සිහින අසපුව – 3 කොටස

ආරාධ්‍යා මුහුදු රළ විසින් තෙමා දමන ලද ගවුම මිරිකා හැරියේ කෝපයෙනි. ඈතින් රළ පෙරලී එත්ම ඈතට දිව ගිය හසිත් කෙතරම් නම් ආත්මාර්ථකාමීදැයි ඇය සිතුවාය. ඈතින් සිටගෙන ගවුම මිරිකා හරින ආරාධ්‍යා දෙස බලා සිටින හසිත්ගේ මුවග රැඳි සිනාව ඇය කෝපගන්වන සුලු විය. 

“තෙමුනා නේද?”

හසිත් ඇසුවේ තවමත් ගිලිහී නොගිය සිනාවකින් යුතුවය. 

“ඔව්. තෙමුනා. ඉතින් කාටවත් මොකද?”

ආරාධ්‍යා ඇසුවේ හසිත් කෙරෙහි පමණක් නොව මුහුද කෙරෙහි ද හටගත් කෝපයෙනි.

“හරියට අපි කරපු දෙයක් වගෙයි. හිටිගමන් මුහුද සැර වුනේ ඇයි කියලා දන්නවද?”

“නෑ. දන්නෙ නෑ.”

“ගෑනු අය වෙරළට ආවම මුහුද ප්‍රචණ්ඩ වෙනවා කියලා මං අහලා තියෙනවා.”

කෝපය යටපත්ව ආරාධ්‍යාට හඬ නගා සිනා පහළ විය.

“ගෑනු අය ආවම? එතකොට පිරිමි ආවම?” 

“ගෑනුන්ට මුහුද ආදරේ ඇති.”

“ආදරේටද අපිව තෙමන්නෙ?”

“තෙමනවා කියලා හිතුවට ඒක වැළඳ ගැනීමක්. පිරිමින්ට මුහුද බයයි. ඒකනෙමෙයි මිස්. මට අහන්න බැරි වුනා. නවල් එක ලියලා ඉවරද?”

ඉදිිරියට ගමන් කළ හසිත් සිය යතුරු පැදිය අසළ නතර විය.

“තව නෑ. හෙමින් ලියාගෙන යන්නෙ.”

“ලියනවා විතරද? පබ්ලිෂ් කරන්න අදහසක් නැද්ද?”

“හිතුවෙ නෑ.”

“පබ්ලිෂ් කරමු. මගේ යාලුවෙක් ඉන්නවා ප්‍රෙස් එකක් කරන. නගින්න.”

හසිත් යතුරු පැදිය දෙසට අත දිගු කළේය.

“පිස්සුද? අම්මා දැනගත්තොත් මාව නෙමෙයි. ඔයාව දවසක් දණ ගස්සලා තියාවි. ඔයා යන්න. මං පයින් එන්නම්.”

කතා බහකින් තොරවම යතුරු පැදියට නැග ගත් හසිත් නිවස දෙසට යන අයුරු බලා සිටි ආරාධ්‍යා සෙමෙන් ඉදිරියට පිය නගන්නට වූවාය.

                    *

නීතීඥ කාර්යාල පිහිටා ඇති ගොඩනැගිල්ලේ කෙළවරම පිහිටා ඇති තම කාර්යාලය කරා ගමන් කරමින් සිටින කවීන් සූරියබණ්ඩාරගේ දෙනෙත් මොහොතක් නතර කරන කාර්යාලයක්, කාර්යාල පෙල ආරම්භයේම පිහිටා තිබේ. වෙනදා කාර්යාලයට පැමිණෙන කාල වේලාව මඳක් පසු වී ඇතත් ඔහු හැමදාමත් මෙන් මොහොතක් නතර වී එදෙස බැලුවේය. මොනාලිගේ ලිපිකාරිනිය ජීනා ලිපියක් ටයිප් කරමින් සිටි නමුත් මොනාලි දක්නට නොවුවාය. කවීන් උගුර පෑදුවේය.

“ගුඩ් මෝනින් සර්.”

ජීනා නැගිට්ටාය.

“මෝනින්. කෝ අද මැඩම් තව ආවෙ නැද්ද?”

“නෑ සර්. අම්මට සනීප නැති කතාවක් නම් ඊයෙ හවස කිව්වා. සමහරවිට දවල් වෙලා ඒවි.”

“හ්ම්…”

කවීන් නිහඬවම ඉදිරියට ගමන් කළේය. උදෑසනම නීතීඥ කාර්යාල පේලියේ සිව්වන කාර්යාලයේ  පිපී ඇති මල දැකීමට නොහැකි වීම පිළිබඳව සිත තුළ උපන්නේ කාන්සියකට මුසු හැඟීමකි. මව අසනීපයෙන් පසුවන බව මොනාලි පසුගිය දිනයේ තමා සමග පැවසුවේදැයි මතකයේ නොමැත. ඇගේ පවුලේ තොරතුරු හෝ දුක් ගැනවිලි ගැන සිතා සිත වෙහෙසවන්නට ඔහුට උවමනාවක්ද නොවීය.

“මේ වෘත්තියම දුකයි ගැටලුයි එක්ක බද්ධ වෙච්ච දෙයක්. ගෙදර වුනත් එහෙම තැනක්. මට මොනාලිගෙ දුක් ගැනවිලි අහන්න කවදාවත් ඕනකමක් තිබිලත් නෑ. දැන් ඇත්තෙත් නෑ. ඒත්… මොනාලිව දැකීම මගේ හිතට සතුටක් නෙමෙයිද?”

කවීන් සිය කාර්යාලය දෙසට ගමන් කළේ සිතිවිල්ලෙනි. සිය ලිපිකරු වන අමර් ලිපියක් ටයිප්  කරමින් සිටින අයුරු ඔහු දුටුවේය.

“ගුඩ් මෝනින් සර්.”

තමා කාර්යාලය තුළට පිවිසි බව ඉවෙන් මෙන් දැනුන අමර් සිය කාර්යය නතර කර නැගී සිටියේය.

“මෝනින්.”

සිය බී්‍රෆ් කේසය මේසය මත තැබූ කවීන් සූරියබණ්ඩාර හිඳ ගන්නට පෙර පුටුව අත ගා බැලුවේ පුරුද්දට මෙනි. පුටුවෙහි හෝ මේසය මත ධූවිලි පොදක් හෝ තිබෙනු දැකීම ඔහුට ප්‍රිය වූවක් නොවීය.

“අද මිසිස් වැලිගමගේගෙ කේස් එක සර්. උදේ ඉඳන් දහපාරක් විතර කතා කර කර සර් ඉන්නවද කියලා ඇහුවා.”

අමර් පැවසුවද ගැඹුරු කල්පනාවක සිටි කවීන්ට එය නෑසිණ. අමර් කවීන්ගේ මුහුණ දෙස බැලුවේය.

“ඇයි සර්… ප්‍රශ්නයක්ද?”

අමර් යළිත් ඇසුවේය.

“ජීවිතේම ප්‍රශ්නයක් තමයි.”

කවීන් පිළිතුරු දුන්නේය.

“සර්ලට මොන ප්‍රශ්නද? අපි නම් ඉතින් ජීවිතේ පටන් ගත්ත දවසෙ ඉඳලම ප්‍රශ්න පත්තර වලට උත්තර හොයනවාම තමයි.”

“මොකද ඒ පාර?”

කවීන් ඇසුවේ මුවගට සිනාවක් නගා ගනිමිනි.

“අපේ ගෙදර උන්දැ තමයි. අර අහිංසක මනුස්සයා එක්ක හැමතිස්සෙම පැටලෙන්න යනවා  සර්. අද පාන්දරත් වලියක් දාගෙන. මට වචනයක් කතා කරන්න බෑ. අපේ මනුස්සයා හිතන්නෙ මං අම්මගෙ පැත්ත ගන්නවා කියලා.”

“තමුන් දැනගන්න ඕන දෙපැත්තම බැලන්ස් එකේ තියාගන්න.”

“ඒක කියන තරම් ලේසි නෑ සර්. මම හොඳටම දන්නවා අම්මා මෙතනදි අසරණයි කියන එක.”

“ගෑනු මනුස්සයට තේරුම් කරලා දෙනවකෝ.”

“ඉබ්බෙකුගෙන් පිහාටු ඉල්ලනවා. ඒක ඊට වඩා ලේසියි. ඒ ගෑනිගෙ හිත යකඩයක් නෙමෙයි සර්. යකඩ වුනත් උනු වෙනවනේ. කලු ගල් ගෙඩියක්. කිසිම තෙතමනයක් නෑ.”

කවීන්, අමර්ගේ මුහුණ දෙස බලා සිටියේය. ගැහැනුන් පිරිමින්ගේ ජීවිත වලට කරන බලපෑම් නිසා ඇතැම් සාමකාමී පිරිමි සිත් පවා සිතා ගත නොහැකි තරම් වෙනස් වන බව ඔහු කල්පනා කළේය.  තම ජීවිතයද එසේ නොවේ යයි කාට නම් කිව හැකිද? විවාහයට පෙර සිටි සුහර්ෂා නම් සොඳුරු ලඳ, විවාහයෙන් පසු වෙනස් වීම අදහා ගත නොහැකි තරම්ය. ස්වෝත්සාහයෙන් පටන් ගත් රාජ්‍ය නොවන සංවිධානයට විදේශ ආධාර ගලා ඒමත් සමග ඇය වෙනස් වූ ආකාරය තම ජීවිතයට පමණක් නොව දරුවන්ගේ ජීවිත වලට පවා ඇති කළ බලපෑම යළිත් කිසිම දිනයක නිවැරදි කළ නොහැකි වරදකි.

“සර්…”

කවීන් අමර් දෙස බැලුවේය. ඔහු දෑසින් පෙන්වූ දෙස බැලූ කවීන්ගේ සිත තුළ දහසක් මල් පිපිණ. මොනාලි… තම කාර්යාල කාමරයට පැමිණෙමින් සිටි මොනාලි ජංගම දුරකතනයෙන් කිසිවකු අමතමින්  නතර වී සිටින අයුරු ඔහු බලා සිටියේය. සැබවින්ම ඇය නීතීඥවරියන් අතර සිටින සුන්දරම ගැහැනිය නොවේදැයි පිබිදුනු සිතින් යුතුව ඔහු කල්පනා කළේය.

දුරකතන සංවාදය නිමා කළ මොනාලි නැලවිලි ගමනින් කාර්යාලය තුළට පැමිණෙන අන්දම කවීන් බලා සිටියේය.

“නමස්තේ…”

මොනාලි හිස නැමුවාය. ඇය ගත ගැල්වූ විලවුන් සුවඳින් කාර්යාල කාමරයම සුවඳවත් විය. අමර් නාසය හකුළන අයුරු දුටු කවීන්ට සිනා පහළ විය.  

“ගුඩ් මෝනින්… දැන් හින්දියෙන්මනේ කතාව…”

සිනාසුන මොනාලි කවීන් ඉදිරියෙහි වූ පුටුව ඇද හිඳගත්තේ අමර් දෙස බලමිනි.

“ජීනා කිව්වෙ අම්මට අසනීපයි කියලා.”

මොනාලි හඬ නගා සිනාසුනාය. සිනාසෙනවිට වළ ගැසෙන දෙකොපුල ඇයට ආබරණයක් යයි කවීන්ට සිතිණ.

“බොරු කිව්වෙ… ඒකනෙමෙයි. බඩුවක් ගෙනාවා. යමු මගේ ඔෆිස් එකට.”

හැඟීම් යටපත්කොට ආත්මාභිමානය නැගී ආවද අවසානයේ සිතට වහල් වන්නට කවීන් සූරියබණ්ඩාරට සිදු විය. අමර් දෙස යටැසින් බැලූ ඔහු හිඳගෙන සිටි පුටුව මතින් නැගී සිටියේය.

                     *

සිතිවිල්ලේම ආහාර ගන්නා හසිත් දෙස ඔහු ඉදිරියෙන් හිඳ ගත් ආරාධ්‍යා බලා සිටියේ සිනා පිරි මුවින් යුතුවය. ඔහුට එතරම් කල්පනා කිරීමට ඇත්තේ මොනවාදැයි ඇය සිතුවාය. මේසය අසළට පැමිණ සිටින ‘බ්ලැක් ෂූස්’ ට ඉඳහිට මාලුකැබැල්ලක් දමන ඔහු නිහඬවම ආහාර ගනියි. බ්ලැක් ෂූස් කිසිවිටෙක ආහාර ඉල්ලා හඬා නොවැටෙන්නෙකි. ගරු ගාම්භීර ලෙසින් හසිත්ගේ දෙපා අසළ හිඳගෙන සිටින ඌ  තමා සමීපයට වැටෙන මාලු කැබැල්ලක් මිසක ඈතට වැටෙන කිසිවක් නොකයි.

“ඔයාම තමයි බ්ලැක් ෂූස්ව නරක් කරලා තියෙන්නෙ. බන්ටිය පිරිලා ඉන්නෙ. ඔය කන්නෙ  බඩගින්නට නෙමෙයි. පෙරේතකමට.”

මෙතෙක් වේලාවක් නිහඬව බලා සිටි ආරාධ්‍යා පැවසුවාය.

“මොකක්ද මිස් කිව්වෙ?”

නින්දකින් අවදි වූවාක් මෙන් තිගැස්සුනු හසිත් ඇසුවේය. ආරාධ්‍යා පුලුල් සිනාවක් නැගුවාය.

“මොන ලෝකෙද හිටියෙ? මෙච්චර වෙලාවක් මං බලාගෙන හිටියෙ. කෑම අනලා කටට දමාගත්තට මොකද හිත තිබුනෙ වෙන ලෝකෙක. බත් ටිකක් බෙදන්නද?”

“එපා…” යි අතින් සංඥා කළ හසිත් පාන් පෙත්තක් අතට ගත්තේය.

“ගැස්ට්‍රයිටිස් තියෙනවා කිව්වා නේද? පාන් කන්න හොඳද?”

ආරාධ්‍යා ඇසුවාය.

“කෑවෙ නෑ ගොඩ දවසකින්. මේ ආසාවට.”

පාන් පෙත්තෙන් කුඩා කැබැල්ලක් කඩා බ්ලැක් ෂූස් අසළට දැමූ හසිත් සිනාසුනේය.

“එයා පාන් කන්නෙ නෑ. ඩීසන්ට් පූසෙක්. මං ඔයාට කිව්වෙ හසිත් ඔයා තමයි අපේ බ්ැලක් ෂූස්ව නරක් කරලා තියෙන්නෙ කියලා.”

“මම?”

“ඔව්. අපේ රංජනී තමයි කියන්නෙ. කොච්චර බන්ටිය පිරෙන්න කාලා හිටියත් උදේට ඔයා අතින් කෑවෙ නැත්නම් එයාට නින්ද යන්නෙ නෑ.”

“මට ආදරේ කරන්න බ්ලැක් ෂූස්වත් ඉන්න එක ගැන මම සතුටු වෙනවා.”

යටැසින් ආරාධ්‍යා දෙස බැලූ හසිත් පැවසුවේය. ආරාධ්‍යා දෑසින් සිනාසුනාය.

“මම ඔයාට කියන්නමයි හිටියෙ මිස්…”

කිසිවක් පවසන්නට සැරසුණද නාද වන ජංගම දුරකතනය දෙස බලන හසිත් මුවට නැගි වදන් ගිල ගත්තේය. ඔහු ඇමතුම හා සම්බන්ධ වූයේ ආරාධ්‍යා දෙස යටැසින් බලමිනි. 

“මැඩම්…”

හසිත් අමතනු ඇත්තේ අම්මා විය යුතුය. ආරාධ්‍යා ඔහු නිරීක්ෂණය කිරීමට මෙන් එක එල්ලේ ඔහු දෙස බලා සිටියාය.

“මම දැන් ඉන්නෙ මැඩම්ලගෙ ගෙදර. බ්‍රෙක්ෆස්ට් ගන්න ආවෙ ටිකක් පරක්කු වෙලා මැඩම්…”

හසිත් වතුර වීදුරුව ගෙන ඉන් උගුරක් පානය කළේ උගුර වේලී ඇති කලෙක මෙනි.

“නෑ මැඩම්. මිස්ලා පේන්න නෑ. උඩ ඇත්තෙ.”

ඔහු පවසන්නට ඇත්තේ තමා සහ නංගී පිළිබඳව විය යුතු යයි ආරාධ්‍යා කල්පනා කළාය. හසිත් නිවසට පැමිණි පසු ඔහු සමග කතාවට නොයන්නැයි අම්මා කළ අවවාදයන් ඇයට සිහිපත් විය. 

“හසිත් කියන්නෙ මං යටතෙ වැඩ කරන කෙනෙක්. ඔය දෙන්නටම මං කියන්නෙ. මගේ සේවක සේවිකාවො කිසිම කෙනෙක් එක්ක භජනයක් තියාගන්න ඔය දෙන්නටම උවමනාවක් නෑ. එහෙම දෙයක් වුනොත් මම ඔයගොල්ලන්ට කිසිම දෙයක් කියන්නෙ නෑ. අදාල කෙනාව අස් කරලා දානවා මිසක්.”

අම්මා පැවසූ වදන් ආරාධ්‍යාට ඇසෙන්නාක් මෙන් විය. සේවක සේවිකාවන් කෙතරම් සිටියද, ඇය අදහස් කරන්නේ කඩවසම් රූපයකින් යුත් හසිත් පිළිබඳව බව ආරාධ්‍යා දැන සිටියාය.

“මැඩම් ඔය කියන්නෙ හසිත් ගැන නම් අපිට එයා මහ ලොකු කෙනෙක් නෙමෙයි.”

නංගී පැවසුවේ තරහිනි.

“දන්නවද? ඔයාට එයා සුරකුමාරයෙක් වගේ පෙනුනට එයා මගේ සුහේල්ගෙ කකුලෙ මහපටැඟිල්ලක නියපොත්තක් තරම්වත් මට වටින්නෙ නෑ.”

“සුහේල්? කොහෙවත් යන රස්තියාදුකාරයෙක් නිසා මැරෙන්න ගියාට ඌත් මිනිහෙක්ද?”

“මිනිහෙක්?”

වේගයෙන් නැගී සිටි නංගී කෑගැසුවාය.

“මිනිහෙක් නෙමෙයි එයා. මට රාජකුමාරයෙක්. කවුරු මොනවා කිව්වත් මම ලෝකෙ පුරාම ඇවිදලා හරි සුහේල්ව හොයා ගන්නවා.”

“හොයාගන්න? හොයාගන්න?”

අම්මා නැගූ උපහාසාත්මක සිනාව දැනුදු ආරාධ්‍යාට මැවී පෙනෙන්නාක් මෙන් විය.

“හොඳයි. දවසක හොයාගෙන පෙන්නපන්කො. එහෙම වුනොත් මං මහණ වෙනවා.”

“මහණ වෙනවා? හැමදේම වගේ සාසනෙත් ඉවරයි.”

විහාරා පැවසූ වදන් දෙසවන් තුළ තවමත් දෝංකාර දෙන්නාක් මෙනි.

“මිස්… මම යනවා.”

හසිත්ගේ හඬින් ආරාධ්‍යා කල්පනා ලොවින් මිදුනාය.

“ඇයි මේ හදිසියක්?”

“මැඩම් කතා කළේ. මග එනවලු. එන්න කලින් වැඩ ගොඩක් ලෑස්ති කරගන්න තියෙනවා. නැත්නම් මට බනීවි.”

“ඇත්තටම අම්මා ඔයාට බනිනවද?”

“මිස් දන්නෙ නෑ බනින හැටි. ගිය සතියෙ දවසක මං දුන්න ෆයිල් ටික ඔක්කොම මගේ මූණට දමලා ගැහුවා.”

හසිත් පවසන්නේ සත්‍යයක් විය නොහැකි යයි ආරාධ්‍යා කල්පනා කළාය. සංවිධානයේ සේවක සේවිකාවන් සියලු දෙනාටම වඩා අම්මා බොහෝ ආදරයෙන් හා කාරුණිකව හසිත්ට සැලකිලි දක්වන බව සියලු දෙනාම දන්නා කරුණකි.

“මං යනවා මිස්. අපි නිදහස් වෙලාවක කතා කරමුකො. මිස් අර නවල් එක ලියාගෙන යන්න.”

ආරාධ්‍යා කතා නොමැතිව බලා සිටියාය. හසිත් යතුරු පැදියේ නැගී විවෘත ගේට්ටුව අතරින් නොපෙනී යනතුරුම ඇය බලා සිටියාය. යනතුරුම ඇය බලා සිටියාය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles