අත් හරිමි වේදනා

“ඔයා තව දුරටත් ඔය ගැන හිත හිත හිටියොත් වෙන්නෙ ඔයාට ඔයාවම එපා වෙන එක”

ඒමි එහෙම කිව්වෙ කුශීට. කුශී ඉන්නෙ මීට අවුරුදු දෙකකට විතර කලින් වෙච්ච බ්‍රේක් අප් එකක් නිසා හිත් වේදනාවෙන්.බ්‍රේක් අප් එකක් දුකයි තමයි. ඒ උනාට පොඩ්ඩක් හරි හිත හදාගන්න මේ අවුරුදු දෙක ගෙවනව වෙනුවට කුශී කරේ තමන්ගෙ පරන බෝයි ෆ්‍රෙන්ඩ් සහ තමන්ගෙ ඇස් වලට වැලි ගහල එයාව අල්ලගත්ත ඒ කාලෙ තමන්ට උන්නු හොඳම යාලුවා වෙච්ච මේනුගෙ ප්‍රොෆයිල් එක දිහා දවසට දහ පාරක් විතර ගිහින් බලන එක.

“ඔයා එහෙම කිව්වට මට අමතක කරන්න බෑ උන් දෙන්න එකතුවෙලා මාව රැවැට්ටුව කියල. මේනු කොහොමද මාත් එක්ක ඉදියෙ? එක ඔෆිස් එකේ අපි එක බත් එක බෙදාගෙන කෑවෙ. මම මේනුට නොකිව්ව දෙයක් නෑනෙ. කොටින්ම කේශ් ගැන පවා හැමදෙයක්ම මම මේනුට කිව්ව”

“එතන තමයි ඔයා වරද්දගත්ත තැන. එහෙම බලද්දි ඔයාම තමයි කේශ් ට ලංවෙන්න මේනුට පාර කපල දීල තියෙන්නෙ”

“හරි ඒ උනාට ඒ දෙන්නට තිබුනෙ නැද්ද මාව රවට්ටන එක වැරදියි කියල හිතන්න. මේනුයි කේශුයි දෙන්නම දැනගෙන හිටිය අපේ අෆෙයාර් එක ගැන හැමෝම දන්නව කියල. අපි ඊට අවුරුද්දකට විතර පස්සෙ මැරි කරන්න හිටියෙ කියල. මම මේ ලෝකෙ වැඩිපුරම විශ්වාස කල මිනිස්සු දෙන්න මට එහෙම කරද්දි මම කොහොමද ආයෙ හිත හදාගෙන වෙන කෙනෙක්ව විශ්වාස කරන්නෙ?”

මේනුයි කේශුයි කුශීයි තුන්දෙනාම වැඩ කලේ එකම කන්තෝරුවේ. කුශීයි කේශුයි දෙන්න යාලු උනෙත් ඒ ඔෆිස් එකේදිමයි. දෙන්නගෙ අෆෙයාර් එකට අවුරුදු එකහමාරක් විතර පිරෙද්දි තමා මේනු ඒ ඔෆිස් එකට ආවෙ.අලුතෙන් ආව මේනුට වැඩ පුරුදු කරන්න භාරවුනේ කුශීට. ඒ විදියට තමයි කුශී – කේශු ජෝඩුව එක්කම මේනු යාලු උනේ.

වැඩ පුරුදු වෙලා ඉස්සරහට යද්දි මේනු කුශීව මග හරින්නෙ ගත්තෙ ඇයි කියන ප්‍රශ්නෙ කුශීට නොතිබුනා නොවේ. “සමහරු එහෙම තමයි අනේ. වැඩ පුරුදු වෙන කම් අනේ පනේ ගාගෙන ඉන්නව. පුරුදු උනාට පස්සෙ මතකවත් නෑ” කියල කට්ටිය කිව්වට ඇත්ත දැනගත්තම කුශීට මැරෙන්න හිතුනා.

ඉස්සර රෑට නිදාගන්න කලින් තමන්ට කතා කරන කේශ් කවදාවත් නැතුව බිසී වෙන්න හේතුව වගේම මේනු තමාව මගාරින හේතුව ඇස් දෙකෙන්ම දැක්ක දවසෙ කුශී ඔෆිස් එකේදිම මේනුට ගහන්නත් ගියා. මේනුව බේරගන්න ඉස්සරහට පැන්නෙ කේශ්. කුශීව අල්ල ගන්න ඉස්සරහට පැන්නෙ ඔෆිස් එකේ අනිත් අය.

එතන තමයි කුශී හොඳටම, දරුණුවටම කඩං පැන්නෙ.

එතනින් එහාට වෙච්ච දේවල් අමුතුවෙන් කියන්න ඕන උනේ නෑ. කුශී ජොබ් එකෙන් අස්වෙලා වෙන රස්සාවකට ගියා. බෝඩිම වෙනස් කරා. හිත අද හැදෙයි හෙට හැදෙයි කියල බලන් හිටියා. හැමදාම උදේ හවා මේනුයි කේශුයි දාන පෝස්ට්, පීන්තුර බලල මුල් කාලෙ ඇඬුව. පස්සෙ පස්සෙ වෛර කරන්න ගත්ත.

හරියකට නොකා, අඳින්නෙ පලඳින්නෙ නැතුව උන්න කුශී ජීවත්වුනේ මල මිනියක් වගේ. කවුරු මොනව කිව්වත් ඒ දුකෙන් මිදෙන්න කුශීට උවමනාවක් තිබ්බෙම නැති තරම්.

“ඔයා එයාල ගැන හිත හිත ඉන්න එකෙන් වෙන්නෙ ඔයාට සදහටම දුකෙන් ඉන්න. ජීවිතේ අපි ආස දේවල්ම වෙන්නෙ නෑනෙ කුශී. නරක නපුරු දේවල් වෙනව. හිත රිද්දන මතක ජීවිතේට එකතු වෙනව. ඒ උනාට එහෙමයි කියල ඔයා ඒ අඳුරු දුක හිතෙන මතක ගැනම හිත හිත ඉන්න එකෙන් වෙන්නෙ ඔයාට කවදාවත් ජීවිතේ ගොඩ යන්න වෙන්නෙ නැති එක.

මම හිතන්නෙ දැන් ඔයාට කාලෙ හරි මේනුවයි කේශ්වයි ඔයාගෙ හිතෙන් අයින් කරල දාන්න. කාලයක් ජීවිතේ ඉඳපු දෙන්නෙක් වුනත් ඔයාට දුකක් නම් දුන්නෙ එයාල ගැන හිතන එකෙන් තේරුමක් වෙන්නෙ නෑනෙ. එහෙම එකේ එයාලව අතෑරල ජීවිතේට හොඳ දේවල් ලංකරගන්න. ජීවිතේ දිහා අලුතෙන් බලන්න.

ඔයාම හිතන්නකො ඔයාට මොන වරද කරත් අන්තිමේ ඒ දෙන්න සන්තෝසෙන් ඉන්නව. ඒ උනාට ඔයා හිතනවද ඒ දෙන්නට හිතෙන් ගැලවීමක් තියෙවි කියල කවදාවත්?

එහෙම එකේ ඔයාට මෙහෙම දුක් විඳින්න හේතුවක් ඇත්තෙම නෑ. ඔයා කාටවත් වරදක් කල කෙනෙක් නෙවෙයිනෙ”

“මට කවදාවත් මේනුයි කේශුයි කරපු දේ අමතක කරන්න පුලුවන් වෙයිද ඒමි?”

කුශී එහෙම ඇහුවෙ ඇස් වල කඳුලු පුරවගෙන. ඒ වචනයි කඳුලුයි අස්සෙ හැංගිල තිබුනෙ මේ දුකෙන් ගැලවෙන්න තමන්ටත් උවමනා කියන කතාව බව ඒමිට නොතේරුනා නොවෙ.

“පුලුවන් කුශී. බලන්නකො කුශී කියන නමේ හින්දි තේරුමම සතුට කියන එකනෙ. එහෙම එකේ ඔයා වැරැද්දක් නොකර මෙහෙම දුක් විඳින්න ඕන නෑ.

දුක දේවල් හිත රිදෙන දේවල් වෙනවා. ඒ උනාට ඒ දුක හිතේ හැමදාටම තියාගෙන හිටියොත් ඔයාට කවදාවත් සතුටෙන් ඉන්න බැරිවෙයි. ඒ නිසා ඔය දුක හිතෙන හේතු අතෑරල සන්තෝසෙන් ඉන්න පුලුවන් හේතු හොයාගෙන අපි ඉස්සරහට යන්.

කවුරු නැතත් ඔයාට අම්මල තාත්තල ආදරෙයි. මමත් එහෙමයි. තව ඔයාට ඇත්තටම ආදරේ කරන ගොඩක් අය ඉස්සරහට හම්බුවෙයි”

ඒමිගෙ දිලිහෙන ඇස් අස්සෙ හැංගිල තිබ්බෙ ඇත්තම අවංක යාලු කමක් බව කුශී දැක්කා.

ඒ දිලිහෙන ඇස් තමන්ට අලුත් බලාපොරොත්තු අරගෙන එන බවත් කුශී තේරුම් ගත්තා.

ReplyForwardAdd reaction

More Stories

Don't Miss


Latest Articles