මතක මන්දිර – 8

0
4948

“ඔයා තාමත් ඉන්නෙ මොකක් හරි අවුලක කියලයි මට හිතෙන්නෙ කාලි” තම කලු පැහැ අවුඩි කිව් සෙවන් රිය පණගන්වමින් කාලින්දීව නංවාගෙන කොල්ලුපිටිය දෙසට ගමන් කරන අතරවාරයේ මගින් නැවතුණු කතාව යළිත් අරඹන්නට කේසරට අවැසි විය.

වීදුරුවෙන් එපිට පෙනෙන කළබලකාරී කොළඹ නගරය දෙස බලමින් කල්පනාවක නිමග්නව උන් කාලින්දී හැරී කේසර දෙස බැලුවේ කියන්නට බොහෝ දේ ඇතත් කොතනින් අරබා කොතනින් අවසන් කරන්නද කියා සිතාගත නොහැකිවය.

ආදරය නැමැත්ත ජීවිතය නම් ගස සුපිපුණු මලක් නම් එය අප ගෙවන මොහොත සහ වටපිටාව අනුව සුගන්ධයක් මෙන්ම ගන්ධයක්ද විය හැකි බවත්, ගසක හටගත් ඵලයක් නම් මිහිරි රසයක් සේම අමිහිරි කටුක රසයක් ගෙන එන බවත් පොත පතින් කියවා මෙන්ම අසා ඇතිමුත් එය සැබෑවක් බව කාලින්දීට විඳගන්නට හැකිවුණේ සමුද්‍රගේ සොඳුරු ප්‍රේමය ඇය සතු වූ මොහොතේ පටන් ය.

එලෙසින්ම එකී ප්‍රේමයම හලාහල විසක් මෙන් තම සතුටත්, සැනසුමත්, විශ්වාසයත් බිඳ හල හැකි බවද ඇය උගත්තේ එකී ප්‍රේමය නිසාවෙන්මය.

ආදරය යන මාතෘකාව ගත් විට, සමාජයේ ජීවත්වන මිනිසුන්ව කුලක කීයකට නම් බෙදා වෙන් කරන්නද? ළඟින් හිඳ පෙම් කර ළඟින්ම රැඳෙන්නන්ද, සිතින් පමනක් පෙම් කර කිසිදා ළං නොවෙන්නන්ද, කිසිදා ළං නොවන්නන්ද, ළඟින් රැඳී හිඳ අතැර යන්නන්ද ලෙස කෙතරම් කුලකවලට බෙදා වෙන් කරන්නද?

ආදරය යනු සුන්දර කාලවකවානුවක ඇරඹුමක්, වසන්තය උදා වීමක් ලෙස සැලකුවද, සිතුවද එයා සර්වකාලීන සත්‍යයක් නොවන බව කාලින්දී උගත්තේ සැබෑ ජීවිතයේ තම පළමු පෙමම තමං හැර දමා ගිය මොහොතේය. වසන්තයට පසුව ආ ගිම්හානයට හසු වූ මලක් වියැලී, මිලානව යන්නාක් මෙන් ඇය මිලින වූයේ ද එබැවිනි.

ආදරේ කියන්නෙ භාවනාවක්.ඇස් පියාගෙන , තමන් ආදරේ කරන පුද්ගලයා ගැන පමණක්ම මෙනෙහි කරන භාවනාවක්” ලෙස බොහෝ පොත පතෙහිද, වියතුන් හිතවතුන් මුවෙහි අසනු ලෑබුවීද, තවමත් කාලින්දීට ආදරය යනු මිනිස් සිතක් විනාස කල හැකි අන්දමේ පිළිලයකි.

කාර්‍යබහුල ජීවිතයට අවැසි උත්තේජනය නිසාවෙන්ද, කේසර බඳු කළ්‍යාණ මිතුරන්ගේ ඇසුරෙන්ද යම් තරමකට පහදාගත් සිත නොසිතූ ලෙස දෙඇස ඉදිරියේ ප්‍රාදූර්භූත වූ සමුද්‍රගේ ආගමනය නිසාවෙන් වික්ෂිප්ත වීම කාලින්දීට දරාගන්නට අපහසු ය.

“ඒ තමයි සමුද්‍ර”

අවසානයේ බිඳුණු හඬකින් කේසර ඉදිරියේ  ඇය එබව පවසන්නට විය.

ලිබර්ටි ප්ලාසා වටරවුමෙන් හැරී නුගේගොඩ දෙසට ඇදෙමින් තිබූ කලු පැහැ අවුඩි රිය පෙර දැනුම් දීමකින් තොරව මහ මග නතර කරවන්නට තරම් එවදන් තුල සැඟවී තිබුණු බිය, වේදනාව හඳුනාගන්නට කේසරට හැකි විය.

සිත බිය වැදුනේ අතීතයේ උන් මිලින වී ගිය කාලින්දී මෙනෙහි වීමෙනි.

ඇයව මේ තරම්වත් දුරක් රැගෙන එන්නට මිත්‍රත්වයේ නාමයෙන් කෙතරම් නං කැපවුණිද?

පෙර දැනුම් දීමකින් තොරව මහ මග නතර වූ රියට හසුවන්නට ගිය මෝටර් සයිකල් කරුවෙකු අනූ නවයෙන් මෙන් වෙට්ටු දමා පණ බේරාගෙන කේසරට බැන වදිමින් යනු දුටු විට පියවි සිහියට විත් නැවතත්‍ රිය පණගන්වා නුගේගොඩ දෙසට ඇදෙන්නට වූ අවුඩි කිව් සෙවන් රිය තුල වූයේ මැදියම් රැයටත් වඩා නිහඬතාවයකි.

“මම හිතුවෙ මිනිහා ඉන්නෙ අබ්‍රෝඩ් කියල” පෙර කාලින්දී ඇසුරෙන්ම ලද තොරතුරු අනුව කේසර වචන ගොනුකරන්නට වූයේ එකී නිහඬතාවය දරා ගනු නොහැකිවය.

“මට හිතාගන්න බැරිවුනා එයා මම ඉස්සරහට ආවම’

“මම හිතන්නෙ මිනිහටත් ඒක ශොක් එකක් වෙන්නැති”

“ඔව් එයා හිතාගෙන ඉන්න ඇත්තෙ මම විඳව විඳව ගමට වෙලා ඇති කියල මිසක, මේ වගේ තැනක මේ විදියට දකින්න ලැබෙයි කියල නෙවෙයි වෙන්නැති”

ආදරයක බිඳ වැටීම වෛරයක් විය හැකිද යන සිතුවිල්ල කේසරගේ සිතට නැගුනේ කාලින්දී පැවසූ එවදන් තුළ වූ හඬ අනුවය.

ප්‍රේමයේ ඇරඹුමත්, පැවතුමත්, අවසානයක් දුකම පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here