වියෝ ගී ගැයෙනා හදේ – 11

0
3666

“මොන මල පිස්සුවක්ද බං ඒ? කියා යාලුවා වෙච්ච චානක හිස් වෙච්ච ග්ලාස් එකට ආයෙ වතාවක් ජින් පුරවාගෙන හීන් සැරේ තොලගාන ගමන් අහද්දී චිරත්ට කලේ රූෆ් ටොප් ක්ලබ් එකේ හිඳ බලද්දි රෑ අන්ධකාරය මැද්දෙන් පෙනෙන කොළඹ ස්කයිලයින් එක දිහා බලාගෙන කල්පනා කරන එකය.

“යකෝ උඹ මේ වෙන ගෑණියෙක් එක්ක නිදාගෙන අහුවුනානම් ඔන්න ඔහොම දෙයක් කිව්වට කමක් නෑ. මෙතන මේ උඹ උඹේ බිස්නස් එක ගොඩ දාගන්න රෑ වෙනකම් නැහුණා කියලා ගෑණියෙක් එහෙම ඩිවෝස් වෙන්න ඕන කියල කියනවද?” කියා චානක ආයෙ වතාවක් කතා කරද්දිත් ඒකට දෙන්න උත්තරයක් තිබුනෙ නැති නිසාවෙන් චිරත්ට කරන්න තිබුන එක දේ අන්ධකාර අහස දිහා බලාගෙන කල්පනා කරන අතරෙම අතේ තිබ්බ වීදුරුවෙ මත් පැන් වලින් දෙතොල හිමින් හිමින් තෙමා ගන්න එක පමණකි. පෙත්මලීගේ පාසල් නිවාඩුවෙන් පස්සේ ගෙදර ටික දවසක් ඉන්නවාය කිව්ව මේධාවිණී එක පාරම කතා කර “මේ කසාදෙන් ඔයාටවත් මටවත් කිසිම සතුටක් සැනසීමක් ලැබෙනවා කියල මට හිතෙන්නෙ නැ චිරත්. ඒ නිසා මං හිතන්නෙ හොඳම දේ අපි දෙන්න වෙන් වෙන එක” කියා කියද්දි චිරත්ට ඒ වචන ඇහුවේ ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ හැඟිමක් එක්කය. අනපේක්ෂිත මොහොතක අනපේක්ෂිතව තමා සොයාගෙන ආ ඒ වචනවලට දෙන්න ඕන උත්තරේ මොකද්ද කියා හිතාගන්න බැරිහන්දම මිතුරන් වෙච්ච චානක සහ සමීරට “මීට් වෙන්න පුලුවන්ද බං?” කියා චිරත් ඇහුවේ තනියෙන් මේ ප්‍රශ්නෙට දෙන්න ඕන උත්තරෙ හිතාගන්න බැරුව තමන්ට තනියෙන් නහින්න වෙන බව දන්න හන්දාය.

චානක බීමතින් හෝ නැතුව එක දිගට ඔහේ කියවගෙන යද්දිත් සමීර කලේ වචනයක් හෝ කියන්නෙ නැතුව එක එල්ලේම චිරත් වගේම අන්ධකාරය දිහාම බලාගෙන උන්නු එකය. චානක ඔහේ හිතට එන හැමදේම කිව්වත්, චිරත් කියන්නේ තමන්ගේ හොඳම මිතුරා බව ඇත්තක් වුනත් මිතුරාගේ පැත්තෙන් විතරක් මේ කතාව බලන්න බැරි බව සමීට දැනගෙන උන්නේය. ඒ අන්ධකාරය නිහඬතාවය අස්සේ සමීර කල්පනා කරමින් උන්නේ ඒ කතාව කියන්න හොඳම විදිය කුමක්ද කියන එකය.

“චානක කියන දේ වැරදියි කියල මම කියන්නෙ නෑ බං. ඒ උනාට මෙතනදි බං අපි මුගෙ පැත්තෙන් විතරක් හිතලා මදි නේද?” කියා සමීර ඇහුවේ මෙච්චර වෙලා අන්ධකාරය දිහාවට යොමු වී තිබුණ දෙනෙත් චිරත් දෙසත් සමීර දෙසත් මාරුවෙන් මාරුවට හුවමාරු කරමිනි. චිරතුත් චානකත් සමීර දිහාවට දෙනෙත් යොමු කලේ ඒ වදන් අනුවය.

“මූ අපේ යාලුවා කියලා අපිට මූ කරපු කියපු දේවල් හරි කියන්නවත් මේධාවිණී කරපු දේවල් වැරදියි කියන්නවත් බෑනෙ මචං. මූ කිව්වට මූ බිස්නස් එක වෙනුවෙන් නැහුවෙ, රෑ තිස්සෙ වැඩ දාගත්තෙ ගෑණිටයි ළමයටයි සැප සම්පත් දෙන්න කියලා සමහරවිට මේධයි දරුවයි බලාපොරොත්තු උනේ මූ හිතන ජාතියේ සැප සම්පත් නෙවෙයි මූ ගෙදර ඉන්න එක වෙන්නැති. මූ ගෙදර වැඩවලට උදව් පදව් කරන එක වෙන්නැති. එහෙම එකේ මුගෙන් කිසිම සපෝට් එකක් මැරේජ් එකටයි ගෙදරටයි ලැබෙන්නෙ නැති එකේ මේධාට එපාවෙච්ච එක අසාධාරණ නෑ නේද කියලත් අපි හිතන්න ඕන නේද?” කියා සමීර කියද්දී ඒ කතාව ඇතුලෙ හිතන්න බොහෝ දේවල් තියෙන බව චිරත් ට වුනත් නොහිතුනා නොවේ.

“හරි ඒක හරි කියල මං පිළිගන්නවා. ඒ උනාට බං ඒක මේ ගෑණියෙක්ට තමන්ගෙ මිනිහව ඩිවෝස් කරන්න හේතුවක් නෙවෙය්නෙ බං” කියා චානක ආයෙමත් කියන ගමන් කතාව අවසන් කල මත් දිය වීදුරුව ආයෙ වතාවක් දෙතොලට ලං කරගත්තේය.

“නැත්තෙ නෑ බං. මූ දැන් ඔය බිස්නස් සීන් එක වෙනුවෙන් අවුරුදු කීයක් තිස්සෙ නැහෙනවද? ඒ අවුරුදු ගාණෙම ගෙදර ඔක්කොම වැඩපල ටික කරගත්තෙ මේධා තනියෙන් නම් ඒ ගෑණිට මූවයි ඒ ජීවිතෙයි එපා වෙච්ච එක සාධාරණ වෙන්න බැරිද? උඹම කියපංකො චිරත්. මොකද දැන් මමයි චානයි නෙවෙයිනෙ උඹයි මේධයි ළමයයි එක්ක උඹලගෙ ගෙදර හිටියෙ. උඹෙන් වෙන්න ඕන යුතුකම් උනාද නැද්ද කියන එක දන්නෙ උඹනෙ. උඹම කියපංකො මං කියන දේ හරිද වැරදිද කියලා” සමීර එහෙම කියන ගමන් ආයෙ වතාවක් චිරත් දිහා බලන අතරම මේසෙ උඩ තිබුන චීස් ඔම්ලට් එකෙන් කොටසක් ගෑරැප්පුවෙන් කඩා මුවට රුවා ගත්තේය.

සමීර එහෙම ඇහුවත් චිරත් උන්නේ එක එල්ලේ ඒ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න පුලුවන්කමක් නැතුවය. තමන්ට අමතක වෙච්ච විශේෂ දවස්ද, තමන්ගෙන් මග හැරුණ යුතුකම් සහ වගකීම්ද බලපෑවේ මේධාවිණීට පමණක් නොව පෙත්මලිටත් පවා යන්න චිරත්ට අමතක නැත. පෙත්මලීගේ පාසලේ වාර්ශික විවිධ ප්‍රසංගය වෙලාවේ පෙත්මලී සෝලෝ පර්ෆෝමන්ස් එකක් කරනවා බලන්න එනවා යැයි පොරොන්දු වුණත් තමන්ට එදාත් ඒ පොරොන්දුව ඉටු කරන්න බැරිවෙච්ච එකත් පෙත්මලී එදා රැයේ “ඇයි තාත්ති ආවෙ නැත්තෙ මං බලන් ඉදියා යාලුවන්ට තාත්තිව පෙන්නන්න” කියා බෝල ඇස් දෙක ලොකු කරගෙන අහද්දී තමන් ඒකට නිරුත්තර වෙද්දී “තාත්තිට වැඩනෙ පුතා. තාත්තිට දැන් ටයර්ඩ් ඇති ඒ නිසා අපි හෙට අහමු තාත්තිගෙන් ඒක” කියා මේධා පෙත්මලීව වඩාගෙන ගිය බව ආයෙ ඒ අතීතය දිහා හැරී බලන විට චිරත්ට මතක් වේ. ඒ අතීතය මෙනෙහි කිරීම පවා තමන්ට ලැජ්ජාවක් වේදනාවක් වෙද්දී මේධාවිණි ඒ අතීතය දරාගන්න ඇත්තේ කෙතරම් අපහසුවකින්ද කියන එක චිරත්ට නොවැටහුණා නොවේ.

“මගෙන් මිස් වෙච්ච දේවල් තියෙනව මචං, මම කියන්නෙ නෑ මම මේ සුදනා කියල. ඒ වුණාට මේධාවිණී හැම රෙද්දම ගිහිල්ලා එයාලගෙ අම්මලට කියන්න ඕන නෑනෙ, මං ඉස්සර ඉඳලම එයාට කිව්ව දේ තමයි ඉස්කෝලෙ යන කාලෙ වෙච්ච හැමදේම අම්මගෙයි තාත්තගෙයි කණේ තිබ්බා වගේ යාලුවෙලා ඉන්න කාලෙයි කසාද බැන්දට පස්සෙයි අපේ පර්සනල් දේවල් ගිහිල්ලා ඒ මිනිස්සුන්ට කියන්න එපා කියලා. ඒ උනාට එයාට ඒක මතක තිබුණේ කසාද බැඳලා පලවෙනි මාසෙ දෙකේ විතරයි. පස්සෙ එයා හැමදේම පුරුදු විදියට එයාගෙ ගෙදර අයට කියන්න ගියයින් තමයි මේ ප්‍රශ්න මෙච්චර දුර දිග ගියේ.

උඹ කියපංකො මං ඒකටයි ළමයටයි තව ටිකක් කම්ෆටබල් ජීවිතයක් දෙන්න මේ රෑ තිස්සෙ නැහෙද්දි හරිනම් ගෑණියෙක් කරන්න ඕන ටිකක් ඉවසන් ඉන්න එක නේද? එහෙම නැතුව මේ හැමදේම දමලා ගහලා ගිහිල්ලා තමන්ගෙ අම්මලගෙ ගෙදර ගිහින් මිනිහගෙ වැරදි කියන එක නෙවෙයිනෙ” කියා චිරත් ආවේගයෙන් කියාගෙන කියාගෙන යද්දී චානක ඒක ඔලුව වැනුවත් සමීරගේ දෙතොල් අස්සේ රැඳී තිබුණේ සමච්චල් සහගත හිනාවකි.

“හරිනම් ගෑණියෙක් කරන්න ඕන ටිකක් ඉවසන් ඉන්න එක නේද කියල උඹ මේධාවිණී එහෙම කලේ නෑ වගේ කතාකරන්න එපා චිරා. උඹට අමතක උනාට උඹ නොදැක්කට මේධාවිණී අවුරුදු ගාණක් තිස්සෙන් තනියෙම ඔය ගේම ගැහුව මචං. ඒකි මුල් කාලෙ ප්‍රශ්න ගෙදර ගිහින් කිව්වෙ නැත්තෙ උඹ අද වෙනස් වෙයි හෙට වෙනස් වෙයි කියල හිතපු හන්දා වෙන්නැති. එහෙම නැත්තම් සමහරවිට ඒ කාලෙ උඹ පොඩි හරි සපෝට් එකක් ඒකිට දුන්න හන්දා වෙන්නැති.උඹේ පැත්තෙන් ඒ සපෝට් එක නැතිවෙලා සෑහෙන කාලෙකට පස්සෙ ඒකිට ඒක දරාගන්න බැරිම වෙච්ච තැන ඒකි ඒකිගෙ අම්මා තාත්තට ප්‍රශ්නෙ ගිහිල්ල කිව්ව එකේ වරදක් මට නම් පේන්නෙ නෑ මචං.

උඹ සන්තෝස වෙයන් ඒකි ඒ හැම ප්‍රශ්නයක්ම ඒකිගෙ මව් දෙමව්පියන්ට ගිහින් කිව්ව එක ගැන. උඹට තරු පේන්න තිබ්බා ඒකි අම්මලට කියන්නෙ නැතුව වෙන දුක අහන අයියෙක්ව හොයාගත්ත නම්”  කියා සමීර ආයෙ සමච්චල් සහගත හිනාව පෙන්වද්දී චිරත් නිහඬ වුණේ ඒ කතාවට කියන්න උත්තරයක් නැති හන්දාටත් වඩා ඒ කතාව ඇත්ත බව හිත පිළිගත්ත හන්දාය.

“උඹ හරියට කතාකරන්නෙ අපේ එකා චිරා නෙවෙයි මේධා වගේනේ බං” කියා චානක කියන ගමන් චීස් ඔම්ලට් එකෙන් කොටසක් ගෑරැප්පුවෙන් කඩා ආයෙම කටේ රුවා ගත්තේය.

“අපේ එකා අපේ එකා කියල උගෙ වැරැද්දක් පේන තැනකදි අපි කට වහගෙන ඉන්න ඕන නෑනෙ බං. උගෙ වරදක් තියෙනම් ඒක උට පෙන්නල දෙන එක විතරනෙ උට ගොඩයන්න තියෙන එකම විදිය” කියා සමීර චානකට උත්තර දෙද්දිත් චිරත් කලේ මත්පැන් විදුරුව එක් අතක තියාගෙන අන්ධකාර අහස මැද්දෙන් පෙනෙන කලම්බෝ ස්කයිලයින් එක දිහා බලාගෙන කල්පනා කරන එකය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here