සඳක් තනියම – 34

0
620

දිනාරා පසුදා අවදි වූයේ වෙනදාටත් වඩා පාන්දරින්ය.පෙරදා රාත්‍රියේ නින්ද ගියේ කීයටදැයි මතකයක් ඇයට නොවේ.එහෙත් ප්‍රියංකා ආන්ටීත් සොයුරාත් මගහැරවිත් ඇඳට වැටුණා මතකය.තවමත් කාමරයේ මලානික විදුලි බුබුළු දැල්  වූ  ගමන්ය. කුඩා මේසය මත වූ තේ  කෝප්පය වටා කළු කූඹින් රැසක් එක්ව සිටිනු දිනාරා දුටුවේ මඳක් ඉහලට ඉස්සී  ඇඳ විට්ටමට  හේත්තු කළ කොට්ටයට බර වෙද්දීය. ඒ ආසන්නයේම වේදනා නාශක පෙති දෙකකුත් විය. දිනාරාට ප්‍රියංකා ගැන දුකකුත් තමා ගැන කලකිරීමකුත් ඇති වූයේ එවේලෙහිය.ඇඳෙන් නැගී සිටි යුවතිය මුලින්ම කළේ තේ කෝප්පය නාන කාමරයේ වූ බේසමට හලා සෝදා තැබීමය.උඩින් පල්ලෙන් මුව දොවා ගත් ඈ  ආපසු සිය කාමරයට පැමිණියේ සූදානම් වීමට තවත් බොහෝ වෙලා තිබූ නිසාය.කුඩා මුළු තැන් ගෙයි  විදුලි පහන් දැල්වෙනු දිනාරා  දුටුවේ එවේලෙහිය.ප්‍රියංකා ආන්ටි  කෑම සකසන්නට සූදානම් වනවා විය යුතුය.අඩවල් කර තිබූ දොර ඇරගත් යුවතිය සිය ජංගම දුරකථනය අතට ගත්තේ විදුලි පරිපථය හා සම්බන්ධ කරන්නට සිතාගෙනය.

අකලංක සර් යනුවෙන් සටහන් වූ කෙටි පණිවිඩය ඇය දුටුවේ එවේලෙහිය.එය වට්ස්ඇප් පණිවිඩයකි.ඕ වහ වහා සිය ජංගම  දුරකථන තිරය   ඔත්සේ ඇඟිලි තුඩු ගෙන ගොස් එම පණිවිඩය කියවූවාය.

“ දිනාරා….”

“ හෙට ඔෆිස් එන්න.අපි අතර සිද්ධ වුණු මේ කතාබහ අමතක කරලා දාන්න මට පුළුවන්.වෙනදා වගේ අපි එකතුවෙලා වැඩ කරන්න ඕනේ.ඔයා චුට්ටක්වත් මට මුහුණ දෙන්න අපහසුයි කියලා හිතන්න එපා.මම කිසිම දේක එල්ලිලා ඉන්න කෙනෙක්  නෙමෙයි.මගේ අදහස කිව්වා වගේම ඔයාට ඒක ප්‍රතික්ෂේප කරන්නත් සාධාරණ හේතු තියෙනවා කියලා ඔයා මට පැහැදිලිවම කිව්වා.මං ඒක පිළි ගත්තා.ඒ හැමදේම එතනින් ඉවරයි.හෙට අලුත් දවසක්.ඒ අලුත් දවසේ මම බොස් ඔයා මගේ ප්‍රයිවෙට් සෙක්‍රට්‍රි විතරයි.

වෙනද වගේ අපි සහයෝගයෙන් වැඩ කරමු..”

ඒ කෙටි පණිවිඩය ඕ කීයවූයේ  වරක් දෙවරක් නොවේ.යුවතිය ඒ වදන්තුල කෝපයක්,නොරිස්සුම් සහගත බවක්, කලකිරීමක් දකින්නට උත්සාහ දැරුවාය.අවසන පරාජිත වූ ඕ සැනසුම් සුසුමක් හෙලුවාය.

“ ස්තුතියි සර් මාව තේරුම් ගත්තට. “

අවසන ඕ එසේ ලියා යැව්වාය. මේ ඇය අපේක්ෂාකල සැනසීමයි.

දිනාරා නැගිට මුළුතැන් ගෙයට  ගියේ තවත් අඩ හෝරාවක් පමණ ඇඳ මතට වී සිටියාට පසුවය.තම තීරණය ගැන ඇයට අමුතු දුකක් හෝ සතුටක් දැනුනේ නැත. මේ නිවැරදිම තීරණයයැයි දිනාරා විශ්වාස කළාය.

“ පුතේ ඔයා නැගිට්ටද …දැන් කොහොමද.අකලංක පුතාට කතා කරලා අද නිවාඩුවක් ගන්න බැරි වෙයිද..පුතාට මහන්සි ඇති ඒකයි මේ..”

ප්‍රියංකා කියවාගෙන ගියේ එක හුස්මටය.

“ අනේ නෑ ආන්ටි..දැන් එහෙම දෙයක් දැනෙන්නේ නෑ.සර්ට කතා කරලා මේ වෙලාවේ කොහොමටවත් නිවාඩු ඉල්ලන්න පුළුවන් වෙලාවක් නෙමෙයි.තව හරියටම සති දෙකයි නේ ඉවෙන්ට් එකට තියෙන්නේ..මේ සැරේ වෙනදට වඩා හොඳට ඒක කෙරෙනවා කියලා මහින්ද සර්රුත්  කිව්වා..”

“”එහෙම වෙලාවේ අතරමගදී කොල්ලව  අතාරින්නත් බෑනෙ. නේද පුතේ.ඊයේ මට ඔයාට කියන්න බැරි වුණානේ තේජාත් ඇවිල්ලා ගියා හදිසියේ”

දිනාරා ප්‍රියංකා දෙස බැලුවේ තිගැස්සීගෙනය.ඇය දන්නා තරමට අකලංකගේ පවුලේ අයවලුන් අතර රහස් නොවේ.හදිසියේම තේජා මැඩම් මෙහි පැමිණියේ තම  ගැන යමක් විමසන්නදැයි දිනාරා සිතුවේ ශීතකරනයේ වූ   පොල් අඩලය අතට ගන්නා ගමන්ය.

“ ගොඩක් කාලෙකට පස්සෙනේ  පුතේ ඔය ආවේ.මං ඉක්මනට  නර්මදා දුවට කෑම ටිකකුත් ලෑස්ති කරලා දුන්නා.ත්‍රී වීලර් අන්කල්ට  කියලා හොඳ කෙසෙල් කොළ දෙකකුත් ගෙන්න ගත්තා.අපේ දඟමල්ලත් එක්ක මට දැන් එහේ යන්නත් බැහැනේ.”

“ මට නිවාඩු දවසක ආන්ටි ගිහිල්ලා එන්න.”

“ දැන් ඔයාට නිවාඩු දවසක් කියලා නෑ.ඔෆිස්  එකේ මේ වැඩේ ඉවර වුණු ගමන් පාඩම් කරන්න පටන් ගන්නත් ඕනේ පුතේ. අකලංක පුතාටත් කෙනෙක් හොයනවා.හඳහන් කිහිපයකුත් ඇවිත් තියෙන කතාවක් කිව්වා.හොඳ දරුවෙක් හම්බ උනොත් හොඳයි.”

දිනාරා කිසිවක් නොකියා නිහඬ වූයේ හිතා මතාමය.සැබැවින්ම ඔහුට හමුවිය යුතුව තිබුණේ හොඳ කෙනෙකි.ඒ පවුලේ සතුට, සමගිය, සමාදානය රකින්නට හැකි කෙනෙකි.ඔහුව ආදරයෙන් බලා ගන්නා කෙනෙකි.ඔහුට ගෞරව කලහැකි කෙනෙකි.

“ ඔය දරුවා හරියට ආදරේ හොයන දරුවෙක්. දැන් ගොඩක් සල්ලි තියෙන තැන්වල ගෑණු දරුවෝ  හරි සංකරයි.තමන්ගේ මහත්තයට ආදරෙන් ඉන්න අය අඩුයි.”

“ සර්ට හොඳ කෙනෙක් හම්බ වෙයි ආන්ටි..”

ඇය එසේ පැවසුයේ හිතා මතා නොවේ.ඒ හඬ බිඳී තිබිණ.දිනාරාට පසුපස හරවාගෙන ලිපෙහි වූ  මාළු ඇතිලිය ගැන අවධානයෙන් පසු වූ  ප්‍රියංකාට  ඇගේ හඬෙහිවූ වෙනසවත්, දුකවත්  දැනුනේ නැත . නිරායාසයකින් උනා ආ කඳුළක් ඇගේ දෑස් මුල විය.මේ අහිමිවීම තම ජීවිත කාලයටම වද දෙන දුකක් පසුකැවීමක්  බව ස්ථිරය.

********######********######******######

 අකලංක කාර්යාලයට යාමට සූදානම් වී පහත මාලයට පැමිණියේ වෙනදාටත් වඩා වේලාසනින්ය.අද ඔහු කාර්යාලයට නොගොස් සිටීයැයි  සිතූ විශ්වසේම නර්මදාත් මුහුණෙන් මුහුණ  බලා ගත්තේ දෑස් විසල් කරගෙනය.

ඒ බැල්ම  හොඳටම දුටු අකලංක කෑම මේසයට පැමිණ අසුන් ගත්තේ කිසිවක් නොදුටුවා සේය.

“ මම මේ ඔයාට කියන්නමයි හිටියේ. ඊයෙ රෑටත් කන්නෙ නැතුව නිදා ගත්තා එළියෙන් කාල ආවා  කියලා.ඒ මදිවට කඩචෝරු ගොඩකුත් උස්සගෙන ආවා.එළියෙන් කාල එන  දවසට පොඩ්ඩක් කලින් කියන්න දරුවෝ.කොච්චර සල්ලි තිබුනත් මේ කෑම බීම හදලා විසිකරන්න පුළුවන් කාලයක් නෙමෙයි.දන්නවද කීදෙනෙක් බඩගින්න ඉන්නවද කියල..”

තේජා මේ බැණ වදිනවා නොවේ.ඇයට ප්‍රශ්නය වූයේ අකලංක බඩ පිරෙන්න යමක් ආහාරයට ගත්තාද යන්නය.දරුවන් නිවසින් පිටතවන තරු පන්තියේ හොඳම හෝටලයෙන් ආහාර ගෙන ආවත් ඇයට මදිය.තේජාගේ සිත පිරෙන්නේ දරුවන් තමා ඉදිරිපිටදී බඩකට පුරා ආහාර ගනු දකිද්දීය.

“ අනේ සොරි අම්මේ..එළියට යන්න හිතාගෙන හිටියේ නැහැ ඒත් හදිසියේ  යන්න වුණා.”

“ පුතා ඔයා ඉන්වයිටීස්ලගේ විස්තර ටික මට තවම දුන්නේ නෑ..”

“ ඒක රෙඩි කරලා තියෙන තාත්තා මම දවල්ට ගෙනත් දෙන්නම්.”

“ එක්ස්කියුස් මී…”

එකම එක පාන් පෙත්තකින් අඩක්  පමණක් ආහාරයට ගත් තරුණයා මුලින්ම කෑම මේසයෙන් නැගී සිටින්නට අවසර පැතුවේය 

“ ඔය කාපු හැටිද ඇයි හදිස්සිය..බත් කටක්  කාලා යන්න දරුවෝ….දවල්ටත් හරියකට කන්නේ නෑ.”

“ තවත් පරක්කු වෙන්න බෑ අම්මා දැනටමත් පරක්කුයි. මට ලක්රස නිවුස් පේපර්  එකට ආටිකල් එකක් දෙන්නත් තියෙනවා.තව වැඩ ගොඩක් තියෙනවා..”

“ ඉන්නව මමත් එක්කම යන්න..”

විශ්ව එසේ පැවසූයේ සොහොයුරා හදිසියේම නිවසින් පිටවන්නට සූදානම් වද්දීය.

“ බෑ.. බෑ .ඔයා කාලා කරලා , නෝනත් එක්කත් චැට් එකක් දාගෙන ඉදලා හෙමින් සැරේ එන්න.මේ වැඩ ටික උදේම කරගත්තේ නැත්නම් අද දවසම යයි..”

