එකම එක හාදුවක් – 25

0
5258

ශාර්වරී ලිෆ්ට් එක බැස රෙස්ටුරන්ට් එක වෙත ගියේ කකුල් දෙක ගැහෙනවා කියල තේරෙද්දි නමුත් වේගයෙන් ය. තමන් යන ලිෆ්ට් එකේම අර ගෑණු ළමයත් යන්න ආවොත් තමන්ට ඇඬේවිද දන්නෙ නෑ කියන බය තමන්ගේ කකුල් දෙකට මෙච්චර වෙලා තිබ්බෙ නැති පණක් හොයාදුන්න බව ශාර්වරී හිත ඇතුලෙන් පිළිගත්තාය.

රෙස්ටුරන්‍ට් එකට එද්දිත් මධුර ඇවිත් උන්නේ නැති හන්දා තනියම කල්පනා කරන්නටත් වේගයෙන් ගැහෙන හදවතට වෙලා අරගෙන නිස්කලංක වන්නටත් ඉඩ දෙන්නටත් ශාර්වරීට ඕනවටත් වඩා වෙලාවත් ඉඩත් තිබුණාය. ඒත් හිත උන්නේ එහෙම ලේසියෙන් නිස්කලංක වෙන්න හිතාගෙන නොවේ. 

කටින් මොන දේ නොකිව්වත් හිතෙන් තමන් කොපමණක් නම් නෙවින් සේනාරත්න හා බැඳී උන්නාද කියන එක දැනගෙන උන්නේ ශාර්වරී පමණකි. ඔහු මොන ජාතියේ මිනිහෙක් උනත්, ඔහු තමන් හා කතා කරන්න පටන් ගත්තයින් පස්සේ තමන් වෙත වස්සවන්නට සැලැස්සුවේ හැබෑ ආදර වැස්සක් බව හිතන්නට තරම් තමන් මෝඩ වී තිබෙන බව හිත වඩාත් රිද්දන බව ශාර්වරී ඒ මොහොතේ තේරුම් ගනිමින් උන්නාය.

නෙවින් සේනාරත්න ලිෆ්ට් එකේ එන්ට්‍රන්ස් එකෙන් රෙස්ටුරන්ට් එකට ආවේ ඒ වෙලාවේය. ඒ දෙනෙත් අස්සේ රැඳී තිබෙන්නේ මහත් වේදනාවක සේයාවන් බව ශාර්වරී ඈත තියාම දුටුවාය. ඒත් “ඒ තියෙන්නෙ ඇත්තම වේදනාවක්ද නැත්තම් එයා මෙච්චර දවසක් කරා වගේ ඒකත් රඟපෑමක්ද කියලා කවුද දන්නේ?” කියා නොහිත ඉන්නට හැකියාවක් ශාර්වරීට තිබුනේ නැත. නෙවින් වේගයෙන් වේගයෙන් අඩි තියා තමන් දිහාවට ලංවෙන හැම පියවරක් පාසා හිත අස්සේ තියෙන වේදනාව වැඩිවෙමින බවත් ඒ වැඩිවෙන වේදනාව ඇස් අස්සේ කඳුලු ගංගාවක් එක්රැස් කරන බවත් ශාර්වරීට තේරුනේ මෙච්චර වෙලා වියලී තිබුන කම්මුල් දිගේ තෙතට කඳුලු ගලන්න පටන් ගෙන ඇති බව වැටහුණ නිසාවෙනි.

“අඬන්න එපා කියන්න මට අයිතියක් නෑ. ඒත් ප්ලීස් මම කියන කතාව අහලා ඔයා අඬනවනම් අඬන්න. ප්ලීස්” කියා නෙවින් කිව්වේ වටපිට බලා කවුරුන් හෝ මේ කතාව අහගෙන ඉන්නවද කියා විමසීමක් කරන ගමන් ය. මොන දේ උනත් මේ තමන්ගේ නවාතැනය. අනික් අතට ශාර්වරීගේ රැකියා ස්ථානයය. එහෙම එකේ මෙතන සද්ද බද්ද කර වැඩේ දෙල් කරගන්න එක තමන්ට වගේම ශාර්වරීටත් ප්‍රශ්නයක් වෙන්න පුලුවන් බව නෙවින් දැන උන්නේය.

ශාර්වරී උන්නේ ඒ හඬ ඔස්සේත් ඒ වචන ඔස්සේත් නිවෙමිනි. තමන් රැවටී තිබෙන්නට ඉඩකඩක් තිබෙන බව හිතේ එක පැත්තක් කිව්වද ඊට වඩා විශාලව ඒ වචන හිත නිවන්නට වගේම දුක දිය කර හරින්නට හේතුවක් වෙන බවද තේරුම්ගනිමිනි. 

“මං ඔයා වගෙ ලස්සනට ලියන්නවත්, හිතේ තියෙන දේවල් ලස්සනට රවුම් කරලා කියන්නවත් දන්න මිනිහෙක් නෙවෙයි. ඒ උනාට ඔය දැන් ඔයාගෙ ඇස් වලින් කඳුලු ගලන්නෙ මගේ හිතේ තියෙන හැඟීමම ඔයාගෙ හිත අස්සෙත් තියෙන හන්දා කියල මම දන්නවා.

ඒ නිසාවත්, අඩුම ගාණෙ ඒ නිසාවත් මං කියන කතාවත් අහන්න මැණික්. මං කියන කතාවත් අහලම ඔයා අඬනවනම් අඬන්න. මාත් එක්ක රණ්ඩු උනත් කමක් නෑ” නෙවින් හීන් සැරේ කවුන්ටරයෙන් එහා පැත්තේ හිටගෙන ඉන්න ශාර්වරී දිහාවට නැඹුරු වී කිව්වේ කාටවත් ඇහෙන්නේ නැති වෙන පරිදිය.

නෙවින් මොන දේ කිව්වත් ඒකට පිළිතුරු දෙන්න හයියක්වත් හැකියාවක්වත් ශාර්වරීට තිබ්බේ නැත. ඇස්වලින් කඳුලු වැක්කෙරෙන එකට එහයින් දැන් හිත කීරි ගැස්සී ඉකිබිඳෙන්නට යාවිය කියන බය හන්දාම ශාර්වරී නෙවින් කියන දේට හිස වැනුවා වින මුකුත්ම කිව්වේ නැත.

“ඔයා අදත් වැඩ ඉවර වෙන්න රෑ වෙනවද?” කියා නෙවින් අහද්දිත් ශාර්වරී කලේ “ඔව්” කියන්නට හිස වනන එක විතරය.

“වෙනදට වඩා ටිකක් කලින් එන්න පුලුවන්කමක් නැද්ද ම්ම්?”  කියා නෙවින් අහපු දෙවනි ප්‍රශ්නෙට ටිකක් විතර කටහඬ පැහැදිලි කරගන්න ශාර්වරීට පුලුවන් වෙච්ච හන්දා “පුලුවන්” කියා කියන්න හැකි විය.

“හරි එහෙනම් ඔයා වෙනදට වඩා ටිකක් කලින් එලියට එන්න. අතන කීල්ස් එක තියෙන්නෙ හංදියෙ, මම එතනට එන්නම්. ඔයාට පුලුවන්ද මෙතනින් එලියට යන්න කලින් මට මැසේජ් එකක් දාන්න. මම එන්නම් ටක්ගාලා. බයවෙන්න එපා මම ඔයාව වැරදි තැනකට එක්කරගෙන යන්නෙ නෑ. මට ඕන මේ හැමදේම ඔයාට හීන් සැරේ කියලා දාන්න විතරයි. අපි කාර් එකේ ගිහින් කොතන හරි නතර කරලා කතා කරලා ඉවර උනාම මම ඔයාව ගෙදරින් දාන්නම් හොඳේ” කියා නෙවින් කියද්දිත් ශාර්වරී කලේ බිම බලාගෙන ඔලුව නවපු එකය. 

“මං දැන් යන්නද?” නෙවින් ඇහුවේ ආයෙම වතාවක් කවුන්ටරයෙන් එහා පැත්තට එබී ශාර්වරීගේ වත වෙත නැඹුරු වීය.

ශාර්වරී ඒ කලේත් සද්දයක් නැතුව ඔලුව වනපු එකය. මුකුත් කියන්නේ නැතුව නෙවින්ට යන්නට දෙන්නට තිබුනා නම් හොඳ බව හිතුවත් ශාර්වරීටනෙවින් යන්නට මත්තෙන් කියන්න ඇත්තටම දෙයක් තිබ්බාය.

“යන්න කලින් පිහිදගෙන යන්න?” කියා ශාර්වරී කිව්වේ මොකක් ගැනද කියා හිතාගන්න බැරි කුහුල නෙවින්ගේ ලස්සන ඇස් අස්සෙන් ඕනවටත් වඩා හොඳට පෙනුනේය.

“මොකද්ද?”

“ඔයාගෙ බෙල්ලෙ ලිප්ස්ටික් ගෑවිලා” කියා ශාර්වරී අඬන්න ඔන්න මෙන්න කටහඬකින් කියද්දී නෙවින් පණ දාගෙන පිස්සෙක් වගේ අතෙන් බෙල්ල පිහිදගන්න ට්‍රයි කරේය.

“ලිප්ස්ටික් කොහෙද? කොහෙද?” කියා නෙවින් වල්ගෙ අල්ලන්න හදන බල්ලෙක් වගේ වටේ කැරකෙනවා වෙන දවසක දැක්කා නම් බඩ අල්ලගෙන හිනාවෙන්න ඉඩ තිබ්බත් මේ වෙලාවේ නම් හිනාවෙන්න තියා ශාර්වරී උන්නේ හුස්ම ගන්නවත් හිතාගන්න බැරුවය.

“අරය ඔයාගෙ බෙල්ලෙ එල්ලිච්ච වෙලාවක ගෑවෙන්න ඇත්තෙ” කියා මූණ නොරොක් කරගෙන ශාර්වරී කවුන්ටරයෙන් මෑත්වෙද්දී “ඔන්න ඔහේ හවසටම ඔක්කොම කියල දානවා” කියලා හිතාගෙන නෙවින් එතනින් නික්ම ගියේය.

නෙවින් ගිහින් පැය බාගෙකට විතර පස්සේ මධුර එද්දි ශාර්වරී කඳුලු හන්දා තෙත් වෙච්ච මූණ හෝදගෙන උන්නත් ඇස් දෙක රතුවෙලා ඉදිමිලා තිබිච්ච එක නම් හංගගන්න පුලුවන් වුනේ නැත.

“මොකෝ නංගි ඇඬුවඳ? ඇස් දෙක හොඳටම ඉදිමිලා. ඇඬුවද එහෙම නැත්තම් රෑ තිස්සෙ පාඩම් කරලා හරියට නින්දක් දැම්මෙ නැද්ද?” කියා මධුර ප්‍රශ්නය එක්කම උත්තරේ කටටම දුන්න හන්දා ශාර්වරී ඒ ඔස්සේම ඉතිරි කතාව කියා දාන්න හිතුවාය.

“එක්සෑම් ලඟයිනෙ අයියෙ. මේ ටිකේම රෑ වෙනකම් පාඩම් කරා. මාර නිදිමතයි. ඊටත් එහා නාහෙත් බර වෙලා මගෙ ඔලුව හොඳටම රිදෙනවා”

“අප්පා නිවාඩුවක් දාන්න තිබ්බනෙ කෙල්ලෙක්. නිවාඩු දෙකක් තියෙනව නේ ඉතිරිවෙලා?”

“බෑනෙ අයියෙ එක්සෑම් වලට යන්න නිවාඩු ගන්න ඒක ඉතුරු කරගන්න ඕනනෙ. ඒකයි මං ආවෙ. අනික අයියට තනියෙන් වැඩ කරගන්න පුලුවන්කමක් නෑනෙ. ඒකයි”

“පිස්සුනෙ, ඔයා ඔය අසනීප විත්තිය මට කිව්ව නම් මම කියනවා එන්න එපා කියලා. ඔයා එහෙනම් අද කලින් යන්න” කියා මධුර කියද්දී නම් මාලුවා බිලී පිත්ත වතුරට දාන්න කලින්ම ඇම ගිල්ල බව ශාර්වරිට තේරුණාය.

“අනේ කරදර වෙන්න එපා අයියෙ. මං වෙනදා වෙලාවට යන්නම්” කියා කපටිකමට කිව්වට මධුර තමන්ට අද කලින් යන්න දෙන බව දන්න හන්දාම ශාර්වරීගේ හිත අස්සේ තිබ්බේ අමුතුම කිතියකි. ඒ ජීවිතේ පලමුවතාවට කොල්ලෙක්ව හම්බුවෙන්න යන කෙල්ලකගේ හිත ඇතුලේ තියන අන්දමේ කිතියක් වෙන්නට හැකි බවත් ශාර්වරී ඒ ඇසිල්ලේම හිතුවාය.  

“නෑ නංගි මම අද එන්න පරක්කු වෙන හන්දා ඔය කලින් ආව එකේ ඔයාට පොඩ්ඩක් කලින් යන්න දෙන එක මොකද්ද? අනික අද මම හිතන්නෙ නෑ ලොකු සෙනගක් ඒවි කියලත්. ඒ ආවත් ඔයා අද මහ රෑ වෙනකම් ඉන්න උවමනාවක් නෑ. කලින් යන්න හොඳේ. ඔයා එක්සෑම් අස්සෙ ගෙදර වැඩයි මේ රස්සාවයි කොහොම කරනවද කියන්න මම දන්නෙ නෑ. වෙන කෙනෙක්නම් එක්කො ඉගෙනීම එහෙම නැත්තම් රස්සාව අත් ඇරලා දාල මෙලහකට. එහෙම එකේ ඔයා ඔච්චර මහන්සි වෙන එකේ මොකෝ මට බැරි ඔයාට කලින් යන්න දෙන්න” කියා මධුර හිනා වෙවී කියද්දී ඒ හිනාවට එක්කහු වෙච්ච ශාර්වරී බිම බලාගෙනම ඉතුරු වී තිබුන බීම වීදුරු ටික පිහිදා ට්‍රේ එක උඩින් තිබ්බාය.

දුරකතනය අතර අරගෙන “මම අද දහයට විතර යනවා මෙතනින්. ඒ වෙලාවට එන්න පුලුවන්ද?” කියා නෙවින්ට මැසේජ් එකක් දමන වෙලාවෙත් ශාර්වරීගේ හිත තිබුනේ අමුතු කිතියකින් ගැස්සෙමින් වුණත් විචිකිච්චාව හන්දාම තිගැස්සීය.

“නෙවින් කියන්නෙ මොන වගේ මනුස්සයෙක්ද කියන එක මම දැන් කීප වතාවක්ම මගේ ඇස් දෙකෙන් දැක්කා. එහෙම එකේ නෙවින් අද ඇවිල්ල මට කියන්න යන දේ මොක උනත් ඒක ඇත්තමයි කියලා සීයට සීයක් විශ්වාස කරන්න මට පුලුවන් කමක් තියෙනවද?

නෙවින් කියන්නෙ මොන වගේ මනුස්සයෙක්ද කියල දැන දැනම මම එයාට ලං වෙන එකෙන් වෙන්නෙ මගේ හිත මම දැන දැනම රිද්දගන්න එක නෙවෙයිද? 

අනික එයා කෙල්ලො එක්ක විතරක් නෙවෙයිනෙ මම දන්න විදියට ඉන්නෙ. එයා කොල්ලො එක්කත් එක්කත් ඉඳලා තියෙනම් මම මොකද්ද කරන්නෙ? මම ඒක එයාගෙන් අහන්න ඕනද නැද්ද?”

කියා හිත ප්‍රශ්න දාහක් අහද්දී උනත් ශාර්වරී නෙවින්ට හවසට මුණ ගැහෙමු කියන පණිවිඩය මැසේජ් එකක් ඔස්සේ යැව්වාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here