මියුරු පෙම් වසන්තේ – 39

එදා නදී උන්නේ මියුරු එක්ක සති අන්තයේ මියුරුගේ අයියාගේ මගුල් ගෙදරට අඳින්න ඕන ඇඳුමක් තෝරගන්න යන්න ය. මියුරු අයියගේ වෙඩින් එකට අඳින්නට ඕඩර් කල ඇඳුම භාරගන්න තිබුනේ වන් ගෝල් ෆේස් එකේ ටක්ස් සිලෝන් ආයතනයෙන් ය. මියුරු එදා නදීට එන්නට කතා කලේ “උදේ අපි ගිහින් ඇඳුම බලලා, ෆිල්ම් එකක් බලලා කෑමත් කාලම එමු” කියලය. මියුරු ඇඳුම ෆිටෝන් කරන තුරු නදී කරේ එතන හිටගෙන කල්පනා කර කර ඉන්න එකය. සති අන්තයේ දවසක් හන්දා වන් ගෝල් ෆේස් මෝල් එක පිරී තිබුණි. ඒද බහුතරයක් තරුණ කෙල්ලන් කොල්ලන්ගෙන් ය. ඒ අතරම දරුවන් හිඳින මව් දෙම්ව්පියන්ද නොඋන්නා නොවේ.

නදීට ඉතින් ඕවා බලාගෙන කල්පනා කරන්න ඕන තරම් දේවල් තිබුනාය. ඒ ඔක්කොටම වඩා නදී බයෙන් උන්නේ “මියුරු අඳුරන කවුරුහරි, ඔෆිස් එකේ කවුරුහරි දකීවි” කියන එකය. ඒ උනාට මියුරු නම් උන්නේ මේ ලෝකෙ ජීවත්වෙන්නෙ තමනුත් නදීත් පමණක් කියා හිතාගෙන කිසිම ගාණක්, බයක් සැකක් නැතුවය.

“කවුරුහරි දැකල ඔයාලගෙ ගෙදරට කිව්ව දවසට තමා ඔයාට තේරෙන්නෙ”

“මං එච්චර තේ බොන්නෙ නෑනෙ, ඉතින් එහෙම වෙන්නෙ නෑ’

“ඒ කිව්වෙ”

“තේරෙන්නෙ නෑ”

මියුරු දන්නේ ඉතින් ඕන් ඔය වගේ මල විකාර කියන්න බව දන්න හන්දාම නදී හිනාව හංගගෙන මියුරුට එරෙව්වාය. පීවීආර් සිනෙමා හල සති අන්තයේ පිරෙන බව දන්න හන්දාම මියුරු කලින්ම ටිකට් බුක් කරගෙන උන්නේය. එන්ට්‍රන්ස් එකේදි ෆෝන් එකට ආව කිව් ආර් කෝඩ් එක පෙන්නන්නට කලියෙන් මියුරු නදීටත් තමන්ටත් ෆිල්ම් එක බලන අතරවාරයේ කන්නට පොප් කෝනුත් කොකා කෝලාත් ගත්තේය. නදී මෙච්චර විශාල ෆිල්ම් හෝල් එකකට ආව පලවෙනි වතාවය මේක. අනික වෙන ෆිල්ම් හෝල් වල තියෙන කබල් පුටු එක්ක බලද්දී මේ හෝල් එකේ තියෙන පුටු ඇඳන් වගේය. මියුරු කොහොමත් අරගෙන තිබ්බේ ලක්ස් එක නිසා හොඳ හැටි දිගාවී සීතලට රෙද්දකුත් පොරවගෙනම ෆිල්ම් එක බලන්න පුලුවන්කමක් නදීට තිබ්බාය.

“ඈතට වෙලා ඉන්න එපා ඉතින්” කියා මියුරු ලක්ස් හෝල් එකේ පුටුව මැද්දෙන් දෙන්නාව වෙන් කර තිබූ අත් රඳවනය අයින් කර නදීව තමන් ලඟට ඇදල ගත්තේය. නදීව මොහොතකට විතර තිගැස්සුණත් මේ ගත හිරිවට්ටන සීතල මොහොතට ගැලපෙන්නේම ඒ හිත හිරිවට්ටන මියුරුගේ සුවඳත් උණුහුමත් බව නදී දනී. 

චිත්‍රපටය නෙත් වල රැඳෙද්දී හිත අස්සේ එහෙට මෙහෙට දුවමින් තිබුනේ මියුරුගෙන් නදීටත් නදීගෙන් මියුරුටත් හුවමාරු වෙච්ච එකිනෙකාගේ ජීවන සුවඳ මුසුවෙච්ච විලවුන් සුවඳය. ඒ සුවඳ විත් එකිනෙකාගේ හදවත් පතුලේ තැවරුනේ කිසිදිනක වියැකෙන්නේ නැති පරිද්දෙනි. 

එදා දවසම ගෙවී ගියේ එකිනෙකාට සමීපව හන්දා නදීත් මියුරුත් උන්නේ අප්‍රමාණ සන්තෝසයකය. “කවුරුන් හෝ දකීවි” යන බිය බිඳෙන් බිඳ හිතෙන් එලියට ගොස් තිබූ හන්දා නදී පවා උන්නේ වෙනදාට වඩා සැහැල්ලුවෙනි. ආදරය හිතෙන අන්දමේ ගෑණුකමකින් පිරී ගොස් ය.

“මේ දැන් මිලින්ද ඊට පස්සෙ මුකුත් කිව්වේ නැද්ද?” මියුරු හන්නේ නදීගේ අතේ තිබෙන බාස්කින් රොබින්ස් අයිස් ක්‍රීම් එකෙන් කටක් කන ගමන් නදී වෙත නැඹුරු වීය.

“අනේ මං හොයන්න ගියේ නෑ, ඕන දෙයක් කරගන්නෙ නැතෑ. එකපාරක් බෑ කිව්වම හරිහමං පිරිමියෙක් නම් පිළිගන්න එපාය ලැජ්ජ නැතුව තව පස්සෙන් එන්නෙ”

“ඔය කියන විදියට මම හරිහමං පිරිමියෙක් නෙවෙයි නේද?” මියුරු අහන්නේ පුටු වතට හේත්තු වී නදී දිහාව බලමින් මූණ අස්සේ හිනාවක් හංගා ගන්න ගමන් ය.

“ඇයි?” නදී මියුරු දිහා බැලුවේ අයිස්ක්‍රීම් එක කන ගමන් මය. බාස්කින් රොබින්ස් එකෙන් ගත්ත බ්ලූබෙරි අයිස් ක්‍රීම් එකේ නිල් පාට ක්‍රීම් බිඳිත්තක් නදීගේ කම්මුලක තැවරී තිබෙන බවත් මියුරු දුටුවේ ආන් ඒ අස්සේමය.

“ඉතින් ඔයා කොච්චර බෑ බෑ කිව්වත් මම ඉතින් ලැජ්ජ නැතුව පස්සෙන් ආවනෙ, කොහොමහරි යාලු කරගන්නව කියල” මියුරු ඉතින් කිණ්ඩි හිනාව දමද්දී නදී තරහ වෙන්නේ ආදරේ වැඩි හන්දාමය. නදීගේ දෙනෙතේ රැඳී තියෙන බැල්ම දිහා බලාගෙනම මියුරු වන් ගෝල් ෆේස් එකේ කොච්චර සෙනග ඉන්නවද කියා කිසිම තැකීමක් නැතුව වගේ නදීවෙත නැඹුරු වී ඇගේ කම්මුලේ තැවරී තිබිච්ච නිල් පාට බ්ලූබෙරි අයිස්ක්‍රීම් බිංදුව තොලෙන් රස බැලුවේය.

“කවුරුහරි දැක්කද දන්නෙ නෑ” කියා ලැජ්ජාවෙන් කීවාට නදී උන්නේ මියුරු ආදරේ පෙන්නන මේ අපූරුම විදිවලින් උපරිම සතුටට පත්වෙමින් ආදරයේ උපරිම මිහිරියාව හිතේ හැටියට විඳ ගනිමිනි. 

“ඉතින් කවුරු දැක්කත් මොකද? මම කිස් කරන්නෙ මගෙ කෙල්ලගෙ කම්මුලනෙ” කියා මියුරු කියන්නේ කණ ලඟින් පල්ලෙහට එල්ලා වැටෙන නදීගේ කෙහෙ රැල්ලක් අතක පටලවාගෙනය. මියුරු උස හන්දා උන්නේ වාඩි වී නොව පුටුවේ ඇලවීය. ඒ ද වඩා ප්‍රේමණීය විදියට නදී දිහාම විතරක් බලාගෙනය. එහා පැත්තේ අසුනක වාඩි වී කිචි බිචි ගගා උන්නු කෙල්ලන් රොත්තකගේ ඇස් මියුරුගේ කඩවසම් රූපය ළඟ නතර වී තිබෙන බවත්, තමා ඔවුන්ගේ මුකුලුව දුටු බව දැක ඒ කෙල්ලන් අහක බලාගත්ත බවත් නදී දැක්කේ ඕන් ඒ ඇසිල්ලේය. කෙල්ලන් ඉතින් කොහොමත් ලස්සන කොල්ලෙක් දැක්කම ඔහොම තමයිනෙ කියා දන්න හන්දාම සාමාන්‍ය පෙම්වතියකට උරුම ඉරිසියාව විත් නදීගේ හිත රිද්දුවේ නැත. අනෙක් අතට ඉතින් මියුරු කවුද කියා දන්න හන්දා මෙතනට අයිශ්වර්‍යා රායි ආවත් මියුරු ගණන් ගන්නෙ නැති බවත් නදී දනී.

