හදවත් දෙකක් 

රශිණි එළියට යන්න හැඩ වුණේ වෙනදාටත් වඩා උනන්දුවෙන්. සෙනසුරාදා නිසා සංජුල මුණ ගැහෙන්න එනවා කියපු නිසා රශිණි හිටියේ  බලාපොරොත්තු කන්දක් හිතේ පුරෝගෙන.

” ඔයා එන ගමන් ගමන්ද සංජුල ? ” 

” අ.. ඔව් ඔව්ව්. මේ එන ගමන්. මම කෝල් එකක් දෙන්නම් ” 

කලබලයෙන් එහෙම කියපු සංජුල දුරකථන ඇමතුම විසන්ධි කළේ කොහෙද ඉන්නේ කියලා අහන්නවත් රශිණිට ඉඩක් නොතියාමයි.

සංජුල රශිණිව මුණගැහෙන්න ආවේ පොරොන්දු උණ වෙලාවටත් වඩා පැය බාගයක් විතර පරක්කු වෙලා. ඒ වගේ පොඩි දේවල් ඒ තරම් ගානකට නොගන්න රශිණි ලෝකාඩුවක්වත් නොකියාම වාහනයට ගොඩ වුණේ මූණ හිනාවකින් සරසගෙනයි. ඒත් සංජුල හිටියේ ඒ තරම් සතුටකින් නම් නෙමෙයි.

” ඇයි සංජුල? ඔයා මොකක් හරි අවුලකද ඉන්නේ ? ” 

රශිණි ඇහුවේ සංජුලගේ අතින් අල්ල ගන්න ගමන්.

” මම එනවා කියලා කිව්වනේ. ඇයි සැරින් සැරේ කෝල් කර කර අහන්නේ ? ” 

සංජුලගේ කටහඬේ තැවරිලා තිබුණ කෝපය අඳුර ගන්න රශිණිට ඒ තරම් අමාරු උනේ නෑ.

” මම සැරෙන් සැරේ කෝල් කරේ නෑ නේ ” 

” හරි හරි එකපාරක් හරි කෝල් කරානේ ” 

සංජුල මේ විදියට රණ්ඩු වෙන්න හේතුවක් හොයන්නේ ඇයි කියලා හිතාගන්න රශිණිට බැරි වුණා. ඒ නිසා නොකරපු වැරැද්ද පිලිඅරගෙන වෙනදා වගේම රශිණි නිහඬ වුණා.

” ඇයි ඔයා අපේ ගෙදර එන්නේ නැත්තේ? අඩුම ගානේ කෝල් එකකින්වත් අපේ අම්මට කතා කරන්නේ නැත්තේ ? ” 

රශීණි ඇහුවේ ගෝල්ෆේස් එකේ හමන සුළඟට එහෙ මෙහෙ යන කොන්ඩේ හදන ගමන්

” හැමදාම ඔය ප්‍රශ්නෙ මගෙන් අහන්න එපා. මට ඕන වෙලාවට මම කතා කරන්නම් ” 

සංජුලගේ උත්තරේ වුණේ ඒක.

” office එකේ ඉන්නකොට සැරෙන් සැරේ කෝල් කරන්න එපා. වැඩ අස්සෙ ඔයාව හුරතල් කර කර ඉන්න මට වෙලාවක් නැහැ ” 

කාර්යාල වේලාවක රශිණි සංජුලට දුරකථන ඇමතුමක් ගත්තම සංජුලගේ පිළිතුර උනේ ඒක

” මම ඔයාට කෝල් කරන්න ඕන මොන වෙලාවටද ? ” 

රශිණි ඇහුවේ බැරිම තැන

” මම කෝල් කරනකන් ඉන්න ” 

ඒක මොන තරම් අසාධාරණ කතාවක්ද කියලා රශිණිට ආයෙමත් අහන්න හිතුනත් සංජුල ගේ කෝපය ගැන දන්න නිසා දුරකථන ඇමැතුම විසන්ධි කළා.

” සංජුල එයාගෙ සෙකට්‍රි පබසරා එක්ක සෙට් වෙලා ඉන්නේ ” 

දවසක් සුපිරි වෙළඳ සැලකදී මුණගැහුන සංජුලගේ කාර්යාලයේ මිතුරෙක් ඒ ආරංචිය රශිණි ගේ කනේ තිබ්බා.

” ඌ අපිට කියන්නේ නම් ඔයාලගේ affair එක නෑ කියලා “

මිතුරාගේ මුහුණේ තිබුණ සමච්චල් සහගත හිනාව රශිණිව තවත් වේදනාවට පත් කළත් කලබල නොවී මේ දේ සංජුලගෙන් අහන විදිය ගැන රශිණි  කල්පනා කළා.

” කවුද පබසරා කියන්නේ ? “

ඊළඟ සති අන්තයේ මුණගැහුන වෙලාවක රශිණි ඕන දෙයක් වෙච්ච දෙන් කියලා සංජුලගෙන් එහෙම ඇහුවා.

” ඔ.. ඔයා කොහොමද පබසරා ව දන්නේ ? “

” කියන්නකෝ ඉතින් ඒ කව්ද කියලා ? ” 

” කවුද කියන්නේ ඉතින් එයා මගේ ඔෆිස් එකේ යාලුවෙක් ” 

සංජුල උත්තර දුන්නේ අහක බලාගෙන. ඔහුගේ මුහුණේ තියෙන වෙනස රශිණි හොඳින්ම දැක්කා.

” යාළුවෙක්ද නැත්තං ඔයාගේ සෙකට්‍රි ද ? ” 

රශිණි එක එල්ලේම සංජුල දිහා බලාගෙන ඇහුවා.

” ඔයාට කවුද ඔය ඕපදූප කියන්නේ ? ” 

” ඒක කොහොමද ඕපදූපයක් වෙන්නේ ? ” 

” හරි දැන් ඔයාට මොකක්ද වෙන්න ඕනේ ? ” 

සංජුල සූදානම් වෙන්නේ ප්‍රශ්නය මගාරින්න කියලා තේරුණ නිසා වෙනදා වගේ නිහඬව ඉන්න රශිනි සූදානම් වුණේ නැහැ.

” දවසක් මට කෝල් එකක් ආවා. ඔයාට ඔයාගේ සෙකට්‍රි පබසරා එක්ක affair එකක් තියෙනවා කියලා ” 

ආරංචිය දුන්නේ යාලුවෙක් බව නොකියා රශිණි එහෙම කිව්වා.

” ඕක අපි දෙන්නම තරහ කරවන්න කවුරු හරි කරපු වැඩක් ” 

අන්තිමට සංජුලගේ උත්තරය වුණේ ඒක. ඒත් ගින්නක් නැතුව දුමක් නගින්නෙ නෑ කියලා රශිණි හැම වෙලාවෙම හිතුවා.

” ඔයාට විසිටර් කෙනෙක් ඉන්නව රශිණි “

කාර්යාලයේ දවල් වරුවකදී පිළිගැනීමේ නිලධාරියගෙන් රශිණිට ඇමතුමක් ආපු නිසා කවදාවත් නැතුව තමාව මුණගැහෙන්න කාර්යාලයට ආපු අමුත්තාව බලන්න රශිණි තිබුණේ කුතුහලයක්. 

රශිණිව මුණගැහෙන්න ඇවිල්ලා තිබුනේ රශිණිගේම වයසේ කියන්න පුළුවන් රූමත් තරුණියක්.

” මම පබසරා ” 

ඇය තමන්ව හඳුන්වලා දෙන කොට රශිණිට ඔලුව උඩ අකුණක් පුපුරලා යනවා වගේ රශිණිට දැනුනා. 

” මම දන්නවා ඔයාට සංජුල එක්ක affair එකක් තියෙනවා කියලා. ඒ ගැන මට අපේ ඔෆිස් එකේ කීප දෙනෙක්ම කිව්වා ” 

පබසරා කිසිම චකිතයකින් තොරව කතාව පටන් ගත්තා.

” ඒත් මට දැන් සංජුලව අතාරින්න බැහැ ” 

පබසරා කතා කලේ රශිණිට කතා කරන්න ඉඩක් නොතියන ගමන්

” එයා අපේ ගෙදර ඇවිල්ලා මගේ අම්මටයි තාත්තටයි කතා කරලා තියෙන්නේ. ඒ නිසා ඔයා සංජුල ගෙන් ඈත් වෙන්න. මට අපේ ගෙදර අය ඉස්සරහ ලැජ්ජ වෙන්න බෑ රශිනි ” 

අණ කිරීමක ස්වරූපයෙන් එහෙම එහෙම කියද්දි රශීණි ගේ දෑස් වලින් කඳුළු කඩාගෙන වැටුණේ ඉබේටමයි.

” මෙහෙම දෙයක් වුණේ කොහොමද ? ” 

කාර්යාලයෙන් නිවාඩුවක් දාපු රශිණි ගෙදරට එන අතරමග හිතුවේ එහෙම. 

” කොහෙද රශිණි ඉන්නෙ ? ” 

හවස් වෙලා සංජුල දුරකථන ඇමතුමක් දුන්නා. රශිණි හිටියේ ඉවසීමේ සීමාවේ අන්තිම කෙළවරේ. ඒත් ඉවසිය යුතුම තැන එතනයි කියලා රශිණි වටහා ගනිමින් හිටියා.

” ආපහු මට කතා කරන්න එපා සංජුල ” 

කුමක් හෝ දෙයක් සිද්ධ වෙලා තියෙන බව දැනුනත් ඒ මොකක්ද කියලා අහන්න සංජුලට ශක්තියක් නොතිබුණේ හදවතට එකඟව තමන් වැරදි බව දන්න නිසා.

” ඔයා දන්නවද ? මනුස්සයෙක් තමන්ට ආදරය කරන්න කෙනෙක් ඉන්නකොට තවත් කෙනෙකුට ආදරය කරනවා නම් එයා තෝරගන්න ඕන දෙවෙනි කෙනාව. මොකද පළවෙනි කෙනාගේ ආදරේ අඩුවක් තිබුණේ නැත්නම් එයා කවදාවත් දෙවෙනියෙක් හොයාගෙන යන්නේ නැහැ ” 

සිද්ධවෙලා තියෙන දේ තේරුම් ගන්න සංජුලට ඒ වචන ටිකම ප්‍රමාණවත් වුණා. 

” මොන විකාරයක්ද මේ කියවන්නේ රශිණි ?” 

” විකාරයක්ද නැද්ද කියලා ඔයාගේ හදවතින් අහලා බලන්න සංජුල. මට හිත හදාගන්න පුළුවන්. ඒත් ඔයා පබසරාගේ අම්මට තාත්තට පවා බලාපොරොත්තු දීලා තියෙන වෙලාවේ ඒ බලාපොරොත්තු නැති කරන්න එපා. ඔයා කරපු වැරැද්ද දැන් ඔයා පිළිගත්තත් නැතත් මට වැඩක් නැහැ. ඒත් මං කරපු වැරැද්ද ඔයාව විශ්වාස කරපු එක.ඒ වැරැද්ද හදාගන්න මට පුළුවන් ” 

එහෙම කියල දුරකථන ඇමතුම විසන්ධි කරපු රශිණි සංජුලට තමන්ව සම්බන්ධ කරගන්න පුළුවන් හැම මාර්ගයක්ම අවහිර කරලා දැම්මා.

More Stories

Don't Miss


Latest Articles