ඒකපාර්ශ්වික – 32

වර්ෂා තමාව හැර ගිය පුවත නිම්නාද මේඝා ඉදිරියේ දිග හැරියේ කම්පාවෙනි. එහෙත් මේඝා සියල්ල අසා උන්නේ හිස් හැඟීමකිනි. තමාට කරදරයක් සිදු වූ බව නිම්නාද පවසද්දී මේඝා කලබල වූයේ එය වර්ෂා පිළිබඳව යමක් යැයි නොසිතූ නිසාවෙනි. අනෙක් අතට කාලයක් තමාගේ ආදරණීයයා වූ ඔහු කරදරයට පත් වූ විට නොබලා සිටිය හැකිද ? 

” දැන් මගෙන් මොකක්ද වෙන්න ඕනේ නිම්නාද ? ” 

මේඝා ඇසුවාය. අහස් තමා අසල සිටිනවා දැයි නිම්නාද ඇසූ මොහොතේ මේඝා කීවේ ” එයා හිටියට කමක් නෑ කියන්න ” කියා පමණකි. නිම්නාද ගේ හදවත තවත් රිදුම් දුන්නේ ඒ පිළිතුරටය. එසේ නම් තමා නැති අඩුව දැන් අහස් පුරවනවා ඇත. නමුත් අහස් යනු තමාට හාත්පසින්ම වෙනස් අයෙකු බව පිළිගැනීමට නිම්නාදට ඒ මොහොතේත් සිදු විය.  

කෙසේ වෙතත් තමාට සිදුවූ විපත කියන්නට ඇත්තටම නිම්නාදට මේඝා හැරෙන්නට කෙනෙක් ඒ මොහොතේ සිහි වූයේ නැත.මිතුරෙකුට පවා අමතන්නට ප්‍රථම නිම්නාද මේඝා ඇමතුවේ ඒ නිසාය.

” මට තේරෙන්නේ නෑ මේඝා. මං තව දවස් හතරක් ඇතුළත මේ ගේ භාර දෙන්නත් ඕනේ . ඉන්න තැනක් හොයා ගන්න ඕනේ දැන් සේරටම කලින් ” 

නිම්නාද දිගු සුසුමක් මුදා හැරියේය. ඔහු වෙනත් අවස්ථාවකදී මෙසේ කීවා නම් තම නිවසේ හෝ නවාතැන් දෙන්නට තිබුනි. නමුත් මේ මොහොතේ එසේ කළ නොහැකිය. තමා කළ ආදරය බිඳක් වත් මායිම් නොකර වෙනත් තරුණියක හා බැඳුණු ඔහුට හදවතින් සමාව ලබා දුන්නත් නැවත වරක් ඔහුව විශ්වාස කිරීම හෝ කළ හැකිදැයි මේඝා ආයේ ආයෙමත් කල්පනා කලාය .

” ඔයා මාත් එක්ක තරහින්ද මේඝා ? ” 

” මට තරහක් නෑ නිම්නාද. මට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් කියන්න. මං තියන්නම් ” 

මේඝා දුරකථන ඇමතුම අවසන් කළාය. අහස් උන්නේ නිවසේ ප්‍රධාන දොරට හේතු වී පාර දෙස බලාගෙනය. දුරකථන ඇමතුම අවසන් වූ බව ඇසුණු නිසා අහස් නැවතත් මේඝා අසලට ආ නමුත් කිසිවක්ම නොකීවේය. ඒ නිහඬ බව දරා ගැනීමට මේඝාට නොහැකි විය. නිම්නාද කී සියල්ල අකුරක් නෑරම මේඝා අහස් සමඟ කීවාය. අහස් ඒ සියල්ලටම සාවධානව ඇහුම්කන් දුන්නේය. 

” මං මොකක්ද කරන්න ඕනේ අහස් ? ” 

අහස් මේඝා දෙස බැලුවේ එවිටය. ඇය උන්නේ අසරණ දෑසින් යුතුව අහස් ගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනි. නිම්නාද ඇයව අඳුරට ඇද දමා ගොස් නැවත පැමිණ ඇයගෙන් ආලෝකයක් සොයන්නේ අසාධාරණ ලෙසිනි. එයට කිසිසේත්ම ඉඩ දිය නොහැක. 

” ඔයා එයාට සමාව දෙනවද ? ” 

අහස්ට දැනගත යුතු වූයේ එය ය.

” මං එයාට සමාව දීලා හුඟක් කල් ” 

” ඒකේ තේරුම ? ” 

හදවතේ කොහේදෝ කොනක සිට රිදුමක් නැගී එනු අහස්ට දැනේ. එහෙත් එය කුමක් නිසාද කියා තෝරා ගත නොහැක. මේඝා මේ කියන්නට සූදානම් වන්නේ නැවත නිම්නාද වෙත යන බවද ? 

” එයා මෙහෙම අසරණ වෙලා ඉන්නවා මට බලන් ඉන්න බෑ අහස් ” 

මේඝා කීවේ ඉවත බලාගෙනය. 

” එතකොට ? ” 

” මෙච්චර දෙයක් වුණාට පස්සේ එයා මුලින්ම මට කෝල් කරේ මං ගැන පොඩි හරි හැඟීමක් තියෙන නිසා කියලා මට හිතෙනවා. එහෙම වෙලාවක මම අහක බලන එක හරිද ? ” 

එසේ නම් මේඝා නැවත නිම්නාද වෙත යනු ඇත. මේතාක් දවස් ඇයගෙ යහපත වෙනුවෙන් සියලු දෙනා කල සියල්ලද ඒ සමඟම අපතේ යනු ඇත.

” උදව් කරනවද , උදව් කරන්න ගිහින් ආයෙ අමාරුවේ වැටෙනවද කියලා ඔයාම හිතල බලන්න ” 

” එයාට එයාගේ හැමදේම නැතිවෙලා ” 

මේඝා කීවේ කම්පාවෙනි.

” එතකොට එයා නිසා ඔයාට හැමදේම නැති වුණේ නැද්ද ? ඔයාට ඔයාගේ ජීවිතේ නැති වෙන්න ගියේ නැද්ද ? ඔයා පාරක් පාරක් ගානේ අඬ අඬා ගියේ නැද්ද ? ආ මේඝා ? ඔයාට ඒවා මතක නැද්ද ? නැත්තං මතක නෑ වගේ ඉන්නවද ? ” 

අහස් අසන්නේ ඇත්තය. නිම්නාද නිසා නැති කර ගන්නට ජීවිතය පවා ඉතිරි වූයේ ධනුකට පින් සිදු වන්නටය.අදටත් තමා කෙසේ හෝ ජීවිතය අල්ලා ගෙන සිටින්නේ අත හරින්නට බැරිකමටය. 

” එයාට මේ ඊයේ පෙරේදා හම්බ උන වර්ෂා දාලා ගියාම එච්චර දුක නම් ඔයා එයා නිසා කොච්චර දුක් විඳින්න ඇතිද ? වර්ෂා දාලා ගිය එක එයා මෙහෙම ඔයාට කියනකොට එයාට ඒව මතක් වෙන්නේ නැද්ද  ? ” 

මේඝා මොහොතක් කල්පනා කළාය. වරින් වර මුවින් පිට වන්නේ ඉතා දිගු සුසුම්ය. ඒ නිම්නාද වෙනුවෙනි. එහෙත් ඔහු කිසි දිනක තමා වෙනුවෙන් එකඳු සුසුමක් වත් හෙලා නැත. තමාට දරා ගැනීමට පවා නොහැකි තරමේ වේදනාවක් අත් කර දී ඔහු වර්ෂා සොයා ගියේ ඔහුගේ අනාගතය වෙනුවෙන් නොවේද ? 

” ඔයා , මම , අනිත් හැම කෙනෙක්ම හොඳටම දන්නවා නිම්නාද වර්ෂා පස්සේ ගියේ සල්ලි නිසා කියලා. එයාට වාසි ලබා ගන්න ඕන නිසා කියලා. එයා එහෙම ගියේ නිකන් නම් කමක් නෑ. හැබැයි එයා කලේ තනිවෙලා හිටපු ඔයාව තවත් තනි කරල ගිය එක. එහෙම මිනිහෙකුට ඔහොම වෙන එක අහන්න දෙයක් නැහැ. තමන්ට අඹ මල් රේණුවක තරම්වත් වරදක් නොකරපු ගෑනියෙකුට දුකක් දීලා යන මිනිහෙකුට කවදාවත් හරියන්නේ නැහැ “

අහස් එසේ කියද්දි මේඝාගේ දෙනෙත් තෙත් විය. මේ තරම් කෙටි කාලයක් තුළ තමාගේ සිතැඟි අංශුවක් ගානේ හඳුනාගන්නට තරම් අහස්ට හැකි වූයේ කෙසේ දැයි මේඝා සිතුවාය.

” ඔයාට හිතෙන්නේ මම මොකක් කරොත් හොඳයි කියලද ? ” 

අහස් පිළිතුරක් දෙනතුරු මේඝා බලා සිටියාය.

” ඔයාට හොඳයි කියලා හිතෙන දෙයක් කරන්න මේඝා ” 

අවසන අහස් කීවේය. ඔහු තම දුරකථනය සාක්කුවට දමාගෙන මේසය මත තිබූ වාහනයේ යතුර අතට ගත්තේය. එය දුටු මේඝා ඔහු දෙස බැලුවේ පුදුමයෙනි .

” ඔයා ඔය යන්නද අහස් ? ” 

” ඔව් මේඝා. මං දාගත්ත වැඩ වගයක් තියෙනවා ඉවර කරන්න ” 

” ඔයා කෑවෙත් නෑනේ ? ” 

” මට එහෙම ලොකු බඩගින්නක් නෑ. ඔයා මතක් කරලා බෙහෙත් ටික බොන්න ” 

අහස් මේසයේ කොනක තිබූ බෙහෙත් කවර ටික මේඝා වෙත ලං කර පිටව ගියේය. මේඝාට දැනුනේ හදවතට දැනෙමින් තිබූ විශාල සැනසීමක් හදිසියේ ගිලිහී ගියාක් වැනි හැඟීමකි. එය අහස් නිසා සිදු වූවාදැයි එසේත් නැත්නම් නිම්නාද නිසා සිදු වූවාදැයි සිතන්නට වෙහෙස නොවී මේඝා දොර වසා දමා යහනට වැටුනාය. 

අහස් මඳ දුරක් ගොස් වාහනය පාර අයිනට කර නතර කර ගත වූ පැය තුළ සිදුවූ දේවල් නැවත නැවතත් කල්පනා කළේය. අනතුරුව විශ්මිත ට ඇමතුමක් ගත්තේය.

” අහස් , කියපන් ” 

විශ්මිත ඇමතුමට සම්බන්ධ වූ සැණින් කීවේය.

” මං මේඝාට ආදරෙයි බං .මං ඇත්තටම ඒකිට ආදරෙයි ”  

ReplyForwardAdd reaction

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles