මල් බිඟුන් – 11

0
8277

නිධී විසින් සන්දේශ් ව මුලා කොටගෙන තිබීම ගැන මුලින් ම තොරතුරු කිව යුත්තේ ආර්ය ට නොව මණී ට යයි අමාගී තීරණය කළා ය. ඒ අනුව ගෙදර අය රැකී රක්ෂා කටයුතු වලට පිටත්ව ගිය උදේ වරුවේ නිදහස් හෝරාවක, ආයු ව නිදි කරවා යහනෙහි තබා අමාගී මණීව කැඳවාගෙන ආවා ය. ඒ වෙලාවට පරිසරය බෙහෙවින් නිස්කලංක ය. ඇසෙන්නේ කුරුලු කූජන පමණක් තරම ය. ගෙවල් වල රැඳී හිඳිනුයේ රැකියාවලට හෝ පාසල් නොයන කිහිප දෙනෙකු පමණක් වන හෙයිනි.

වතුර උතුරමින් කේතල් කෙමියෙන් සුදු පාට වාශ්ප වලාකුළු නගමින් තිබිණ. අශ්විනී ඉඟුරු තලා දැමූ තේ කුඩු ජෝගුවට උතුරන වතුර වත්කළා ය. රන්වන් ඉඟුරු තේ පැහිණ. සුවද ඉතිරිණි.

මණී අශ්විනී කී කතාව අසා සිටියේ කම්මුලක අතක් තියාගෙන ය.

“මහ පුදුම ගෑනියෙක්නෙ මේකි”

අන්තිමට ඇය කීවා ය.

“මං මේ නිධීට විතරක් වැරදි කියනව නෙවෙයි මණී ආන්ටි. අපේ හරක් පැටියත් දැනගන්න තිබුණ. මොකද එයා බබෙක් නෙවෙයිනෙ. අත පය ගැටගහල කුදලගෙන ගියා නෙවෙයිනෙ”

“මොන පිස්සුද ආශ් පුතා. පිරිමි කියන්නෙ පිරිමි. ඒකෙ ආයෙ දෙකක් නෑ. ගෑනියෙක් පොඩි ඉඟියක් දුන්නද පිරිමි ඒ ගෑනුංගෙ ශරීර වල වෙනස බලන්න සැදී පැහැදී ඉන්නෙ. ඒක පිරිමින්ගෙ වරදකුත් නෙවෙයි සොබා දහම පිරිමිංව මවල තියන හැටි. පිරිමින්ට ස්පර්ම්ස් කෝටි ප්‍රකෝටි ගාණක් මවල ගෑනුන්ට මාසෙකට එක ඩිම්බයක් විතරක් මෝචනය වෙන්න මවල තියෙන්නෙ ඒකනෙ. අර කෝටි ගාන කොහෙ හරි හලල යන්න තමයි උං බලන්නෙ. මට මේ පොඩි කෙල්ල ඉන්න නිසා මේව කට ඇරල කියන්න බෑ. පිරිමි කියන්නෙම වරදක් තමයි ආශ් පුතා. ගෑනු අපි දැනගන්න ඕනෙ මොන පිරිමියගෙත් නාස් ලණුව අල්ලන විදිහ. ගෑනියෙක් ඉඟි බිඟි පානකොට අහක බලං ඉන්න මොකෝ සන්දේශ් පුතා රහත් වෙලා නෑනෙ. පිරිමි වුණත් දැනගන්න ඕන තමයි මොළේ කල්පනා කරල වැඩ කරන්න. හැබැයි හැඟීම් එක්ක ඒක ලේසිත් නෑ ළමයිනේ. අනික මොන විදිහෙ ඉඟි බිඟි තිබුණත් මේ හැටගෙ අම්මණ්ඩි කොල්ලව අරං ගිහිං තියෙන්නෙ කපටිකමෙන්නෙ. පිරිමින්ගෙ අල්ලන්න ඕන නිලේ ඒකි හරියටම දන්න නිසානෙ ඒ. ඔය වගේ වෙලාවට මේ පොඩි කොල්ලෙක් දුර දිග හිතන්නෑ. ඒක තමයි ස්වභාවය. මන්නං සන්දේශ්ගෙ පැත්තට ලොකු වරදක් පටවන්නෑ. කොලු කාලෙ කොල්ලෙක් ගෑනියෙක් දිහා බලනව කියන එක මහ දෙයක් නෙවෙයිනෙ. අපි කොල්ලව බේරගන්න ඕනෙ”

මණී දිගට ම කතා කරගෙන ගියා ය. ඇය කෙතරම් නම් ජීවිතය වටහා ගත් ගැහැනියක් දැයි ගෑනු ළමයින්ට සිතිණ. වැරදි කරන්නට ලිංග බේධය අදාල නොවේ. මිනිසුන් අතින් වැරදි සිදු විය හැකි ය. නමුත් ඒවා වැරදි බව වටහා ගත් කල නිවැරදි වීමටත් ඒ වැරදි යළිත් නො සිදු වීමටත්  මිනිසුන් වශයෙන් අප වග බලාගත යුතු වේ. එසේ ම වැරදිකරුවන් ට සමාව දී ඒ වැරදි අමතක කර දැමීමට තරම් මේරූ මනැස් අපට තිබිය යුතු ය. නො එසේ නම් මේ මිහි මත වැරදිකරුවන්ගෙන් පමණක් පිරී යනු ඇත.

සන්ධ්‍යාවේ ගෙවල් දෙකේ වැඩිහිටියන් එක් වී සිදු වී ඇති දේ ගැන සාකච්ඡා කළහ. අමාගී, සාන්වී හා රුසිරු ඒ සාකච්ඡාවට සහභාගී වූයේ නැත. සැබවින් එය තම තමන්ගේ මත ගැටුණු සාකච්ඡාවක් නොව සාම සාකච්ඡාවකි. සන්දේශ් යළි ගෙදර පැමිණිය යුතු බව මහානාම පවුලේ ඒකමතික තීරණය විය. පිරිමි පුතුන් ම සිව් දෙනෙකු ඉන්නා දෙමාපිය දෙදෙනෙකු වශයෙන් මහානාම යුවළ සිතුවේ තරුණ පිරිමි ළමයින්ගේ හැඟීම් සාධාරණීකරණය කොට ය. නමුත් දුරේශ් මල්වත්තගේ ඒ තීරණයට එකහෙළා විරුද්ධ වූයේ ය.

“නෑ මහා. එහෙම හැඟීම් වලට ඉඩ නොදී ඉන්න තමයි අපි බුද්ධිය වර්ධනය කරන්නෙ. ඉගෙන ගන්නෙ. සමාජය දිහා බලන් ඉන්නෙ. ඒ මොන දේ වුණත් සන්දේශ්ට තිබුණ නිධී මෙහෙම ගෙදරින් පිටවෙන්න හදනව කියලහරි වැඩිහිටියො දැනුවත් කරන්න. එහෙම වුණානං මේ දේවල් මේ තරං දුරදිග යන්නෙ නෑනෙ”

“අපෝ නෑ අංකල්. සන්දේශ් කළේ එක අතකට උදව්වක්. නිධී කියන්නෙ මොන වගේ ගෑනියෙක්ද කියල මං හරියට දැනගත්තෙ මේ සිදුවීම නිසානෙ. සන්දේශ්ට ගෙදර එන්න දෙන්න අංකල්. ඊට පස්සෙ අපි ඕක අමතක කරමු. කොහොමත් නිධීට ආයෙ අපේ ජීවිත වලට එන්න බෑ”

ඒ ගැඹුරු තියුණු තීරණය ආර්ය ගේ ය. ඔහු ආලින්දයෙහි සක්මන් කරමින් කතා කරනයුරු, හඬ පැහැදිලි නො වී ද අමාගී නෙතු හොඳින් විවර කරගෙන බලා සිටියා ය. මේ ඈ හොඳින් ඔහු දෙස බලන්නේ මතක කාලයකට පසු ය. ඉස්සර මූණේ හිනා පොදක් නැති කෙට්ටු උස කළු කොල්ලා දැන් ආකර්ෂණීය පිරිමි පෞරුෂයක් ඇති තැනැත්තෙකි. ඉස්සර ඔහු ඇස් කණ්ණාඩි පැළඳුවේ නැත. කණ්ණාඩි නිසා දැන් ඔහු ගේ පෞරුෂය වඩාත් තීව්‍ර ය. ඔහු කතා කරන්නේ හොඳින් සිතමින් නැවතිල්ලේ ය. ඒ කතා ලතාව දෙස නිවී සැනසිල්ලේ බලා සිටිත හැක.

කෙසේ වෙතත් දුරේශ් සිය තීරණය වෙනස් නොකළේ ය.

“සන්දේශ් අපිට වරදක් කළා. එයා ඒ වැරැද්ද තේරුං ගන්න ඕනෙ මණී. එයා ඒ වරදට පනිශ් වෙන්නත් ඕනෙ. ඒක නිසා එයාට මෙච්චර ඉක්මනට අපේ ගෙදරට ආයෙ එන්න බෑ ආශ් පුතා. ගෙයක් කියන්නෙ කොහොම තැනක්ද කියල එයා එළියෙදි ඉගෙනගනී. එතකොට ගෙදරට නියම වටිනාකමක් දෙයි. අද නැතත් එයා පවුල් වුණ කාලෙකහරි”

එය අවසාන තීන්දුව වූයේ ය. කිසිවෙකු ඊට එරෙහිව වදනකුදු බිනුවේ නොවේ. කෙසේ වෙතත් කාගෙ කාගේත් හදවත් වල වූ තුවාලයෙහි වේදනාවේ අඩුවීමක් දැනෙන්නට ගති. ඒ කියන්නේ තුවාල සුව වූවා කියන එක නොවේ. නමුත් මේ මඳ සහනයකි. මාරාන්තික වේදනාවේ තුනී වීමකි. අඩු තරමින් සන්දේශ් හිතා මතා ඔවුන්ට වරදක් කර නැත. අලුතෙන් ජීවිත වලට එක් වූ මිනිසුන් මොනවා කළත් අපට අමතක කළ හැක. පහසුවෙන් අත්හැරිය හැක. නමුත් කාලයක් තිස්සේ අපේ ජීවිත වල කොටසක් වී සිටි මිනිසුන් වරදක් කළා යයි සිතෙනා විට රිදෙනවා වැඩි ය. දැනෙනවා වැඩි ය!

 අශ්විනී දින ගණනාවකට පසු යළිත් ජීවිතය ගැන උනන්දුවකින් යුතුව පිබිද උදෑසන ඉහුම් පිහුම් කළා ය. සාන්වී ඇගේත් තාත්තාගේත් කාර්යාලීය ඇඳුම් මැද්දා ය. තේ හැදුවා ය. අමාගී නිසංසලේ සේපාලිකා මල් ඇහින්දා ය. නාන කාමරයේ කැඩපතින් බලාගෙන රැවුල බානා දුරේශ් ගේ මුහුණ මත ලා සිනහ රේඛාවක් ඇඳී නො තිබුණායි කිව නො හැක. කුණාටුව හෙමිහිට ඔවුන් ගේ ජීවිත වලින් පිටතට ගසා යමින් තිබිණ.

“අර මෝඩයට කියන්න හරිහමන් තැනක් බලල බෝඩ් වෙන්නයි කියල. තැන් තැන් වල ලැගල තවත් ගොං වැඩ කරන්නැතුව”

පිටත්ව යාමට පෙර දුරේශ් මොහොතකට නතර වී අශ්විනී ට කීවේ ය. ඇය සැනසුමකින් හිස සැළුවා ය.

“සල්ලි ඕනනං මගෙ කාඩ් එක ඇති අල්මාරි ලාච්චුවෙ”

“මං ළඟත් සල්ලි තියනව තාත්ති. මං මල්ලිට කතා කරන්නං”

නමුත් ඕ සන්දේශ් ට කතා කළා පමණක් නොවේ. බත් මුලක් ද බැඳගෙන ඔහු බලන්නට ගියා ය. අක්කා කෙනෙකුට මල්ලි කෙනෙකු දැනෙන්නේ එහෙම ය. අම්මා කෙනෙකුට පුතෙකු සේ ය. නගර මැද කුඩා උද්‍යාන බංකුවක් මත තබාගෙන ඕ සන්දේශ් ට බත් මුල කැව්වා ය.

“ආරක්ෂාව තියන තැනක කාමරයක් බලමු. හැබැයි මීට පස්සෙ ගොං අලිය ගොං වැඩ කරල තිබණොත් මේ අක්ක මැරුණයි කියල හිතාගත්තට කමක් නෑ හොඳද…”

“ඒත් අක්කෙ… නිධී මට පාඩුවෙ ඉන්න දෙයිද කියල මට බයයි”

“ඇයි එයා මක්කරන්නද… බල්ලොත් එක්ක ලැග්ගහම මැක්කොත් එක්කයි නැගිටින්න වෙන්නෙ කියල නොදැන නෙවෙයිනෙ තමුසෙ…”

මුව තද කොට පියා ඇය කියවෙන්නට ගිය දේවල් ගිලගත්තා ය. සන්දේශ් බිම බලාගත්තේ ය.

“එයා මොනා කරන්නද… එයා බැඳපු ගෑනියෙක්. බොරු කරල කොල්ලංව ගෙස්ට් හවුස් වලට අරං ගියා කියල එයාට කොල්ලො දෙන්න අපිට බෑ. හරි එයා කරන දෙයක් අපි බලාගමුකො. හැබැයි තමුසෙ ආයෙ අපේ ඇස් වහල වරදක් කළොත්නං මේ අක්කත් එදාට නෑ මල්ලි. අන්න ඒක මතක තියාගන්නව”

අශ්විනී යළි ගෙදර පැමිණියේ කාර්යාලයට යාමට පහසු වැදගත් ගෙදරක කාමරයක් මල්ලී වෙනුවෙන් වෙන් කරගැනීමෙන් අනතුරුවයි.

“කාල බීල ගෙදර සැපට ඉන්න බැරි ගායක් හැදුනනං දැං හම්බ කරන සල්ලි වලින් බෝඩින් ගාස්තුත් ගෙවල කාල බීල අනික් වැඩත් කරගෙන ඉන්නවකො. හැබැයි තමුසෙ මේ ගෙදරින් පිට ඉන්න නිදහස අයුතු විදිහට පාවිච්චි කරන්න හදන්නෙපා. මං ඇහැ ගහගෙන ඉන්නෙ මල්ලී..”

ඇය ඔහුගෙන් සමුගත්තේ එසේ කියමිනි. ඒ වෙලාවේ අශ්විනී ගේ ඇස් වල කඳුලක් දිළිසිණි. මල්ලීව එහෙම තනි කර එන්නට වීම ගැන ඇගේ ළය පැළෙන්නට එන රිදුමක් දැනිණ. නමුත් වෙන කරන්නට දෙයක් තිබණේ ද නැත.

එදා දවල්ට කෑම කැවීමෙන් පස්සේ ආයු අමාගිගේ කම්මුල් දෙකෙන් අල්වා ආදරණීය හුරතලයකින් ඉල්ලීමක් කළේ ය.

“අපි බබා කාමලේ දොයියමු”

ඔහු ගේ ඇස් මත වූ අහිංසක බව හින්දා ඇයට ඒ ඉල්ලීම ප්‍රතික්ශේප කරන්නට සිතුණේ නැත. නො එසේව ආර්ය ගේ නිදන කාමරයට යන්නට අමාගී ගේ කිසිදු කැමැත්තක් නැත. අනිත් අතට ඔහු ගෙදර එන්නට තව හෝරා කිහිපයක් තිබෙන නිසා ඈ එහි ගිය බව ඔහු දැනගන්නට විදිහක් නැත.

කාමරය අවුල් ජාලයකි. අඩු තරමින් උදේ නින්දෙන් පිබිදුණු පසු තවම ඇඳ ඇතිරිලි සකසා නැත. ආතරයිටිස් වේදනා හින්දා මණී පියගැට පෙළ නැග මතු මහලට පැමිණීමෙන් වැළකී සිටී. නිධී සිටි කාලයේ නම් ඇය පැමිණීමේ අවශ්‍යතාවයක් වූයේ ද නැත. තනිව මතු මහලේ වාසය කරන්නට ඇය කැමති වූ නිසා මහානාම පවුලේ අය ඔවුන්ගේ නිදහසට අත පෙව්වේ ද නැත. උදේ අවදි වූ විට වෙනදා වාගේ නිධී නැති නිසාවෙන් ආයු ආර්ය ට යහනෙන් පිබිදෙන්නට දෙන්නේ නැත. ඔහු අවදි වී නාන කාමරයට යන ටිකට බිළිඳා පිබිද හඬයි. එතකොට ආර්ය ට පුතු ළඟට ම වී ඉන්නට සිදු වේ. ඒ විදිහට කාලය ගෙවී යන විට ඔහුට කාර්යාලයට යාම සඳහා සූදානම් වීමට වන්නේ යුද්ධයක් කරමිනි. පොරවන රෙදි, ඇඳ ඇතිරිලි පමණකුදු නොව හැඳ සිටි ඇඳුම් හා තෙත සාළුව පවා අත හැරි තැන් වල එහෙම ම දමා යන්නට සිදු වේ. ආයේ ඔහු ට ඒවා නිරවුල් කරගන්නට සිදු වන්නේ හවස පැමිණි විටයි.

කාමරයෙන් පුස් ගඳක් පවා හැමුවේ ය. අමාගී ජනේල හැර දමා ඇඳ ඇතිරිල්ල අලුතෙන් සකසා කොට්ට ගසා යහන සැකසුවා ය. කිළිටි රෙදි එකතු කොට රෙදි කූඩයට දැමුවේ සෝදන්නට මණී ට ගිහින් දෙන්නටයි.

“චූටි බබෙක් දොයියනකොට බෙඩ් එක ලස්සනට තියෙන්න ඕනනෙ ඉතිං…”

ආයු යහනට පැන්නේ සතුටෙනි.

“සස්සනයි දැං”

“ඒකනෙ. දැං මැණික දොයියන්න”

“මාත් දොයියන්න. බබා දාල නන්න බෑ ඔන්න”

“මං යන්නෑ මගෙ මැණික දාල”

අමාගී සිඟිති පුතු තුරුලු කොටගත්තා ය. ආයු ඇගේ ගෙල වටා අතක් දමාගත්තේ ය. එහෙම තුරුලු වී නැලවිලි ගීයක් මුමුණමින් සිටියදී ඔවුන් දෙදෙනාට ම නින්ද ගොස් තිබිණ.

එදා ආර්ය කලින් කාර්යාලයෙන් පිටත් වූයේ ය. වැඩ ටික අවසාන වූ පසු ඔහු ට හිතුණේ පුතු වෙත යන එක හොඳයි කියා ය. මණී ද හවස කෙටි නින්දට වැටී සිටියෙන් ආර්ය ගේ මෝටර් රථය පැමිණෙන හඬ ඇසුණේ නැත. මුළු ගෙදර ම නිශ්චලත්වයක ගිලී තිබිණි. ආයු අමාගී සමගින් ඔවුන්ගේ ගෙදර නිදි ඇති යයි සිතමින් ආර්ය පියගැට පෙළ නැංගේ ය. කාමරය ඇතුළට ගිය පසු ය ඔහු ඈ දුටුවේ. අමාගී යහනෙහි ආයු තුරුලු කරගෙන නිදමින් සිටියා ය. උදේ හැඩි වූ කාමරය අස් කොට පිළිවෙලට තිබිණි. එසේ කරන්නට ඇත්තේ අමාගී වන්නට ඇතැයි ආර්ය ක්ෂණිකව නිගමනය කළේ ය. කාමරය පුරා දිවූ නෙතු යළිත් ඈ මත නතර විය. අමාගී ගේ ගවුම් සාය ඈ නිදනා ඉරියව්ව නිසා මඳක් ඉහළට එසවී සුසුුදු පාදයක් නිරාවරණය වී තිබිණ. ආර්ය හෙමිහිට ඒ ගවුම් සාය පහළට කළේ ය. සුවදායී නින්දක මඳ දුරක් ඇවිදගොස් සිටි අමාගී ගේ ඇස් හෙමිහිට විවර විය. යහන ළඟ ඔවුන් දෙස බලාගෙන සිටින ආර්ය දුටු ඕ වහා යහනෙහි හිඳගත්තා ය.

“ඔයා නිදියන්න. මං පහළට යන්නං”

කියමින් ආර්ය හැරුණේ ය.

“ලොකයිය ඉන්න. මං යන්නං. මට දැන් නිදිමත නෑ”

දනි පනි ගා ඇය යහනෙන් නැගිටගත්දී ආයු අවදි වූයේ ය.

“මා… නන්නෙපා මා…”

කුමක් කළ යුතුදැයි තත්පරයකටත් අඩු කාලයක් තුළ ඇය තීරණය කළ යුතුව තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here