මල් බිඟුන් – 38

ආර්ය නිර්වාන් මහානාම සිටි නො සන්සුන් බව සහෝදරවරුනට නො තේරුණා නොවේ. නමුත් ඊට හේතුවක් ඔවුන් ට නිගමනය කළ හැකි වූයේ නැත. ඇතැම් විට ඒ අයියා මඳක් වැඩිපුර ඇල්කොහොල් දේහ ගත කර ඇති නිසා යයි ඔවුන් සිතන්නට ඇත.

තාත්තලා දෙන්නා සිටියේ ආර්ය ගැන හෝ අනිත් තරුණයන් ගැන අවධානයෙන් නොවේ. මධු විතක් පුරන්නට මේ වගේ අවස්ථාව ලැබුණ හැන්දෑවක් යනු දිව්‍යමය තිලිණයකි. වෙන්නට සිටින දෙමස්සිනාවරුන් නොහොත් ඉපැරණි මිතුරන් දෙදෙනා ට දොඩමළු වීමට කරුණු කාරණා උනන්නේ මෙහෙම වෙලාවකයි.

“සන්තෝසෙ ඩබල් වෙලා තියෙන්නෙ දුරේ. අපි දෙන්න මස්සිනාල වෙන්න යනව කියන සතුට දෙගුණ වුණා දුරේ ආපහු කොල්ලව ගෙදර නතරකර ගත්ත කියල දැනගත්තහම”

“මං හිතන්නෙ ආයෙ එහෙම වරදක් නොවෙන්න එයා ජීවිතේටම පාඩමක් ඉගෙන ගන්න ඇති මහා”

“ඇත්ත ඇත්ත. ගෙදර කියන්නෙ බිත්ති හතරකුයි වහලකුයි විතරක් නෙවේනෙ බං”

“නැත්තං. සමහර විට මහා… අපිට ගෙදරින් පිට වෙලා යනකල් මා…ර යන උවමනාවක් තියනවනෙ. හැබැයි ආපහු ගෙදර එන්න ඊට වැඩිය කොච්චර ඕන වෙනවද දවස් කීපයක් එළියෙ හිටියට පස්සෙ. ගෙදර ඇවිත් වැටුණහම දැනෙන සැනසිල්ල දිව්‍ය ලෝකෙවත් ඇති කියල මං හිතන්නෑ. ගෙදරක් කියන්නෙ ගල් සිමෙන්ති ඇස්බැස්ටෝස් ටිකක් නෙවෙයි මහා. ගෙදරක් කියන්නෙ හැඟීමක්. ඒක කොහොම හැඟීමක්ද කියල දැනෙන්නෙ අපිට ගෙදරක් නැති වුණාම”

“අපේ පොඩි උන් ටික නරක නෑ දුරේ. උංව හැදුවෙ අපිනෙ බං”

“නැතුව මචං. හැබැයි දැං පොඩි උං ලොකු වෙලා මහා”

“ඒත් උන් අපි අපි එක්කම ඉන්න හදන එක මාර සතුටක් බං. මාරම සතුටක්”

මලවත්තගේ ගෑනු ළමයින් ට කෑම කන ලෙස මණී බල කළා ය. ශාක්‍ය සමගින් ම කනවා යයි කියමින් සාන්වී මගහැරියා ය. ආයු ට කවා පොවා සෝදා නිදි කරවා ම කනවා යයි අමාගී මගහැරියා ය. පුතුන් හා සැමියා කෑම ගත් පසු කන්නට මණී ද කල් බැලුවා ය. ඒ අනුව කෑම කෑවේ අශ්විනී පමණකි.

 අමාගී ආයු සමගින් මතු මහලේ කාමරයට ගියා ය. අශ්විනී ගෙදර ගිය පසු ආර්ය කාටත් නො දැනෙන සේ මතු මහලට නැගුණේ ය. එතකොට අමාගී ආයු ව උකුලේ දමාගෙන බිත්තියට හිස හේත්තු කොට නෙතු පියාන සිටියා ය. ඈ සිටියේ දවල් කාලයේ ගමන් වෙහෙස නිසා ම සුවැති නිදි ලොවකට අවතීර්ණ වෙමිනි. දොර උළුවස්ස දෑතින් අල්වාගෙන මොහොතක් ඔවුන් දෙදෙනා දෙස බලා සිටි ආර්ය ගේ පිරිමි පපුව ස්නේහයෙන් ඇවිළිණි. ඇල්කොහොල් වල ක්‍රියාකාරිත්වය ඔහු වඩාත් එඩිතර කොට තිබෙන්නටත් ඇත. දෙවරක් නො සිතා ඇය වෙතට ඉක්මන් අඩියක් තැබූ හෙතෙම අමාගී ගේ නළල් තලාව මත සීතල හාදුවක් තැබුවේ ය. එ’ සිසිලෙන් ඇය හෙමිහිට නෙතු විවර කළා ය. එකෙනෙහි රෝස දෙතොල්  පෙති ලිහී සිනහ මල යන්තම් පිපී ආවේ ය. ආර්ය ගේ දෙතොල් ඊළඟට ඇගේ කම්මුල් පෙත්තක පතිත විය. ඇයට බීර සුවඳක් දැනිණ.

“දොයිමතයිද…”

“ම්හු”

ඇය මඳහසක් පෑවා ය.

“මං ඔයාගෙං උදුරගත්ත සතුටක් තියනවනං… ඒක සිය දහස් ගුණයකින් වැඩි කරල ආයෙ ඔයාට දෙනව”

“ඔයා අද ටිකක් වැඩියෙන් බීල ලොකයියෙ” කියා කියන්නට සිතීත් ඇය එසේ නො කීවා ය.

“කාල එන්න”

“පස්සෙ කන්නං”

“අපි කනකොට රෑ වෙයි. එන්නකො. ආයුව තියල එන්න. චූට්ටක් හරි කමු”

 ඔහු මේ තරමට දොඩමළු වී තිබෙනුයේ බීර මත නිසා වී ද ඒ සෙනෙහෙබර දොඩමළුවට අමාගී රිසි වූවා ය. ඔහු ඒ තරම් ඈ ගැන හොයා බලනවාට ආශා වූවා ය. අනිත් සියලු දෙනා මගහැර ඇවිත් එක ම එක හාදුවක් දී යන්නට ඔහු ට හිතුණ හිතුවක්කාර පිරිමි කමට ඈ වසඟ වූවා ය. අමාගී ආයු යහනේ   සතපවා එන ටිකට ඔහු ඇය වෙනුවෙන් බත් බෙදමින් සිටියේ ය.

“වැඩී ලොකයියෙ”

“කනනෝනෙ ගෑනු ළමයි හොඳට”

ඇය සසැලී ගියා ය. එහෙව් ආදරයක් ඈ මේ විඳිනවා ම ය. නමුත් කුමක්දෝ හදිසි බියක් මේ මොහොතේ සන්තානයට වැද හැඟුමන් පාරවයි.

“කාල ඒ පැත්තට එන්න”

කියා ඔහු ඇගේ අතට බත් පත දී යන විට මණී කෑම කාමරයට ආවා ය.

“බීලද ලොකු පුතා…”

අමාගී හ්ම් කියනු නොව හිස ඔසවා බැලුවේ හෝ නැත. කුස ගින්නක් මීට ටිකකට පෙර දැනුණේ වී ද දැන් දැනෙන්නේ කන්නට බැරි කමකි. වදෙන් පොරෙන් ඕ තමන්ට බත් කටවල් කිහිපයක් කවාගත්තා ය. ඒ අතරේ මණී සාරි ගැන මොන මොනවාද කියවූවා ය. ඒවාට කෙටි උත්තර සැපයූවාට ඒ කිසිත් අමාගී ගේ සිතේ රැඳුණා නොවේ.

ආර්ය හිතට දිරි ගෙන සිටියේ ය. අමාගී දෙගිඩියාවෙන් වගේ ගෙදර පැත්තට එන විට ඔහු දෑසින් හා හිසෙන් ඇයව කැඳවූයේ ය. ආර්ය ගේ ඇස් වල අමුතු එළියක් වේ. ඒ මඳ ඇල්කොහොල් මත නිසා ඇති වූවක් විය හැක. නමුත් ඔහු ප්‍රතික්ශේප කොට ඇතුළට යන්නට ඇයට ඕනෑ වූයේ නැත. යමක් සිදු වෙන්නට යනවා නම් එය වෙන්නට හැරිය යුතු ය. ජීවිතය වෙත පැමිණෙන්නට නියමිත දේවල් වලට එන්න හැරිය යුතු වේ. නතර වෙන්නට නියමිත දේවල් නතර වනු ඇත. නික්ම යන්නට නියමිත දේවල් නික්ම යනු ඇත. ඒ සදාතන සත්‍යයට වහං වීමේ විඩාව විඳිනවාට වඩා ඊට මුහුණ දීම පහසු ය. නමුත් ඇගේ හද ගැස්ම වේගවත් වී නො තිබුණා ම නොවේ.

ඒ වෙලාවේ ආර්ය සිටියේ ප්ලාස්ටික් පුටුවක් බංකුව ඉදිරියට ගෙන එහි හිඳගෙනයි. සාවියක ගේ ගැස්මෙන් යුතුව ඈ ඔහු සමීපයට වූවා ය. ආර්ය ඇගේ මුහුණ දෙස බැලුවේ ඔහු ව විශ්වාස කරනා ලෙස ට කෙරෙන ඉල්ලීමක් ඇතිව යි.

“දුරේ අංකල් මට දෙයක් කියන්න තියනව”

ඒ සුළු මොහොත තුළ සිදු වූ දේ අනුව ආර්ය එසේ කියත්දී දුරේශ් ගේ හදවත නුහුරු රිද්මයකින් ස්ඵන්දනය වෙන්නට ගති. ආර්ය දෙස බැලුවා විනා “කියන්න පුතා” කියා හෝ වචන වලින් කියන්නට ඔහු ට ඇසිල්ලකින් අමතක ව ගියේ ය.

“මං දන්නව මේක අපේ ගෙවල්  දෙකටම හුඟක් වැදගත් වෙලාවක්. ඕන්නං මේ කලබල ටිකක් අඩු වෙනකල් ඉඳල මට මේක කියන්න තිබුණ දුරේ අංකල්. මගෙ තාත්ත ඉස්සරහමයි මං මේ අංකල්ට කතා කරන්නෙ. එහෙම කල් ගත්තනං… ඩිවෝස් එකත් ලැබිල මං සම්පූර්ණයෙන් නිදහස් වෙලා. ඒක ඇත්ත. ඒත් එහෙම කල් ගන්න ගන්න තව ප්‍රශ්නයක් අලුතෙන් දලු දාල තියෙන්න පුළුවන්. ඒකයි අදම මේ ගැන කතා කරල ඉවර කරන එක හොඳයි කියල හිතුණෙ”

අමාගී සීතලෙන් සීත වී සිටියා ය. කසුන් ගේ මිතුරා ගේ යෝජනාව ස්ථිර වෙන්නට පෙර ආර්ය මේ ගැන තාත්තා සමග කතා කරන එක හොඳ යයි කිහිප විට සිතී තිබුණ ද තව ටිකක් කල් ගන්නට තිබුණා නම් යන සිතිවිල්ල බියක් සේ දැන් ඇය වෙව්ලුවයි.

“අංකල්ගෙ හුස්ම ටික සුදූ කියල මං දන්නව. අංකල්ගෙ හුස්ම පරිස්සං කරන්න මට පුළුවං අංකල්… හැබැයි ඒ ගැන අංකල්ට මාව විශ්වාස කරන්න පුළුවන්නං”

එසේ කියා ආර්ය හිස නගා අමාගී දෙස බැලුවේ ය.

“ඉස්රහට එන්න තියන ලස්සන දවස් ටිකේ මේ කෙල්ලට හිතේ නිදහසෙන් ඉන්න තියෙන්න ඕන නිසයි මං මේ වෙලාවෙ අංකල් ට මේක කියන්න හිතුවෙ. මේක වැරදි යෝජනාවක්නං මට සමාවෙන්න දුරේ අංකල්. ඒ වගේම අංකල් මේකට අකමැති වුණත් අපේ ගෙවල් දෙක අතරෙ බැඳීම් නැතිවෙන්න ඕන නෑ”

ආර්ය හැරුණු විට කිසිවෙකු කතා කළේ නැත. හ්ම් කීවේවත් නැත. ඔහු අමාගී දෙස බලා “දැං ඔයා ගිහින් දොයියන්න” කීවේ ය. ඒ මොහොතේ සමස්ථ අවකාශය පිරී තිබුණේ ආදර අංශු වලිනි. අමාගී ට ඕන වුණේ තවත්, තව තවත් එතැනට වී ඉන්නටයි. ඊළඟ මොහොත උදා වෙන්නේ කොහොමද කියා දැනගන්නටයි. ඒ ආදරය උහුලා ගන්නට බැරිව ඇගේ දෑස් තෙත් වීමට අරෑඳුවත් ඇය හෙමිහිට හැරී ගේ දෙසට ඇවිද ගියා ය.

එතෙක් ලෝකය නතර වී තිබී ඇති බව කාටත් දැනෙන්නට ගති. බංකුවට එපිටින් පුටු වටකොටගෙන සංවාද කරමින් ද බීර වල තිත්ත රසය අත්විඳිමින් ද සිටි තරුණ කැළ පවා මුළුමනින් බංකුව දෙසට සවන් හරවාගෙන සිටි බව පෙනෙන්නට තිබිණ. හැම හදවතකට ම දැනුණේ මහත් බරකි. කිසිවෙකු හට ආර්ය ගේ යෝජනාව ගැන එකවර අදහසක් පළ කළ නො හැකි ය. එදා ශාක්‍ය සාන්වී ගැන යෝජනාව ගෙන ආ වෙලාවේ මෙන් එක පැහැර සතුටු විය නො හැකි ය. එබැවින් හැම මුහුණක් විපිළිසර වී තිබිණ.

“ආර්ය. පුතා මේ ගැන කෙළින්ම මාත් එක්ක කතා කරපු එක ගැන මට සතුටුයි”

ඒ වෙලාවේ පැතිර තිබූ දරුණු නිශ්ශබ්ධතාව බිඳුණේ දුරේශ් ගේ කල්පනාබර සන්සුන් හඬිනි.

“ඒත් මට ටිකක් කල් දෙන්න පුතා. අපි වෙන වෙලාවක මේ ගැන කතා කරමු. ම්…”

   ආර්ය බිම බලාගෙන මඳක් එතැන හිඳ තරුණයන් වෙතට ආවේ ය. සන්දේශ් ගේ මුහුණේ ඔහු දුටුවේ කම්පනයකි. නමුත් සන්දේශ් ආර්ය ගේ උරහිසට තට්ටුවක් දැමුවේ ය.

“දැං කෑවනං හොඳයි වගේ නේද…”

යනුවෙන් විමසමින් රුසිරු අසුනෙන් නැගිට ගත්තේ ය.

“ඔව් ආ…බඩගිනියි”    

“යං එහෙනං කාල එමු. යමං සන්දේශ්”

සන්දේශ් ගේ කරට අතක් දමාගෙන පූජන ඉස්සර වූයේ   ය. අනිත් තරුණයෝ ඒ පසුපස මහානාම ගෙදරට ඇදුණහ. යන්තම් බත් ටිකක් අත පත ගෑවාට කාටවත් ඒ වෙලාවේ කෑමක අවශ්‍යතාවයක් දැනුණේ නැත.

“මොනා කියන්නද කියල මට තේරෙන්නෑ දුරේ. පුළුවන්නං අපිට සමාවෙයං මචං”

මහානාම බංකුව මතින් නැගිටගනිමින් කතා කළේ මඳ අපහසුතාවයකිනි.

“පිස්සුද මහා… සමාව ඉල්න්නවත් සමාව දෙන්නවත්             කොහෙවත් මුකුත් වරදක් වුණෙ නෑනෙ. අපි හෙමිහිට ඕව ගැන කතා කරමුකො… ම්…”

දුරේශ් සිනහවක් නගා ගත්තේ ය. නමුත් එය පවත්වාගැනීම අසීරු බවක් ඔහු ට හැඟිණ.                           

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles