මොංගෝලියන් මෂෲම් 

ශ්‍රී ලාංකිය අපිට ආවේණික කෑම වර්ග විතරක් නෙමෙයි විවිධ රටවල්, විවිධ සංස්කෘ තීන්ට ආවේණික කෑම වර්ග රාශියක් එක්කත් ඔබව හමුවෙන smart lady අපි අදත් ඔන්න එකතු වුනේ අපිට හරිම හුරුපුරුදු කෑමක් වෙනස් රසකට පිළියෙල කරන්නෙ කොහොමද කියල ඔබත් එක්ක බෙදාගන්නයි. 

බිම්මල් කියන්නෙ අපි කාටත් හරිම ලේසියෙන් හොයාගන්න පුළුවන් දරාගත් හැකි මිලකට මිලදී ගන්න තියෙන හරිම රසවත් කෑමක්නෙ. අද අපි බලමු මොංගෝලියන් රසට බිම්මල් හදාගන්නෙ කොහොමද කියල? 

එහෙනම් මුලින්ම, අවශ්‍ය ද්‍රව්‍ය සූදානම් කරගමු. 

අවශ්‍ය ද්‍රව්‍ය 

ඔබ කැමති වර්ගයක හෝ වර්ග කීපයක බිම්මල් කෝප්ප 04 ක් 

ඔලිව් තෙල් මේස හැඳි 02 ක් 

බටර් මේස හැඳි 02 ක් 

ලුණු කුඩු

ගම්මිරිස් කුඩු 

වතුර කෝප්ප ½ ක් 

කුඩා කොටු හැඩයට කපාගත් සුදුළූණු බික් 04 ක් 

කුඩා කොටු හැඩයට කපාගත් ඉඟුරු මේස හැඳි 01 ක් 

සෝයා සෝස් කෝප්ප ½ ක් 

දුඹුරු සීනි කෝප්ප ⅔ ක් 

Rice vinegar (ඇපල් සයිඩර් විනාකිරි, දෙහි හෝ ලෙමන් යුෂ යොදාගන්නත් පුළුවන්) කෝප්ප ¼ ක් 

තල තෙල් මේස හැඳි 01 ක් 

කෝන් පිටි මේස හැඳි 01 ක් 

ලුණු කුඩු

ගම්මිරිස් කුඩු 

සාදාගන්නා ආකාරය 

මුලින්ම, භාජනයක් ලිපතබා එයට ඔලිව් තෙල් එකතු කරගන්න. 

තෙල් රත්වූ පසු එයට සාමාන්‍ය ප්‍රමාණයට කැබලි කපාගත් බිම්මල්, රස අනුව ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු ස්වල්පයක් එක්කර හොඳින් කලවම් කරගන්න. 

විනාඩි 05 කට පමණ පසු එයට බටර්, සුදුලූණු සහ ඉඟුරු එකතු කර තවත් විනාඩි 02 ක් 03 ක් පමණ සුවඳ සහ රන්වන් පැහැය ලැබෙන තෙක් පිසගන්න. 

මේ සියල්ල ලිපෙන් ඉවතට ගෙන වෙනම භාජනයකට දමා පසෙකින් තබාගන්න. 

දැන් ජෝගුවක් හෝ වෙනත් ගැඹුරු භාජනයක් ගෙන එයට සෝයා සෝස්, දුඹුරු සීනි, rice vinegar සහ වතුර එකතු කර හොඳින් කලවම් කරගන්න. 

නැවත මුල් භාජනයම ලිපතබා එයට මේ සාදාගත් සෝයා සෝස් මිශ්‍රණය දමා විනාඩි 03 ක් 04 ක් තරමක් උකුවෙන තෙක් මිශ්‍රණය උතුරවා ගන්න. 

ඒ අතරතුර කුඩා භාජනයක් ගෙන එයට කෝන් පිටි සහ වතුර මේස හැන්ඳක් දමා හොඳින් කලවම් කර එයත් කලින් සකසාගත් බිම්මල් ටිකත් ලිපේ ඇති සෝයා සෝස් මිශ්‍රණයටම දමා හොඳින් කලවම් කරගන්න. 

මිශ්‍රණය උකුවී බිම්මල් වල හොඳින් තැවරෙන සේ හිඳුණු පසු ලිපෙන් ඉවතට සුදු බත් සහ ලූණු කොළ වලින් සරසා පිළිඟන්වන්න ඔබට පුළුවන්. 

එහෙනම්, මේ විදිහට බිම්මල් හදල බලමු නේද? 

සටහන – දුලානි නවෝද්‍යා  

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles