නුඹ තරම් ප්‍රේමයක් – 19

දහ නව වැනි නෙතු සැරිය

චත්‍ර කුමක් කීවද,  ඇමතුම විසන්ධි කිරීමෙන් පසුව ඔහු උන්නේ ප්‍රහර්ශයකය. ඒ කෙතරම් වීද යත්, ඔහු කපිල උන් ඇමතුම විසන්ධි  කරවා බලෙන්ම සිදුවූ සියල්ල සිහිපත් කරමින් කපිලට කීවේය.

 චත්‍ර මරු කියවනවාය යන සැකයෙන් කපිල චත්‍රගේ ජංගම දුරකතනය ඉල්ලාගෙන පැමිණි ඇමතුම් බලන්නටද  කටයුතු කලේය. විනාඩි හයක ඇමතුමක් විය. එය අයත්මාගෙන් පැමිණ තිබුණි. තමාගේ සැකය නිවැරදි වගට  කපිල තහවුරු කර ගත්තේය. ඇතැම් විට ඇය උත්සාහ කරනුයේ අමුතුම ආකාරයේ පලි ගැනීමකට විය හැක. 

චත්‍ර අඩ සිහියෙන් සහ උන්මාදයෙන් සිටින මේ මොහොත  ඒ පිළිබඳව කතා බස් කිරීමට සුදුසු නොවන වගද කපිල වටහා ගත්තේය. එහෙත් හැකි ඉක්මනින් ඒ පිළිබඳව කතා කිරීම කල යුතු බව ඔහු තමාටම පවසා ගත්තේය.

චත්‍ර නැගිට්ටේ සිහිනිගේ හඬිනි. ඇය කාමරය අසල දොර අසල කිසිවෙකු සමඟ මහ හඬින් ඇමතුමක උන්නාය. චත්‍ර දොර විවෘත කර ඇයට බැණ වැදුනේය. ඒ ඇසිල්ලේ ඕ කාමරයාට රිංගා ගත්තේ ව්‍යාජ ඇමතුම විසන්ධි කරන වග පෙන්වමිනි.

” මොකද?..”

චත්‍ර නොරිස්සුම පෙන්වූවෙය.

” මොකද ඔයා මාව මඟාරින්නේ?..”

” එහෙම මඟුලක් නෑ… මට නිදාගන්න දීලා පවු නොදී එළියට යනවාද චුටි …”

” ආරාධනාවක් කරන්න ආවේ…”

” අනේ මේ මට බෑ ඕයි …. යනවකෝ …”

චත්‍ර ඕ නැගිටුවා කාමරයෙන් එලියට ඇද දමන්නට කල උත්සාහය පරදවමින් ඕ යහනේ මැදටම වූවාය. චත්‍ර අවසානයේ යහනේ අනෙක් පසි වැටී රෙද්ද පොරවා ගත්තේය.

” අයත්මා කතා කලා… ලබන සෙනසුරාදා එයාලගේ අම්මාගෙයි තාත්තගේයි දානෙයි පිරිතුයි තියෙනවාලු … සෙනසුරාදා පිරිත් ඉරිදා දානේ.. ඔක්කොමලා එක්ක එන්න කීවා.. අවිශ්ක අයියා  ඔයාට  කතා කරාවි කිව්වා….”

චත්‍ර දඩි බිඩියේ නැගිට්ටේ ඇතිරිල්ල විසිව යන්නට හරිමිනි. මේ සිහිනයක්ද?  …

සිහිනි චත්‍ර දෙස බලමින්, හිස සලමින් දෙතොල් පෙරලමින් උන්නාය. චත්‍ර උන්නේ  හොල්මනක් දැක මෙන් සුදුමැළි වීගෙනය.

” ඔක්කෝටම එන්න කිව්වා ?..”

චත්‍ර අවසානයේ විමසුවේය. සිහිනි හිස සැලුවාය. චත්‍රට යලි සිහි වූයේ කපිලගේ අනතුරු ඇඟවීමය. ඇය මේ සූදානම් වන්නේ එවැනි පලි ගැනීමකට්ද?. එසේ නැති නම් අම්මලාටද ආරාධනා කරන්නට ඇති හේතුව කුමක්ද?

” අම්මලට කිව්වද?..”

” ඔව් …”

” මෝඩි .. ගොන් ගහ .. ඉස්සෙල්ලා මාත් එක්ක කතා නොකර ඇයි අම්මට කියන්න ගියේ …”

චත්‍ර යහනෙන් බිමට පැන ඒ මේ අත ඇවිද්දේය. ඔහුගේ නොසන්සුන්කම සිහිනිට වැටහුනේ නැත. මෙවෙලෙහි අයත්මා  නම්‍යශීලී වීම අයියාට මෙතරම්  කලබල වන්නට හේතුවක්  වන්නේ කෙලෙසදැයි ඇයට සිතා ගන්නට නොහැකිය.  

” තමුසේ අයත්මාගෙන් ඈත් වෙලා ඉන්නවා චූටි …”

” මොකක් ?…”

සිහිනි චත්‍ර දෙස බලා  උන්නේ ඔහුගේ උමතු හැසිරීම වටහා ගන්නට නොහැඛිව මෙන්‍ය.

” අහනවා.. අයත්මා ලේසියෙන් නැවෙන කෙල්ලෙක් නෙවෙයි … ඒත් මේ හැමදේම මෙච්චර ඉක්මනට වෙන්නේ හොඳකට නෙවෙයි … චූටි … 

මම මට වෙන ඕනම දේකට මුහුන දෙන්න ලෑස්තියි .. ඒත් තමුසේ, අම්මා, අප්පච්චී මං නිසා වචනයක්වත් අහන්න ඕනි නෑ… කවදාවත් ඕනි නෑ… අයත්මා මාත් එක්ක ඉන්නේ සැහැල්ලුවෙන් නෙවෙයි චූටි … ඊයේ යන අතරදී ඒකි කොහොම කන්ෆියුස් වෙලාද උන්නේ කියලා මතකනේ…

 ඒත් ඒ ගිහින් ආවම එක පාරටම මෙහෙම වෙස් පෙරලෙන එක හොඳ දෙයක් නෙවෙයි .. සමහරවිට අයත්මා හිතනවා ඇති, මං එයාට එහෙම කරලා, දැන් කිසි දෙයක් නොවුන ගානට මෙහෙම ඉන්නවා කියලා.. ඒක එයාට මං ගැන දැනෙන දරාගන්න බැරි  වෛරයකට හේතුවක් චූටි ..  

එයා දැන් ඉන්නේ ඒ වෛරය කා එක්කවත් බෙදාගන්නවත් පුලුවන් ඉඩක නෙවෙයි … කොටින්ම එයාගේ අයියා එක්කවත් .. ඒ නිසා එයා එයාගේම විදියකට මේක විසඳන්න හදාවි …. ඈතට වෙන්න චූටි … මේක මහ විනාසයක් වෙන්න කලින් ඈතට වෙන්න …”

සිහිනි එයද නොවැටහී මෙන් බලා උන්නාය. අයත්මා තුලින් එවැනි චේතනාවක් පෙනෙන්නේ නැහැ නොවේදැයි ඕ කල්පනා කලාය.

” අයියේ … ඔයා මේ විකාරයක් හිතන්න අරගෙන මට නම් පේන්නේ …”

” ඒකෙන් වැඩක් නෑ… කිට්ටු කරලා අයත්මාට කියන්න අපිට එන්න වෙන්නේ නෑ කියලා….”

” ඔයාට පිස්සුද? එච්චර උද්දච්චකමක් පෙන්නන්නේ කොහොමද? අම්මා කිව්වා අයත්මාට කතා කරලා කෙරෙන්න ඕනි දෙයක් ගැන අහගන්න කියලත් .. ඔයාට බැරි නම් ඉන්න .. අපි යනවා…. “

” නෑ … එකෙක්වත් යන් නෑ…”

චත්‍ර කෑ ගැසුවේය. සන්ධ්‍යාගේ හඬ දොර අසලින් ඇසුණි.

” ඔයා ඉන්න ලොකූ පුතේ … අපි තුන්දෙනා යනවා… ඒ දරුවා පිරිසිදු හිතින් ඒ ආරාධනාව කරාට පස්සේ නොගිහින් ඉන්න එක යුතු නෑ…”

“අම්මේ ඇයි තේරුම් නොගන්නේ…?..”

සන්ධ්‍යා චත්‍රට පැහැදිළි කලාය. ඔහු විසින් ඇයට සිදු කෙරූ සියල්ල සාධාරිණීකරණය  කර නිහඬ වීම තමාගේද, අතුකෝරල මහතාගේද හිතට කිසිදිනෙක සාමයක් ගෙන දෙන සිදුවීමක් නොවන වග කීවාය. 

සිහිනිගේ වයසට ලංව සිටින, දෙමාපියන්ද අහිමිව තනිව ජීවිතය අල්ලා සිටින යුවතියකට මේ සිදුවූ අසාධාරණය පහසුවෙන් අත් හැරීම කල නොයුතු වගද  ඕ කීවාය. එහෙත් එලෙසයැයි  කියා චත්‍රගේ ජීවිතය විනාශව යන යමක් සිදු වන්නට ඉඩ දෙන්නට තමන්ට නොහැකි වගද ඕ කීවාය. 

ඒ නිසා අයත්මාගේ ජීවිතයට ලංව ඇය රැක බලා ගැනීම වෙනුවෙන් හැකි සෑම දේම තමා කරන වගද ඕ කීවේ චත්‍ර අම්මාගේ වෙස් පෙරලීම වටහා ගන්නට නොහැකිව සිටියදීය.

” මං අයත්මාට කතා කරලා බලන්නම් අම්මා.. හෙට අපි දෙන්නා එහෙනම් එහෙ ගිහින් එමු..”

සිහිනි කාමරයෙන් පිටව යන අතරේ කීවේ චත්‍රගේ විරෝධය නොතකමිනි. චත්‍ර අම්මාට ඔහුව පැහැදිලි කරන්නට උත්සාහ කිරීමෙන් සිදු වූයේ ඔහුගේ සිත රිදීම පමණි.

” මෙච්චර දේකට පස්සේ, ඒ කෙල්ල මෙහෙම බොරුවකුත් කියලා.. ආයෙම අපිට මෙහෙම කතා කරන එක ගැන පවා සතුටු වෙන්න ඕනි චත්‍ර ….

 අවිශ්ක තමා කියලා තියෙන්නේ අපිටත් දානෙට එන්න කියන්න කියලා… ඒ කොල්ලා හිතාගෙන ඉන්නෙ ඔයා එයාගේ නංගිගේ ජීවිතේ බේරුවා කියලා…..  ඒ රඟපෑම එක්ක අයත්මා ජීවිත කාලෙම එයාගේ අයියාව රවට්ටනවා…

ඔයාගේ ඉවසිල්ලක් නැතිකම හින්දායි ඒ නංගීට ඒ අයියාව රවටන්න  වෙන්නෙ පුතේ .. මට රෑට නිදාගන්න ගියාම පපුව දැවිල්ලයි … සිහිනිට එහෙම දෙයක් වුනොත් මම කරන්නේ මොකද්ද කියලා මට කල්පනා වෙනවා… ඔයා ඒ ළමයාගෙන් ඈත් වෙලා ඉන්න එක මට කමක් නෑ.. ඒත් අපිට මේ දේ කරන්න බාධා කරන්නෙපා…”

චත්‍ර සිගැරැට්ටුවක් දල්වාගෙන බැල්කනියේ ඇල වුනේය. අම්මාගේ වචන කඩු තුඩු වලටද වඩා දැඩිය. පපුවේ ඇමිණුම් තනා ඒ ඇමිණුම් ඔස්සේ කිඳා බසින කැපුම් තනන්නේය. අම්මා කිසිදිනෙක අයත්මා ගැන ස්නේහයෙන් කතා කලේ නැත.

 අයත්මාගේ දෙමාපියන්ගේ මරණයෙන් පසුව හෝ ඕ ඇය දෙස දයාබරව බැලුවේ නැත. එහෙත් දැන් සියල්ල වෙනස්ව ගොස් ඇත. අම්මා බැණ වදිමින් ඇණුම් පද කියන්නේ තමාටය. ඇයට අයත්මා ගැන ඇත්තේ සිහිනි හා සමවම නැගෙන සෙනෙහසක්දැයි ඔහු සිතුවේය

” ඔයා අම්මගේ ආදරේ අයිති කරගෙන මගේ ආදරේ මරලාම දැම්මා නේද කෙල්ල …”

චත්‍ර සිගරට්ටුව නිවා දැම්මේය. දැන් දැන් සිගරට්ටුවකින් දැනුන සැහැල්ලුවද නොදැනෙන බව චත්‍රට දැනේ. මත් වුවාය කියාද ලැබෙන යමක් නැත. සියල්ල තාවකාලික සුවයක්වත් නොදී අවසන් වෙයි.

චත්‍ර ජංගම දුරකතනයේ ගබඩා  කරගෙන තිබූ අයත්මාගේ රුවක ඇලවුනේය. ඇය රූප සුන්දරියක තරමේ නොවේ. එහෙත් තමාට ඇයට ඇලෙන්නට තරමේ වන හේතු කෝටියක් ඈ සතුය. ප්‍රේමයෙන් බැඳෙන්නේ හේතු නැතිවමයැයි කීවාට චත්‍රට අයත්මා වෙත ප්‍රේමයෙන් බැඳෙන්නට හේතු වුන කාරනා අනේක කිව හැක

| අපේක්ශා ගුණරත්න | 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles