සුරත් විජයවීර ගෙදර පැමිණියේ වෙඩි කෑ ඌරෙකු සේ කුපිතව ය. ඒ වෙලාවේ නිර්ධා, පෝය නිවාඩුවෙහි විවේකය භුක්ති විඳිමින් පොතක් කියවමින් සිටියා ය. සැමියා ගේ විලාශයෙහි වෙනස ඇයට එක් බැල්මකින් ග්‍රහණය කළ හැකි විය.
“හරිනෙ… දැං ඉතිං හරිනෙ.. මං හිතුව ඕක වෙයි කියල. ඔයත් මේවට වගකියන්න ඕන නිර්ධා. කොල්ල කිසීම සැකක් බයක් නැතුව මේ වගේ අසූචි ගොඩකට පැන්නෙ ඔයාගෙ බුරුල නිසා. ඔයාගෙ බොරු සමාජවාදෙ නිසා. සමාජවාදී කියල කියපු රටවල් වලවත් නැති සමාජවාදයක්නෙ මේ ඕගොල්ලො වගේ බහුබූතකාරයො ඔළුව උඩ තියං ඉන්නෙ. කොටිංම බල්ලොත් එක්ක බුදියගත්තහම මැක්කොත් එක්කයි නැගිටින්න වෙන්නෙ කියන එකවත් දැනගෙන හිටියනං මේ වගේ දෙයක් වෙන්නෑ අද”
සුරත් අඩි පොළොවේ හැප්පුවේ ය. වහළ ගැලවී උඩ විසි වෙන තරම් හයියෙන් ගුගුළේ ය. නිර්ධා ඇස් කණ්ණාඩිය අතට ගෙන සන්සුන් ව බලාසිටියා ය.
“ගොඩක් දේවල් කිව්වට මං හිතන්නෙ ඔයා කියන්න ඕන දේ කිව්වෙ නෑ වගේ”
කකුලක් මතින් කකුලක් දමාගෙන ඇය වඩාත් සුවපහසු ඉරියව්වකට එළඹුණා ය. මේ තරම් දෙයක් වී තිබියදීත් මේ ගැහැනිය ඇල්වතුර තරම් නිවීමක ඉන්නේ කොහොම ද යන පැනය සුරත් වෙත ගෙන ආවේ නො සන්සුන් බවකි. කොහොමටත් ගැටළු ඉදිරියේ නිර්ධා එවන් පෞරුෂයක් පෙන්වන්නී ය. සුරත්ව උස්සා පොළොවේ ගසන්නේ ඒ පෞරුෂයයි. පොඩි දේටත් පස්ස කැඩුණ කඩියෙකු සේ දඟලන ඔහු ට නිර්ධා යනු තරණය කළ ද විශ්ලේෂණය කළ නො හැකි සයුරකි.
“අන්න අරූ අර ඩෝබි වත්තෙ කෙල්ල එක්ක පැටලිලා. ඔයා තමයි මේ සේරටම වගකියන්න ඕන නිර්ධා”
සුරත් නිර්ධා ඉදිරියේ වන සුඛෝපභෝගී අසුන මත හස්තියෙකු සේ හිඳගත්තේ ය.
“ඔයා පැමිණිලි කරල ඔයා නඩු අහල ඔයාම තීන්දු දෙනව. හැමදාම එහෙමනෙ. අපි දන්නෙත් නෑ පැමිණිල්ල මොකද්ද කියලවත්”
“මගුලක් කතා කරන්නෙපා. නොදන්නව වගේ බබා පාට් දාන්නත් එපා. ඔයා හොඳටම දැනගෙනයි අර ඩෝබි කෙල්ලව ගෙදරට වද්දගත්තෙ”
“චී සුරත්. ඔය තරං පහත් විදිහට මිනිස්සුන්ට කතා කරන්නෙපා”
“පහත් තමයි. උං පහත් තමයි”
“වෙන මොනාත් නැත්තං බුදු බණවත් ටිකක් අහල නැද්ද…මනුස්සයෙක් බ්‍රාහ්මණයෙක් වෙන්නෙත් වසලයෙක් වෙන්නෙත් උත්පත්තියෙන් නෙවෙයි. තමුං කරන දේවල් වලින්. අනික කුළ මල වලින් මිනිස්සු වර්ග කළේ ආදිකාලෙ. ලෝකෙ මෙච්චර දියුණු වෙලා තියෙද්දි… නූතන මිනිහෙක් වෙන්නකො සුරත්”
එවර නම් නිර්ධා කතා කළේ තරමක නො රිස්සුමක් විහිදුවමිනි. ඇගේ ඒ ස්වභාවයට සුරත් නිසඟයෙන් ම බිය ය. අවනත ය. ඒ බව නිර්ධා කෙසේ වී ද ඔහු දනී.
“ඔන්න ඕක තමයි මිනිස්සු ඉගෙනගන්න ඕන කියන්නෙ. ළමයින්ට උගන්නන්න ඕන කියන්නෙ. එතකොට මෝඩ ග්‍රාම්‍ය ගෝත්‍රික ගති අඩු වෙලා නැති වෙලා යනව. ඕගොල්ලොන්ගෙ ආණ්ඩු වලින් කරන්නෙ ඒකත් නැතිකරන එකනෙ. අඩු ගානෙ මේ පාර්ලිමේන්තුව ඇතුළෙ ඉන්න මිනිස්සු ටිකටවත් හරිහමං අධ්‍යාපනයක් නැති එකනෙ මේ අර්බුධ ඔක්කෝටම හේතුව”
නිර්ධා ගේ වචන සුරත් ගේ පපුවට පිහියෙන් ඇන්නේ ය. ඔහු නො සන්සුන් ලෙස පුටුවෙහි ඒ මේ අත හැරෙමින් පහසු ඉරියව්වක් හෙව්වේ ය. නමුත් අපහසුව තිබුණේ ඔහු ගේ හිතේයි.
“තමුං මහ උගත් නෝන. අපි නූගත් මෝඩයො. ඒකනෙ ඕන ප්‍රශ්නෙකට උත්තරේ. එතකොට තමුං දැං කියන්නෙ අපේ ගඟුල් අර ඩෝබි…මේ…ලොන්ඩරි වත්තෙ කෙල්ලව කසාද බැන්දට කමක් නෑ කියලද…”
“පුතාට කමක් නැත්තං අනේ මටනං කමක් නෑ. මොකද්ද ඒ ළමයගෙ වරද… හරිම ධෛර්වන්ත ගෑනියෙක්ගෙ දුවෙක්. කැපවෙලා ඉගෙනගෙන ඩොක්ටර් කෙනෙක් වෙන්න යන ළමයෙක්. ලේසියෙන් ගෑනු ළමයෙක්ට පිහිටන්නැති අමුතු ස්වභාවික ලස්සනක් පිහිටපු ළමයෙක්. ඒ හැමදේටම වැඩිය පුතා එයාට කැමතිනං… අපි අකමැති වෙන්නෙ මොකටද… එහෙම අකමැති වෙන්න කිසිම සාධාරණ හේතුවක් නෑනෙ”
“නිර්ධා”
එවර සුරත් කතා කළේ බිඳුණු හඬකිනි. මේ වෙලාවේ ඈ අමනාප කරගෙන බැරි බව ඔහු දනී. ඇය සිටිය යුත්තේ ගඟුල් ගේ නොව ඔහු ගේ පැත්තේ යි.
“ඔයා වගේ රැඩිකල් ගෑනු මොන හෑලි කිව්වත් මේක ලංකාවනෙ නිර්ධා. ලංකාවෙ මිනිස්සු කොච්චර දියුණුයි කියල පෙන්නගෙන හිටියත් ඔයා කියපු අර ගෝත්‍රිකද දූපත් මානසිකත්වෙද මොකද්ද එක ඇඟ පුරාම පිරිලයි තියෙන්නෙ. එහෙම නෑ වගේ හිටියට ඕන වෙලාවෙදි ඒක පටාස් ගාල එළියට එනව. විශේෂයෙන් ම මගුලකදි තුලාවකදි. අරං බලන්නකො පත්තරේක මංගල යෝජනා පිටුවක්. බොදු ගොවි දොස්තර පුතුට ගැලපෙන උගත් රූමත් සමකුළ දියණියක් මව්පියෝ සොයති. බොදු ගොවි උගත් රූමත් දියණියට ගැලපෙන දොස්තර, ව්‍යාපාරික, නීතීඥ පුතෙකු මව්පියන් සොයති. හීන කුළ නො සැලකේ. කියවල බලන්නකො. මිනිස්සු කුළ මල එළිපිට කතා කොකළට පවුල් වලට බන්දගද්දි හොයන්නැද්ද කියල”
“ඉතිං අපි බඳිනකොට බැලුවෙ නෑනෙ”
ඒ පිහි පහර නම් සුරත් ගේ පපුවේ හරි මැදට ම වැදිණි. යන්තමින් උගුර පාදාගෙන ඔහු පුටුවේ එහෙ මෙහෙ වූයේ ඊට කවර පිළිතුරක් සැපයිය යුතු දැයි නිශ්චිත නැතිව ය.
“අපේ ඉතිං බලන්න දෙයක් නෑනෙ. ඒත් අර කෙල්ල… දැන දැන එහෙම දෙයක් කරන්නෙ කොහොමද නිර්ධා… අපිට ඉන්නෙ එකායි. ඌව රහසින් කසාද බන්දන්න බෑ. අපිට ලෝකෙට පේන්න කරන්න තියෙන්නෙත් ඔච්චරයි. අපේ එකා නිකංම කොල්ලෙක්ද… නිකංම ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක්ද… නෑ… නගරාධිපති. නගරාධිපති ආර්යාවක් කියන්නෙ සුළුපටු තනතුරක්ද… කවුරුත් අහන්න බලන්න හොයන්න ගන්නව කවුද කින්ද මන්ද කියල. දොස්තර කෙනෙක් වුණත් එන්නෙ කොහෙන්ද කියල අපි කොහොමද කටක් ඇරල කියන්නෙ… නිර්ධා මාව තේරුං ගන්න. මං හරි අමාරුවෙන් හදාගත්ත තැනක් තියනව. මට ඒක පොළොවෙ ගහල කුඩුපට්ටං කරගන්න බෑ”
නිර්ධා ලොකු හුස්මක් ගත්තා ය. මේ වෙලාවේ මීටත් වැඩියෙන් ඔහු ගේ හිත රිදවිය නො හැකි බැව් ඈ දනී. හිතක් කියන්නේ ඒ තරම් බැට කෑ හැකි යමක් නොවේ. දැනටමත් සුරත් හිඳිනුයේ ඔහු සමග ම සටනක් කරමිනි!
කෝවිලේ දවල් දානය නිසා වත්තේ මුළුතැන්ගෙවල ළිප් ගිනි මෙලවුණේ නැතිවාට එදා රිදී ගේ ගෙදර මාළු පිණි තුන හතරක් පිසුණේ ය. ඔවුන් ට නෑකම් කිව හැකි වී ද නොවී ද ගඟුල් කියන්නේ මහත්මයෙකු සේ ඒ කුඩා ගෙදරට විත් ඔවුන් ගේ වස්තුව ඉල්ලා සිටි මනුස්සයෙකි. විවිධාකාර මිනිසුන් දැක ඇති ඔවුන්ට සැබවින් ඔහු දෙවියෙකුට ළඟ මිනිසෙකි. එහෙව් ඔහු නෑකමක් ඉල්ලාගෙන ගෙදරට ගොඩ වීම සමරනු කෙසේ වී ද සිහි වීම පිණිස බත් කටක් කන්න දෙන්නට රිදී ට උවමනා විය.
“එහෙනං උයන්න ඉතිං. මං පාරට ගිහිං මොනාහරි ගෙනත් දෙන්නං”
චන්දුල රිදී ගේ අවිහිංසක ඉල්ලීමට එකඟ වූයේ ය.
“මාත් එන්නං. රාජයියට තේරෙන එකක් නෑ මොනාද ගන්නෝන කියල”
උමා වහා ඉදිරිපත් වූවා ය. ඉස්සර වාගේ විගස ඈ ප්‍රතික්ශේප කරන්නට ඔහු සමත් වූයේ නැත.
“බත් ටිකක් කාලම යං සර්”
කියමින් කමිසයේ බොත්තම් පියවමින් පාරට බට චන්දුල පිටුපසින් උමා මල්ලක් රැගෙන දිව ගියා ය.
“දැක්කනෙ මට තියන සැලකිලි”
ගඟුල් පාරුල් ට උදම් ඇනුවේ සැහැල්ලුවෙනි. පාරුල් ඊට නොදෙවෙනි සැහැල්ලුවක් පෑවා ය.
“ඔයිට වැඩිය සැලකිලි හම්බවෙන්නෙ අද ගෙදර ගියාම. තාත්තගෙන්”
පුටුවෙහි හිඳ උන් ගඟුල් යන්තම් හිස ඔසවා නළල රැලි නංවා ඇදෙස බැලුවේ ය. පාරුල් සිටියේ ගෙයි මැද කෑල්ලත් ඉස්තෝප්පුවත් වෙන් කරනා උළුවස්සට හේත්තු වීගෙනයි. උදේ කෝවිල් යන්නට සුදු පාට දිග ගවොමක් හැඳ කොණ්ඩ කරල් දෙකක් ගොතා දමා සිටි ඕ කුඩා කෙල්ලක සේ හුරුබුහුටි වූවා ය. ඇගේ මුවග වූ දඟකාර මඳහස කොල්ලෙකුට ඉවත බලන්නට සිත් නො දෙන්නකි. ඒ තරම් ගැහැනු ඇස් පසු කරගෙන විත් ඈ ළඟ නතර වෙන්නට හේතුවක් අන්න අරක යයි පෙන්වන්නට ඔහු ට ඇත්තේ නැත. නමුත් ඇය මගහැර යන්නට කිසිදු හේතුවක් නැත.
“ලස්සනයි”
පාරුල් සිනහව තද කරගෙන ම බිම බැලුවා ය. ඒ තරම් මන්ද්‍ර ස්වරයකින් පිරිමියෙකු එහෙම මුමුණන විට ගැහැනු සිරුරක ස්නායු තන්තු පමණකුදු නොව ඉසියුම් රුධිර කේශනාලිකා පවා සුසර වන්නේ ය.
“අම්මල උයන්නෙ මොනාද බලල එන්නං”
ඈ එහෙම කීවේ ඒ මොහොත දරා ගන්නට බැරිව – මගහැරීමේ අරමුණෙනි. නමුත් ඇය ආපසු හැරෙත්දී ම ගඟුල් ඒ අතක් තදින් අල්වාගෙන තිබිණි.
“බොරුවට දුවන්නැතුව ඔහොම ඉන්න”
“කවුරුත් ද… කී”
පාරුල් අත මුදා ගැනීමේ උත්සාහයක් ගත්තා ය. ක්ෂණික බියකින් හෝ ලැජ්ජාවකින් ඇගේ කොපුල් වලට ලේ පුරා ආවේ ය. උඩු තොල මත ඇසට හසු නොවෙනා තරම් සිහින් වූ දහදිය බිංදු පෙළක් නැඟිණි.
“මං ලීගලි පර්මිශන් අරං තියෙන්නෙ”
අත අත්හරිමින් මුදු පිරිමි සිනහවකින් ඔහු නැගී සිටියේ අපරිමිත ආදරයක් වෑහෙත්දී ය. උළුවස්සට අත් දෙක තබාගෙන ගඟුල් ගෙතුළට එබී බැලුවේ ය. ඔහු සිටියේ ඇයට වඩාත් සමීපයෙනි. ඇගේ මුහුණේ පවා ස්පර්ශ වෙන නො වෙන තරම් සමීපයෙනි. ඒ තරම් තදින් ඔහු ඇගේ ය කියා මීට පෙර පාරුල් ට සිතී ම නැත. දැනී ම නැත. පිරිමියෙකු එහෙම අයිතිවාසිකම් පෙන්වත්දී ගැහැනු ආත්මයක් ඔහු වෙත බැඳෙන්නේ මේ භවය වෙනුවෙන් පමණක් නොවේ. සංසාරයට ම ය.
“වත්තෙ කට්ටියට පුළුවන් තරං ඉක්මනට ෆ්ලැට් එකේ ගෙවල් වල අයිතිය පවරල දෙනව”
“තෑන්ක් යූ”
” කසාද බැන්ද වුණත් එහෙම නොකර මට කනක් ඇහිල ඉන්න වෙන්නෑ කියල මං දන්නව”
පාරුල් යන්තම් හිස ඇල කළා ය. එතකොට නළල යන්තමින් ඔහු ගේ අතේ ස්පර්ශ විය. එහෙම ම හිස තියාගෙන ඔහු ළඟට වී ඉන්නට ඇත්නම් කියා සිතුණ සිතිවිල්ල ඇය මඳහසකින් ම යටපත්කොට ගත්තා ය. ඊළඟ මොහොතේ කුමක් බලාපොරොත්තු විය යුතු ද කියා නො දැන සිටිය ද, මේ සතුට හදවතට තදින් තුරුලු කොට ගෙන මතක පොදි බැඳගන්නට ඇයට ඕනෑ වී තිබිණ.