විවාහයෙන් පස් වන දිනයෙහි, හැන්දෑවේ ගෙදර ඇවිත් යන බව අශ්විනී එදා දවල් ගෙදර හැම කෙනෙකුට ම කතා කොට කීවා ය. ඈ එසේ කළේ සන්දේශ් සේ ම සාන්වී ලා ද වෙන වැඩ යොදා ගත හැකි බැවිනි.
“ඕක එක්කෙනෙක්ට කිව්වහම මදිද… හැමෝටම කියන්න ඕනද”
කියා කසුන් සිනහවකින් ඇසුවේ ය. සිනහවක් තිබුණත් අශ්විනී ගේ හිත නො රිදුණා නොවේ. දුරින් හිඳියදී නො දකින, නො පෙනෙන සේ ම නො සලකා හරින පුංචි දේවල්, ලං වූ විට මහා දේවල් වී අප ඉදිරියට පිවිසිය හැකි බව ඇයට දැන් වැටහේ. එවන් කුඩා දේ වලට හිත් රිදවා ගන්නට ගියහොත් මුළු ජීවිත කාලයක් ඉන්නට සිදු වන්නේ හිත් රිදවාගෙන යි. උඩුගං බලා යන්නට වෙහෙසක් දරනවාට වඩා ගඟ ගලන අතට පා ව යන එක පහසු ය. කසුන් නරකයෙකු නොවෙන බව අශ්විනී දනී. එබැවින් එක ගමනක් යන සම්මුතියකට එළඹුණ එකේ සිය ගමන් සගයා සමග මත ගැටුම් ඇති කරගන්නවාට වඩා ඒක මතික වීම පහසු බව ඇය වටහා ගනිමින් සිටියා ය.
ඕනෑ ම මොහොතක නව යුවළ ගෙදර පැමිණෙත්දී පිළිගන්නට සූදානමින් දුරේශ් අවශ්‍ය කලමනා සියල්ල කල් ඇතිව ම සපයා තිබිණ. ඒ නිසා අමාගී ට කලබල වී වෙළෙඳ සැල් කරා දුවන්නට හේතුවක් වූයේ නැත. ඇය සාන්වී සමග එක් වී රාත්‍රී භෝජනය සඳහා කෑම වට්ටෝරුව තීරණය කරගෙන ආහාර පිසින්නට සූදානම් වූවා ය. මණී ඇවිත් මූලිකත්වය ගෙන පහේ දමා ඒදා ව්‍යාංජන පිසුවා ය. රැකියා නිම වී සන්දේශ් හා දුරේශ් ගෙදර එන විට රාත්‍රී ආහාර පිළියෙල වී අවසාන ය.
“පොඩී අල්ලපු ගෙදරට බැඳපු එකත් මාර වාසියක් නේ… මොනා වුණත් ඕන දේකට මණී ආන්ටි ඉන්නව කියන්නෙ මාර හයියක්නෙ”
තේ බොන ගමන් සන්දේශ් කීවේ ය.
“අනේ ඔව් අප්ප. මාත් මොනා වුණත් ටිකක් බයේ එහෙ නතර වුණේ… අපි දන්න මණී ආන්ටි නැන්දම්ම කෙනෙක් විදිහට කොහොමද දන්නෑනෙ කියල. ශේප් එයා ඉතිං. තාමනං මට මෙලෝ වැඩක් කරන්න දෙන්නෑ. ජීවිතේ හොඳම දවස් ටික මේ ටික කාලෙ නිසා නිදහසේ ඉන්න කියනව”
“ඒ ගෙදර කොල්ලොම හතරක් වෙලා කෙල්ලෙක් නැති නිසා මණී කවදත් අපේ කෙල්ලන්ට ආදරේ කළානෙ. ඒ මිනිස්සුන්ගෙ හිත් රිද්දන්නැතුව හැමදාම ඒ ගෞරවේ දෙන්න ඔයා දැනගන්න ඕනෙ. එතකොට එයාලගෙ ආදරෙත් ඒ විදිහටම තියෙයි”
අශ්විනී හා කසුන් පැමිණියේ ඔවුන් ගේ ඒ කතා අතරේ ය. ඇය වෙනදාට වැඩිය කාන්තිමත් වී ඇතැයි අමාගී ට සිතිණ. දන්නා කාලයේ පටන් මුළු ගෙදරක වැඩ මත්තේ නැහුණ ඇයට ලැබුණ ප්‍රථම හා ලොකු ම විවේකය ඇගේ මංගල මධුසමයයි.
“ලොකූ ලස්සන වෙලා…”
කල්ප කාලයකින් දකින කෙනෙකු වාගේ අක්කා ව වැළඳගත් අමාගී, ඇගේ සවනට කොට මිමිණුවා ය. අශ්විනී මුණිවත නො බිඳ සිටියේ හැඬේවියි බියට ය.
“අක්කලට බොන්න දෙයක් ලෑස්ති කරලම ඉමු සුදූ”
යනුවෙන් දුරේශ් යෝජනා කළේ ඒ වන විටත් ඔවුන් ගේ තේ බඳුන් හිස් වී නො තිබි බැවිනි.
“මං හදන්නං”
කියමින් අශ්විනී මුළුතැන්ගෙට යන්නට ගියා ය. නමුත් අමාගී ඊට ඉඩ දුන්නේ නැත.
“අද මං හදල දෙන්නංකො. ඔළුව කැක්කුමකටවත් නිදාගන්නැතුව මෙච්චර කාලයක් ඔයා අපි නිසා මහන්සි වුණානෙ”
“එදා කසුන් කිව්ව දේට තාත්ති හිත රිදෝගත්තද සුදූ…”
අශ්විනී ඒ විමසුවේ කිසිවෙකු පැමිණෙත්දැයි විමසිලිමත් වෙමින් හෙමිනි.
“නෑ අනේ. මමනෙ මෝඩ වැඩේ කළේ. හනිමූන් එකට ගිහිං හිටිය ඔයාලට එන්න කියල කෝල් කළේ”
“බැන්දහම ජීවිතේ වෙනස් වෙනව සුදූ”
අශ්විනී සුසුමක් පිට කළා ය. අක්කා සිත් තැවුලක හිඳිනා බව නංගිලා දෙදෙනා ම වහා හැඳින ගත්හ.
“ඒක ඉතිං එහෙම තමයිනෙ ලොකූ. ඒ ගැන වොරි වෙන්නෙපා”
“ඔයාට එහෙම ලොකුවට දැනෙන්නැතුව ඇති පොඩී. ශාක්‍යයි මණී ආන්ටිලයි ඔක්කොම දන්න අය නිසා. ඒත් කසුන්ගෙ නෑදෑයො මට අලුත්නෙ. කසුන්ගෙ ලයිෆ් ස්ටයිල් එක වුණත් මං එච්චර ළඟින් ශෙයා කරගෙන නෑනෙ. එයා අවුරුදු ගාණක් හිටියෙත් රටනෙ. ඒ නිසා එයාගෙ සමහර දේවල් අමුතුයි වගේ වෙලාවකට මට. අවුරුදු ගාණක් ගෙදරින් පවුලෙන් එහෙම ඈත් වෙලා තනියම ජීවත් වුණ නිසාද මන්දා… පොඩි සෙල්ෆිශ් ගතියකුයි තනි කැමැත්තට වැඩ කරන ගතියකුයි තියනව. අනේ මන්ද”
“ඒ ගැන හිතන්නෙපා. එහෙ ගියාම කොහොමත් ඔය දෙන්න විතරයිනෙ. එතකොට හැමදේම කරගන්න වෙන්නෙත් ඔය දෙන්න එකට. වෙන කවුරුත් ඇත්තෙත් නෑනෙ. එතකොට එතන වෙනම බැඳීමක් හැදෙයි”
“අනික ලොකූ ඔයා මෙහෙම තනියම ඉඳල පුරුදු නෑනෙ. ඔයා අපි ඔක්කොම බලාගෙන හිටිය කෙනෙක්නෙ. ඒක නිසා එකපාරටම තනි ජීවිතේක වෙනස ඔයාට දැනෙනව ඇති”
“ඔව්. ඒ දේවල් ප්‍රශ්න කරගන්නෙපා. කොහොමත් එහෙ ගියාම එයා ඇරෙන්න ඔයාට වෙන කවුරුත් දන්න කෙනෙක් ළඟින් නෑනෙ”
“සමහර දේවල් ගැන මට දැං බයත් හිතෙනව පොඩී”
“අනේ ලොකූ ඔයා අපිවත් බව කරන්නෙපා. හැමදේම හොඳින් වෙයි. අම්ම කෙනෙක් වගේ අපිව හදන්න ඔයා කොච්චර මහන්සි වුණාද… ඔයාගෙ තරුණ කාලෙන් කොච්චර පැය ගණනක් අපි වෙනුවෙන් කැප කරල ඇද්ද… එහෙම කරපු අපේ ලොකූට වරදින්නෑ. වරදින්නත් එපා. ලෝකෙ තියෙන හැම හොඳ දෙයක්ම ඔයාට ලැබෙන්න ඕන. හැම සතුටක් ම ලැබෙන්න ඕනෙ. හැම සැපතක් ම විඳින්න ලැබෙන්න ඕනෙ. එහෙම දවසක අපි මෙහෙ ඉඳන් ඔයා ගැන සතුටු වෙයි”
“සුදූ… මාව අඬවන්නෙපා ඉතිං”
අමාගී ඉක්මන් කොට සිය දෑස් මිරිකා හැරියා ය.
“මොන සැප තිබුණත් මොනව ලැබුණත් අපි පස් දෙනා එකට ගුලි වෙලා මේ ගෙදර හිටිය දවස් තමයි ලස්සනම සුදූ… මගෙ ජීවිතේ ලස්සනම මතකය විදිහට හැමදාමත් ඒ දවස් මගෙ හිතේ තියෙයි පොඩී”
“ලොකූ ඔයා හිතනව වැඩී. එහෙම තමයි ඉතිං… කාලෙත් එක්ක අපිට ජීවිතේ සමහර තැන් වෙනස් කරගන්න වෙනව. අලුත් කරගන්න වෙනව”
“ඒ වුණත් මට ඔයාල එක්කම ඉන්න තිබුණනං. ඒ අතිං ඔයා හරි වාසනාවන්තයි පොඩී. ලෝකෙ වෙන කොතනකින්වත් අපිට මේ වගේ සතුටක් ලැබෙන්නෑ”
තේ මේසය සූදානම් කරනා අතරේ අක්ක නගෝ තිදෙනා ට ලහි ලහියේ කතා කරන්නට බොහෝ දේවල් එකතු වී තිබිණ. ඒ සියල්ල ඔවුන් මින් පෙර නො දැන සිටි දේවල් ය. මේ දවසට දෙකට අලුතෙන් ඉගෙන ගත් දේවල් ය. අත්දැකීම් වූ කලී හැම විට අලුත් පාඩම් කියා දෙන ගුරුවරුන් සරි වේ!
කසුන් සිය මාමණ්ඩිය හා අලුත් මස්සිනාවරුන් වන සන්දේශ් හා ශාක්‍ය ද සමගින් බෝ සුහද කතා බහක නිරත වූයේ ය. ඔහු ගේ කිසිදු අඩුපාඩුවක් දුරේශ් ට වුව සොයා ගත හැකි නො විණ. හැම මිනිසෙකු ම එක වාගේ නැත. ඔවුන් විවිධ මිනිසුන් වන්නේ එබැවිනි.
“ඉතිං අද ඉඳල ගියානං හරිනෙ”
ඒ යෝජනාව ගෙනාවේ ශාක්‍ය ය.
“අපෝ බෑ ශාක්‍ය යන්නෝනෙ. හෙට උදේම කරගන්න වැඩ ගොඩක් තියනව. තව දවස් දෙකතුනකින් ෆ්ලයි කරන්නත් තියනවනෙ”
කසුන් වහා ම ඒ යෝජනාව ප්‍රතික්ශේප කළේ ය. අශ්විනී හිත තද කරගෙන සිටියා ය. තව එක ම එක රැයක් ගෙදර නතර වී යන ආශාවක් ඇයට ද තිබිණ. නමුත් ඒ ගැන කසුන් ට ඇවිටිලි කරන්නට ඇයට සිත් වූයේ නැත. ඇවිටිලි කළා ට ඔහු සිය තීරණ වෙනස් නොකරන බව ද දැන් ඈ දනී.
“මණී ආන්ටිලගෙ ගෙදරටත් ගොඩ වෙලා යං”
කියා අවසාන මොහොතේ අශ්විනී පැවසූයේ කසුන් නාවත් තනියම එහි ගොස් එන සිතිවිල්ල ඇතිව ය. නමුත් ඔහු වචනයකිනිදු එරෙහි නොවී ඈ හා ගියේ ය. එක විනාඩි කිහිපයකට ඔවුන් අතරේ විහිළු තහළු හා සිනහ කතා සයුරක රැලි නැඟිණි. ආයේ කවදාක සිය ජීවිතයට එහෙම දවසක් උදා වනු ඇත්දැයි අශ්විනී නො සිතා සිටියා ය.
ඉන් දෙතුන් දිනකට පස්සේ අශ්විනී කසුන් සමග විදේශගත වූවා ය. මල්වත්ගේ පවුලට ම එය දරා ගත නො හැකි මොහොතක් වී ද ඒ ඔවුන් බලාපොරොත්තුවෙන් නොසිටි දෙයක් ද නොවේ. වසර ගණනාවක් තිස්සේ ම සුළු මාත්‍රා වලින් ඔවුන් ඒ සඳහා මානසික ව සූදානම් වෙමින් සිටියා විය හැක. ඊට පස්සේ සාන්වී ද රැකියාවට යාම ඇරඹුවා ය. විවාහයෙන් පසු රැකියාවට යත්දී ඒ ගියේ ශාක්‍ය ගේ යතුරු පැදියේ නැගී ය. එදා උදයෙන් ම අවදි වී මණී සමග එක්ව ඈ කෑම ද පිසුවා ය.
අමාගී උදේට උයනා ව්‍යාංජන කපා කොටා ශීතකරණයේ තබන්නට පුරුදු වූවා ය. පොල් ගා මිරිකා කිරි පවා ශීතකරණයේ ගබඩා කළා ය. එතකොට උයන්නට ලොකු කාලයක් ගත වෙන්නේ නැත. ඒ අතරේ ම තේ හදන්නට ද පිළිවන. උදයට උයනා ව්‍යංජනයක් දෙකක් බත් මුල් වලට තියන්න කියා මණී තාප්පයට මත්තෙන් දෙන නිසා අමාගී ට පහසු ද විය. ඒ ගමන් ඇය රසවත් ම ව්‍යාංජනයක් මහානාම ගෙදරට දුන්නා ය.
දවල්ට ගෙවල් දෙකේ ම ඉතිරි වන්නේ මණී, ආයු හා අමාගී පමණකි. රුසිරු ද හෝටල් පාඨමාලාවක් හදාරන්නට පටන් ගෙන තිබුණෙන් දවල් කාලයේ වැඩිපුර ගෙදර ගැවසුනේ නැත. ආයු තව තවත් අමාගී ට බැඳෙන්නට මෙය හේතුවක් වන්නට ඇත. ඇතැම් දිනෙක නින්ද යන තුරු ම ඔහු ඇයට ගෙදර යන්න දුන්නේ නැත. එහෙම හවසක මල්වත්තගේ ගෙදර ඇති වෙන්නේ පාළුවකි. මල් වගේ ගෑනු ළමයින් තුන් දෙනෙකු ගේ සිනා කතා පිළිරැව් දුන් ගෙදරක එක ගෑනු හඬක්වත් නැති වෙත්දී දුරේශ් ට දැනෙන්නේ මළ සොහොන් පාළුවකි. එතකොට ඔහු මහානාම ගෙදරට ගොඩ වෙයි.
“තාත්තට තේ එකක් හදන්න සාන්වී”
කියා කියන්නට ශාක්‍ය අමතක කරන්නේ නැත. එපා එපා කියමින් වුව දුරේශ් ඒ තේ එක බොයි. හෝරාවක් දෙකක් මහානාම ගෙදර රැඳෙනා එක ඔහු ට සතුටකි. ටික වෙලාවකින් සන්දේශ් ද එහි එන්නට අමතක කරන්නේ නැත. එතකොට රෑ වන තුරු කතා දිග්ගැසේ. බත් කන ලෙසට මණී ගෙන් ද සාන්වී ගෙන් ද ආර්ය ගෙන් ද විසුමක් නොවන විට “කමුකො එහෙනං බත් කටක්” කියමින් දුරේශ් මේසයට හිඳගනී. එතකොට සාන්වී හා අමාගී ගිහින් මල්වත්තගේ කුස්සියේ වන එළවලු මාළු පිණි ද මහානාම මේසයට වඩම්මවති.
එහෙම වෙලාවක දුරේශ් අශ්විනී ට ඇමතුමක් ගන්නට කැමති ය. මොනවා වුණත් තවමත් තාත්තා රිසි දරුවන් සිව් දෙනා වට කොටගෙන සිටින්නට බව එහෙම වෙලාවට සන්දේශ් ට සිතේ. තාත්තා නො ගත්ත ද ඔහු අක්කාට වීඩියෝ ඇමතුමක් ගන්නේ එබැවිනි.
අශ්විනී සිනහ වෙවී කතා කරයි. දැන් ඇය පොඩි රැකියාවක් කරයි. දෙදෙනා ගේ ම වැටුප් මත නිවාස ණයක් අයදුම් කොට ඔවුන්ගේ ම නිවසක් ගැනීම කසුන් ගේ බලාපොරොත්තුවයි.
“අංකල්ටත් පුළුවන්නෙ එතකොට නිවාඩුවකට මෙහෙ ඇවිත් ටික දවසක් ඉඳල යන්න”
කියා කසුන් වරක් කීවේ ය. දුරේශ් සතුටෙන් සිනහ වූයේ ය.
“මං මැරිච්ච දවසකවත් ඔය හාදය අපේ කෙල්ලව ලංකාවට එවයිද සැකයි. මිනිහට ඕනෙ සල්ලි හම්බ කරං ගෙවල් දොරවල් අරං එහේම පදිංචිකාරයෙක් වෙන්න. ආශ් ඒ ජීවිතේට පුරුදු වෙයි. කෙල්ල හොඳිං ඉන්නවනෙ. එච්චරයි”
දුරේශ් එසේ කීවේ කසුන් ව ඉතා හොඳින් කියවාගෙන යි. කිසිවෙකු ඊට කිසිත් කීවේ නැත. ඒ දුරේශ් ගේ හිත් රිදුම් ගැන දන්නා නිසාවෙනි.