වසර හතළිහකට පසු ගොඩගත් රේඛාගේ අභිරහස

මේ දවස්වල ලොව පුරා ජනප්‍රිය වෙමින් පවතින සහ කතාබහට ලක්වෙන චිත්‍රපටයක් ගැනයි අද අපි ඔබට කියන්නේ. ජෝන් මන්ත්‍රිකල් සහ රාමු සුනිල් විසින් තිර රචනය කරන ලද මේ අපූරු චිත්‍රපටය තමයි ” රේඛාචිත්‍රම් ” කියන්නේ.  

අසිෆ් සලී පොලිස් නිලධාරියෙක් ලෙසත් අනස්වරා රාජන් මිය ගොස් ඇති රේඛා නම් තරුණියගේ චරිතයටත් පණ පොවන මේ මලයාලම් චිත්‍රපටය ආරම්භ වන්නේ අතීතයේ සිද්ධ වන සිදුවීමකින්.එක් අඳුරු රාත්‍රියක මිනිසුන් කිහිප දෙනෙක් විසින් පැදුරක ඔතන ලද මළ සිරුරක් නිවසකින් එළියට ගෙන එන අතර කුඩා පිරිමි ළමයෙක් ඒ සිදුවීම දකිනවා. පසුදින ඔහු තම මිතුරෙකුට පෙර දින රාත්‍රියේ තමාගේ පියා චිත්‍රපටයකට රංගනයෙන් දායක වූ බව පවසමින් පෙර දින රැයේ තමා දුටු ඒ සිදුවීම මිතුරාට විස්තර කරනවා. ඉන් පසුව තමයි වර්තමාන කතාව දිග හැරීම ආරම්භ වන්නේ.

කණස්සල්ලෙන් සිටින රාජේන්ද්‍රන් නමැති පුද්ගලයෙකු මත්පැන් පානය කර කැලයක් තුළට යන අතර හිටි හැටියේම ෆේස්බුක් ලයිව් වීඩියෝවක් හරහා මීට වසර ගණනාවකට පෙර සිදු වූ සිදුවීමක් පිළිබඳ පාපොච්චාරණය කර වෙඩි තබා ගෙන සියදිවි නසා ගැනීමෙන් පසුව මේ වර්තමාන කතාව දිග හැරෙනවා. ඔහු පවසන ආකාරයට තමා ඒ මොහොතේ සිටින තැන 1985 වර්ෂයේදී තමා ඇතුළු කිහිප දෙනෙක් තරුණියක ගේ සිරුරක් වළ දැමූ බවත් ඇය අවසන් හුස්ම හෙලූයේ වල තුල දී බවත් ඔහු පවසනවා. සියදිවි නසා ගැනීමට පෙර ඔහු ඒ සිදුවීමට සම්බන්ධ වූවා යැයි කියන පුද්ගලයන් ගේ නම් කිහිපයක් පවසන අතර සියල්ලන්ටම කුතුහලයක් ඉතිරි කරමින් ඔහු වෙඩි තබාගෙන මිය යනවා. 

online සූදූ ක්‍රීඩාව නිසා වැඩ තහනමකට ලක්ව සිටින විවේක් නැමති පොලිස් නිලධාරියා නැවත රාජකාරී භාර ගන්නා දිනයේම ඔහුට විසඳීම සඳහා ලැබෙන පළවෙනි රාජකාරිය තමයි මේක. මරණයට අදාළ විමර්ශන කටයුතු සිදු කිරීමට වගේම අදාළ ස්ථානයේ කැණීම් කටයුතු කර ඇත්ත වශයෙන්ම එවැන්නක් සිදුවී තිබේදැයි සෙවීම සඳහා පොලිසියට අවසර ලැබෙනවා. බොහෝ වේලාවක් කැණීම් කටයුතු කිරීමෙන් පසුව එහි තිබී ඇටසැකිල්ලක් සහ පා සලඹක් සොයා ගැනීමට පොලිසියට හැකියාව ලැබෙනවා.

මේ අනුව විමර්ශන කටයුතු දියත් කෙරෙන අතර ඒ වර්ෂයේදී අතුරුදහන් වූවන්ගේ ලැයිස්තුවට අනුව මේ ඇටසැකිල්ලේ අයිතිකරු සෙවීමේ කටයුතු ඇරඹෙනවා. නමුත් පොලිසියට කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වන අතර විවේක් ඉන් පසුව වංචා කර අතුරුදහන් වී ඇති තරුණියකගේ විස්තර සොයා යනවා. ඒ අනුව පොලිසියට එම පැමිණිල්ල සිදුකර ඇති චන්ද්‍රප්පන් නැමති පුද්ගලයාව හමුවීමට විවේක් කටයුතු කරන අතර චිත්‍රපටයේ අතිරේක රංගන ශිල්පිණියක ලෙස කටයුතු කළ රේඛා නැමති තරුණියක් හිටි හැටියේ අතුරුදහන් වීම නිසා තමා සිදුවූ අපහසුතාවය පිළිබඳව ඔහු විවේක් සමඟ පවසනවා.ඉන් පසුව රේඛා නැමැති තරුණිය කරා පර්යේෂණ කටයුතු යොමු කෙරෙනවා. ඇය සහභාගි වූ රූගත කිරීමෙහි වීඩියෝ පටයක් සහ ඇයගේ ඡායාරූපයක්ද සොයා ගැනීමට විවේක් හට හැකියාව ලැබෙනවා.

අදාළ රූගත කිරීම සිදුවූ ප්‍රදේශය ආසන්නයේ පිහිටා තිබෙන පල්ලිය සොයා යන පොලිස් නිලධාරී විවේක් එහි සිටින කන්‍යා සොයුරියක මුණගැසී රේඛා පිළිබඳව කරුණු විමසා සිටිනවා.විවේක් බලාපොරොත්තු වන පරිදිම  ඒ කන්‍යා සොයුරිය ගෙන් අදාළ තරුණිය පිළිබඳව බොහෝ කරුණු සොයා ගැනීමට විවේක් ට හැකියාව ලැබෙනවා. රේඛා නැමති තරුණිය රූගත කිරීමෙන් පසුව තමා ගේ ආරාධනාවට අනුව තමා සමග පැමිණ පල්ලියෙන් රාත්‍රී ආහාරය ද ලබා ගෙන එහි නවාතැන් ගත් බවත් පසුදින උදෑසන ඇයව සොයන විට ඇය පල්ලියේ තිබූ ආධාර මුදල් සහ රන් පිළිම සොරකම් කර අතුරුදහන් වී ඇති බවත් කන්‍යා සොයුරිය විවේක්ට පවසනවා.

විවේක් නමැති පොලිස් නිලධාරියා මේ පිළිබඳව දිගින් දිගටම විමර්ශන කටයුතු සිදු කරන අතර නොසිතූ ආකාරයට විමර්ශන කටයුතු වෙනත් මානයකට යොමු වනවා. 

සැබවින්ම රේඛාට සිදු වූයේ කුමක්ද ?

රේඛා යන තරුණිය කවුරුන්ද ?

රේඛා මිය ගියේ කෙසේද ? 

රේඛා ගේ මිනී මැරුම පිටුපස සිටින්නේ කවුරුන්ද ?

මේ සියල්ල දැන ගැනීමට නම් ඔබට මේ අපූරු චිත්‍රපටය නරඹන්නටම වනවා.ආරම්භයේ සිට අවසානය දක්වාම වසර හතළිහක් පුරාවට වැලලී තිබූ අභිරහසක් පියවරෙන් පියවර  හෙළිදරව් වන ආකාරය  මේ චිත්‍රපටයේ දැක්වෙනවා. කුතුහලය නොඅඩුව තිබෙන මේ චිත්‍රපටය නිකුත් කරන්නේ 2025 ජනවාරි මස නම වෙනි දිනයි.ජොෆින් ටී චාකෝ විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය විනාඩි 140 ක් පුරාවට දිව යනවා.

අපරාධයක් සිදු කර කිසි දිනක තමාගේ හෘද සාක්ෂියට වසන් වී සිටිය නොහැකි බවට මේ චිත්‍රපටය අපූරුවට කියාපානවා. ඉතින් මේ වන විට බොහෝ දෙනාගේ කතා බහට ලක්වන මේ අපූරු මලයාලම් චිත්‍රපටය නොපමාවම නරඹන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා.

Related Articles

Don't Miss


Latest Articles