නිවාඩු කාලේ පොඩ්ඩන්ට කන්න ගුලාබ් ජමුන් හදමු

ගුලාබ් ජමුන් කියන්නෙ හරිම ජනප්‍රිය ඉන්දියානු අතුරුපසක්.

බැඳගත්තු පිටි බෝල සීනි දියකරල හදපු පැණි මිශ්‍රණයක ගිල්වල හදන මේ රසවත් අතුරුපස විශේෂ අවස්ථාවකදි අමුත්තන්ට සංග්‍රහ කරන්න වගේම හවස තේ වේලට පවුලෙ හැමෝම එකතු වෙලා රස බලන්න වුනත් ගැලපෙන ඉක්මනින් වගේම පහසුවෙන් හදාගන්න පුළුවන් කෑමක්.

ගෙදර ලේසියෙන්ම හොයාගන්න පුළුවන් දේවල් භාවිත කරල හදන නිසා වැඩි වියදමක් නැතුවම හදාගන්න පුළුවන් ගුලාබ් ජමුන් හදන විදිහ ඔන්න ඔබත් බෙදාගන්නයි smart lady අපි අද මේ සූදානම් වෙන්නෙ. 

එහෙනම්, පුරුදු විදිහටම අවශ්‍ය කළමණා සූදානම් කරගෙන ඉමු. 

අවශ්‍ය ද්‍රව්‍ය 

කිරි පිටි කෝප්ප 01 ¼ ක් 

පාන් පිටි කෝප්ප ¼ ක් 

බේකින් පවුඩර් තේ හැඳි ½ ක් 

කාමර උෂ්ණත්වයේ ඇති බටර් (මෘදු නමුත් දිය නොවූ) මේස හැඳි 02 ½ ක් 

මඳ රස්නෙ කිරි මේස හැඳි 04 ක් සහ මේස හැඳි 01 ක් වෙන වෙනම 

තෙල්

පැණි මිශ්‍රණය සඳහා 

වතුර කෝප්ප 02 ½ ක් 

සුදු සීනි කෝප්ප ¾ ක් 

කරදමුංගු 04 ක් 05 ක් 

රෝස වතුර බින්දු කීපයක් (අත්‍යාවශ්‍යම නැත)

සාදාගන්නා ආකාරය

මුලින්ම භාජනයක් ගෙන එයට කිරි පිටි, පාන් පිටි, බේකින් පවුඩර්, බටර් සහ කිරි එකතු කර සෙමින් අනමින් මෘදු මිශ්‍රණයක් සාදාගන්න. 

මේ මිශ්‍රණය වැඩි වෙලාවක් නොතබා කුඩා බෝල 15 ක් පමණ සාදාගන්න. 

භාජනයක් ලිපතබා එයට තෙල් එකතු කර තෙල් රත්වූ පසු ගින්දර හොඳින් අඩුකර සාදාගත් පිටි බෝල මද ගින්දරේ විනාඩි 08 ක් පමණ බැඳගන්න. 

(වැඩි ගින්දරේ බැඳගත් විට මැද අමුවටත් අඩු ගින්දරේ බැඳගත් විට බෝල තැම්බීමටත් ඉඩ ඇත) 

ලිපෙන් ඉවත්කර ගත් බෝල තෙල් ඉවත් වී හොඳින් නිමෙන තෙක් තබාගන්න. 

ඊළඟට අපි පැණි මිශ්‍රණය සාදාගමු.

වෙනත් භාජනයක් ලිපතබා එයට වතුර එකතු කර වතුර හොඳින් නටන විට සීනි එකතු කරන්න. විනාඩි 05 කින් පමණ සීනි දියවී සීනි දියවී අවසන් වේවි. 

එයට කරදමුංගු ඇට ටිකත් එකතු කර නැවත වතුර නටන තෙක් විනාඩි 10 ක් පමණ තබාගන්න. 

සාදාගත් පැණි මිශ්‍රණය වෙනත් භාජනයකට පෙරා කරදමුංගු ඉවත් කරගන්න. 

පැණි මිශ්‍රණය උණුසුම්ව තිබියදීම හොඳින් නිමුණු බැඳගත් පිටි බෝල පැණි මිශ්‍රණයේ ගිල්වා ගන්න. 

විනාඩි 30 ක් පමණ තැබූ පසු හොඳින් පැණි උරාගත් ගුලාබ් ජමුන් රස විඳින්න ඔබට පුළුවන්.

එහෙනම්, හදල බලල අපි එක්කත් රස බෙදාගන්න අමතක කරන්න එපා. 

සටහන – දුලානි නවෝද්‍යා  

Related Articles

Don't Miss


Latest Articles