ආර්ය නිර්වාන් මහානාම අමාගී ගේ අතේ මැණික්කටු සන්ධිය අල්වාගත්තේ තදිනි. සැබවින් එය රිදෙනා ඇල්ලීමකි. නමුත් අමාගී සවන්යා මල්වත්තගේ ට ඒ රිදුම දැනුණේවත් නැත. ඊට වැඩිය ඇගේ හිත රිදෙමින් තිබූ බැවිනි.
“මොනාද ආ ඔය කියවන්නෙ… මං මොකටද ඔයා ආයුට ලං වෙනවට අකමැති වෙන්නෙ… මේනකාව ආයු බලාගන්න ගත්තෙ එතකොට හැමෝටම පහසු නිසා. අම්මටත් අමාරුවක් නැති නිසා. ඔයා හැමදාම හැම වෙලේම ආයු බලාගනී කියල බලාපොරොත්තු වෙන්න බෑනෙ. එහෙම කරන එකත් වැරදිනෙ. ඔයාටත් වැඩ තියනව. ඒව ඇරගෙන ආයු බලාගන්න බෑනෙ. එහෙම දවසක අම්මට තනියම පුතා එක්ක නැහෙන්නත් බෑනෙ. අනික ඔයාගෙන් උදව් ඉල්ලන්න පුළුවං ලිමිට් එකක් තියනව. දැනටමත් ආයු නිසා අපි ඒ ලිමිට් එක පැනලයි කියල මල්ලිල නිතරම අනතුරු අඟෝනව. මං කළේ මේ වෙලාවෙ කරන්න ඕනමයි කියල හිතුන දේ. ඒකෙන් ඔයාගෙ හිත රිදෙයි කියල මං හිතුවෙ නෑ අමාගි”
ඔහු ගේ දීර්ඝ පැහැදිලි කිරීම නොසන්සුන් ලෙස දරා සිටි අමාගී, අසීරුවෙන් මුත් අත මුදාගෙන පහලට දිව ගියා ය. ඒ යත්දීත් ඇගේ දෑස් කඳුලු දිය ඇලි දෙකකට උල්පත තනමින් සිටියේ ය.
“මාගි”
ඈ දුටුවන රුසිරු අසුනෙන් නැගිටගත්තේ අමාගි ගේ කඳලු දුටු බැවිනි.
“ඇයි මේ අඬන්නෙ…”
අමාගී පිළිතුරක් නැතිව ම අතින් කම්මුල් පිස දා ගනිමින් ආලින්දය හරහා පිටතට ගමන් කළා ය.
“අඬනව… ඇයි ඒ…”
කියමින්, කෑම කාමරයේ සිටි ශාක්‍ය ද නිදන කාමරයට යමින් සිටි පූජන ද වහ වහා ආලින්දයට පිවිසියහ. එතකොටත් අමාගී ගෙදොරින් මිදුලට බසිමින් සිටියා ය. ඒ හඬවල් ඇසුණ නිසා ම ආර්ය පහළට පැමිණියේ ය.
“ඇයි ලොකු පුතා අර මාගි අඬ අඬ ගියේ…”
මණී ගේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට ආර්ය ට අවස්ථාවක් ලැබුණේ නැත. පූජන කඩන් පැන්නේ ය.
“අඬාගෙන යන්නෙ මොකද කියල අම්මට තේරෙන්නැද්ද ඉතිං… මනුස්සයෙක් අඬන්නෙ බැනල ගහල රිද්දුවහමනෙ. මෙයා මාගිට බණින්නැති”
“පිස්සුදෝයි”
ආර්ය ද තරමක් නො රිස්සුම් වූයේ ය. කොහොමටත් ඔහු පහළ මහළට පැමිණියේ ම ඔය චෝදනා එල්ල වෙන බව දැන ඒවාට පිළිතුරු දෙන්නට ය.
“මං මොකටද බණින්නෙ…”
“බැන්න හරි නැතා හරි මාගි ගියේ අඬාගෙනනෙ. මං කිව්වෙ නැද්ද ඕක වෙයි කියල… අන්තිමට වෙන්නෙ මාගි මේ ගෙදරට නැති වෙලා යන එක විතරයි”
ඒ ශාක්‍ය ය. ඒ කතාවට නම් ආර්ය ගේ කේන්තිය වඩාත් දැඩි වූයේ ය.
“ඉතිං මට මොනාද කියන්නෙ… මං එයාට මේ ගෙදරට එන්නෙපා කිව්වෙ නෑනෙ”
“තමුසෙ මොනා කිව්වත් කියල තියෙන්නෙ ඒ කෙල්ලට අඬාගෙන දුවන්න වෙන දෙයක්නෙ. කොහොමහරි අන්තිමට වෙන්නෙ එකම දේනෙ. අපිටත් මාගිව නැති වෙලා යන එක”
“ලොකු අයියෙ තමුසෙ නිධී නැති කරගත්ත. ඒකට අපි මුකුත් කිව්වෙ නෑනෙ. ඒක අපේ ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි අමාගි අපේ හැම දේටම ඇච්චි කාලෙ ඉඳන්ම ඉන්න කෙල්ල. ඒ කෙල්ලව නැති කරන්න දෙන්නනං බෑ හරිද…”
“නැති කරගන්න බැරිනං අල්ලල තියාගන්නව. මට මොකද…”
“ඔව් තමුසෙටනං මොකද…තමුසෙට කොහොමත් ගෑනු ඇලර්ජිනෙ”
“ළමයිනේ ඕක දැං නතර කරගනිල්ල”
තරමක් දැඩි හඬින් පටන් ගත්තාට වාක්‍යය අවසාන වන විට මණී ගේ හඬ බිඳී ගියේ ය.
“මොන කරුමයක්ද දෙයියනේ මේ ගෙදරට වෙලා තියෙන්නෙ… කාගෙ ඇස්වහක් වැදිලද… කාගෙ සාපයක්ද මේ… එකාට එකා පේන්න බැරුව ගිහින්නෙ ඒ ගමන. කවදාවත් නොතිබ්බ වචන හරඹ කරන්න අරගෙනනෙ ඒ ගමන..උඹලට මොන යකෙක් වැහිලද… ලොකු එකා ඉන්නෙ ගින්දරක කියල දන්නවනෙ. පොඩ්ඩක් ඒ ගින්න නිවාගන්නකල්වත් කුලල් කන්නැතුව හිටපල්ලකො. මේ වෙලාවෙ ඒ ප්‍රශ්නෙ විසඳගන්න සහයෝගයක් විතරයි උඹලගෙන් ඕනෙ. එහෙම දෙයක් නෑනෙ මෙතන. හැම එකටම කුලල් කාගන්නව”
මණී බෙරිහන් දුන්නා ය. සැබවින් ඇගේ පපුවට මේ දේවල් රිදුම් දෙනවා වැඩි ය. කාමරයේ යහන මතට වී කල්පනාවක නිමග්න ව සිටි උපුල් මහානාම පවා තිර රෙද්ද මෑත් කොට සාලයට එබුණේ මේ බැණ අඬගෑම නතර නොවෙන බවක් පෙනුණ නිසා ය.
“උඹලට ලැජ්ජාව කියල එකක් නැද්ද… රෙදි ඇඳන් නෙවෙයිද ඉන්නෙ… තවත් රටේ ලෝකෙ මිනිස්සු හිනස්සන්නැතුව ඉන්නවද ඔක්කොමල”
උපුල් ගේ විධානය දැඩි ය. තියුණු ය. ඔහු ගේ ඇස් වලින් ගින්දර රස්නයක් පිට විය. ආර්ය පියගැට පෙළ දිග දිව ගියේ ය. අනිත් අයියලා මල්ලිලා ද තම තමන්ගේ යහන් වලට පසුබෑහ. නමුත් මහානාම නිවසේ හැම හදවතක ම නො නවතින ඝෝෂාවක් විය. ඒ ඝෝෂාවේ හඬට ඔවුන් හැම කෙනෙකු තුළ ම වූයේ බියකි. හදවත විසින් ඝෝෂාවක් ලෙස එක දිගට නගනු ලබන ප්‍රශ්න වලට දෙන්නට පිළිතුරු ඔවුන් සතු වූයේ නැත.
ආර්ය සිටියේ සිදු වූයේ කුමක් ද කියා සිතා ගත නො හැකිව ය. අමාගී වෙතින් ඒ තරම් එඩිතර හැසිරීමක් ඔහු බලාපොරොත්තු වූයේ ම නැත. ඇය තවමත් ඒ ළමා විය මතකයේ තබාගෙන හිඳී. සැබවින් එ් කාලේ බටිති පුංචි කෙල්ලක වූ ඇය ඔහු ට නම් නො සලකා හළ හැකි තරම් සුළු දෙයක් වූ බව මතක තිබේ. කොහොමටත් ඔහු සම වයස් බාලිකාවන් ගැන වුව ඒ තරම් සැලකිලිමත් වූ කොල්ලෙකු නොවේ. ලැජ්ජාව ඊට ප්‍රධාන හේතුව වූ අතර ඔහු ලැජ්ජාව වසාගෙන ආඩම්බරකම මතුපිටින් තවරාගෙන සිටියේ ය. අමාගී සම්බන්ධයෙන් නම් තත්වය මඳක් වෙනස් ය. ළමා වියෙහි දී ඔහු ඇයට ඊර්ෂ්‍යා කළේ ය. අම්මාගෙන් මව් කිරි බොන සිඟිත්ත ඔහු ගේ කේන්තිය දැල්වූයේ ය. අමාගී ව සිය ජීවිතයෙන් ඈත් කරන්නට ප්‍රධාන හේතුව එය විය හැක. ඊට පස්සේ මල්ලිලා ට ඇය සුරතලිය වූයේ ය. ගෙදර හැම කෙනෙකුගේ ම ආදරය ද අවධානය ද සැලකිල්ල ද ඇය වෙත යොමු විය. පවුලේ වැඩිමලා වී ද ආර්ය අන් සියලු දෙනාට වැඩි අවධානයක් බලාපොරොත්තු වූයේ ය. ඉගෙනීමේ දක්ශතාවය නිසා ඒ අවධානය පවුල තුළදී ඔහු ට ලැබිණ. නමුත් ගෑනු ළමයෙකු නැති ගෙදර විශේෂිත වන්නට මාගි සමත් වූවා ය. ඇය දිනාගනිමින් හිඳිනුයේ ඔහු ට හිමි විය යුතු දේවල් ය යන ළද බොළඳ ඊර්ෂ්‍යාවෙන් මිදෙනා එක ආර්ය ට පහසු වූයේ නැත. ඇය ඔහු හඹා එත්දී නො සැලකිලිමත් වීමෙන් ප්‍රකට කළේ ඒ ඊර්ෂ්‍යාවයි. ඇගේ කොණ්ඩයෙන් ඇද, ඇයට පෑනෙන් ඇන, ඇයට ඔහු ගේ කිසිත් අල්ලන්නට නොදී, ඇය ළඟට ආවොත් පලවා හරිමින් රිදවූයේ ඒ ඊර්ෂ්‍යාව මතයි. තේරෙන කාලයේ දී අමාගි ඈත් වී සිටියා ය. ඈ ඔහු ගේ මූණවත් බැලුවේ නැත. ඒ වෙනුවට අනිත් සහෝදරයන්ට වඩ වඩාත් සමීප වූවා ය. ආර්ය ට ඈ දුරස් වී, ආගන්තුක වී, අමතක වී ගියේ ය. නමුත් අමාගී සියල්ල මතකයේ තබාගෙන හිඳ තිබේ.
ආර්ය ඇල්ලූ තැන මැණික් කටු සන්ධිය ළඟ රතු වී තිබිණ. ඔහු කොයි තරම් තදින් අත අල්ලන්නට ඇත්ද යන වගට ඊට වඩා සාක්ෂි අවශ්‍ය නැත. “යක්ෂයා” යි ඇය සිතින් බැන්නා ය. නමුත් ඒ පැල්ලම නො මැකී පවතිනවා නම් ඇය වඩාත් රිසි වූවා ය.
අමාගී උදයෙන් ම ගෙදරින් පිටත්ව ගියේ මහානාම පුතුන් ගේ ප්‍රශ්න මගහරිනු වස් ය. පුස්තකාලයට යාමටත් මිතුරියක හමු වීමටත් ඇති වග කියා ඈ පිටත් වූයේ සාන්වී හා දුරේශ් සමගින් ම ය. එතකොට මහානාම පුතුන් දුටුවත් බිය වන්නට දෙයක් නැත. ප්‍රශ්න අසන්නට එන්නේ නැත.
ආයු ගේ සුරතල් වදන් ගෙතුලින් ඇසිණ. එහි දිව ගොස් මොහොතකට ඔහු තදින් පපුවට තුරුලු කරගැනීමේ ලොකු ඕනෑකමක් ඇයට දැනිණ. නමුත් ඕ හිත තද කරගත්තා ය.
“හරි පාළුවක් දැනෙනව. යාළුවෙක් හම්බවෙලා ටිකක් කතා කර කර හිටියහම සතුටු හිතෙයි”
ඇය තමන් තුළ වන යමක් යටපත් කරගනිමින්, නැති දෙයක් මවා පෑමේ උත්සාහයක් දරමින් සිටියා ය. ඒ බව වඩාත් හොඳින් දැනුණේ දුරේශ්ටයි.
“සුදු පුතා…”
තාත්තා දුවගේ හදවතට කතා කළේ ය.
“සතුට කියල පිටින් හොයන්න දෙයක් නෑ. සතුට තියෙන්නෙ අපේ ඇතුළෙමයි. අපි හැම වෙලේම අපිව විශ්වාස කරන්න ඕනෙ සුදු පුතා. වෙන කෙනෙක් අපිව සතුටෙන් තියයි කියල බලාපොරොත්තු වෙන එක ලොකු මුලාවක් කියල දවසක දැනෙන්න ගන්නව. මිනිස්සු කෝටියක් අපිව වට කරගෙන හිටියත් තමන්ගෙ සතුට තියෙන්නෙ තමුන් ළඟ විතරයි. අපිට ඉන්නව කියල හිතන මිනිස්සුම දවසක අපිව අතාරිනව. එදාට දුක දැනෙන්නෙ අපි ගොඩක් තදින් අල්ලගෙන හිටියොත්. ඒක නිසා අපි බය නොවී ඉන්න ඕනෙ එක ම දේ තනිකම. බය නැතුව තනිවෙන්න පුතා. දවසක රිදෙන්නැතුව සතුට අපි ළඟම තියාගන්න පුළුවන් වෙන්නෙ එතකොට. මගෙයි කියල මිට මොලෝගන්න හැම දේම මගේ නෙවෙයි කියල තේරුං යන දවසක් එනව. එදාට තමුන්ට ඉන්නෙ තමුන් විතරයි. ඒක නිසා එළියෙං සතුට හොයන්න කාලෙ ගතකරන්න එපා”
බස් රියට ගොඩ වූ පසුවත් තාත්තා ගේ ඒ වදන් අමාගී ගේ පපුවෙහි පිළිරැව් දෙමින් තිබිණ. ඇය මිතුරියට කතා කිරීමට නොයා තනිව පුස්තකාලයට ගියා ය. පොත් දෙක මාරු කරගෙන එහෙම ම ගාලු මුවදොර හරහා යන බසයකට ගොඩ වූවා ය. බෝ වෙලාවක් ගාලු මුවදොර පිටිය දිග හුදෙකලාවේ ඇවිද ගියා ය. විටෙන් විට හිරු චණ්ඩ විය. යළිත් ඝණ වලාවන්ගෙන් වැසී හැංගිණි. හකුරු දැමූ සව් කැඳ එකක් මිල දී ගත් අමාගී බැමි පඩියක් මතින් වාඩි වී උණු සව් කැඳ තොලගෑවා ය. නිවෙන්නට හෝ ඝණ වීමට පෙර සව් බොන්නට ඇය කැමති ය. මුහුද දඟකාර ය. කිසි දා වයසට යන්නේ නැත. හැම මොහොතක ම නැවුම් වේ. හැම තත්පරයක ම සතුට සොයයි. වෙනකෙකු මතින් නොව තමන් විසින් සතුට නිපදවා ගනී. හරියට තාත්තා කීවා මෙනැයි ඇයට සිතිණ. පෙර දා රාත්‍රියේ පටන් කලබල වී තිබි හිත ටික ටික සන්සුන් වෙමින් තිබිණ. ආර්ය කුමක් සිතන්නට ඇත්දැයි ලැජ්ජාවක් ඈ තුළ ඇති විය. කලබල වූ විට සිදු වන්නේ සියල්ල අවුල් වීමයි. හැඟීම්බර වීමට වැඩිය බුද්ධිමත් වීම යහපත් වන්නේ එබැවිනි.
කොයිතරම් වෙලාවකට පස්සේ ද මන්දා ඇය ආපසු කොල්ලුපිටිය දෙසට පයින් ම ඇවිද එන්නට පටන් ගත්තා ය. සූර්යයා මුදුන් වී තිබුණෙන් ඇය කුඩය දිගහැර ගත්තා ය. වෙදාට ඈ මෙවන් ගමනක් එනවා නම් අක්කා කෙනෙකු, අයියා හෝ මහානාම පවුලේ ළමයෙකු නොමැතිව එන්නේ නැත. අද ඈ තනිව ය. නමුත් මොකක්දෝ ආත්ම තෘප්තියකින් ඇය නැහැවෙමින් සිටියා ය. කවුරුන් සමගින් හෝ මගට බට විට නො පෙනුණ දේවල් මේ තනි ගමනේ දී ඇයට පෙනෙයි. තනිකම යනු සැබවින් රස විඳිත හැකි සුවයකි!
අමාගී සිතාගෙන හිටියේ බම්බලපිටියට ම පයින් ඇවිද යන්නටයි. ගෙදරට වී හිඳීමේ දී සිරුරට ව්‍යායාමයක් ද නො ලැබෙන නිසා ඇවිදින එක හොඳ ය.
ඇය පසු කොට මඳක් ඉදිරියට ගිය රියක වේගය බාල විය. හැමදාම ඇසෙහි ගැටෙනා මෝටර් රථයක් වී ද අමාගී විශේෂයෙන් එය හැඳින්නේ නැත. එහෙම හැඳින ගැනීමේ උවමනාවක් තිබුණේ ද නැත. ඉඩ ඇති තැනෙක නතර වූ රියෙන් ආර්ය බැසගත්තේ ය.ඔහු දුටු බව සනිටුහන් කරමින් අමාගී ගේ රතදර මන්දස්මිතයකට ලෙහිණි. නමුත් ඕ වහා ඒ සිනහව පිපෙනු වළකා පොහොට්ටුවක් ලෙස ම චප්ප කළා ය.
“කොහෙද මේ යන්නෙ…”
ඒ වචන තුන අතරේ ප්‍රශ්නාර්ථයක් විය.
“ළඟට ආව”
අමාගී ඇඟට පතට නො දැනී කීවා ය. ආර්ය ගේ තොල් කොනක් සිනහවකට ඇද විය.
“ශාක්‍ය හරි පූජන හරී… ඉන්නවද…”
කියමින් ඔහු වට පිට බැලුවේ අමාගී තුළ කේන්තිය දල්වමිනි.
“මට ගමං යන්න බොඩි ගාඩ්ස්ල ඕන නෑ”
“හරි හරි එහෙනං නගින්නකො”
ඔහු රිය දොර විවර කරමින් ආරාධනා දෑසකින් ඇදෙස බැලුවේ ය. මේ නම් මියෙනා මොහොත තෙක් සපුරා ගත නො හැකි වෙතැයි ඇය සිතා උන් ආශ්චර්යයකි. ප්රාතිහාර්යයකි. නමුත් එහෙම ය කියා රියට නැගෙනවා ද? නැත්නම් ඇයටත් ඔහු ගේ අගයක් නැති බව පෙන්වමින් ප්‍රතික්ශේප කොට නික්ම යනවා ද? අමාගී මොහොතක් සිතෙහි දෝලනය වූවා ය.