මියුරු පෙම් වසන්තේ – 47

“කවුද බං ඒ අලියා උඹට ගහන්න ආව?” කියාගෙන විල්සන් ඇසුවේ මිලින්දගේ තැලිච්ච අත පයේ තෙල් ගාද්දිය. මිලින්ද උන්නෙ තරහයි ලැජ්ජාවයි දෙකම එක්කහු වෙච්ච සිතුවිලි කන්දරාවක ගිලීය. ගේ දොරකඩ ඉඳගෙන අම්මා වත්තෙ එක එකාට මේ වෙච්ච දේ කියන එක මිලින්දට තව ලැජ්ජ උනත් ඉතින් වත්තක කොහොම උනත් ඔහොම දෙයක් හංග ගෙන ඉන්න එක කරන්න බැරි බව මිලින්ද දනී.

“ශොප් එකට ආව මිනිහෙක්”

“අම්මටසිරි ඌ මේ ගෙදරටම ඇවිල්ලා සැලකුවෙ උඹ උගෙ පච්චෙ ගැහුවෙ වැරදි තැනකද?”

“නෑ නෑ පිස්සුද? මං එහෙම වරද්දල පච්ච ගහනවද?” කියා මිලින්ද ඇඟ පතේ අමාරුවෙන් උනත් විල්සන්ට ඔරවා කිව්වේ “මූට ඕන නැති එකක් නෑ” කියා හිතමිනි.

“එහෙනම් අහවල් එහෙකටද ඒ යකා මෙහෙ ඇවිත් උඹට ගැහුවෙ?යකෝ කලුවරේ ඒකා උඹව උස්සන් ඉද්දි මං ඒත් කල්පනා කරා අල්විස් වත්ත පින්නවල පැත්තටවත් අරං ගිහිල්ලද කියල? ඇයි යකෝ අරූ නිකන් අලිය වගේ උඹ ඉතින්…” කියා විල්සන් කට වහගත්තාට විල්සන් කියන්න ගියේ කුමක්ද කියා දැනගන්න මිලින්දට නම් ලොකුම ලොකු උවමනාවක් තිබුණේය.

“ඔව් කියන්න කියන්න, මං මොකෙක් වගේ කියලද කියන්න ගියේ” කියා මිලින්ද ඇහුවාට විල්සන් ඒකට උත්තර දෙන්න ගියේ නැත. උත්තර දුන්නා නම් ඉතින් දෙන්න තියෙන්නෙ බෙට්ටක් වගේ කියා හින්දා මිලින්ද කොහොමත් අමාරුවෙන් ඉන්න වෙලාවෙ උගෙ හිත තව රිද්දන්න විල්සන්ට උවමනා උනේ නැත. මිලින්දයා දැන් මේ වෙච්ච දේවල් නිසා ඉන්නෙ ප්‍රසිද්ධියේ පඩයක් ගිය එකෙක් වගේ මූණ නොරොක් කරගෙන එකේ ඌට තව රිද්දන්න ඕන නැති හන්දාම විල්සන් කටවහගෙන උන්නේය.

“උඹ ඉතින් වෙච්ච දේවල ඇත්ත නැත්ත මුකුත් කියන්නෙ නැති එකේ අපිට ඉතින් උඹට කිසි සපෝට් එකක්වත් දෙන්න පුලුවන්කමක් නෑනෙ” කියා විල්සන් කතාව වෙන පැත්තකට හැරෙව්වේ ඒ හන්දාය.

“අනේ නෑ බොහොම ස්තුතියි මට එපා විල්සන් අයියගෙ සපෝට්. මං සපෝට් ඉල්ලපු වෙලාවෙ නිකන් සපෝට් දුන්න වගේනෙ කතාකරන්නෙ හරියට”

“උඹ සපෝට් එක ඉල්ලුවෙ මේ අපෙ නදියව උඹට සෙට් කරගන්නනෙ. මං උඹට එවෙලෙම කිව්වනෙ මං කපුකම් කරන්නෙ නැතෙයි කියලා”

“හරි එච්චරයි, ඉන්පස්සෙ මං කරදර කරන්න ආවෙ නෑනෙ. මට නදිත් එපා විල්සන් අයියගෙ සපෝට් එකත් එපා, බොහොම ස්තුතියි, දැන් යන්න” 

“අඩෝ උඹලට අලි ගහද්දි බේරගන්න අපිව ඕන, ඉන්පස්සෙ අපිව එපාවෙනවා. හරි හරි පුතේ ඔහොම යන්කො. ඊලඟ සැරේ උබට අලි නෙවෙයි ඩයිනෝසර්ලා ඇවිල්ල ගැහුවත් මේ විල්සන් නම් නෙවෙයි ගෙයින් එලියට එන්නෙ” කියාගෙන විල්සන් ගෙයින් එලියට ගියේ දොරකඩ ඉඳන් ගමේ ගැණු එක්ක ඕපදූප ටික කියවන මාග්‍රට් ගේ උරිස්සෙත් හැප්පීගෙනය.

මේ ඔක්කොම අස්සේ ධම්මිකා උන්නේ රොඩ්‍රිගු අරගෙන ආ ආරංචියෙන් කම්පා වෙලාය.

“නදී කියන්නෙ මැඩම් හොඳටම දන්න කෙනෙක්ගෙ දරුවෙක්?”

“කාගෙද?”

“මීට අවුරුදු විසි ගාණකට කලින් ක්ලීටස් මහත්තය යාලුවෙලා හිටිය වසන්තගෙ කෙල්ල, ක්ලීටස් බොස් මේ කෙල්ලව දැකල නැද්ද? දැක්කා නම් බොස් අඳුරගන්න ඕනනෙ. අම්මගෙ කපාපු පලුව” කියා කියද්දී වසන්තාට එදා ඔෆිස් පාටි එක දවසෙත් නදී මියුරු එක්ක නටද්දී ක්ලීටස් ශාලාවේ නොඋන්න බවත් ක්ලීටස් උන්නේ මිතුරන් කිහිප දෙනෙක් එක්ක එලියේ කතා බස් කරමින් බව මතක් වුණාය. ඔය කියන විදියට එදා පාටිය අතරවාරයේ ක්ලිටස් නදීව දැන නැත. එහෙත් වසන්තාගේ දරුවෙක්ම තමන්ගේ දරුවාව ඩැහැගන්න කවදාක හෝ මෙහෙම එතැයි යන තිගැස්මෙන් ගැලවෙන්න පුලුවන්කමක් ධම්මිකාට තිබ්බේ නැත.

“වසන්තා ඉන්නේ කෙල්ල එක්කද?”

“වසන්තා දැන් අවුරුදු ගාණකට කලින් රට ගිහිල්ල, ගියයින් පස්සෙ ඇවිල්ලම නෑ, කෙල්ල ඉන්නෙ තාත්තයි ආච්චි අම්මයි එක්කයි”

“කෙල්ල දන්නවද වසන්තා යාලුවෙලා හිටියෙ ක්ලීටස් එක්ක කියලා”


“මං හිතන්නේ නෑ මැඩම් එහෙම එකක් නම්. හැබැයි ඉතින් කියන්නත් බෑ මැඩම්ගෙන් පලිගන්න බැරි එකේ මැඩම්ගෙ පුතාගෙන් පලිගන්න හිතුවද කියල කවුද දන්නේ? තමන්ගෙ පවුල විසිරෙව්වට?”

“වසන්තා ක්ලීටස්ගෙන් අයින් උනේ ක්ලීටස් වසන්තව බඳින්න උවමනාව තියෙන හන්දා මාව ඇක්සිඩන්ට් කරවලා මරන්න ප්ලෑන් කරන්න ඉන්න බවයි, ඒ කන්ට්‍රැක්ට් එක තමුන්ට ආවයි කියල කිව්වයින් පස්සෙ බවවත් ඒ කෙල්ල හරි ඒ කෙල්ලගෙ ගෙදර අය හරි දන්නවා ඇතිද?”

“වසන්තා ඉස්සර ඔය කෙල්ල හම්බෙන්න ඉද්දි ක්ලිනික් එහෙම ගියේත් අම්මා එක්කනෙ. ඒ නාකි ගෑණි දන්නවද දන්නෙ නෑ ඒව, හැබැයි ඉතින් තමන්ගෙ අම්මාගෙ පරණ බෝයි ෆ්‍රෙන්ඩ්ගෙම පුතා එක්ක යාලුවෙන්න තරම් නම් ඒ කෙල්ලට ගට් එකක් ඇතෑ කියල මං හිතන්නේ නෑ මැඩම්” කියා රොඩ්‍රිගු කිව්වාට ධම්මිකාට ඒ සිතේ සැනසීමක් ඇති කරගන්න පුලුවන් හේතුවක් නොවේ.

වසන්තා කොයි තැන කොහොම උන්නත් ධම්මිකාට ඒකෙන් පලක් නැත. වසන්තාගෙන් ක්ලීටස්ව බේරගන්න බොරු කතාවක් ගොතා පුලුවන් උනාට වසන්තාගෙ කෙල්ල ඇවිත් ඉන්නේ අතීතයේ වෙච්ච දේවල්වලට පලිය ගන්නනම් මේ ගේම් එක වසන්තාව සීන් එකෙන් අයින් කර තරම් පහසුවෙන් තමන්ට දිණුම ලබාගන්න පුලුවන් එකක් නොවන බව ධම්මිකා තේරුම්ගත්තාය. මේ වනාහී අද ඊයෙ හිඳ ගහන ගේම් නොවේ. පවුල වෙනුවෙන් මෙවන් ගේම් ගහන්න වෙච්ච අවස්තා ගණන පොඩි උනත් ඒ පවුල වෙනුවෙන් ගහන ගේම් හිත අස්සේ කොච්චර ලොකු වේදනාවක් ඉතුරු කරනවාද යන්න ධම්මිකා ජීවිතයේ තරුණ අවදියේදී ක්ලීටස් හන්දා විඳ දරා ගත්තාය. දැන් ඇවිත් තියෙන්නේ එදා බිරිඳක ලෙසින් ගහපු ගේම් එක අද දරුවන් වෙනුවෙන් අම්මා කෙනෙකු ලෙසින් සෙල්ලම් කරන්නට වෙලා තියෙන එකය.

කාලය වෙනස් උනත් වැඩේ එකමය. ගේම් එක එකමය. ප්‍රතිවාදියා එදා අම්මා මෙදා දුව උනත් මේ ගේම් එක අවසානයේ දිනන්න ඕන තමන් ය.

දරුවන් බිහි කලේ තමන්ගේ කුසෙනි. දරුවන් හදා වඩා ගත්තේ තමන්ගේ වෑයමෙනි. එහෙම එකේ දරුවන්ට පවුලේ නම්බුව වෙනුවෙන් තමන්ට මේ ගේම් එක දිනන්න දෙන්න බැරිකමක් තියෙන්න විදියක් නෑ නේද කියාත් ධම්මිකා ඒ අස්සේම හිතුවාය.

ධම්මිකාගේ නිහඬතාවය භයානක බවත්, ඒ නිහඬතාවය අස්සෙ ධම්ම්කා අලුත්ම ගේම් එකක් හිතන බව රොඩ්‍රිගු දැන උන්නේ අත්දැකීම්වලිනි.

“මැඩම් පසුතැවෙනවද ක්ලීටස් සර් මැඩම්ව ක්ලීන් අවුට් කරන්න මට කන්ට්‍රැක්ට් එකක් දුන්නා කියල බොරු කියවලා වසන්තව සීන් එකෙන් අයින් කර එක ගැන දැන්? වසන්තා උන්නා නම් සමහරවිට ඔය කෙල්ල පොඩි මහත්තයට සෙට් වෙන්න තිබ්බ ඉඩ සෑහෙන අඩුයිනෙ” කියා රොඩ්‍රිගු ඇහුවේ ධම්මිකා මේ ගැන ඇත්තටම හිතන්නේ මොනවද කියා දැනගන්න තිබුන උවමනාව හන්දාය.

රොඩ්‍රිගුට තමන්ගේ මැර ජීවිතයේ හම්බෙච්ච අටෝරාසියක් ක්ලයන්ට්ලා මැද්දේ ධම්මිකාට පලවෙනි තැන හම්බුනේ නිතරගයෙන්ය. ඒ ධම්මිකා ගෑණියෙක් වෙච්ච හන්දාම නොවේ. රොඩ්‍රිගුගේ පිරිමි ක්ලයන්ට්ස්ලටත් වඩා ධම්මිකා බය නැති, අමුතුම තාලයේ ගෑණියෙක් වෙච්ච හන්දාය. කොටින්ම රොඩ්‍රිගුගේ හිතේ ධම්මිකා ගැන තිබ්බේත් පුදුමාකාර බයකි.

“මං ඒ ගැන නම් දුක්වෙන්නෙ නෑ. මං දුක්වෙන්නෙ වෙන දේකට” කියා ධම්මිකා කිව්වේ කල්පනාවෙන් බරවෙච්ච හඬකිනි.

“ඒ මොකද්ද මැඩම්?”

“වසන්තව සීන් එකෙන් අයින් කරද්දි වෙන තැනක ගිහින් ඉන්න හිටින්න ඉඩ හදන්නෙ නැතුව ඒකිවයි ඒකිගෙ දරුවයි දෙන්නම ක්ලීන් අවුට් කරේ නැති එක ගැන”

ධම්මිකා හෙමින් සැරේ එහෙම කිව්වේ ඊලඟට ගහන්න ඕන, දිනන්න ඕන ගේම් එකේ පිඹුරුපත සකස් කරමිනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles