රන් මල් දම් – 22


සති දෙකක් ගෙවී ගියේය. නිම්නාවී මන්දාරම්ගේ පොත් කාමරයට රිංගාගෙන පොත් කියවන්නට පුරුදුව උන්නාය. මන්දාරම්ටද ඒ බව දැනෙන්නට සාක්ෂි ඇය නොදැනුවත්වම ඉතිරි වූවත් මන්දාරම් ඒ වගක් ඇයට දැනෙන්නට හැරියේ නැත. ඒ තියා ඇය නිසා පිබිඳුණු නහර වැල් යළි අකුලා අඩපණ කර දමන්නටද ඔහු වහා උත්සුක විය. නිම්නාවී සමඟ වන කතා බස් හැකි තරම් චානකටම බාර කලේය. නිම්නාවී මඟ හරින්නට උත්සාහ කලේය. ගැහැණුන් තම ජීවිතයට අකැප වන වග යලි තිර කර ගත්තේය.
නිවසට ආ කුඩා මෝටර් රිය ලබාගෙන ඇත්තේ පානදුර ප්‍රදේශයේ අයෙකු බව සොයාගන්නට ඒ අතර වාරයේ හැකි විය. එහෙත් ආයතනයේ උන් මිතුරෙකු ලවා සොයා ගත් ජංගම දුරකතන අංකය ක්‍රියාත්මක තත්වයේ වුයේ නැත.
ඒ අතරේ මන්දාරම් යළි ස්වර්ණා රිය අනතුරට ලක් වූ මාර්ගය අසලට ගියේ අඩ නිවාඩුවක් ලබාගෙනය. අම්මා මේ පාරේ නිතර දෙවෙලේ ආවා ගියාදැයි සොයා ගත යුතුම බව ඔහු සිතුවේය. රිය අනතුරට ලක්වූ මාර්ගය අසල වු නිවසට යන්නට මන්දාරම් යළි තීරණය කලේය. එහි සිටිනා අය මාර්ගයෙන් යම් විස්තරයක් සොයා ගන්නට උත්සාහ කරමියි සිතුවේය. එහෙම ලේසියෙන් අතැර දමන්නට හැකි අයෙකු නොවේ, මේ තම අම්මා බව මන්දාරම් ඉතා තරයේ සිතුවේය.
දිනක් නිම්නාවී ස්වර්ණා සමඟ ඇගේ තරුණ කාලයේ තොරතුරු අසමින් උන්නාය. ස්වර්ණා ඇගේ පාසැල් ප්‍රේමය පිළිබඳව නිම්නාවී සමඟ තොරතුරු කීවේ ඉතා උනන්දුවෙනි. ඕ කුඩා කෙල්ලක තරම් උද්‍යෝගයක් පෑවාය. නිම්නාවීද ඇය වඩ වඩා ධෛර්‍යමත් කරමින් කතාවට හූ මිටි තැබුවාය.
” එතකොට මිස්ගේ ගම මීගමුවද ?…”
” ඔව් .. මම මීගමුවේ .. උසස් පෙළ කලෙත් එහෙන් …. පස්සේ මන්දාරම්ගේ තාත්තාව බැඳලා අපි කලුතර ආවා…. ආයේ මන්දාරම්ගේ තාත්තා නැති වුනාම අපේ අයියලා මාව මීගමුවේ එක්කගෙන ගියා … මන්දාරම් කැම්පස් අවුට් වෙලා ජොබ් එක කරනකොට තමයි අපි ආයේ කොළඹ ආවේ ….”
” එතකොට අර මහත්තයා ?…”
නිම්නාවී නිකමට ඇසුවාය. ඒ තමාද පාසැල් ගියේ කලුතර බව අමතක කරන්නට උත්සාහ කරමිනි. සෙත් වර්ණකුල නම් ඉළන්දාරියා මතුවේයැයි බිය තදින්ම දැනුණු බැවිනි. මන්දාරම්ගේ පන්තිවල සගයෙක් විය හැකි නොවේදැයි තදින්ම සිතුන බැවිනි.
ස්වර්ණා ගේ දෙනෙත් කඳුළින් පිරී ගියේය. ඕ උන්නේ ඒ කඳුලු කිසිවෙකු ඉදිරියේ ලෙහී වැටෙන්නට නොදීමය. එහෙත් නිම්නාවී රිදෙන තැන් හොඳින්ම දන්නා නිසා ඕ ස්වර්ණා කියවා ගත්තාය. ඇයද උන්නේ කඳුලු පිරෙන නෙතිනි.
” අනේ ..සොරි මිස් … මම නිකන් ඇහුවේ …. අනේ අඬන්නෙපා …ප්ලීස් ..”
” නෑ නෑ දරුවෝ … මේ දුකට අඬනවා නෙවෙයි .. දැන් මට දුකට ඇඬෙන්නේ නෑ … මේ සැනසීමේ කඳුලු .”
නිම්නාවී ඔහේ බලා උන්නාය. ඇය විඳින සැනසීම තමාට කවදා උදා වේදැයි සිතුවාය. පසන් හා විවාහ වෙන්නට සිදුවූ පසු තමාගේ ජීවිතයට කුමක් වේදැයි සිතුවාය. පෙර දිනයක්ද මල්ලි හ වූ කතාබහකදී මල්ලී පසන් තමාට නොගැලපෙන ආකාරය උදාහරණ එකින් එක ගෙන පාමින් පැවසූ අයුරු සිහි කලේය.
” ඔයාට දවසක එයාව මුණගස්වන්නම්කෝ මම … “
එක්වරම ස්වර්ණා පවසද්දී නිම්නාවී දෑස් විසල් කරගත්තාය.
” එයා ඔයාටත් හරි ආදරේ වෙයි පුතේ … අපි ආසාවෙන් උන්නේ දුවෙකුට …. අපි දුවෙක්ට නමකුත් බලලා තිබුනේ … .”
ස්වර්ණා එලෙසින්ද කීවාය. නිම්නාවී ස්වර්ණාගේ පිටි අල්ලා පිරිමැද්දාය. හිසද පිරිමැද්දාය. ඇයට මවුවත් කමක් දැණුණි. තමා මන්දාරම්ට ස්වර්ණා ගැන කේලම් කීවේ අපරාදේයැයි ඇයට සිතුනි. යලි කිසිවක් නොකියමියිද සිතා ගන්නට ඕ උත්සාහ කලාය.
” ජීවිතේ තමන්ට විශ්වාසයි කියලා දැනෙන දේවල් අවිශ්වාසයක් විදියට තමන්ට වද දෙනකොට ජීවත් වෙන එක හරිම අමාරුයි මිස්.. ඒ අතින් මිස් වාසනාවන්තයි…… දැන් මිස්ගේ විශ්වාසය මිස් ළඟ ඉන්නවනේ…. මිස්ට ජීවිතේ ඉස්සරහට හරි සතුටින් වගේම සැනසීමෙන් ඉන්න ලැබෙයි “
ස්වර්ණාගේ ජංගම දුරකතනය නාද විණි. ඕ නිම්නාවී දෙස බලා සිනාසුනාය. නිම්නාවී කාමරයෙන් පිටතට ගියාය. ඕ කුස්සියට වී ඇති තරම් හැඬුවාය.
” අනේ සෙත් …”
ඇය මේ පෙම් කරන්නේ හිතලුවකටද සිතෙන තරමට සෙත්ගේ රූප කායක්වත් ඇයට මතක නැත. එහෙත් දැන් දැන් හැම තැනකටම ඔහුම ගැලපෙන්නේය. ලතාට නොපෙනෙන්නට කඳුලු සෝදා ගත් නිම්නාවී සාලය අතු ගා දැම්මාය. මෙහෙ ආවාට පසු කරනවා විනා එවැන්නක් කරන්නට නිවසේදී ඉඩක්වත් තිබුනේ නැත. සියල්ල ඇය සිතන්නට පෙර කරන්නට තරමේ අය සේවයට සිටින්නේය.
නිම්නාවී ස්වර්ණාගේ ව්‍යායාම කෙරෙවූවාය. ලතා පිටව යෑමෙන් පසු ගේට්ටුව වසා දමා සාලයට වී උන්නාය. ස්වර්ණා උන්නේ අඩ නින්දක නිසා ඕ මන්දාරම්ගේ පුස්තකාලයට රිංගාගෙන එහෙ මෙහෙ ඇවිද්දාය.
ඒ අතරේ මන්දාරම් ජිනේන්ද්‍රගේ නිවස අසල නැවතී මෝටර් රියෙන් බැස්සේය. නිවසේ ගේට්ටුව අසල වූ සීනුව නාද කලේය. එවෙලෙහි ජිනේන්ද්‍ර ව්‍යාපාර කටයුත්තක් සඳහා පිටතට ගොස් නිවසර පැමිණියා විතරය. අවේලාවේ පැමිණියේ කවුරුන්දැයි සිතා ගන්නට නොහැකිව මෙන් ඔහු ගේට්ටුව විවෘ ත කලේ එතරම් ඕනෑ කමකින් නොවේය.
එහෙත් පැමිණ සිටින්නේ කවුරුන්දැයි වටහා ගන්නට ඔහුට වැඩි වෙලා ගියේ නැත. ජිනේන්ද්‍ර තිගැස්සුණේය. අදාල සිදුවීමෙන් මාසයක් පමණ ඉක්ම ගොස් ඇත. මොහු පැමිණ ඇත්තේ කුමකටද? … මන්දාරම් යළි සීනුව නාද කලේය. ජිනේන්ද්‍ර ගේට්ටුව විවෘත කලේය. මන්දාරම් ඔහු වෙත හිතවත් සිනහවක් පල කලේය. ජිනේන්ද්‍රද ඔහු එවෙලෙහි මන්දාරම් හඳුනාගත් බව පෙන්වමින් උණුසුම් සිනහවකින් පිළිගත්තේය. නිවස තුලට පැමිනෙන්නට කීවේය. මන්දාරම් නිවසට ඇතුලු වනවාත් සමඟම රෝද පුටුවක උන් කිසිවෙක් වහා සාලයෙන් නික්මුනේය. මන්දාරම් ඒ දෙස එතරම් විමසිල්ලෙන් බැලුවේ නැත.
” අපේ තාත්තා .. එයා වීල් චෙයාර් එකේ ඉන්නේ මාස කිහිපෙක ඉඳන්. පඩිපෙලින් වැටිලා.. කොහොමටත් තව කල් යනවා රිකවර් වෙන්න …”
මන්දාරම් හිස සැලුවේය.
” දවල්ට කාලද ?..”
ජිනේන්ද්‍ර විමසිලිමත් වන අතරේ ඇසුවේය.
” ඔව් මචං කාලා … මම ඔෆිස් ඉන්න ගමන් ආවේ ?…”
” ආයේ හදිසියේම ?…”
” අපේ අම්මාගේ ඇක්සිඩන්ට් එකේ ප්‍රශ්නේ විසඳුනේ නෑ බං ….”
” අඩෝ ….”
” අම්මා මෙහෙ ආවේ ඇයි කියන එකත් මට සෑහෙන ප්‍රශ්නයක් …”
මන්දාරම් නොදන්නා මිනිසා සමඟ යම් කාරණා කිහිපයක් හුවමාරු කර ගැනීමේ තීරණය ගෙන උන්නේය. මෙවෙලෙහි විශ්වාස කල හැකි අයෙකුගේ සහය සොයා ගැනීම අත්‍යාවශ්‍යය.
” මට තේරුන් නෑ …”
” අපේ අම්මා එහෙම තනියෙන් දුර යන්නේ නෑ බං… අපේ ගෙවල් කැලණිය ටව්න් එකට ටිකක් දුරින් .. ඒත් ටව්මට ගියත් අම්මා මට කියලා වාහනයක් දා ගන්නවා … අපේ අම්මා එහෙම ලොකුවට සෝශල් එක්ස්පෝස් තිබ්බ කෙනෙක් නෙවෙයි .. ආෆ්ටර් ඒලෙවල් මම රට ගියා ස්ටඩිස් වලට , ඒ ගිහින් අවුරුද්දකින් අම්මත් එහෙටම ගෙන්නගන්න පවා වුනා මට ….”
” එතකොට මේ එදා ඇවිල්ලා තියෙන්නේ උඹත් නොදන්න ගමනක්ද ?…”
” ඔව් මචං .. ඒ තියා අම්මා මෙහෙ ආව එක ගැන මම එයාගෙන් ඇහුවමත් මට සද්දේ දැම්මා කවදාවත් නැති විදියට .. හිතාගන්න බෑ ඒක ඉතින් ….”
” සංකීර්ණයි නේන්නම් ….”
” අපේ පවුලේ තව පරණ සිද්ධි වගේකුත් තියෙනවා. මට බයක් තියෙන්නේ අම්මා ඒ සිද්දී එක්ක හා වෙලාද කියලා …”
” එතකොට උඹේ තාත්තා ..?”
” එයා නෑ … මම ඕලෙවල්ස් කරලා ඉවර වෙන කාලේ එය සූසයිඩ් කරගත්තා, තවම අපි නොදන්න හේතුවකට … මට බය ඒ සම්බන්ධ යමක් ආයේ මතු වෙලාද කියලා …”
මන්දාරම් නොදැනුන හේතුවක් නිසාවෙන් ජිනේන්ද්‍ර විශ්වාස කරන්නට තීරණය කලේය.
අපේක්ෂා ගුණරත්න

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles