මේ දවස්වල ලාංකේය සිනමාවට ආදරය කරන අය හැමෝම වගේ කතාකරන චිත්‍රපටයක් තමයි අශෝක හඳගම අධ්‍යක්ෂකවරයා විසින් නිර්මාණය කරපු. සිංහල සිනමාවේ විශිෂ්ටම නිළියක් වෙන ස්වර්ණා මල්ලවාරච්චි මහත්මිය රඟපාන, රිචඩ් ද සොයිසා නම් අකාලයේ මියගිය තරුණ මාධ්‍යවේදියාගේ මව වන මනෝරාණි සරවනමුත්තු මහත්මියගේ කතාව රැගත් රාණි චිත්‍රපටය.
රාණි ගැන කතාකරන්න නම් රිචඩ් ගැන කතා නොකරම බෑ.
දරුවෙක්ව අහිමි වීම කියන්නෙ තමන්ට තමන්ව අහිමි වීම කියල වතාවක් මනෝරාණි සරවනමුත්තු මහත්මිය කියලා තියෙනවා. ඒ ඇගේ ආදරණීය පුතු වෙච්ච රිචඩ් ද සොයිසා ඝාතනයෙන් පසුව.1990 පෙබරවාරි 18 වෙනිදාවක තමයි රිචඩ් ද සොයිසා කියන තරුණ මාධ්‍යවේදියාව තමන්ගෙ නිවසින් රාත්‍රියේ බලහත්කාරයෙන් රැගෙන ගොස් හිස පසුපසටත් උගුරටත් තැබූ වෙඩි ප්‍රහාර සමගින් මරා දමන්නෙ. මිය ගිය රිචඩ් ගෙ සිරුර පෙබරවාරි 19 වෙනිදා කොරලවැල්ල මුහුදු වෙරලට ගහගෙන එන්නෙ හරියට තමන්ට වුන අසාධාරණයට සාධාරණා ඉටු කරන්න වගේ.
තමන්ට විතරක්ම නෙවෙයි තමන් වගේම අකාලයේ දේශපාලනයේ කුරිරු හස්තයෙන් ගෙල සිරකර මරා දැමූ තවත් දහසකුත් එකක් තරුණ තරුණියට වුණ අසාධාරණයට සාධාරණය ඉටු කරන්න කියනවා වගේ. රිචඩ්ගේ මව වුන මනෝරාණි සරවනමුත්තු මහත්මිය කරළියට එන්නෙ ඒ සිදුවීමෙන් අනතුරුව. තමන්ගෙ දරුවට වගේම තවත් දරුවන් අහිමි වුණු අම්මාවරුන් වෙනුවෙන් හඬ නගන මව්වරුන්ගේ පෙරමුණ වෙනුවෙන් පෙරමුණක් ගන්න.
අශෝක හඳගම මහතාගේ රාණි චිත්‍රපටයෙන් අපිට අරගෙන එන්නෙ ඒ මනෝරාණියගේ කතාව. “දුර ඈතක සිට රිචඩ් මා දෙස බලා සිටිනවා.මගේ පුතා බොහෝ විට මා හා කතා කරනවා.ඔහු ඔහුගේ දේශයට එදා මෙන් ම ආදරෙයි. ඔහුගේ ජනතාවට එදා මෙන් ම ආදරෙයි. මිය ගිය බොහෝ දරුවන් ඔහු වගේ ම යැයි මා හිතනවා. සත්තකින් ම මා දන්නවා දිනයක් ඒවි. නිසැක ව ම දිනයක් ඒවි. එදිනට අප නොදන්නා යම් තැනක හිඳ ඔවුන් සියල්ලන් මේ දේශයට ඒවි. රිචඩ් මෙන්ම මරා දැමුණු බොහෝ අහිංසක දරුවන් ඔවුන් ආදරය කළ මේ දේශයට ඒවි. ඔවුන් මේ දේශයට ආදරෙයි. ඔවුන් මේ ජනතාවට ආදරෙයි. ‘අම්මා අපි ඔබලාට නිදහස හා ආදරය ගෙන ආවා’ යි කියන ඔවුන්ගේ කටහඬ අපිට ඇසේවි. රිචඩ් පුතුගේ කටහඬ මට ඇසේවි. ඉතින් ඒ දිනය එනතුරාවට මා සටන් කරනවා.” කියා මනෝරාණි සරවනමුත්තු මහත්මිය කියන්නෙ 1992 අවුරුද්දෙදි ලක්දිව පුවත්පතට.
ඒත් රිචඩ් ද සොයිසාට ඒ ගමන ආයෙ හැරෙන්න පුලුවන්කමක් ලැබෙන්නෙ නෑ. මරණයේ කඩතුරාවේ නැත හැරී එන කවුළු කියලා වික්ටර් රත්නායක මහත්මයා කියන වගේ අසාධාරණව හෝ ස්වභාවික මරණය බලා ගිය කෙනෙක්ට ආයෙ මේ ලෝකෙට එන්න විදියක් නෑ. රිචඩ්ගේ අවසානයෙන් දින කිහිපයකට පස්සෙ ප්‍රවෘත්ති බලමින් ඉන්න මනෝරාණි සරවනමුත්තු මහත්මිය දකිනවා ඒ අභාග්‍යසම්පන්න රැයේ තමන්ගෙ දරුවව පැහැරගන්න ආව කණ්ඩායමේ නායකයා වගේ උන්නු පුද්ගලයව රූපවාහිනියේ පෙන්වනවා. ඒ රොනී ගුණසිංහ කියන ඒ කාලයේ පොලිස් අධිකාරිවරයෙක් වෙලා උන්නු කෙනෙක්. ඒ අනුව මනෝරාණි මහත්මිය ඒ බව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නත්, රෝහිණී පෙරේරා මහේස්ත්‍රාත්වරිය වහාම රොනී ගුණසිංහව අත්අඩංගුවට ගන්නැයි නියෝග කරත් ඒ කාලේ රාජ්‍ය ආරක්ශක ඇමතිවෙලා උන්නු රංජන් විජේරත්න මහතා ඒ නියෝගය ප්‍රතික්ශේප කරනවා.
මේ තමයි අපි දන්න රිචඩ් ද සොයිසාගේ අභාග්‍යසම්පන්න ඉරණමේ කතාන්දරය වෙන්නෙ.
ඒත් අපි දැනගෙන හිටිය රිචඩ් ගෙ කතාවට එහා ගිය කතාව අශෝක හඳගම අධ්‍යක්ශකවරයා රාණි චිත්‍රපටය හරහා අපි අතරට ගේනවා. ඒක ඇත්තත් නොඇත්තත් අතර දෝලනය වෙන කතාවක් බව කියන්න තමයි අධ්‍යක්ශකතුමා චිත්‍රපටය පටන් ගන්න කලින් මේ කතාව Fiction based on true events කියන පාඨය දාන්න අමතක කරන්නෙ නැත්තෙ.
රිචඩ් ද සොයිසාට ආදරය කළ බොහෝ දෙනෙක් මේ චිත්‍රපටය බලන්න ගිහින් ආපහු ඇවිත් තිබුනේ බලාපොරොත්තු බිඳගෙන. ඒ විදියට අපේක්ෂාවන් බිඳුන බොහෝ දෙනෙක් ලියපු නෙගටිව් රිවීව්ස් මත ගොඩක් දෙනා මේ චිත්‍රපටය බලන්න යනවද නැද්ද කියන එක හිතල තිබුනා. ඒත් රාණි කියන්නේ “දැනගෙන බලන්න යන්න ඕන ගමනක්” බව කියන්නම ඕන.
“මේවද චිත්‍රපටි? මීට වඩා හොඳට ෆිල්ම් හදනවා මලයාලම් සිනමාව” වගේ කතන්දර මේ නෙගටිව් රිවීව්ස් අස්සෙ අපිට ගොඩක් දකින්න ලැබුණා. රාණි චිත්‍රපටය වෙනුවෙන් ලයිකා ආයතනය කලේ තමන්ගෙ මුදල් ලබාදීම පමණයි. කතාව, දෙබස්, නලු නිලියන් තෝරා ගැනීම, වේෂ නිරූපණය වගේ අනෙක් හැමදේම අපේ දක්ශ ලාංකේය සිනමාවේදීන් විසින් තෝරා බේරාගත් දේවල්.
සල්ලි තිබ්බ නම් ලංකාවෙ සිනමාව මේ වෙද්දි ලෝකෙම අල්ලන්න තිබ්බ කියල හිතෙන ෆිල්ම් එකක් විදියට රාණිව දකින්න පුලුවන් වෙයි ඔබ හොඳින්ම ඒ ගත කරන වෙලාව චිත්‍රපටයටම ඇස් අලවගෙන උන්නොත්.
හැබැයි රාණි කියන්නෙ රිචඩ්ගෙ කතාව කියල හිතන් බලන්න යන්න එපා කියලා කියන්නම ඕන.
රාණි කියන්නෙ රිචඩ්ගෙ කතාව නෙවෙයි. රිචඩ් එතන එක චරිතයක් පමණය. රාණි කියන්නෙ මනෝරාණිග කතාවත් නෙවෙයි. රාණි කියන්නෙ මනෝරාණි ජීවත්වෙච්ච එයා නිරූපණය කරපු සමාජයයි සාමාන්‍ය මිනිස්සු ජීවත්වෙච්ච සමාජයයි අතරෙ තිබ්බ ඝට්ටනය, බෙදීයාම, ඒ සමාජ පැලැන්ති දෙකේම උන්නු තරුණ “රිචඩ්” ලව මරා දාපු හන්දා එක තැනකට, එක සමාජ තත්ත්වයකට අරගෙන ආව අම්මලගෙ කතාව බව චිත්‍රපටය හරියට බැලුවොත් ඔබ මාත් එක්ක එකඟ වේවි.
තමන්ගේ රිචඩ් සමලිංගිකයෙක් කියල පිලිගත්තට, වෙන අම්මලගෙ තරුණ දරුවො මැරෙද්දි “එයාලා මැරෙන්නෙ රජයට විරුද්ධ වෙන නිසා” කියල හිතපු තමන්ගෙ දරුවා ලොකුයි කියල හිතුව තවත් එක් සාමාන්‍ය අම්මා කෙනෙක්ගෙ කතාව,
තමන්ගෙ දරුව මැරුණම ඔක්කොම දරුවො පව් කියල හිතුව අම්මගෙ කතාව, සුදු මිනිස්සු නෑ අපි ඔක්කොම අලු මිනිස්සු කියන කතාව,
දරුවෙක් මැරිච්ච තැන අම්මෙක් ජීවත්වෙන්නෙ නෑ කියන අම්මලගෙ කතාව,
කැරලි ගහලා, තරුණ ළමයිව මරලා දාලා, ඉවර කලේ රණසිංහ ප්‍රේමදාස යුගය නෙවෙයි “ලංකාවේ තිබ්බ බෙදුම්වාදී සමාජ පරතරය” කියන එක ගැන කියන කතාව තමයි මේ චිත්‍රපටය අපට පෙන්වන්නෙ. හැබැයි ඇත්ත වශයෙන්ම රාණි චිත්‍රපටයට වඩා රාණි චිත්‍රපටයේ Trailer එක අස්සෙන් අපිට අමුතුම, හිත අලවන, නලවන, රිද්දන, කොනිත්තන කතාවක් කියන්න අශෝක හඳගම මහත්මය උත්සහ අරගෙන තිබුණ කියන එකත් කියන්නම ඕන ඒක චිත්‍රපටයට නෙගටිව් පොයින්ට් එකක් වුණත්. ඇත්තටම ලාංකේය සිනමාවෙ කොච්චර හොඳ චිත්‍රපට ආවත් හොඳම හොඳ Trailers ආව අවස්තා තියෙන්නෙ එක් අතක ඇඟිලි වලටත් වඩා අඩු ගණනක්. ඒ ඉතාම අඩු අවස්තාවන් අතර රාණි චිත්‍රපටයේ Trailer එක ඇත්තටම හොඳම හොඳ තැනක තියෙනවා කියන එක මතක් කරන්නම ඕන.
ඔබ රිචඩ් ට ආදරය කරන්න ඇති.
රිචඩ් ද සොයිසා කියන තරුණ මාධ්‍යවේදියා ඔබේ සිතුවිලි ලෝකය අස්සෙ Role Model කෙනෙක් විදියට දකින්න ඇති. හැබැයි මේ චිත්‍රපටයෙන් ඔබ ඉදිරියට අරගෙන එන්නෙ ඒ ඔබ ආදරය කල, ඔබේ මනස් සන්තානය ඇතුලෙ Role Model කෙනෙක් වුණ රිචඩ් ද සොයිසාගේ කතාවවත්, රිචඩ් ගේ මව වුණ මනෝරාණියගේ කතාවවත් නෙවෙයි.
අශෝක හඳගම අධ්‍යක්ශක තුමා කවදාවත් ගැලරියට කතා කල අධ්‍යක්ශකවරයෙක් නොවන බව ඔහුගෙ චිත්‍රපට බැලූ බොහෝ දෙනා පිළිගන්න, අත්වින්ද කාරණාවක්. එතුමා සෑහෙන කාලයකට පස්සෙ අපේ දෙනෙත් ඉදිරියට අරගෙන ආව “රාණි” චිත්‍රපටය ඇතුලෙත් එතුමා අපිට පෙන්වන, අපි දකින්න බලාපොරොත්තු වුණ, අපි මෙතෙක් දැනගෙන උන්න යථාර්තවාදී කතාවට එහා ගිය හීනි රිදවීමක්. හැංගිච්ච ඇත්තක්, සුදුත් නොවන කළුත් නොවන කාලයකට පෙර අපි අතරෙම ජීවත්වුණ අලු මිනිසුන් රැසකගේ කතාව අපි ඉදිරියට අරගෙන එනවා.
මේ චිත්‍රපටයේ නම “රාණි” වුණත් අශෝක හඳගම ඒ රාණි ලෙසින් අර්ථ දක්වන්නේ රිචඩ් ගේ අම්මා වන මනෝරාණිය නොවෙයි.
දේශපාලන බලවේගයක් නම් දුශ්කය ප්‍රවාහයකට හසු ව, නොදැනීම ජීවිතයේ අවසන් ගමන් ගිය දහසකුත් එකක් ලාංකේය තරුණ තරුණියන්ගේ අම්මලාය.
දරුවන් උන්නු අම්මලා රැජිණන් හා සමාන බවය.
රාණි යන නම වඩාත්ම හොඳින් ගැලපෙන්නේ ඒ අම්මලාට බවය. දරුවන් අහිමි වූ තැන, ඒ දරුවන් වෙනුවෙන් ජීවිතය පුරා අනන්ත අප්‍රමාණ කැපකිරීම් කරන්නියන් අම්මා කියන නමට එහා ගිය “රැජිණ” තනතුරේ තබන්නට හැකි බවය!
ReplyForwardAdd reaction |