තමන් නදීව තමන්ගේ කාර්යාල සහයකවරිය ලෙස අම්මාට සහ තාත්තාට හඳුන්වාදිය යුතුද කියා මියුරුට හිතුනේ නදීගේ දෙනෙත් තමන්ගේ දෙනෙත් හා එකට යාවී තියෙද්දීය.
නදී හා මිතුරු කවුරුවත් මේ කාර්යාලයේ නැති බව මියුරු දනී. ඇය කාර්යාල කාමරයෙන් එලියට යන්නේ ගෙදර යන්නත් කෑම කන්නත් විතරය. ඈ කෑම කන්නේද තනිවමය. ඈ කාර්යාලයේ කිසිවෙකු සමග කතා කරනවාත් මියුරු දැක නැත. ඉතින් එහෙම එකේ අද මේ පාටි එකේදි ඇයට ඉන්නට වෙන්නෙ තනියෙන් බව මියුරු දනී. එහෙත් එහෙමයි කියා වෙන කෙනෙක් ලඟට ගොස් නදී එක්ක කතා කරන්න යැයි කීම ඕන නැති කතා දහසක් කාර්යාලය පුරා පතුරුවන්නට හේතුවන බව මියුරු දනී.
ඉන්නේ දෙමව්පියන් සමග හන්දා මියුරු කිසිසේත්ම තමන් සමග කතා නොකරන බව දනී දැන උන්නාය. මියුරු දෙමව්පියන් සමග හෝටලයට ඇතුලුවෙද්දී අනෙක් සියල්ලන්මද ඔවුන් සමගම හෝටලයේ උත්සවය පැවැත්වෙන ශාලාවට ඇතුලු වුණි. නදීද හීන් සීරුවේ ඔවුන් සමගම ශාලාවට ඇතුලු වී අයිනේ මේසයක වාඩි වුණි. නදී සමග එක ෆ්ලෝ එකක වැඩ කරන අය ඒ මේසයට ආවෙ නැති උනද මානව සම්පත් අංශයේ නදී නම්වත් නොදන්නා කිහිප දෙනෙක් විත් ඒ මේසයට වාඩි වීම හන්දා අනිත් අයට තමන්ව ඇහැ ගැටේවියැයි බියෙන් මිදෙන්න නදීට හැකිවිය.
උත්සවය ඇරඹුණේ ක්ලීටස් රදන්පොල සහ මියුරු රදන්පොල විසින් කරන්නට යෙදුණ ස්තුති කතාවකින් අනතුරුවය. ආයතනයේ ආරම්භයේ සිට මේ දක්වා සහයෝගය දක්වන්නට යෙදුණු අයවද ආයතනයේ කාර්ය මණ්ඩලයටද ස්තුතිවන්ත වීමෙන් අනතුරුව ඕර්ගනික් ෆුඩ්ස් ආයතනයේ ලෝගෝ එක අනුව සැකසූ කේක් ගෙඩියක් කැපීමෙන් අනතුරුව උත්සවයේ ආරම්භය සනිටුහන් විය.
බොහෝ දෙනා උත්සව ශාලාවේ කෙලවරක පැවති ඕපන් බාර් එකට ගියද නදී තමන් හිඳගෙන උන් තැනම රැඳී උන්නේ බොන්නෙ නැති හන්දාත් කතාකරන්නට කෙනෙකු නැති හන්දාත් ය.
නදීට දැනුනෙ මහ සෙනගක් මැද තමා අසරණ වීද තනිවීද බඳු හැඟීමකි. මේ උත්සවයට නෑවිදින් ගෙදර උන්නා නම් හොඳ යැයි කියා නදී කිහිප වරක් සිතු බවත් ඇත්තකි. අනෙක් අතට ලස්සනට ඇඳගෙන ආවා යැයි හිතුවද මෙතනට ඇවිත් ඉන්න අනික් කෙල්ලන්ගේ මෝස්තර ලඟ තමන් ඇඳගෙන ආ කලු පාට කලිසමේත් දිලිසෙන ටොප් එකේත් බාල බවත් ලාබ බවත් මොනවට කැපී පෙනෙන බව නදී නොදැක්කා නොවේ. ෆ්ලෝ එකේ ඉන්නා සනුකි සහ ලිඩියා නදී දෙස බලමින් ඔච්චමට හිනාවෙමින් අනික් අය සමග කුටු කුටු ගානවා දකිද්දී නදී ට පොලව පලාගෙන යටට ගොස් හැංගෙන්න තිබුණා නම් කොච්චර හොඳ ද කියා නොසිතුණා නොවේ.
මියුරු උන්නේ උත්සවයට පැමිණ උන් බොහෝ දෙනා අතරේ කාර්යබහුල වෙමිනි. කාලයකට පසු දකින්න ලැබුණ ආයතනයේ ලොකු බොස් සමග කතා කරන්නට බොහෝ දෙනා බලා උන් නිසාවෙන් නදීට මිදෙන්නට තිබුනේ දෙනෙත් යුග කිහිපයකින් පමණකි. ඒද තමාව සමච්චලයට පත් කරන්නටම බලාගෙන උන් කිහිප දෙනෙකුගේය. නදී හෝටලයේ ශාලවට යාබදව තිබුණ නාන කාමරයට ගියේ මදකට හෝ සැමගේම දෙනෙත් වලින් මිදී අස්වැසිල්ලක් ලබාගනු පිණිසය.
නදී ඇඳගෙන ඉන්නේත් තමා මෙන්ම තනි කලු පාට ඇඳුමක් බව දැක මියුරුගේ දෙතොලගට මද සිනාවක් ආවේය. ඒ “දෙන්නම නිකන් කතා වෙලා ඇඳන් ආවා වගේනේ” කියා හිතෙද්දීය. එහෙත් ඒ සිනාවට වැඩිවෙලාවක් දෙතොල අස්සේ රැඳී ඉන්නට අවසර නොදෙමින් නදී වනාහී කොල්ලෙකු ඉන්න කෙල්ලෙකු බව මියුරුගේ මනස ඔහුට මතක් කර දුන්නේය. මියුරු නදීව අමතක කර උත්සවයට පැමිණ උන් අනෙක් පිරිස සමග කාර්යබහුල උනේත් සුහද කතාබහක යෙදුනේත් ඒ හන්දාමය.
නාන කාමරයට වී මද අස්වැසිල්ලක් ලබන්න හිතුණද නදීට එහිත් වැඩි වෙලාවක් රැඳී ඉන්න බැරිවුනේ ඇඳුම් පැලඳුම් සකසාගන්නට, පින්තූර ගන්නට, මුහුණේ තැවරූ වත්සුණු ආදිය අලුත් කරගන්නට කෙල්ලන් නිතර නිතර එහි එන්නට පටන් ගත් නිසාවෙනි. ආයෙම වතාවක් උත්සවය පැවැත්වෙන ශාලාවට රිංගන එක අරහං උනත් කරන්න දෙයක් නැති හන්දා නදී ගියාය. ඒ “කාපු ගමන් වස්තුට එන්න කියල මං යනවා” කියන හිතුවිල්ලක්ද එක්කය.
ඒ වෙද්දීත් පමණට බීමත්ව උන් බඹර පැටික්කන්ද පැටික්කියන්ද උන්නේ බෑන්ඩ් එක සමග හරි හරියට සින්දු කියමින් නටමින් ය. උත්සවය වෙනුවෙන්ම මියුරු නැටුම් කණ්ඩායමකටද එන්න කියා තිබුන නිසා වයසක පිරිස එකිනෙකා සමග විස්තර කතා කරමින් ඉද්දී තරුණ පිරිසට පමණටත් වඩා විනෝද වෙන්නට අවස්තාව තිබුණි.
නදී ආපහු ඇවිත් වාඩි වුනේ කලින් ඉඳගෙන උන් තැනමය. එතන තිබූ අන්ධකාරය තමන්ට මේ සෙනග ගොඩේ හැංගී ඉන්න පමණටත් වඩා ඉවහල් වන බව නදී දනී.
සෙසු තරුණ පිරිස ශාලාවේ රාවය දෙන මිහිරි සංගීතයට අනුව නටද්දී නදී පුටුවට හේත්තු වී ඒ නැටුම් ගැයුම් දෙස බලාගෙනම කල්පනා කරන්නට විය.
මිලින්ද උන්නේ කවදාවත් දැකල තිබ්බේ නැති නදීගේ මනස්කාන්ත රූපයෙන් වශීවෙලාය. නදී ලොකුකමට මොනව කිව්වත් කවදහරි පස්ස බලන්නේ නදීව තමන්ගේ ගෑණි කරගෙන බව මිලින්ද හිතුවේ ආන් ඒ මනස්කාන්ත රූපයේ මනසේ හැම අස්සක් මුල්ලක්ම ග්රහණය කරගනිමින් මිලින්දව මත් කරන්නට හේතු වුණු හන්දාය.
නදී ලස්සන කෙල්ලෙක් බව ඇත්තකි. අම්මා කියන විදියට නදී අම්මාද එච්චරටම ලස්සනය. “වසන්තා තරුණ කාලෙ නදී වගේමයි. ඒකි මොන එහෙකටද මන්දා මේ විල්සන් එක්ක ආවෙ” කියා අම්මා කියා තිබෙනවා මිලින්දට මතකය. විල්සන් එක්ක ඇවිත් වසන්තාගේ ජීවිතේ විනාශ උනාට තමන් වගේ සුපිරි කොල්ලෙකු සමග ආවා කියා නදීට එහෙම විනාශයක් නොවන බව මිලින්දට පැහැදිලිය.
“රස්සාවක් නැති උනාට මිලින්දට මොකෝ රස්සාවක් හොයාගන්න බැරිකමක් නෑනෙ. උගෙ තියෙන්නෙ අර කාටවත් අත නොපා ඉන්න තියෙන උවමනාව. ඌ ඉන්නෙ මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්නකම්. එහෙම ආවට ගියාට ඉතින් බිස්නස් කරන්න බෑනෙ බං” කියා මිලින්ද ගෙදරට වී ඉන්න එක ගැන කවුරුන් හෝ අහන වෙලාවක මිලින්දව සුද්ධ බුද්ධ කරන්න මාග්රට් සූදානම් හන්දා මිලින්ද ද ඉන්නේ තමන් ගැන මහ ඉහලින් හිතාගෙනය.
“අනික මිනිහෙක් හැදෙන්නෙ කසාදයක් කරගත්ත දවසක” කියා අම්මා මන්තරේ මෙන් මතුරන කතාව මිලින්ද එකහෙලාම පිලිගනී. තමන්ට හැදෙන්න නම් හැදිච්ච කෙල්ලෙක්ව තමන්ගේ කරගන්න ඕන බව මිලින්ද හිතුවේ තේරෙන වයසේ ඉඳලාමය.
මිලින්දත් මාග්රටුත් තමන්ගේ ඇමට අහුවෙනකම් බලාගෙන ඉන්න මාලුවා නදී ය. හැබැයි ඒ මාලුවා නම් එහෙම කාගෙවත් ඇමට අහුවෙන එකෙකෙ නොවන බව මේ අම්මත් පුතත් දන්නේ නැත.
“නදීව කසාද බැන්ද නම් ඒකිගෙ උදව්වෙන් මට බිස්නස් එකක් පටන් ගන්න පුලුවන්. එයා මටත් වඩා ඕව දන්නව ඇතිනෙ. බිස්නස් එක හරි ගියායින් පස්සෙ මං නදීටත් කියනවා රස්සාවට යන්න ඕන නෑ මට පුලුවන් කියල එයාට කන්න බොන්න දෙන්න. පස්සෙ ඉතින් දරුවෙක් දෙන්නෙක් හදාගෙන අපිට ශපාන් එකේ ඉන්න බැරිය” කියා මිලින්ද හීන මැව්වේ නදීගේ මනස්කාන්ත රූපය ගැන හිතමිනි.
හැබැයි එකම පරහ නදී තමන් ගෙනා යෝජනාවට අකමැති වෙච්ච එකය. ඊටත් වඩා ඒකිගේ අප්පා එක්කවත් ඒක ගැන හරියට කතාකරන්න විදියක් නැති එකය.
“කැමති නෑ කිව්වට ඒකිගෙ එහෙම අකමැත්තක් නෑ. මොකෝ වත්තෙ එකියක් වත්තෙ එකෙක් ඇරෙන්න රාජ කුමාරයෙක්ව බඳින්නය? නදී ඔය කැමති නෑ කියල කියන්නෙ කෙල්ලන්ගෙ හැටිනෙ මුලින් ලොකු සීන් දාන එක. මම මොකක් හරි බිස්නස් එක්ක් පටන් අරගෙන පිලිවෙලක් වෙච්ච දවසට නදී ඒවි මං ළඟට දණ ගාගෙන” නිරුවත් උඩුකය පුරා වැවී ඇති රෝම කූප අතින් කරකවන අතරම මිලින්ද හිතුවේ ඇඳේ හාන්සි වී ඉද්දී පෙනෙන වහලේ එලා තිබෙන ඇස්බැස්ටස් අස්සෙන් මතුවෙච්ච ගෝනි උර හෙම දෙස බලමිනි.
කවදහරි දවසක ඉතින් මේ වගේ වෙලාවක තමන්ට එහා පැත්තෙන් නදී මේ ඇඳේ හාන්සි වී ඉන්න බව මිලින්ද දනී.
“එයාව එක්කන් ආවම හොඳ ඇඳක් ගන්නෝන. මේ ඇඳේ සද්දෙ එනෝ හෙලවෙද්දි”