“මේ ඔන්න දෙයක් කියන්න එකපාර බලන්න එපා හොඳේ” කියා නදී මියුරුට කිව්වේ ඒ කෙල්ලන් ගැන කතාව කියන්න හිතාගෙනය. ඔය වගේ වෙලාවක නදීගේ මුහුනේ ඇඳෙන හුරතල් ගතියත් රෝස දෙතොල උල් කරගෙන නදී කතාකරන විදියත් හිතට අල්ලන හන්දා මෙච්චර වෙලා පුටුවේ ඇලවී උන් මියුරු හරිබරි ගැහී පුටුවේ වාඩිවුනේය.

“කියන්න බලන්න”

“අපිට පිටිපස්සෙ ටේබල් එකක වාඩිවෙලා ඉන්න කෙල්ලො සෙට් එකක් ඔයා දිහා බල බල හිනාවෙනවා. ශේප් එකේ අපි යන්න නැගිට්ටම ඔයා ඒ කෙල්ලො ටික දිහා බලල පොඩි හිනාවක් දාන්න” නදී කියන්නෙ තොලුත් උල් කරගෙන ඇසුත් රවුම් කරගෙනය.

“ඒ මොකටද?” මියුරු අහන්නේ ඔය කියන කෙල්ලන් ගැන තඹ සතේකට මායිම් කරන්නේ නැතුවය.

“මොකද්ද අනේ හිනාවක් දුන්නා කියල ඇඟෙන් කෑල්ලක් යනවද නෑනෙ?”

“ඒ උනාට ඔය නොදන්න කෙල්ලන්ට හිනාවෙන්න යන්නෙ නෑ මං”

“මොකද්ද අනේ ඕක ලොකු දෙයක් නෙවෙයිනෙ, අපි උනත් ලස්සන කොල්ලෙක් දැක්කම ඉතින් බලල හිනාවෙනවනෙ, ඔයත් පොඩ්ඩක් හිනාවෙන්න” කියල නදී කිව්වමනම් මෙච්චර වෙලා ලස්සනට තිබ්බ මූණ මියුරු වෙනස් කරගත්තේ තප්පරෙන් දෙකෙන්‍ ය.

“මේ ඔයා මගේ හරිද? මගේ ලස්සනයි මං දිහයි විතරක් බැලුවම ඇති, ලස්සන කොල්ලො එක්ක හිනාවෙන්න යන්නෙ. මාත් එක්ක හිනා උනාම ඇති” මියුරු කියන්නෙ ඉතින් ආදරේ එක්ක සමානුපාතිකව යන ලාවට හිත අස්සේ තැන්පත් වී තිබෙන ඉරිසියාව හන්දාය.  නදීත් මියුරුත් වාඩිගෙන උන් තැනින් නැගිට්ටේ අවසාන අයිස්ක්‍රීම් බිංදුවත් රස බැලුවයින් පස්සේය. නදීගේ අතෙන් අල්ලගෙනම පුටුවෙන් නැගිටින ගමන් මියුරු ඉතින් ලාවට වගේ අර කෙල්ලො දිහාවට පොඩි හිනාවක් දැම්මේය. ඒ කෙල්ලන්ගේත් තියෙන්නේ පුදුම කොමලයක් ය. ඒ උනාට නදී ඕවට තරහා ගන්නෙ නැති බව දන්න හන්දා මියුරු ඉතින් ඒ කොමල ගැන වද වෙන්නේ නැත.

“දැන් ඔයා බෑ කිව්වට අගේට හිනා උනේ” කියා නදී කියන්නේ විහිලුවට ඔච්චමට බව මියුරු දනී.

“ඔන්න ඔයා ඉල්ලපු එක මං කරා, ආයෙ හැබැයි වෙන එක එක කොල්ලන්ට හිනාවෙලා අහුවෙන්නෙ නෑ ඔන්න” කියා මියුරු නදීව වඩාත් තදින් තමන් වෙත තුරුලු කරගත්තේ ඇගේ ඉඟ වටේ අත යවමිනි.

මේ ආදරය, මේ ආදරබර ජවනිකා බොහෝ දෙනෙකුගේ දෙතොලට හිනාවක් අරගෙන එන්න හේතුවක් උන බව ඇත්තකි. එහෙත් ඒ සියල්ල මැද්දේ නදීවත් මියුරුවත් දැක තිගැස්සුණ, කලබල වුණු නෙතක් ද තිබුණි.

“ඒ පෙනුමම එයාට ආවෙ කොහොමද?” කියා ඒ දෙනෙත හිමි තැනැත්තා උන්නේ වික්ශිප්ත වීය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles