දුරකථනයෙහි සංඥාවට අනුව මුලින්ම නැගී සිටියේ හසාරාය.ගිලිහී විසිරී තිබූ කොණ්ඩය එක් මිටකට කර බැඳගත් ඕ තම දකුණු පස බැලුවේ ධනංජයව දකින්නට අපේක්ෂාවෙන්ය.ඊයේ රාත්‍රියේත් ඔහු කාමරයට පැමිණ සිටියේ නැත.එකඳු රැල්ලක්වත් නොවන සේ සීරුවට එලා තිබූ ඇද ඇතිරිල්ල තවමත් එහෙමමය.ඒ පාන්දර යාමයේත් ඇගේ දෑස් වලට උනා ආවේ කඳුලකි.දිගු සුසුමක් මුදා හල ඈ සිය ලය සන්සුන් කර ගැනීමෙහි උත්සාහයක යෙදුණාය.
‘ එක පාරටම එයාට වෙනස් වෙන්න අමාරු ඇති..’
ඔහුව ඇහැරවන්නට සිතා උඩුමහලට නගින්නට ගිය හසාරා යළි හැරුනේ පහත මාලයේ මුළුතැන් ගෙය දෙසින් ඇසුණු ශබ්දය නිසාය.අවසන උඩුමහලට යාම අතහැර ඕ පහත මාලයට පැමිණියාය.
චීස් සැන්ඩ්විච් පෙති කිහිපයක් මේසය මත විය.ඉන් මදක් එහාට වන්නට කහට පාටට සැකසූ කිරි තේ කෝප්පයකි.ධනංජය වූයේ මුළුතැන් ගෙයට ඇතුළුවන දොරටුවට පිටුපා ගෙනය.ලිප අසලට වී ඔහු යමක් කරමින් උන්නේය.
“ ඔයා මට කතා නොකරම නැගිට්ටද ධනා…”
ධනංජය පසුපස හැරුණේ ඇගේ ඒ හඬටය.ඕ පහත මාලයට පැමිණ තිබුණේත් සුදු පැහැ සිනිඳු රෑ ඇඳුම පිටින්මය.හදිසියකින් සේ තම බිරිඳගේ වතින් දෑස් මුදාගත් තරුණයා හිස් සුදු බිත්තියේ පාළුව මැකූ කුඩා බිත්ති ඔරලෝසුව දෙස බැලුවේ කලබලයෙන්ය.
“ තව පැයක් තියෙනවා.මං ඔයාට සැන්ඩ්විච් හැදුවා.ඉක්මනින් කාලා ලෑස්ති වෙන්න.”
ලිප මත බඳුනෙහි වූ සොසේජස් කරල් කිහිපයකුත්.හොඳින් බැද තිබූ බිත්තරයකුත් පිඟානක තබා සැන්ඩ්විච් බඳුන අසලින්ම තැබූ ධනංජය මුළුතැන් ගෙයින් නික්මෙන්නට උත්සාහ කලේ ඈ දෙස නොබලමින්ය.එහෙත් ඉන් පෙර ඉස්සර වූ හසාරා ඔහුව තදින් වැළඳ ගත්තාය.
“ ඇයි මට ඔයාව දාලා යන්නේ මෙච්චර බයක් දැනෙන්නේ මෙච්චර ලෝබකමක් දැනෙන්නේ..මට මේ වෙලාවෙත් මේ ටුවර් එක කැන්සල් කරන්න හිතෙනව ධනා..අපරාදේ මං මේක බාර ගත්තේ කියලා හිතෙනවා..”
“ ඔයාට පිස්සුද..මම ලෑස්ති වෙන්න යනවා. ඔයා කාලා ලෑස්ති වෙන්නකො.ඔයා හැමදාම තමන්ගේ රාජකාරිය අනිත් හැම දේකටම වඩා ඉහලයි කියලා හිතපු කෙනෙක්.එහෙම වගකීමක් නැති වැඩ කරන්න හිතන්න එපා.හැමදේම හරියයි ඔයා මේ ටුවර් එක ගිහිල්ලා එන්නකෝ..”
ධනංජය ඒ වදන් කිහිපය පැවසූයේත් ඈ දෙස බලාගෙන නොවේ.ඒ වදන් කිහිපය එක්කොට එකට ගලපා ගැනීමේ අපහසුතාවය දැන උන්නේ ඔහු පමණකි.හසාරාගෙන් මිදුණු ධනංජය පඩිපෙළ නැගුනේ ඉක්මන් ගමනේය.ඈ කෑම මේසයෙන් අසුන් ගත්තේ දෑස් වලට උනා ආ කඳුලක් පිසදා ගනිමින්ය.කුසගින්නක් නොවූවත් ඕ සැන්ඩ්විච් පෙත්තක් ආහාරයට ගත්තාය.එසේ නොවුනහොත් ඔහු කෝප ගන්නා බව ඈ දනී.
‘ එයා එයාගේ පුරුදු ආපහු හෙමි හෙමින් මතක් කරගන්න ගමන්.හිත රිදෙන කිසිම දෙයක් කියන්න හොඳ නෑ…’
තවත් සැන්ඩ්විච් පෙත්තකින් අඩක් ආහාරයට ගත් හසාරා කිරි කෝපි කෝප්පය හිස් කලේ එක හුස්මටය.තමා සමහර විභාග වලට මුහුණ දෙද්දී ඔහු බලෙන් කෑම කවා යැවූ හැටි සිහිව යළිත් ඇගේ දෑස් වලට උපන්නේ කඳුලකි.ඒ අතීතය පුදුමාකාර සුන්දර එකක් විය.යළිත් ඒ අතීතය වර්තමානයේ ජීවත් කල යුතුය.
පෙරදා සවස සූදානම් කර තැබූ සුදු පැහැ අත් රහිත බ්ලවුස් එකත් ක්‍රීම් පැහැ කලිසමත් ඊට ගැලපෙන රෙද්දකින් නිමවූ කෝට් එකත් ඇද හසාරා පහත මාලයට එද්දී ධනංජය උන්නේ සිය දුරකථනයට දෑස් යොමාගෙනය.ඔහු ඇද උන්නේත් සුදු පැහැ අත්දිග කමිසයකි.කමිසයෙහි දිගු දෑත් වැලමිට තෙක් නැව්වේත් හසාරාමය.
“ ඔයාගේ බිස්නස් එක ගැන ප්ලෑන් කරලා තියන්න.මම බෑන්ක් එකට කෝල් එකක් දෙන්න ඕනද…ඔයා ඒ ඩොකියුමන්ට්ස් ටික අරගෙන ගිහිල්ලා බලන්න කොහොමද ලෝන් එක ගන්න පුළුවන් කියලා..ඔක්කොම ඩොකියුමන්ට්ස් ඔයාගේ නමටම තියෙන නිසා මාව ඕනෙ වෙන එකක් නෑ සමහරවිට.පරිස්සමෙන් ඉන්න ධනා.පුළුවන් තරම් ගෙදර මොනවා හරි හදාගෙන කන්න බලන්න.කඩ කෑම කාලා ඔයාට බඩේ අමාරුවක් හරි හැදුනොත් මමත් නෑනේ..මං නිර්මිතාට කියන්නද කෑම ටිකක් ගෙනත් දෙන්න කියලා…”
“ එපා මං ඕන කමක් තිබුණොත් කතා කරන්නම්.පරක්කු වෙනවා අපි යමු.ඔයාගේ බෑග්ස් ඩොකියුමන්ට්ස් හෑන්ඩ් බෑග් එහෙම ඔක්කොම ගත්තද කියල බලන්න.මතක් කරලා ජැකට් දා ගත්තා නේද.මේ දවස්වල එහේ සීතල වැඩියි…”
“ ඔක්කොම රෙඩි…ඔයාව දාල යන්න ලෝබකමක් විතරයි තියෙන්නේ.පුළුවන්නම් ඔයාවත් මේ බෑග් එකක් ඇතුලට දා ගන්නවා මං…”
“ හසරා ඔෆිස් එකේ ගන්න ඕන ඩොකියුමන්ට්ස් ඔක්කොම ඔයා රෙඩි කර ගත්තා නේද..ඒ ඔක්කොම ලැප් එකෙත් තියෙනවනේ..”
ඔහු එවර පැවසුවේ ඇයව නොඇසුණු ගණනටය.ඒ ආයාසයකින් ගලපා ගත් වදන් නොවේ..ඒ ඔහුගේ පුරුද්දයි.ගෙවී ආ ජීවිතයේ සෑම තැනකදීම ඔහු ඒ අයුරින් ඈ ගැන සොයා බැලුවේය.ඒ පුරුදු අමතකව ගියේ මෑත කාලයේය.මේ ගෙවී යන තත්පරයත් ධනංජයට දැනෙන්නට වූයේ දිගු කාල පරාසයක් ලෙසය.හසාරාට ඔහු දමා යාමට ලෝබ සිතනා තරමටම ඇගේ ගමන ඉක්මන් කරන්නට ඔහුට ඕනෑ කමක් විය.ලොකුම අපහසුතාවය වූයේ මේ ආකාරයෙන් ඇයට මුහුණ දෙන්නට සිදුවීමයි.
හසරා ධනංජයගේ දෙපා මුල පහත් වූයේ එවේලෙහිය.ඒ දෙපා පසු පසට ඇදුනේ නිරායාසයෙන්ය.ඔහු ඇයට වඩා මාස කිහිපයකින් වැඩිමහලු වූවාය.සිංහල අලුත් අවුරුද්දට , විශේෂ අවස්ථාවකදී සේම ඇය යම් විභාග කටයුත්තකට සහභාගී වීමේදී මේ ආකාරයෙන් ඔහුට වැදි අයුරු මතකය.එහෙත් මෙවේලෙහි ධනංජයට ඇතිවූයේ තිගැස්මකි.වරදකාරී හැඟීමකි.ඔහු වඩාත් බිය වූයේ ඒ හැඟීමටය.
හසාරා යලිත් ඔහුගේ වමතින් අල්ලා ගත්තේ වාහනයට නැඟුනාට පසුවය.ඒ දෑත් එවේලෙහි වූයේ සුක්කානම මතය.
“ ඇයි….”
“ පහුගිය දවස්වල මේ වාහනේ එක්කෝ ඔයා තනියෙන් ගියා.නැත්තං මම තනියම ඩ්‍රයිව් කරගෙන ගියා.අපි දෙන්නම දෙවිදියකට සමහර තැන්වලදී තනි උනා.ඒ ගෙවිලා ගිය කාලේ අපරාධයක් කියලා මට හිතෙනවා ධනා.ප්ලීස් මං එද්දි ඔයා පරණ පුරුදු කෙනාම වෙලා ඉන්න.ඔයාට ඕන තැනකදි නවතින්න මං ලෑස්තියි.දෙන්නෙක් එකතු වෙනවා කියන්නේ දෙන්නගේ ආසාවල් කැමැත්තවල් පස්සේ වෙන වෙනම දුවන එක නෙමෙයි.එක තැනකදී ඒ කැමැත්තවල් ඒ ආසාවන් එකක් වෙන්න ඕනේ.එහෙම අයට විතරයි ජීවිතේ සාර්ථක කර ගන්න පුළුවන්.ඔයා මං වෙනුවෙන් ගොඩක් කැප කිරීම් කරපු කෙනෙක්.සමහරවිට මගේ අම්මටයි තාත්තටයිත් වඩා…හැමදාම මගේ හයිය වෙන්න ඕනෙ ඔයා තමයි ධනා…මගේ සතුට වෙන්න ඕනෙ ඔයා..එයාලා මාව දාලා අක්කා ලඟට ගියේ ඔයා ගැන ලොකු විශ්වාසයකින්…”
ධනංජය හිස වැනුවා මිස වදනින් කිසිවක් නොකීවේය.අවසන සිය ජංගම දුරකථනය ගෙන හසාරා ඔහුවත් තමාවත් සෙල්ෆි සේයාරුවකට හසුකර ගත්තාය.අනතුරුව එම සේයාරුව මුහුණු පොතට එක්කරමින්
“ ඒ සොඳුරු මිනිසා නුඹය
දෑස් පිය වෙන තුරා මා දකින..”
යනුවෙන් සඳහන් කළාය.
බිරිඳව ගුවන් තොටුපලට ඇරල වූ ධනංජය ආපසු පැමිණියේ ඇයගේ කාර්යාලීය මිතුරන් දෙදෙනා පැමිණිය පසුය.අධිවේගී මාර්ගයට අවතීර්ණ වීමට ඇති අතුරු මාර්ගයේ කෙළවර පෙනෙන නොපෙනෙන දුරින් වාහනය නවතා ගත් ඔහු සිය දෑත් වලින්ම හිස බදා ගත්තේ පුදුමාකාර අපහසුවකින් දරා උන් සිතුවිලි නිදහස් කරන්නට සිතා ගෙනය.ඒ පීඩනය හිස කැක්කුමක්ව පිට වෙමින් තිබිණ. එක හුස්මට වතුර උගුරු කිහිපයක් පානය කළ තරුණයා කැබි හෝල් එක තුළ වූ වේදනා නාශක පෙති දෙකක්ද ගිල දැමුවේය.
තවමත් වාහනය තුළ ඇත්තේ ඇය ඉතිරි කර ගිය සුවඳය.තුනි සීතලක් ගතට දැනුනත් ධනංජය පැති වීදුරු හතරම ස්වයංක්‍රීයව ඇර දැමුවේය.ඔහුට උවමනා වූයේ ඒ තමා වටා කරකැවෙන ඒ සුවඳින් මිදෙන්නටය.එක් පසෙකින් සිත දවන කෝපයත් තවත් පසෙකින් සිත රිදවන දුකත් එකිනෙකා පරදන්නට ද්වන්ද සටනකය.
ඔහු තදින් දෑස් වසා ගත්තේ දෑස් මානයේ පෙනී නොපෙනී යන හසාරාගේ රුව අමතක කරන්නට සිතාගෙනය.එහෙත් ඒ සිත සනසා ගැනීමේ වෑයමක් පමණක් වග අවසන ඔහු වටහා ගත්තේය.සිතත් සිරුරත් එක ලෙසම රිදුම් දෙමින් තිබිණ.තමා උණ රෝගියෙකුගේ තත්වයට පත්වී ඇතැයි ධනංජයට සිතුනේ එනිසාය.
ක්ලික් හඬින් කෙටි පණිවිඩයක් පැමිණි බවට සංඥා නිකුත් කරමින් නාද වූ ජංගම දුරකථනය සිය වම් අතට ගත් තරුණයා ඒ මත ඇඟිලි තුඩු දිව වූයේ කලබලයෙන්ය.
පැමිණ තිබුණේ වට්ස්ඇප් පණිවිඩයකි.
හසාරා ගත් ඡායා රූපය මුහුණු පොතට එක් කර තිබූ අයුරුත්, එහි ඇය ලියා තිබූ පද කිහිපයක් රතු පැහැයෙන් රවුම්කර දැක්වෙන තිර රුවකි.
සියලු හැඟීම් පරදා ධනංජයගේ සිත කෝපයෙන් පිරී යන්නට විය.ඔහු කිහිප වරක්ම දුරකථනය එහා ඉම උන් ඇයව අමතන්නට උත්සාහ කළත් ඇය දුරකථනයට පිළිතුරු සැපයූයේ නැත.
‘ ඒ මට නැති එයාට ඇති අයිතිය පෙන්නන විදිහ වෙන්න ඇති..’
යළිත් “ ක්ලික් “ යනුවෙන් නාද වූ ජංගම දුරකථනයට පැමිණියේ එසේ ලියූ කෙටි පණිවිඩයකි.ධනංජය ඒ කිසිවකටත් පිළිතුරු සැපයූවේ නැත.
සැබැවින්ම ඔහු උන්නේ ජීවිතයේ වැදගත්ම තීරණයක් අභියස නතර වීගෙනය.එහේ මෙහේ දිවයන සිත සන්සුන් කර ගැනීමේ වෑයමක යෙදී ගෙනය.
( යළිත් හමු වෙමු……)
ReplyForwardAdd reaction |