” උඹ හිතනවද ඉතින් මේඝා ඔය නිම්නාද කාරයාට උදව් කරයි කියලා ? ”
විශ්මිත අහස් සොයා ආවේ සවස් වරුවේය. ඒ අහස්ට ඔහුව මුණ ගැසීමට අත්‍යවශ්‍යම බව කී නිසාය. බෙල්ලන්විල ඇවිදින මං තීරුව අසල වාඩිවී තම මිතුරා මේ කියන්නට යන්නේ දීර්ඝ කථාවක් බව දන්නා නිසා විශ්මිත පැමිණියේ එයට සවන් දෙන්නටමය.
” මේඝා කියන්නේ මහා අමුතු කෙල්ලෙක් බං. එයා හිතනවා එයා තනි වෙනවා වගේ කවුරුත් තනිවෙන්න හොඳ නෑ කියලා. එයාට අන්තිම නරකක් කරන මනුස්සයෙකුට වුනත් හොඳක් කරන්න හිතෙන්නේ ඒකයි ”
අහස් මේඝාව කියවාගෙන ඇත්තේ වෙනස්ම ආකාරයකිනි. ඔහු ආවාට ගියාට කෙනෙකු පිළිබඳව එසේ ගැඹුරින් නොසිතන බව විශ්මිත තරම් වෙන කිසිවෙකු දන්නේ නැත.ඒ නිසාම ඔහු අහස්ට ඇහුම්කන් දුන්නේ උවමනාවෙනි.
” එදා ඌ පෝඩියම් එකේදි රඟපු රැඟිල්ලටම මට හිතුනා ඔය වර්ෂා කියන කෙල්ලත් එක්ක වැඩි කල් ඉන්නෙ නෑ කියලා ”
විශ්මිත සිනාසුනේ සමච්චලයටය. නමුත් අහස් කිසිවක් කීවේ නැත.
” දැන් එතකොට උඹ මට කෝල් එකෙන් කියපු කතාව ඇත්තද ? ”
” මොන කතාවද ? ”
අහස් විශ්මිත දෙස බැලුවේ පුදුමයෙනි.
” උඹ කිව්වේ මේඝාට ආදරෙයි කියලා ”
” ඔව් ”
අහස් ඔව් කීවේ විශ්වාසයෙනි. එය ඇත්තටම බරපතල පිළිතුරකි. නමුත් අහස් එය ආවාට ගියාට දුන් පිළිතුරක්ද නොවේ.
” උඹට ෂුවර්ද ? ”
” ඔව් ”
විශ්මිත කිසිවක් කීවේ නැත. ඔහුට දැනගන්නට වුවමනා වූයේ අහස්ගේ තීරණය පමණි.
” ඕකේ. Let’s go ”
විශ්මිත නැගිට්ටේය.
” කොහෙද ? ”
” මේඝාගේ ගෙදර ”
අහස් විශ්මිතගේ අතින් ඇද ඔහුව නැවතත් වාඩි කළේය.
” පිස්සුද උඹට ? මෙන්න මෙහෙන් වාඩි වෙලා ඉඳපන්. ඕව මේ ආවට ගියාට කියන්න පුළුවන් දේවල්ද ? ”
” එතකොට ඒවා මේ නැකත් බලලා කියන දේවල්ද ? ”
අහස් සිනාසුනේය. එය මෘදු සිනහවකි. එහි ඇත්තේ මේඝා කෙරෙහි ඇතිවූ ආදරය ය. අහස් යනු කිසිදාක විහිළුවට ආදරය නොකළ තරුණයෙකි. කොතරම් තරුණියන් මුණගැසුනද අවස්ථාවාදී නොවූ තරුණයෙකි. ඉතින් ඔහු තුළ මේඝා කෙරෙහි ඇත්තේ කුමන ආකාරයේ සිතුවිල්ලක් දැයි ඒ වන විටත් විශ්මිත තේරුම් ගෙන සිටියේය.
මේඝා උන්නේ දෙගිඩියාවෙනි. පැය ගණනාවක් පුරාවට එකම තැනක වාඩි වී ඇය කල්පනා කළේ නිම්නාද පිළිබඳවය. ජීවිතයේ කිසිදාක තමා නොවිඳි දුකක් වින්දේ ඔහු නිසාය. ඔහුට මේ මොහොතේ තමාගේ උදව් අවැසි වුවත් අසීරුවෙන් හදාගෙන ආ සිත නැවතත් බිඳ ගත නොහැක. එහෙත් නිම්නාදව නොසලකා හැරීමද කළ නොහැක. මේඝා අහස්ට ඇමතුමක් ගත්තා ය.
” කියන්න මේඝා ”
අහස් ඒ වන විටත් උන්නේ බෙල්ලන්විල ඇවිදින මං තීරුව අසලය. මේඝා ගෙන් ඇමතුමක් පැමිණේ යැයි ඔහු සිතුවේම නැත.
” කතා කරන්න පුළුවන්ද ? ”
” පුළුවන්. කියන්න ”
අහස් කිසිම වෙනසක් පෙන්වූයේ නැත. මේඝාට දැනුනේ සැනසීමකි. ඇත්තටම මේ ගෙවී යන්නේ තමා වඩාත් කල්පනාකාරීව සහ බුද්ධිමත්ව කටයුතු කළ යුතු වේලාවක් බව මේඝා ට දැනෙමින් තිබුනි.
” මං කල්පනා කලා ”
මේඝා වචන පිට කළේ අපහසුවෙනි.
” නිම්නාද ගැනද ? ”
” ඔව් ”
” ඉතින් ”
” මං.. මං එයාට උදව් කරන්න ඕනෙ නෑ නේද අහස් ? මං කියන්නේ… එයා එක්ක තරහෙන් නෙමෙයි..ඒත්.. ”
මේඝා කියන්නට ගිය දෙයක් නතර කර ගත්තාය.
” කියන්න හදපු දේ කියන්න මේඝා ”
” නෑ මම කියන්න ගියේ.. මට ආපහු එයාට මූණ දෙන්න ඕනේ නෑ. මොකද.. මං කොච්චර ආදරේ කරත් එයා මට ආදරේ කරලා නෑනේ අහස්.. ”
මේඝා කීවාය. ඇයට දිය යුතු පිළිතුරක් සිතා ගැනීමට නොහැකිව අහස් ලත වුණේය.
” එයා වර්ෂා එක්ක පටල ගත්ත ප්‍රශ්න එයාටම විසඳ ගන්න ඇරල මං පාඩුවෙ ඉන්නවා. කොහොමත්… මං ආයෙ කාටවත් ආදරේ කරන එකක් නෑ අහස් ”
අහස් ගේ හිතේ අකුණක් පුපුරා ගියේ මේඝාගේ වදන් වලට ය. ඇය එසේ කියද්දී තම සිතෙහි ඇය කෙරෙහි ආදරයක් පිළිසිඳගෙන ඇති බව කෙසේ නම් කියන්නද ?
” අපිට සිද්ධ වෙන එක නරක දෙයක් නිසා අපිට ජීවිතේ අනිත් කාලෙ ගැනත් එකපාරම තීරණය කරන්න බැහැ මේඝා. සමහරවිට ඔයාට සිද්ධ වෙච්ච ඒ නරක දේ සිද්ධ වුණේ ඔයාට ගොඩක් හොඳ දෙයක් වෙන්න තියෙන නිසා වෙන්න පුළුවන් ”
අහස් කීවේ ගැඹුරු අර්ථයක් ඇති කතාවක් බව මේඝා දනී. එහෙත් තමාගේ හදවත කෑලි දහසකට කැඩී බිඳී ඇති බව දන්නේ තමා පමණකි.එසේ බිඳී ගිය හදවත කවදා නම් සුව වේදැයි අදහසක්වත් මේඝාට තිබුනේ නැත.
කිසි දිනක ආදරය නොකරන්නේ යැයි තීරණය කළ අය දිනක ආදරය කරන්නේ පෙරටත් වඩා දහස් ගුණයකින් බව අහස් සිතුවේය. කාලයකට පෙර තමා සිතුවේද යළි ආදරය නොකරන බවකි. එහෙත් දැන් මේඝා කෙරෙහි තමාට දැනෙමින් පවතින්නේ කිසිදාක නොදැනුනු තරමේ අසීමාන්තික ආදරයකි. එය තමා සතු කර ගැනීමට නම් ඒ ආදරය හා සමානම ඉවසීමක් ද තිබිය යුතු බව අහස් අවසන සිතුවේය.
මේඝා නිදන්නට සූදානම් වූයේ වෙනදාටත් වඩා කලිනි. යහනට ගොඩ වැදුණත් නින්ද පැමිණෙන්නේ තවත් පැය ගණනාවකින් බව අත්දැකීමෙන්ම දන්නා නමුත් මේඝා දෑස් පියා ගත්තාය. මුළු නිවසම නිහඬතාවයේ ගිලී තිබියදී මේඝා තිගැස්සුනේ නිවසේ සීනුව නාද වන හඬිනි. එක දිගට කිහිප වරක් සීනුව නාද වූ නිසා මේඝා යහනෙන් බැස නිවසේ ප්‍රධාන දොර අසලට පැමිණියාය.
” කවුද ? ”
මේඝා ඇසුවේ දොර විවෘත කරන්නට මත්තෙනි.
” මේඝා මම ”
එහා පස උන්නේ නිම්නාදය. මේඝා එකවරම දොර විවෘත කළේ දෙවරක් නොසිතාය. ඔහු පැමිණ සමුදී ගිය දිනට පසුව අද ඔහුව මේ දකින්නේ පළමු වතාවටය.
” මේඝා ”
නිම්නාද නිවස තුළට ආවේය. ඔහු සිටින්නේ බීමතින් බව මේඝාට දැනුනේ ඔහු මේඝාව පසු කර යද්දීය. සෝෆාව මතට වැටුනු නිම්නාද දෑස් පියා ගත්තේය. මේඝා සිටියේ බියෙනි. කළ යුත්තේ කුමක්දැයි සිතාගත නොහැකිවය.
” නිම්නාද ඔයා ගෙදර යන්න ”
මේඝා ඒවදන් පිට කළේ කොහේදෝ සිට පැමිණි ධෛර්යයක් හිතට ගෙනය. නිම්නාද දෑස් හැර බැලුවේ පුදුමයෙනි. ඔහු හුන් තැනින් නැගිට මේඝා අසලට ආවාය.
” ඔයා ගොඩක් වෙනස් වෙලා මේඝා ”
නිම්නාද තවත් පියවරක් ඉදිරියට තබද්දී මේඝා පියවරක් පසුපසට තැබුවාය. මේඝා මේ තරම් වෙනස් වූයේ කෙසේද යන පැනය නිම්නාද තුළ හටගත්තේ ඒ මොහොතේය.
” මෙච්චර වෙනස් උනේ කොහොමද මේඝා ? ”
නිම්නාද ඇසුවේය. මේඝා සිටියේ ඇතුලාන්තයෙන් ම ගැහෙමිනි.නිම්නාදට කොතරම් ආදරය කළද මේ මොහොතේ තමා ගත් තීරණය වෙනස් කළ යුතු නැතැයි මේඝා සිතුවාය.
” වෙනස් උනේ ඔයා නිසා. දැන් යන්න නිම්නාද.ඔයා මේ වෙලාවේ මෙතන ඉන්න ඕනේ නෑ ”
” ඔයා ඉස්සර මට මෙහෙම කිව්වේ නෑ මේඝා . ඇයි දැන් මේ ? ”
” ඉස්සර මෙහෙම කිව්වේ නැති උනාට දැන් මං මෙහෙම කියනවා නිම්නාද. ඔයා යන්න ”
” ඒ කියන්නේ ඔයා දැන් මට ආදරෙත් නැද්ද මේඝා ? ”
නිම්නාද මේඝාගේ උරහිසට අතක් තිබ්බේත් මේඝා වේගයෙන් ඒ අත ගසා දැම්මේත් එකවරම ය.