ජීවිතය කවියක් නොවේ – 30

0
4950

ධනංජයව බන්ධනාගාර කඳවුරකට යොමු කෙරුනේ පැය හතළිස් අටක්  රඳවා ගෙන ප්‍රශ්න කිරීම් වලින් පසුවය.ඔහුගේ බොහෝ ලියකියවිලිවල වූයේ ශ්‍රී ලංකාවේ ඇති දේශපාලනික සහ ආර්ථික අර්බුධය  නිසා සරණාගත තත්වයෙන් ප්‍රංශයේ රැකවරණය පතා පැමිණි බවය.ඔහුට විරුද්ධව වූ නඩුව විභාග කෙරෙන තුරු මෙම බන්ධනාගාර  කඳවුරෙහි රැඳී සිටීමට ධනංජයට සිදුවේ.එය එළි මහන් කඳවුරකි.කුඩා කුඩා කාමර පේලියක් එක දිගට විය.තමා වැනිම රැඳවියන් දෙසියකට අධික ප්‍රමාණයක් එහි සිටින බව ධනංජය දුටුවේ  නිලධාරීන් පසු පසින් ඇවිද යද්දීය.නිර්මිතාත් මේ ආකාරයේම කාන්තා කඳවුරකට යොමු කරන බව ඔහුට දැනගන්නට ලැබුණේ ගුවන් තොටුපළේදීමය.එය කුඩා කාමරයකි.බිම වූයේ බිත්තියට හේත්තු කළ හැකි කුඩා මෙට්ටා දෙකකි.ඒ මැදින් නාන කාමරයට යා හැකි අන්දමට මෙට්ටා දෙක දෙපසකට කර තිබිණ.කුඩා ඇඳුම් වැටක එකම වර්ණයක කොට කලිසම් දෙකක් ටී ෂර්ට් දෙකක් විය.ධනංජයට ලැබුණේත් ඒ වර්ණයේම ඇඳුම් කට්ටල දෙකකි.තමාට කාමරය බෙදා  ගැනීමට සිදුවන්නේ කුමන ජාතියක කුමන ආගමක අයෙකු සමගදැයි ඔහු නොදැන සිටියේය.මෙතැන් සිට ජීවිතය නීරස වන බව විශ්වාසය.ගෙවී ගිය පැය හතළිස් අට පුරාවටම ඔහු වෙනුවෙන් හෝ නිර්මිතා වෙනුවෙන් පැමිණි නීතිඥයෙකුවත් මෙරටෙහි නියෝජිතයෙකුවත් නොවේ.මෙම රටින් පිටුවහල් කරන තුරුම තමාට මේ සිර මැදිරියෙහි රැඳී සිටීමට සිදුවන බව විශ්වාසය.තමා ගැනම උපන් ආත්මානුකම්පාවට ගලා ගිය කඳුළු දෙපේළියක් ටයිල් ඇල්ලූ පොළොව මත බිඳී විසිර යද්දී ධනංජය එක් අයෙකුට පමණක් නිදා සිටිය හැකි මෙට්ටය මතින් අසුන් ගත්තේය.ඔහුට නිර්මිතා ගැන දැනුනේ දුකකි.ඇයට මේ සියල්ලම අහිමි වූයේ තමාව විශ්වාස කළ වරදටය.තමා උන්මත්තක මිනිසෙකු නොවන්නේ කෙසේදැයි ධනංජය සිතුවේ ඔහේ ගලා  යන කඳුළුවලට ඉඩ දෙමින්ය.නාඳුනන රටක නාඳුනන ඉසව්වක නාඳුනන පිරිසක් මැද තනිව සිටීමේ වේදනාව ඔහු මුළු හදවතින්ම විඳිමින් සිටියේය. එළිමහන් කදවු⁣රෙනුත් කාමරයෙනුත්  එපිට ලෝකයක් තමාට කවදා දක්නට හැකිවේදැයි විශ්වාසයක් ධනංජයට තිබුණේ නැත.සමහරවිට ජීවිතයේ අවසානයත් මෙහිදීම සිදුවන්නට ඉඩ ඇත.පතා ආ සැනසීමවත් නිදහසවත් නොලද  ඔහු අවසන නතර වූයේ තමාට තමාවත් අහිමිව  ගිය තැනකය.

දහවල ආහාරය රැගෙන ආවේ තරුණයෙකි.සිල්වර් පැහැති පිඟානක් මත වූයේ බාගෙට පිසූ මස් පෙත්තක්, බාගෙට තැම්බූ එළවලු වර්ග දෙකක් හා අමු සලාද කොල කිහිපයකි.උණුවතුරට ලුණු දැමුවාක් වන් වූ සුප් කෝප්පයත් කුඩා බනිස් ගෙඩ්යත් දීසියේම එක් කෙලවරක විය.ධනංජයට ඔක්කාරය පැමිණියේ මස් පෙත්තේ පිලී ගඳටය.

***============*======

රාත්‍රීන්  තුනක් ගෙවී ගියේය.මේ ජීවිතයේ තමා ගෙවා දැමූ දිගම  රාත්‍රීන්  බව හසාරාට විශ්වාසය.එම දින තුන පුරාවටම නිවසේ දොර ජනෙල්  ඇරුනේ නැත.හසාරාට කුසගින්නක් නොදැනුණු තරම්ය.පපුව දැවිල්ලක් ඇල්ලූ සෑම  වතාවකම ඕ වතුර උගුරු කිහිපයක් එක හුස්මට පානය කළාය.හසාරා ඇඬුවේ නැත.කිසිවෙකුට දුරකථන ඇමතුම් ලබා ලබාදී දුක කියමින් බැණ වදිමින් සාප කළේ ද නැත.අඩු තරමේ තමාට පැමිණෙන ඇමතුමකටවත් ඈ පිළිතුරු සැපයූවේ නැත.ගෙවී ගිය කාලය නිමවූයේ තමාට තමා ගැනම ආත්මානුකම්පාවක් ඇති කරවමින්ය.ධනංජය සොයා ගියේ සතුටය.ඒ ඔහුගේ අයිතියයි.තමා තවමත් ඔහුව අල්වාගෙන දුක් විඳිනවායැයි අවසන ඕ සිතුවාය.ඔහුව තවදුරටත්  තමා සන්තකයේ  රඳවා නොගෙන මිටින් මුදා හැර ඔහුට නිදහස ලබා දිය යුතුයැයි හසාරා තීරණය කළේ තෙවන දිනයේ මධ්‍යම රාත්‍රියත් ගෙවී යද්දීය.මේ අල්ලාගෙන සිටින්නේ ඔහු නොව අතීතයක් පමණි.මකයන් පමණි.මේ  අතැඟිලි ගිලිහී වැටුනේ අද ඊයේක නොවේ.ධනංජයට තමා විසින් පැළඳූ මංගල මුදුව අවුරුද්දක් තිස්සේම අල්මාරියේ ලාච්චුවක අර පරිස්සමට තබා තිබුණේය.ඔහු වෙනමම කාමරයක් තමා සඳහා තෝරා ගත්තේය.තමා ඔහුව අල්ලාගෙන සිටියත් ඔහු තමාව ඒ සිතුවිලි වලින් පවා මුදා හැර කාලයක් ගතව තිබුණායැයි  හසාරාට සිතුනේ එවේලෙහිය.තව දුරටත්  ඔහු සමග යන ගමන නිස්සාර ගමනක් යැයි හසාරා අවබෝධ කර ගත්තාය.යළි යළිත් ඔහුටත් නිර්මිතාටත් සතුට සුවය පැතූ ඈ වෙනදාටත් වඩා පාන්දරින් නැගී සිටියාය.

හෙට දවසේ නැගෙන හිරුත් සමග ජීවිතයට කෙසේ හෝ මුහුණ දිය යුතු බව ඈ දැන සිටියාය.කාර්යාලයට යාමට තවත් දෙදිනක නිවාඩුවක් ඉතිරිව ඇත.උදෑසන නැඟී සිටි තරුණිය යහමින් කහට යෙදූ තේ එකක් සාදා ක්‍රීම් කැකර් බිස්කට් කිහිපයක් ළං කරගෙන මුළුතැන් ගෙයිම වු  මේසයෙන් අසුන් ගත්තේ නිහඬවය.
මේ සා විසල් මන්දිරයක තනිව සිටීම ලෙහෙසි පහසු එකක් නොවේ.ඒ තනිකමට ඈ බිය වූවාය.

ඇයට ඒ හදිසියේම සිහිවූයේ නිර්මිතාගේ මවත් නැගනියත්ය.අවසන් වරට දුරකථනයෙන් කතා කරද්දී නිර්මිතා පැවසූයේ ඔවුන් නව නිවසකට පැමිණි බවය.උදෑසන දහයයි තිහට නීතිඥවරයා හමුවීමට පැමිණෙනවායැයි නිර්මිතා කෙටි පණිවිඩයක් තැබුවේ පාන්දරමය.තවදුරටත් සිහිනයත් යතාර්ථයත් අතර අතරමං වී සිටින්නට සිත ඉඩක් නොදේ.ධනංජය හා වන සියලු මතක වලින් සමුගත යුතුයැයි ඈ සිතුවේ එනිසාය.ඒ පාන්දරය.මෙලොව ජීවත් වන මිනිසුන් සියල්ලෝම සර්ව සම්පූර්ණ නොවේ.තමා සර්ව සම්පූර්ණ ගැහැණියකයැයි සිතා සිටියාට එය එසේ නොවන බව පසක් කළේ ඔහුය.පවුල් ජීවිතය රැකගැනීමට ලෝකයාට උපදෙස් ලබා දුන්නත් තමා කෙතරම් අසාර්ථක ගැහැණියකදැයි පසක් කලේ ඔහුය.ධනංජය  තමාට වඩාත් ගැලපෙන ගැහැණිය නිර්මිතායැයි විශ්වාසයේ තබාගෙන ගත් තීරණයට අභියෝග කරන්නට හසාරා සිතුවේ නැත.ඒ වෙනුවට ඇයට ඕනෑ වූයේ නිහඬ සමුගැන්මකි.

ඕ වහ වහා නිර්මිතාගේ මවගේ දුරකථනයට ඇමතුමක් ලබාගත්තේ හදිසියේ ඇති වූ සිතුවිල්ලකට අනුවය.

“ අම්මේ මම හසාරා…”

“ අනේ දුව කතා කල එක හොඳයි.මේ ළමයා ගියා ගියාමයි කෝල් එකක්වත් දුන්නෙ නැහැනේ..හසාරා දුව ලංකාවේ නෑ කිව්වා.ඔෆිස්  එකෙන් උනත් මේ ගියපු  ගමනට මගේ ඒ තරම් කැමැත්තක් තිබුණෙ නැහැ.මං කීප සැරේ ඇහුවා  හසාරා දුවට කියලා මේ ගමන වෙනස් කරගන්න බැරි උනාද කියලා.”

“” මං ලංකාවේ නෙමෙයිනේ අම්මේ හිටියේ…”

“ ඒක නේන්නම්.අපි මේ පිච්චි පිච්චි ඉන්නේ මොකද කෝල් එකක්වත් නැත්තේේ කියලා.අපිට කතා නොකලට කමක් නෑ. දුවටවත් කතා කලොත්  අපිට කියන්න.”

“ මං අනිවාර්යෙන්ම අම්මට කියන්නම්. මට නිර්මිතා කිව්වා වෙන ගේකට යන කතාවක්.”

“අනේ ඔව් මේ ළමයට හදිසියේම මහ ගේ  විකුණන්න ඕන උනානේ.සමහර විට අපේ ආරක්ෂාව ගැන හිතල වෙන්න ඇති.අපි මේ නංගිගේ කැම්පස් එක කිට්ටුවෙන්ම කුලියට ගෙයක් ගත්තා.අපරාදේ කියන්න බෑ කෙල්ල අවුරුද්දකම කුලී ගෙවලයි ගියේ..ඒ ළමයා ඒ ළමයට වඩා හිතුවේ අපි ගැන.ඔය ගමන උනත් ගියේ වැඩිපුරම අපි ගැන හිතලා.කීයක් හරි වැඩිපුර හම්බ වෙනවා ඇතිනේ.”

“ මං බලන්නම් අම්මේ..අම්මට වුවමනාවක් උනොත්  මගේ මේ නම්බර් එකට මට කතා කරන්න.”

“ අපිට යමක් උනොත් ඔය ළමයා  හැර  කියන්න වෙන කෙනෙක් නෑ.අනේ දුවේ පුලුවන්නම් කතා කරලා මගේ කෙල්ල ගැන හොයලා බලන්න.පොඩි එකිත් උදේ කිය කිය ගියේ හසාර අක්කටවත් කෝල් එකක් දීලා බලන්න ඕනේ කියලා..”

“ මං හොයන්නම් අම්මේ…..”

හසරා දුරකථනය විසන්ධි කළේ මහත් වූ කලකිරීමකින්ය.ඒ කලකිරීම වූයේ නිර්මිතා ගැන පමණක්ම නොවේ.තමාගේ අයවලුන් තමාට ආදරය කළ අයවලුන් මේ සා රවටන්නට හැකියාවක් වේදැයි ඕ සිතුවේ මවිතයෙන්ය.නිර්මිතා මේ ගමන ගොස් ඇත්තේ ඔවුනට ඇති සියල්ල උදුරා⁣ගෙනය.

ගෙවී ගිය තත්පරයෙන් තත්පරය විනාඩියෙන් විනාඩිය ඒ කළකිරීම ඇගේ ශරීරයේ ඇට මිදුළු වලට බද්ධ වෙමින් ලේ නහර ඔත්සේ පැතිර යන්නට විය.අම්මාටත් තාත්තාටත් සොයුරියටත් දුරකථන ඇමතුම් ලබාගත් හසාරි  අතිශය සාමාන්‍ය කතාබහක නිරත වෙමින් ඔවුනට සමුදුන්නාය.

අවසන ඕ නිවසින් පිට වන්නට සිතා සුදු පැහැ කුර්තා වර්ගයේ කමිසයට ලිනන් වර්ගයේ සැහැල්ලු දිග කලිසමක් ඇද ගත්තාය.දුරකථනයෙන් ඇණවුම් කල කුලීරිය ගේට්ටුව අසල නතර වූයේ හසාරා ඉදිරිපස දොර වසා දමද්දීය.

“ එක අතකින් ඔයා එහෙම ඉඳපු එක හොඳයි ධනංජය.එහෙම නොවුනනං මට දරා ගන්නම බැරුව යයි…”

ඇය එසේ සිතුවේ වසා තමා තිබූ දොර දෙස බලාගෙනය.නීතිඥ කාර්යාලයට යාමට පෙර පන්සලට යා යුතුයැයි හසාරා සිතුවේ උදෑසනය.ඕ අන් කවරදාටත්  වඩා සන්සුන් කමක් දරන්නට වූයේ සිතා මතාමය.

ධනංජය සමඟ තරහ ගන්නට ඔහුට වෛර කරන්නට නිර්මිතාට වෛර කරන්නට සිතුවත් එසේ කළ හැකිකමක් ඇයට වූයේ  නැත.ඒ මිනිසුන් සිත රවටා ගන්නට යොදන උපක්‍රමය.වැරදුනේ ඔහුටද එසේත් නැතිනම් තමාටද කියා සිතන්නට හසාරා වෙහෙස නොවූවාය.දැන් ඒ සියල්ල සිදුවී හමාරය.අතීතයේ ජීවත්වීම වෙහෙසකරය.හිතා මතාම දුක ලං කරගැනීම කලකිරීමට හේතුවකි.

අවසන හසාරා තීරණය කළේ ලංකාව අතහැර සොයුරිය  සිටින රටට යාමටය.තමාගේ අයවලුන් සියල්ලෝම එහිය.

හෝරා දෙකක් පමණ රජමහා විහාරයේ කාලය ගත කළ හසාරා යළිත් දුරකථනයෙන් ගෙන්වාගත් කුලීරියකට නැගුනේ සම්පූර්ණයෙන්ම නොවූවත් සන්සුන් වූ සිතක් ඇතිවය.එතැන් සිට ඕ කෙලින්ම ගියේ නීතිඥවරයා හමුවටය.

( යළිත් හමු වෙමු ආදරයෙන්……)

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here