිලා වාහනේට නැග්ගේ ” 

වර්ෂා අවසානයට කීවේ කටට ආ බොරුවකි. ඒ නිම්නාදට රිදෙන්නටය. සිතූ පරිදිම නිම්නාදගේ මුහුණ වෙනස් වූ බව වර්ෂා දුටුවාය. නිම්නාද ලැප්ටොප් පරිඝණකය වසා දමා කාමරයට ගියේය. 

වර්ෂා කැබිනෙට්ටුවේ තිබූ වයින් බෝතලයෙන් ටිකක් වීදුරුවකට හලා ගෙන බැල්කනිය වෙත ආවාය. එතැනට පේන කොළඹ නගරයේ සොඳුරු දසුන වෙනදා මෙන් හිතට සැනසුමක් ගෙන නොඑන බව වර්ෂාට දැනුනේ එවිටය. උගුරෙන් පහලට යන වයින් බිඳක් වත් වෙනදා මෙන් වර්ෂාට සිසිලසක් ගෙන ආවේ නැත. ඇයට දැනුනේ සියොළඟම දැවෙන බව පමණකි.

අහස් සහ නිම්නාද ගත් කල දෙදෙනාම කඩවසම් බවින් අඩුවක් නොවුනත් නිම්නාද සතු නොවූ මොකද්දෝ ආකර්ෂණීය බවක් සහ පෞරුෂයක් අහස් සතු වන බව වර්ෂා සිතුවාය.අහස් තමාට කැමති නොවූවත් වර්ෂාට දරා ගන්නට නොහැකිව තිබුනේ ඔහූ මේඝාට කිට්ටු වීමය.

වර්ෂා නිදන කාමරයට ගියේ පාන්දර දෙක පසු වන විටය.ඇය පුදුම වූයේ ඒ වන විටත් නිම්නාද අවදියෙන් ඇඳ මත වාඩි වී ඉන්නා ආකාරය දුටු විටය. 

” මොකද නිම්නාද ? ” 

නිම්නාද හැරී බැලුවේය.

” මං හිතුවේ ඔයා නිදි කියලා ” 

වර්ෂා පැළඳ හුන් කරාබු ගලවා කණ්නාඩි මේසය මතින් තැබුවාය.

” ඔයා ඇහැරගෙන කල්පනා කරන්නේ මේඝා ගැන නේ ? ” 

වර්ෂා ප්‍රශ්නයත් ,උත්තරයත් එක විටම දුන්නාය. නිම්නාද හිස වැනුවේ ” ඔව් ” කියන්නට මෙනි.

” මේඝා වගේ කෙල්ලෝ එහෙම තමයි. කාගේ හරි කරේ එල්ලෙන්න නේ බලන්නේ . ඔයාට ඔච්චර පුදුම වෙන්න දෙයක් නෑ. හැබැයි මට පුදුම අහස් වගේ කොල්ලෙක් එයාට අහු උන එක ගැන ” 

නිම්නාද වර්ෂා දෙස බැලුවේ නැත. හිතට දැනෙන දහසකුත් හැඟීම් සහ සිතුවිලි එක තැනකට එකතු කර ගන්නට ඔහු උත්සහ කරමින් උන්නේය.

” මේඝා මට ආදරේ කරපු විදියට එයා අහස්ට ලංවුන එක නම් පුදුමයක් ” 

නිම්නාද මිමිණුවේය. නමුත් වර්ෂාට එය හොඳින්ම ඇසුනි. ඇය නිම්නාද ලඟට ආවේ වේගයෙනි.

” එතකොට ඔයත් ආදරේ කලාද ? ” 

වර්ෂා ඇසුවේ කෝපයෙන් පුපුරන ඇස් වලින් නිම්නාදගේ මුහුණට එබෙමිනි. 

” විකාරද ? ” 

නිම්නාද ඇඳෙන් නැගිට්ටේ වර්ෂාව පසෙකට කරමිනි. මේඝා තමාට බොහෝ සේ ආදරය කරන බව දැන දැනත් නිම්නාද ආදරය යන මාතෘකාව ඔවුන් අතරට ගෙන ආවේ නැති නමුත් ආදරයට එහා ගිය බොහෝ දේ මේඝා තමාට දුන් බව නිම්නාදට ඒ මොහෝතේදීත් මතක් විය. නමුත් එවන් සාම්ප්‍රදායික ගැහැණියක් සමඟ ජීවිත කාලයම ගෙවන්නට මොකද්දෝ බැරි කමක් දැනුනු නිසා නිම්නාද දෙගිඩියාවෙන් මේඝා සමඟ උන්නත් ඇය ජීවිතය පිරෙන්නට දුන් ආදරයෙන් හරි අඩක් වත් වර්ෂාට තමාට දෙන්නට බැරි බව නිම්නාදට පිළිනොගෙන බැරි විය.

” ඒ උනාට ඔයාගේ මූණේ හැටි දැක්කම නම් කියන්න බෑ දෙන්නා අතරෙ මුකුත් තිබුනේ නෑ කියලා “

වර්ෂා ඒ වචන කිහිපය පිට කලේ සමච්චල් සහගත ලෙසය. නිම්නාදට ඉවසුම් නොදුන්නේ ඒ සමච්චලය ය. 

” ඔයාට මොකද්ද මේඝා ගැන ඔච්චර තියෙන කැක්කුම? නිදිමරාගෙන කල්පනා කරන්න තරම් ? ” 

” මට ඇති කැක්කුමක් නෑ. හැබැයි මේඝා කියන්නේ දකින දකින කොල්ලා පස්සේ යන ජාතියේ කෙල්ලෙක් නෙමෙයි කියලා මං හොඳටම දන්නවා ” 

නිම්නාද කෑගැසුවේය. 

” ආ.. දැන් එතකොට තමුසේ කියන්නේ මම එහෙමයි කියලද ? ” 

වර්ෂා නිම්නාද දෙසට පියවර තැබුවාය.නිම්නාද උන්නේ කෝපයෙන් වෙව්ලමිනි.ඒ කෝපයට මේ මොහොතේ ඕනෑම දෙයක් කල හැකි බව නිම්නාද දනී. 

” කියනවා  ? තමුසේ කියන්නේ මම එහෙමයි කියලද නිම්නාද ? ” 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles