ආදරයත් වෛරයත් අතර පවතින්නේ කෙස් ගහක තරම් වෙනසක් යැයි යන කියමන සනාථ කරමින් නිම්නාද උන්නේ මේඝා කෙරෙහි උපන් කෝපයෙන් දැවෙමිනි. තමා හට සියල්ල අහිමි වීමට මේඝා ගේ කිසිදු වරදක් නැතත් නිම්නාද හේතු රහිතව ඇය පිළිබඳව වෛරයක් ගොඩ නගා ගෙන සිටියේය. තමා කෙරෙහි නම්මා ගැනීමට ගත් උත්සාහයන් ව්‍යර්ථ වීම නිම්නාදට දරා ගත නොහැකි විය.
” මං මැරෙනවා මේඝා ”
පෙර දින රාත්‍රියේ මේඝා සමග කළ කතා බහ අතරතුරදී නිම්නාද කීවේ එසේ කී විට වත් ඇය තම තීරණය වෙනස් කරාවි යැයි බලාපොරොත්තුවෙනි.
” ඉතින් මැරෙන්න නිම්නාද . ඔයාට මේ වෙලාවෙ ඒක කරන්න හිතෙනවා නම් ඔයා කරන්න. ඔයා නිසා මං මැරෙන්න හදනකොට ඔයා වෙනස් උනාද ? අඩුම ගානේ මාව බලන්නවත් ආවද ? මං ඔයාට කොච්චර ආදරේ කරාද කියලා ඔයා හිතුවද ? ඔයා කරපු දේවල් දරා ගන්න බැරුවයි මම මැරෙන්න හදන්නේ කියලා හිතුවද ? ”
” එතකොට දැන් ඔයා කියන්නේ එහෙමද ? “
නිම්නාද අනෙක් අතට ඇසුවේය.
” ඔව්. එහෙම තමයි. ඔයා කොහොම මොනවා කිව්වත් ආයි මගේ හිත වෙනස් වෙන්නේ නැහැ. මම ඒක එදත් ඔයාට කිව්වා. දැනුත් කියනවා. ඔයා මේ ප්‍රශ්නෙ මගෙන් කී පාරක් ඇහුවත් මට දැන් දෙන්න තියෙන්නේ එකම එක උත්තරයයි. ඒ උත්තරෙන් ඔයාගේ හිත රිදෙනවනම් ඒක අහන්නෙ නැතුව ඉන්න එක ඔයාගේ වැඩක්. ”
කුඩා දෙයකට වුවත් දෑස් කඳුළින් පුරවා ගන්නා කෙල්ලකු වූ මේඝා මේ තරම් දරදඬු වූයේ කෙසේ දැයි සිතමින් නිම්නාද පුදුම විය. එහෙත් පරාජය භාර ගත නොහැක. වර්ෂා අතරමග අතරමං කර ගිය ජීවිතයට දැන් ඇති එකම විකල්පය මේඝා ය.
” මට මං කරපු හැම වැරැද්දක්ම තේරෙනවා. ඔයාට ඇයි බැරි ඒ වැරැද්ද හදාගන්න මට අවස්ථාවක් දෙන්න ? ”
” ඔයාගේ වැරැද්ද හදාගන්න මම මොකටද ඔයාට අවස්ථාවක් දෙන්නේ ? ඔයාගේ ජීවිතේ හදාගන්න ඕනේ ඔයා. ඒකෙන් ප්‍රයෝජනයක් තියෙන්නෙ ඔයාට මිසක් මට නෙමෙයි නිම්නාද . ඔයයි මමයි එක වගේ කියල මං හිතපු කාලේ ඉවර වෙලා ගොඩක් කල් . දැන් ඔයාට තියෙන්නේ ඔයාට ඕන හැටියට ඔයාගේ ජීවිතේ හදාගෙන ඉස්සරහට යන්න ”
මේඝා වෙනස් වෙන පාටක් නැත. එහෙත් අතහැරිය යුතුද නැත.
” ඔයා මට මෙච්චර සද්දෙ දාන්නෙ අහස් නිසාද? එයාගේ හයිය අරගෙනද ?”
නිම්නාද වචන වලින් දමා ගැසුවේ අසාධාරණ ලෙසය.
” ඔයාගෙයි මගෙයි මේ කතාවට අහස්ව සම්බන්ධ උනේ කොහොමද කියලා මම දන්නේ නෑ.හැබැයි , ඔයා අහන දේවල් වලට කෙලින් උත්තර දෙන්න මට කාගෙවත් හයියක් ඕන වෙන්නෙ නැහැ කියන එකත් මතක තියා ගන්න නිම්නාද ”
” එහෙනම් ඔයත් මේක මතක තියා ගන්න මේඝා. මට මෙහෙම කරලා ඔයාට හොඳින් ඉන්න වෙන්න නම් නැහැ ”
නිම්නාද ඇමතුම විසන්ධි කළේය. මේඝා දුරකථනය අතේ තබා ගෙන ගල් ගැසී බොහෝ වේලාවක් එහෙමම සිටියාය. හිටි හැටියේම තමාව හැර ගොස් වර්ෂා සමග බැඳුනේ ඔහුය. තමන් මොනතරම් ආදරය කරනවා දැයි දැන දැනම තමන්ව ජීවිතයෙන් ඉවත් කර දැම්මේ ද ඔහුය. දැන් තමාට හොඳක් නොවෙන බව කියන්නේද ඔහුය.
දැඩි වේදනාවක් සිතට දැනුනද හඬන්නට පවා කඳුළු දෑස් වල තවත් ඉතිරි වී නොමැති බව මේඝාට සිතුනි.නිම්නාද කියන්නේ මහා අසාධාරණ කතාවකි. මොන අරමුණක් උදෙසා ඔහු නැවත තමාව සොයා ගෙන පැමිණියත් නැවත ඔහුව විශ්වාස කරන්නට තරම් ධෛර්යයක් තමා සතුව නොමැත. ඒ කෙසේ වෙතත් නැවත නිම්නාදට ආදරය කිරීමට හිත හදා ගත නොහැක. තමාට පෙනි පෙනිම ඔහු වර්ෂා සමග බැඳීම කිසි ලෙසකින් වත් සාධාරණීකරණය කිරීමද කළ නොහැක.
මේඝා කෙසේ කීවත් ඇයට අහස් සමග කුමන හෝ කිට්ටු බැඳීමක් තිබෙන බව නිම්නාද විශ්වාස කළේය. අහස් යනු හැම අතින්ම තමාට වඩා ඉහළින් ඉන්නා තරුණයකු බව දන්නා නිසා නිම්නාදට ඔහු ගැන දැනුනේ දරා ගත නොහැකි ඊර්ෂ්‍යාව මුසු හැඟීමකි. මේඝා තමා වෙත නැවත පැමිණෙන්නේ නැත්නම් ඇය කිසිවෙකුටත් හිමි විය යුතු නැත යන කුරිරු සිතිවිල්ලක් නිම්නාද ගේ සිත පෙලන්නට විය.
සම්මාන උළෙලට පසු දින අහස් හට බෙහෙවින්ම කාර්යබහුල එකක් විය. සුභ පැතුම් සමග පැමිණෙන දුරකථන ඇමතුම් සහ කෙටි පණිවිඩ නිසා කෙතරම් කාර්ය බහුල වුවත් අහස්ට මෙම සතුට බෙදා ගැනීමට උවමනාව වූයේ මේඝා සමඟ ය. එය කෙසේ කරන්නේ දැයි සිතමින් සිටින අතරතුර අහස්ට දුරකථන ඇමතුමක් ආවේ ධනුක ගෙනි.
” Congratulations ලොක්කා ”
ධනුක අහස්ට සුබ පැතුවේය. මේඝා මුණගැසීමට ධනුකගෙන් යම් සහයෝගයක් ලබා ගැනීමට අහස්ට හදිසියේම සිතුනේ එවිටය.
” Thanks මචන්. අපි හවස් වෙලා celebrate කරමුද ?”
අවස්ථාව ලද සැණින් අහස් ඇසුවේය.
” ok. අද මටත් ලොකුවට වැඩක් නැහැ. නිකීත් එයි. මේඝා ට උඹ කතා කරාද ? ”
අහස්ට පෙර ධනුක මාතෘකාවට පැමිණියේය.
” අ.. මම තවම නම් කතා කළේ නැහැ ”
” හරි. එහෙනම් මම බලලා ඒකිව එක්කන් එන්නද ? නැත්තම් උඹම invite කරනවද ? ”
” මම මැසේජ් එකක් දාලා තියන්නම්. උඹ මේඝා ව එක්කන් වරෙන් එහෙනම්.මම ලොකේෂන් එක දාන්නම් ”
අහස්ගේ හදවත බලාපොරොත්තු සහගත හැඟීම් වලින් පිරී යන්නට පටන් ගත්තේ එම දුරකථන ඇමතුමෙන් පසුවය. මේඝා යථා තත්ත්වයට පැමිණ ඇති බව දැනෙන කුමන මොහොතක හෝ ඇයට තම සිතැඟි ප්‍රකාශ කරන්නට අහස් මග බලමින් සිටියේය. ජීවිත කාලය පුරාවටම මේඝා සෙවූ ආදරය නොඅඩුව ලබා දෙමින් ඇයව ආදරයෙන් රැක බලා ගන්නට අහස්ට උවමනා විය.
හවස හත වන විට ධනුක මේඝා සහ නිකිනි සමඟ Grand Monarch වෙත පැමිණෙන බව සඳහන් කර ඒවා තිබුන නිසා අහස් හවස පහමාර පසු වන විටම සූදානම් වීම ආරම්භ කළේය. ලා දුඹුරු පැහැ කලිසමට අහස් තෝරා ගත්තේ Rainbow Eye වෙතින් කෙරුණු රූගත කිරීම සඳහා මේඝා තමා වෙනුවෙන් තෝරා තබන ලද සුදු පැහැති කමිසය ය.
අහස් සූදානම් වන්නට පටන් ගන්නා විටම නාදුනන අංකයකින් දුරකථන ඇමතුමක් පැමිණියේය. එය සුභ පැතීමක් විය හැකි වුවත් යන්නට සූදානම් වන ගමනට ප්‍රමාද වන නිසා අහස් එම ඇමතුමට පිළිතුරු දුන්නේ නැත. නමුත් එම අංකයෙන්ම කිහිප වරක් එක දිගටම දුරකථන ඇමතුම් පැමිණෙන නිසා අහස් කිහිප වරක් බලා සිට ඇමතුම ක්‍රියාත්මක කළේය.
” හෙලෝ ”
” අහස් ”
එහා පසින් අසන්නට ලැබුණේ පිරිමි කටහඬකි. නමුත් ඒ කවුරු දැයි එකවරම හඳුනා ගන්නට අහස්ට හැකි වූයේ නැත.
” ඔව් කියන්න ”
” මම කතා කළේ අහස්ට පොඩි warning එකක් දෙන්න ”
” Warning එකක් ? මට ? ”
අහස් පුදුමයට පත්විය. මෙවැනි දුරකථන ඇමතුමක් තමාට කිසි දාක පැමිණ නැත. සමහරවිට මෙය සම්මාන උළෙලෙන් පසුව පැමිණෙන තර්ජනයක් විය හැකි නමුත් එලෙස තර්ජනය කරන්නට තරම් හතුරෙකු තමාට ක්ෂේත්රයේ නැත.
” ඔව් තමුන්ට තමයි. තමුසේ ඔය ඇහැ ගහගෙන ඉන්න මේඝා කියන කෙල්ලගෙන් ඈත් වෙලා ඉන්නවා. තමුසෙගේ ඔය හිතේ තියෙන දේවල් කවදාවත් ඉෂ්ට වෙන්නේ නැහැ ”
අහස් බිය වූයේ නැත. මෙය බොහෝ විට නිම්නාදගේ වැඩක් විය හැකිය. එසේත් නැත්නම් පෙර පුහුණුවීම් දිනයේ තමාව සහ මේඝා ව දුටුවෙකුගේ වැඩක් විය හැකිය.
” ඇත්තද ? ඉෂ්ට කරගන්න එක නොගන්න එක මගේ වැඩක්. ඒක තීරණය කරන්න තමුන් කවුද ? ”
එහා පසින් ඇසුණේ සමච්චල් සහගත සිනහවකි.
” මේ අහස්. මම කවුද කියන එක තමුසෙට අදාල නැහැ. මම කිව්ව දේ කෙරුණා නම් ඇති ”
” තමුසෙ කවුද කියන එක මට අදාලත් නෑ.පුළුවන් දෙයක් කරලා බලනවා ”
අහස් පිළිතුරු දුන්නේ කිසිදු බියකින් තොරවය.
” මම කවුද කියන එක අදාල නැති උනාට තමුසෙට මේඝා ගේ ජීවිතේ වටිනවා ඇති නේ නේද ? ”