එකම එක හාදුවක් – 33

0
4884

නෙවින්ගේ වාහනය පිරී තිබුනේ සීතලම සීතල වායුවකිනි. ඒ කාරයේ වායු සමීකරණ යන්ත්‍රයෙන් එන්නක්ද එහෙම නැතිනම් දෙදෙනා අතර වූ සීතල නිහඬතාවය නිසා ඇති වූවක්ද කියා හිතාගන්න බැරි උනත් ශාර්වරී උන්නේ තමන් කතාව පටන් ගන්න ඕන කොතනින් කොහොමද කියා හිතාගන්න බැරුවය.

නෙවින් උන්නේ වාහනයේ සුක්කානම කරකවමින් එක එල්ලේ ඉදිරිය දෙස බලාගෙනය. කිසිත් නොකියා මුව තද කොට පියාගෙනය. පැත්තට පෙනෙන නෙවින්ගේ මුහුණ මෙච්චර ලස්සන බව ශාර්වරී තේරුම්ගත්තෙත් ඒ වෙලාවේය.  ඒ පැත්තට පෙනෙන කම්මුලක් අල්ලා දැනෙන්නේ කොහොමද කියා බලන්න හිතුණත් නෙවින් ඉන්නේ තමන් එක්ක තරහෙන්ද නැද්ද කියා දන්නෙ නැති හන්දා එහෙම කරන්න හිතට බයය.

ශාර්වරී කට අරින්න හිතුවේ ඒ සීතල නිහඬතාවය දරාගන්න බැරිම තැනකය. මෙහෙම දෙන්නා නිහඬව ඉන්න නම් හම්බුවෙච්ච එකත් අපරාදෙ කියා හිතෙන හන්දාම එහෙම අහන එක හොඳ බව ශාර්වරී හිතුවාය.

“ඔයා කතා කරන්නෙ නැතුව ඉන්නෙ මාත් එක්ක තරහෙන්ද?” කියා ශාර්වරී අහද්දී නෙවින් කලේ හීන් සැරේ ඇස් බැල්මක් ශාර්වරී වෙතට පා කර හිනාවෙන එකය.

“මරු එක්කෙනා අහන්නෙ”

“ඇයි?”

“ඇයි කියන්නෙ? ඊයෙ රෑ කතා කර කර ඉඳලා එකපාර ෆෝන් එක කට් කරලා දාලා, මගේ මැසේජස් මිස්ඩ් කෝල්ස් කිසිම එකකට රිප්ලයි නොකර ඉඳලා දැන් මගෙන් අහනව මම තරහද කියල.

මං තරහා නම් මං එන්නෙ නෑනෙ ඔයාව අරගන්න නේද? ඔයා මාත් එක්ක තරහෙන් ඉන්නවා කියලා හිතල තමයි මම කතා කරේ නැත්තෙ?” 

“නෑ මං හිතුවා මං ඊයේ ෆෝන් එක කට් කරපු එකට ඔයා තරහෙන් ඉන්නෙ, ඒකයි මාත් එක්ක කතා නොකර ඉන්නෙ කියල. අයෑම් සොරි, මම වැරදියි ඊයෙ එහෙම කල එක. ඔයා කිව්ව දේ හරි මම කලබල වෙනවා වැඩි තමයි හැමදේකටම. ඒ උනාට ඔයා කිව්ව දේ එක්ක…” කතාව සම්පූර්න කරන්න උනේ නැත්තෙ උකුල උඩ වැටී තිබුණ තමන්ගේ අත අල්ලා ගෙන අනතුරුව සුමුදුවට ස්පර්ශ කරන්න නෙවින් එක් අතකින් සුක්කානම කරකවන ගමන්ම අනෙක් අත තමන් දිහාවට යොමු කල හන්දාමය. 

“දැන් ඒක ගැන කතාකරන්න එපා, අපි ගිහින් කතාකරමු. ඔයා සාමාන්‍යයෙන් ලෙක්චර්ස් ඉවර වෙලා ගෙදර යන වෙලාවට මම ඔයාව ගෙදර ගිහින් දාන්නම් බයවෙන්න එපා. හැබැයි දැන් ඔන්න අපිට පොඩි හැංගිමුත්තන් සෙල්ලමක් කරන්න තමයි තියෙන්නෙ” කියාගෙන නෙවින් සුක්කානම කරකවා වාහනය කාල්ටන් අපාර්ට්මන්ට්ස් වල රිය ගාලට දැම්මේය. අතන මෙතන නවතා ඇති වාහන කිහිපයක් පසු කර ගොස් නෙවින් තමන්ගේ රිය නතර කලේ තමන්ගේ අපාට්මන්ට් එකේ නම්බර් එක වෙනුවෙන් වෙන් කර තිබුණ පාකින් ස්ලොට් එකේය. නෙවින් කාරෙකෙන් බැස්සේ ශාර්වරීට “ඔයා පොඩ්ඩක් ඔහොමම ඉන්න” කියාය. නෙවින් කාර් එක තිබ්බ තැනින් එහාට ගොස් නොපෙනී යන තුරුත් ශාර්වරී එක එල්ලේම බලාගෙන උන්නේ ඔහුගේ රුව දිහාවමය. 

කාටවත් පේන්න, කාගෙවත් ඇහැට හසුවෙන්න, නරක නාමයක් අහගන්න පුලුවන් විදියට ශාර්වරීව උඩ තට්ටුවට එක්කරගෙන යන්න නෙවින්ට උවමනා උනේ නැත. තමන් මේ අපාට්මන්ට් එකට කිසි ගාණක් නැතුව කෙල්ලො හෙන තොගයක් අරගෙන ආව එක ඇත්තක් උනත් ශාර්වරී ඒ කෙල්ලන් සියල්ලට ඉහලින් තමන්ගෙ හිතෙත් ජීවිතයෙත් රැඳී ඉන්න කෙල්ලෙකි. එහෙම කෙල්ලට අනිත් කෙල්ලන්ට සලකපු විදියට සලකන්න නෙවින්ට උවමනා නැත. සතියෙ දවසක දහවල් කාලය නිසා මේ අපාට්මන්ට්ස් වල ගෙදරටම වී ඉන්න කාන්තාවක් හෝ වර්ක් ෆ්‍රොම් හෝම් කරන කෙනෙක් මිස ලොකු පිරිසක් මේ වෙලාවෙ මෙහි රැඳී නැති එක හිතට සතුටකි.

අපාට්මන්ට්ස් වලට යන්න පුලුවන් විදියට සකසා තිබුන ලිෆ්ට් එකේ කවුරුවත් නැති බව තහවුරු කරගත් පසු ආයෙ වාහනය වෙත ආ නෙවින් ශාර්වරීව එක්කරගෙන වහ වහා ලිෆ්ට් එක වෙතට ගියේය. තමන්ගේ අපාට්මන්ට් එක තිබෙන තට්ටුවේ අංකය සහිත බොත්තම එබූ නෙවින් තමන්ට අඩි කිහිපයක් පල්ලෙහයින් පිපී ඉන්න ශාර්වරී දිහාව බැලුවේ හීන් හිනාවක් එක්කය. ලිෆ්ට් එක ඇතුලේ සවි කර තිබෙන කණ්ණාඩියෙන් තමන්ගේ ප්‍රතිබිම්බය පෙනෙන එකෙන් දෙනෙත් ගලවා ගන්නට මෙන් ශාර්වරී උන්නේ බිම බලාගෙනය.

“ඇයි බිම බලාගෙන ඉන්නෙ?”

“මට කණ්ණාඩි වලින් මගේ රූපෙ පේන එක ටිකක් අවුල් වගේ. ඒකයි”

“ඇයි ඒ?”

“අනේ මන්දා මට නිකන් මං කැතයි කියල හිතෙනවා”

“පිස්සුනේ” කියන ගමන් ඈතට වී උන්නු ශාර්වරීව තමන්ගේ තුරුලට ඇද ගත්ත නෙවින් “අපි දෙන්න ගැලපෙනවා නේද?” කියා ශාර්වරීගෙන් අහද්දී කණ්ණාඩියෙන් පේන තමන්ගෙත් නෙවින්ගෙත් ප්‍රතිබිම්බය දිහා නොබල ඉන්න ශාර්වරීට නොහැකි විය. ඒ පේන ප්‍රතිබිම්බය ලස්සන නමුත් ඇත්ත ජීවිතේ සමාජයේ දහසක් දෙනෙත් සැරයන් අබියස තමන්ගේත් නෙවින්ගේත් රූපය කෙතරම් ලස්සනට පේනවද කියන ප්‍රශ්නය හිතෙන් අහන්නෙ නැතුව ඉන්න ශාර්වරීට පුලුවන් උනේ නැත.

ටිං ගාන හඬින් ලිෆ්ට් එක අදාල තට්ටුවට ආ පසුවත් නෙවින් ලිෆ්ට් එකෙන් එලියට යද්දී ශාර්වරීගේ ඉණ වටා රැඳිච්ච අත අත හැරියේ නැත. ශාර්වරී උනේ නෙවින්ගේ තුරුල සුවඳ බවත්, ඒ සුවඳ සුවය දෙන බවත් හිතමින් ය.

“වෙල්කම් ටු මයි අපාට්මන්ට්. කවදහරි මීට වඩා ලස්සන විදියකට ඔයාව වෙල්කම් කරනකම් අදට මේ විදියට වෙල්කම් කරන්නම්” කියා අපාට්මන්ට් එක ඇතුලට ගොස් දොර වහද්දිත් ශාර්වරී කලේ හීනියට හිනාවෙච්ච එක විතරය. හිත තිබුණේ අමුතු ආකාරයකට ගැහෙමිනි. ඒ ගැස්ම අස්සේ බයකුත් ආශාවකුත් කැලතී තිබෙන බව ඇත්තකි. තමන් ඒ බයට හිස නවා මෙතනින් පිටවිය යුතුද? එහෙම නැත්තම් ආශාවට හිස නමා මෙහෙමම රැඳී හිඳිය යුතුද කියන විචිකිච්චාව එක්කම ශාර්වරී මෙච්චර වෙලා කරේ දාගෙන උන්නු බෑග් එක සෙටිය මත තිබ්බාය.

“ඔයා දවල්ට කාලා නෑනේ? මොනවද කන්නෙ?” කියාගෙන නිදන කාමරේ හිඳ මෙච්චර වෙලා ඇඳගෙන උන් දිග කලිසම සහ කමිසය ගලවා දමා කොට කලිසමක් සහ ටී ශර්ට් එකක් ඇඳගෙන නෙවින් පැමිණ අසනතුරුත් ශාර්වරී උන්නේ බිත්තිවල එල්ලා තිබෙන නෙවින්ගේ සහ ඔහුගේ පවුලේ, හිත මිතුරන්ගේ ජායාරූප දිහා බලමිනි.

“ඔයා ඔයාගේ තාත්තා වගේ නේද?” 

“ඔව් අපේ තාත්තා හැබැයි මටත් වඩා උසයි. ලොකු තාත්තා ඊටත් වඩා උසයි”

“අම්මෝ එහෙමද? මට හිතාගන්න බෑ ඔයාට වඩා උස මිනිස්සු ඉන්නවා කියලා. මූණ තාත්තා වගේ වුනාට ඔයාගෙ ඇස් අම්මගෙ වගේ”

“ම්ම් එහෙමද? මට කවදාවත් එහෙම හිතිලා නෑ. ඒක නෙවෙයි ඔයා මොනවද කන්නෙ? මම හදලා දෙන්නම්. චිකන් තියෙනවා, එග්ස් තියෙනවා. බත් කනවනම් බත් හදලා දෙන්නම්”

“ඔයාට උයන්න පුලුවන්ද?”

“ශේප් එකේ පුලුවන්. කියන්නකො ඉතින්”

“මට දැන්ම බඩගිනි නෑ. ඔයා කන දෙයක් ඔයා කන වෙලාවට කන්නම්”

“එල, මම බත් එක රයිස් කුකර් එකේ තියලා චිකන් එක වතුරෙ දාලා එන්නම්. ඔයා එතකන් අතන පොත් තියෙනවා ඕන නම් අරගෙන කියවන්න”

“මම එන්නද කිචන් එකට?”

“අයියෝ එන්න. ඔයාට මහන්සි ඇති කියලා මම හිතුවෙ” කියාගෙන කුස්සිය පැත්තට යන නෙවින් පසුපසින්ම ඒ පැත්තට පියවර තබන අතරවාරයෙත් ශාර්වරී කලේ මේ අපාට්මන්ට් වල තමන් මෙච්චර දවසක් දැක තිබුනෙ නැති අංග හොඳින් බලන ගමන් ය.

“නෙවින්….” 

“ම්ම්ම්ම්”

“එදා මං අහපු ප්‍රශ්නෙට ඔයා ඇත්තටම උත්තරයක් දෙනවද?”

“මොන ප්‍රශ්නෙද?”

“ඔයාට මට ආදරේ කරන්න හේතුවක් නෑ නේද අහපු එකට”

“ආදරේ කරන්න අපිට ඇත්තටම හේතුවක් ඕනද? ම්ම්ම්. මං මීට කලින් සිරාම ලව් කරපු ගර්ල් කෙනෙක් හිටියා කියල මම ඔයාට කිව්වනෙ. කවුරුහරි මගෙන් අද ඇවිල්ලා ඇහුවොත් ඇයි මම එයාට ආදරේ කලේ කියල මට අදටත් ඒකට දෙන්න උත්තරයක් නෑ. එයාව අතෑරියෙ ඇයි කියල ඇහුවොත් දෙන්න නම් මට උත්තර තියෙනවා. ඔයාටත් මට කියන්න තියෙන්නෙ ඒකයි.

මං ඇයි ඔයාට ආදරේ කියල ඔයා ඊයෙ අහද්දිත් මට ඔයාට ආදරේ කරන්න හේතුවක් නෑ කියලා මම කිව්වෙ ඒකයි. මං ඔයාට ආදරෙයි. මොන ප්‍රශ්න ආවත් මට ඒක ඔයාව අතෑරගන්න, නැතිකරගන්න හේතුවක් කරගන්නෙ නෑ කියල මට පොරොන්දු වෙන්න පුලුවන්. මට මෙහෙම කතාකරලා පුරුදු නෑ ශාර්වරී. මම කිව්වනෙ එලියෙන් මම කොච්චර තරුණ පාට උනත්. ඒකත් මම මේ ඩයි එහෙම කරන නිසා තමයි මගෙ කොණ්ඩෙ එහෙම සුදු කෙස් ගස් ඔයාලාට පේන්නෙ නැත්තෙ. මගෙ සුදු කෙස් තියෙනවා. ඔයා ඇත්තටම මට අංකල් කියල කතා කරන්න ඕන වයසක තමයි මම ඉන්නෙ. ඒ නිසා අවුරුදු විසි ගණන්වල ඉන්න පොඩි කෙල්ලෙක් බලාපොරොත්තු වෙන විදියෙ මාරම රොමෑන්ටික් ප්‍රේමවන්තයෙක් වෙන්න මට හැම වෙලාවෙම බැරිවෙයි. අපි කොච්චර එකිනෙකාට ආදරේ උනත් අපි දෙන්න අතරෙ ලොකු ජෙනරේශන් ගැප් එකක් තියෙනවා. 

අවුරුදු විසි ගණන්වල කෙල්ලෙක් ආදරේ කරන කෙනාගෙන් බලාපොරොත්තු වෙන දේවල් සහ අවුරුදු හතලිහකට කිට්ටු මිනිහෙක් තමන්ගෙ පාට්නර්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් අතරෙ වෙනසක් තියෙනවා. ඔයාලා ආස වෙන්න පුලුවන් පාක් එකක ඇවිද ඇවිද අයිස්ක්‍රීම් කකා ලව් කරන්න. මගෙ වයසෙ අය බලාපොරොත්තු වෙන්නෙ ඊට වඩා මැචුවර්ඩ් රිලේශන්ශිප් එකක්. ඔය වයසෙ ඉද්දි කිස් කරන, ටච් කරන එක පවා ඔයාලා වරදක් වගේ, ලැජ්ජ වෙන්න දෙයක් වගේ දකිද්දි අපේ වයසෙ අය සෙක්ශුවල් රිලේශන්ශිප් එකක් ගැනත් කන්සිඩර් කරනව ශාර්වරී

මම ඒකමයි ඔයාට අද කියන්න හිටියෙ.

ඔයා මට ආදරේ බව ඇත්ත. 

මං ඔයාගෙ අතෙන් විතරක් අල්ලන්නම්. මං ඔයාව කිස් කරනව විතරයි ඊට එහා ඔයාට මං කිසි දෙයක් කරන්නෙ නෑ වගේ බොරු ටෙලිඩ්‍රාමා වලයි, බොළඳ නවල්ස්වලයි, කොරියන් කතාවලයි එන විදියෙ පන්ච් ලයින් දෙන්න මට උවමනා නෑ. මොකෝ මං එහෙම සිල් රැක්ක මිනිහෙක්වත් සිල් රකින්න පුලුවන් මිනිහෙක්වත් නෙවෙයි.මං දන්නවා ගෑණු ගැන. 

ඒත් ඔයාට රිද්දල දේවල් ලබාගන්න, බලෙන් ඔයාගෙ අකමැත්තෙන් දේවල් ලබාගන්න මට උවමනා නෑ. මං කරන මොකක් හරි දේකින් අපි දෙන්නා අපි දෙන්නාගෙ ලිමිට් එක පනිනවා කියලා ඔයාට තේරෙනවනම් ඔයා එතනදි මාව නතර කරන්න ඕන. මං එවෙලෙට ඒක තරහ ගත්තත් ඔයා මට ගහල බැනලා හරි මාව කන්ට්‍රෝල් කරන්න ඕන. මම මගෙ හිතෙන් ඒක කරන්න සෑහෙන ට්‍රයි එකක් දෙනවා. ඔයාගෙත් සපෝට් එක මට ඒකට ඕන

ඔයා මට ආදරේ නම් ඒක අමතක කරන්න එපා. මං මගෙ සීලේ බිඳගන්නවා කියලා ඔයාට හිතෙන ඕනම වෙලාවක අපේ අෆෙයාර් එකේ පන්සිල් පද ටික මොනවද කියල මට මතක් කරල දෙන්න මොන විදියකින් හරි ”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here