සූප්පුව එහෙමත් නැත්නම් pacifier කියන්නෙ ඔබේ පොඩිත්තාව ඉතාම හොඳින් සනසවන්න පුළුවන් හරිම පුදුමසහගත මෙවලමක්.
හෘද ස්පන්දන වේගය, රුධිර පීඩනය සහ මානසික ආතතිය අඩු කිරීමේ හැකියාවක් උරා බීමට (sucking) තියෙනව කියල පරීක්ෂණ ආඟින් තහවුරු කරගන්න පරියේෂකයන්ට හැකියාව ලැබිල තියෙනව.
එන්නත් කිරීමෙන් සහ ලේ ගැනීමෙන් අනතුරුව සූප්පුව උරාබොන දරුවන් ඉක්මණින් සන්සුන් වීම සහ හැඬීම නැවැත්වීමට හේතුව එය විය හැකි බවත් මේ ගැන අදහස් දක්වමින් ඔවුන් තවදුරටත් ප්‍රකාශ කරනව.
ඒ නිසා අපි අද සූප්පුව ගැන ඔබ දැනගත යුතු ඉතාම වැදගත් කරුණු කීපයක් ගැන මේ ලිපිය ඔස්සේ ඔබේ අවධානය යොමු කරන්න සූදානම්.
සූප්පුව නිසා දත් ඉස්සරහට එයිද?
ඔබේ පොඩ්ඩගේ ස්ථිර දත් වර්ධනය වුනාට පස්සෙ සූප්පුව භාවිතා කරොත් දත් ඉදිරියට ඒම අවධානමක් තියෙනව කියල අපි ඔබට මතක් කරන්න කැමතියි.
දත්වල පිහිටීමට, විදුරුමසට සහ දත්වල වර්ධනයට මේ මඟින් බලපෑම් ඇතිවෙන්න පුළුවන්.
සූප්පුව උරවන නිසා දත්වලට ඇතිවෙන්න පුළුවන් ගැටළු ඇඟිලි ඉරවීම සමඟ සංසන්දනය කරද්දි අඩු වුනත් සූප්පුව උරවන වේගය සහ කාලය මත මේ බලපෑම අඩුවැඩි වෙන බවත් අපි අවධාරණය කරන්න කැමතියි.
සූප්පුව අතහරින්න ඕන කොයි කාලෙද?
ඔබේ පොඩ්ඩගෙ සූප්පුව ඔවුන්ගෙන් අයින් කරල දාන්න ඔබ ඒ තරම්ම හදිස්සි වෙන්න ඕන නෑ.
ඒ මොකද, අවුරුදු 1 ත් 3 ත් අතර දරුවන්ට සූප්පුව නිසා ඉතාම හොඳ චිත්තවේගීය සහයෝගයක් ලැබෙන බව පරීක්ෂණ මඟින් සනාථ කරගෙන තිබෙන නිසයි.
අපි කලින් කතා කරා වගේම පොඩ්ඩො නින්දට යද්දි, මානසික ආතතියෙන් ඉද්දී වගේම ඔවුන් අසනීපෙන් ඉද්දි, දිවා සුරැකුම් මධ්‍යස්ථාන, විනෝද ගමන් වගේ අලුත් අත්දැකීම් වලට හුරුවෙද්දි සූප්පුව උරවන පුරුද්දට ඔවුන් තුළ විශාල සහයෝගයක් වගේම සැනසීමක් ඇති කිරීමේ හැකියාව තියෙනව.
අන්න ඒ නිසා එක්වරම සූප්පුව ඉවත් කරන්න උත්සහ කරනවට වඩා මුලින්ම රාත්‍රී කාලයේදී හෝ පීඩාවට පත්වෙන අවස්ථාවන් වලදී පමණක් සූප්පුව ලබාදී ටිකෙන් ටික සූප්පුව ඉවත් කරන්න ඔබට පුළුවන්.
සූප්පුව දරුවන්ගෙන් ඈත් කරන්න ලේසිම කොයි කාලෙද?
මේ ගැන කීවොත්, දරුවන්ගෙන් සූප්පුව ඈත් කරන්න ලේසිම කාලය විදිහට මාස 6 ක් හෝ 7 ක් ඇතුළත කියල තමයි සඳහන් වෙන්නෙ.
ඒ වෙද්දී ඔවුන් ලොකූවට සූප්පුව එක්ක මානසිකව බැඳිල නැති එක මේ සඳහා හේතුව විදිහට සඳහන් කරන්න පුළුවන්.
සාමාන්‍යයෙන් දරුවො සූප්පුව එක්ක ඉතාම තද බැඳීමක් ඇති කරගන්නෙ මාස 9 ක් වගේ වුනාට පස්සෙ කියලයි හොයාගෙන තියන්නෙ.
ඒත් මාස 7 ක 8 ක වගේ සමහර පොඩ්ඩො සූප්පුව එක්ක ලොකූවට බැඳීම් ඇතිකරගෙන ඉන්නත් පුළුවන්.
ඒ නිසා ඔබේ වෛද්‍යවරයත් එක්ක කතා කරල සූප්පුව ඔබේ දරුවාගෙන් ඈත් කරන්න හෙමින් හෙමින් පියවර ගන්න ඔබට පුළුවන්.
ඉතිං මාස 9 ක් වුණා කියල එකපාරම සූප්පුව ඔබේ දරුවගෙන් ඈත් කරන්න තරම් කලබල වෙන්න නම් එපා. මේ කාල පරාසයන් ගැන අවබෝධයෙන් සහ සූදානමින් ඉඳල හෙමින් පියවරෙන් පියවර සූප්පුවට නිදහසක් දෙන්න ඔබට පුළුවන්.
සූප්පුව අතාරින්නම ඕනද?
අවුරුදු 02 ත් 04 ත් අතර පොඩ්ඩො සූප්පුව අතාරින්න මානසිකව සූදානම් බව සොයාගෙන තියෙනව.
ඒ නිසා ඒ ඒ කාලයේදී ඔබ සෙමින් සෙමින් දරුවට සූප්පුව ඔවුන්ගෙන් ඈත්වෙන බවත් ඒ වෙනුවට වෙනත් දේවලට ඔවුන්ගේ අවධානය යොමු කරවන්නත් කටයුතු කරන්න ඕන.
අවුරුදු 03 දි විතර, “අන්න බබාගෙ සූප්පු සුරංගනාවී පරණ සූප්පු බබාලත් එක්කම සෙල්ලම් බඩු ගේන්න ගියා. බලමුද එයා මොනාද ගෙනාවෙ?” වගේ සිතුවිලි ඇතුළු කරන්න ඔබට පුළුවන්.
සූප්පුව අයින් කරන්නෙ කොහොමද?
අපි කලින් කතා කරා වගේ එක්වරම පොඩ්ඩන්ගෙන් සූප්පුව ඈත් කිරීම ඔවුන්ට දැඩි මානසික පීඩනයක් ගෙන දෙන කාරණාවක් වෙන්න පුළුවන්.
ඒ නිසා පියවරෙන් පියවර බොහොම ඉවසීමෙන් මේ කටයුත්ත කරන්න ඔබ සැළකිලිමත් වෙන්නම ඕන.
ඒ සඳහා,
රාත්‍රී කාලයේදී සහ දවසේ එක් තෝරාගත් වෙලාවක පමණක් සූප්පුව ලබාදීම,
සූප්පුව සොයා ගැනීමට අපහසු නිසා සූප්පුව සොයාගන්න තෙක් වෙනත් සෙල්ලම් බඩුවක් සමඟ සිටින ලෙස දරුවාට පැවසීම,
සූප්පුව නැතුව දවස ගතකරන සෙල්ලම් සත්තු ගැන දරුවාට කතන්දර ගොතා පැවසීම සහ
සූප්පුව අම්මාට හෝ තාත්තාට දී ඒ වෙනුවට වෙනත් සෙල්ලම් බඩුවක් පොඩිත්තාට හිමිවන දවසක් (උපන්දිනය) ගැන එකඟතාවයක් ඇතිකර ගැනීම වගේ ක්‍රම සහ විධි ඔබට අනුගමනය කරන්න පුළුවන්.
මේ මොනව කරත් වැඩක් නැද්ද?
මේ මොනව කරත් ඔබේ පොඩ්ඩ සූප්පුව අතාරින්න කිසිම සූදානමක් නැත්තන් කලබල වෙන්න එපා. හොඳ හුස්මක් අරන් මේ දේවල් මතක් කරන්නකෝ.
සමහර බබාල ඉස්කෝලෙ යද්දිත් අම්මලගෙන් කිරි බොනව, සමහර බබාලට පවුලෙන්ම අරන් ආව ජානමය පුරුදු තියෙනව සහ වැඩිහිටි අපිත් පොරවන රෙද්දකට, කොට්ටෙකට, ටෙඩී බෙයාර් කෙනෙක්ට වගේ එක එක අපි තෝරගත්තු දේවල් වලට ගොඩක් සමීප බැඳීම් ඇතිකරගෙන තියෙනව.
ඔබේ පොඩ්ඩත් වෙන ආකර්ෂණීය දෙයක් හොයාගන්නකන් සූප්පුව අතාරින්න ලෑස්ති නැතුවැති. ටිකෙන් ටික ඉවසීමෙන් ඒ සඳහා උත්සහ කරන්න ඔබට පුළුවන්.
ඉතිං මේ කරුණු ඔබට වැදගත් වෙන්න ඇති කියල අපි විශ්වාස කරනව.
මේ වගේම වැදගත් ලිපියකින් අපි නැවත හමුවෙමු.
සටහන – දුලානි නවෝද්‍යා