“ මොන හදිස්සියක්ද මන්දා මෙයාට…”

තේජා එසේ පැවසූයේ අකලංක ප්‍රධාන දොරටුවෙන්  පිටව යන අයුරු බලා සිටියාට පසුවය.

ඉන්පසු විශ්වත් කෑම පිඟාන අතගාමින් කල්පනාබරව ඉන්නා අයුරු නර්මදා දුටුවාය .එහෙත් ඔහු කෑම මේසයෙන් නැගී සිටියේ තේජාන් මහින්දත් දෙදෙනාම නැගී සිටියාට පසුවය.

“ ඔයා ඒ ගැන එච්චර හිතන්න එපා. අපි කාටවත්  දැනෙන්න දෙන්නෙ නැතුව එයා තනියම රිකවර් වෙන්න  උත්සාහ කරනවා.”

“ නොකා නොබී..”

විශ්වගේ හඬෙහි වූයේ කෝපයකි.

“ විශ්ව මේ අහන්න..දිනාරා පැහැදිලිවම කිව්වනේ  එයාට සාධාරණ හේතුවක් තියෙනවා කියලා.ඒක මොන විදිහේ හේතුවක්ද කියන්න අපි දන්නේ නෑ.සමහරවිට ඒ ළමයා එයාගේ මුළු ජීවිතේටම හානියක් වෙන  රහසක් රකිනවා වෙන්න පුළුවන්. අනිත් එක ඔයා ඊයේ කේන්තියෙන් නැගිටලා කාමරේට ආවට පස්සේ මම මල්ලි එක්ක  කතා කළා.”

“ මං දැක්කා..මං හිතුවේ ඔයා ඌව සනසනවා කියලා….”

“ එයා කියනවා දිනාරා  එහෙම කියලා වෙනද වගේ හිනා වෙලා ගියා නං කමක් නැහැලු.ඒ කෙල්ල වෙව්ල වෙව්ලලු ඒක කිව්වේ…ඒ මදිවට වාහනෙන්  බැහැලා ගියෙත් ඇස් දෙකේ කඳුළු තියාගෙනලු .ඉතින් ඔයා චුට්ටක් හිතන්න.ඇත්තටම ඒක ඒ ළමයා බොහොම අමාරුවෙන් දරාගන්න දෙයක් වෙන්න පුළුවන්.සමහර වෙලාවට අපේ මල්ලි ගැන හිතලම එයා ඒවගේ දරදඬු තීරණයක් ගන්නවා වෙන්නත් පුළුවන්.එයා මල්ලිව රිජෙක්ට්  කළේ අඩුපාඩුවක් කියලා නෙමෙයි විශ්ව.එහෙම කළේ තව කෙනෙක් වෙනුවෙනුත් නෙමෙයි.එයා මැරි කරන්නේ නෑ කියන එක මල්ලිට කියලා තියෙනවානේ…”

“ ඒ උනාට මූ පිස්සෙක් වුණොත්..”

“ ඔයා ඔය මල්ලි ගැන දන්න තරම තමයි.එයා දිනාරා ගැන හිතනවා. ඔයා ගැන හිතනවා. අම්මා තාත්තා ගැන හිතනවා. මම ගැන හිතනවා ඉතින් එයා කොහොමද පිස්සෙක් වෙන්නේ… එයා මේ වෙලාවේ දිනාරාට  හානියක් වෙන දෙයක් කරන්නෙත් නෑ අපිට හානියක් වෙන දෙයක් කරන්නෙත් නෑ.”

“ ඒ උනාට ඌ  රෑට කෑවෙත් නෑ. ඔයා දැක්කනේ දැන් උදේ කෑවෙත් නෑ..”

“ වේල් දෙකක් නොකා හිටියා කියලා ඔයාගේ මල්ලිට කිසි දෙයක් වෙන්නෙ නෑ.එයා හිත හදාගන්න උත්සාහ කරනවා.ඇයි අපි ඒකට ඉඩ දෙන්නේ නැත්තේ.එයා ඔය කලින් යන්නේ වෙනද වගේ දිනාරාට  මුහුණ දෙන්න ඕන සිටුවේෂන් එක හදාගන්න.එයා මට කිව්වා වෙනද වගේම දිනාරත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න ඕනේ කියලා.මේ කිසි දෙයක් නොවුණු  ගනනට  එයාලා ඔෆිස්  ඉන්න ඕනේ  කියලා එයා හිතනවා..”

“ ඔයා දැන් මට  මොකක්ද කරන්න කියන්නේ..”

“ ඔයා විශේෂ මුකුත් කරන්න ඕනෙ නෑ විශ්ව.වෙනද වගේ දිනාරාත් එක්ක කතා කරන්න. වෙනදා වගේ වැඩ කරන්න.ඒ ළමයව වෙනද වගේ අගය කරන්න.ඔයාගේ මල්ලි රිජෙක්ට්  කලා  කියන කේන්තියෙන් ඒ ළමයා දිහා බලන්න එපා.එහෙම වුනොත් තමයි මල්ලිටත් හිත හදාගන්න බැරි වෙන්නේ.”

“ ඌ හිත හදාගන්නවනං මට ප්‍රශ්නයක් නෑ. දිනාරා  මට අකමැති වුණා නෙමෙයිනේ.”

“ ඒකා හිත හදාගන්නව සුදු මහත්තයෝ.ඒ කොල්ලා හරි හයියයි.සමහරවිට මේ හැම දෙයක්ම නිරවුල් කරගෙන එයා දිනාරාව දිනා ගනීවි…ඇයි මේ කවදාවත් නැතුව කලබල වෙලා..”

“ ඌ අවුලෙන් කියලා මට හිතුණා.”

“ අවුලෙන් තමයි..ඒ උනාට ඒ අවුල ලිහා ගන්න ඕනේ එයාමයි.එයා ඒක ලස්සනට කරයි..ඔයා මෙන්න මෙයා ගැන බලන්නකෝ..”

එවර නර්මදා පැවසුවේ ඔහුගේ මැණික් කටුවෙන් අල්ලා ඒ අත තම කුස මත තබා ගන්නා ගමන්ය.

“ ඔයා කියනවනං  ඉතින් හා…”

විශ්ව ඇගේ දෙපා මුල පහත්ව ඒ කුස මත තම මුව තබා ගත්තේ එසේ පවසමින්ය. 

“ උඹනම් කෙල්ලෝ හොයගෙන චාටර් වෙන්න යන්න එපා කොල්ලෝ.අම්මයි තාත්තයි හොයල දෙනකල් ඉන්න ඕනේ..නැත්නම් අම්මා වගේ පැනපු ගමන් හා කියන කෙල්ලෙක් හොයා ගන්න ඕන

ඕනේ..”

“ ඉඳියි..ඉඳියි . අම්මයි තාත්තයි හොයලා දෙනකල්ම…පරක්කු වෙනවා නේද යන්න අනික ඔයා කොහොමද හරියටම කියන්නේ මේ ඉන්නේ පුතෙක් කියලා..”

“ මංනේ උගේ තාත්තා..අනික අරූ කියන්නේ මේ කොල්ලෙක් කියලා..”

“ කවුද..”

“ උගේ බාප්පා..”

“ යන්න අනේ..පරක්කු වෙනවා නේද..”

“ ඒ උනාට දාල යන්න හිතක් නෑ..”

විශ්ව බිරිඳගේ කොපුලක් සිප ගත්තේ එසේ පවසමින්ය.ඔහු ඇගේ⁣ දෙතොල් මතට පහත් වද්දී ඕ ඉවතට හැරුණාය.

“මල්ලිගේ ප්‍රශ්න එයාට විසඳගන්න දීලා අපි එයාට හයියක් විතරක් වෙලා ඉමු..හාද…ඒ ඔයාගේ පණ තමයි ඒ උනාට එයාට හයිය ගහක් වෙන්න අපි ඉඩ දෙන්න ඕනේ තේරුණාද..”

එවර ඈ පැවසුවේ නැඟීසිටි සැමියාගේ පපුවට බර වෙමින්ය.

“ තේරුණා මැඩම්..”

විශ්ව සිය බිරිඳගේ හිස සිප ගත්තේ දයාබරවය.’ ඌටත් හම්බ වෙන්න ඕනේ උඹ වගේ ගෑණියෙක්…”ඒ අතරේම තරුණයා තමාටම මුමුණා ගත්තේය.

( යළිත් හමුවෙමු දයාබරව )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here