පැය භාගෙන හදන පාන් පිටි පැණි වළලු

අවුරුදු කාලෙත් ළඟ ළඟම එනව නේද? 

අවුරුදු කාලෙ කිට්ටු වෙද්දි අපිට කෙසේ වෙතත් අපේ පොඩ්ඩන්ට අපි විඳගත්ත ලස්සන සුන්දර සුවඳ පාට පිරුණු අලුත් අවුරුද්දක අත්දැකීම ලබාදෙන එක අපි කාගෙත් ආසාවනේ.

අපේ සංස්කෘතිය විදහා පාන අලුත් අවුරුදු සිරිත් විරිත් අලුත් අවුරුදු කෑම බීම ඒ අතරින් ප්‍රධානයි. ඉතිං දැන්මම පුළුපුළුවන් විදිහට අවුරුදු කෑම බීම හදන්න සූදානම් වෙන smart ඔබ වෙනුවෙන්ම පාන් පිටි වලින් හරිම ඉක්මණින් පැණි වළලු හදාගන්නෙ කොහොමද කියල කියල දෙන්නයි smart lady අපි මේ සූදානම් වෙන්නෙ.

එහෙනම් මුලින්ම අවශ්‍ය දේවල් සූදානම් කරගමු.

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි කෝප්ප 01 ක් / 150 g ක්

බඩ ඉරිඟු පිටි / කෝන් ෆ්ලවර් මේස හැඳි 04 ක් 

බේකින් සෝඩා තේ හැඳි ¼ ක් 

තැඹිලි හෝ කහ ආහාර වර්ණක කුඩු නම් තේ හැඳි ¼ ක් දියර නම් තේ හැඳි ½ ක් 

යෝගට් මේස හැඳි 04 ක් 

වතුර 150 ml ක් 

සිරප් මිශ්‍රණය සඳහා 

සුදු සීනි කෝප්ප 03 ක් 

වතුර කෝප්ප 01 ½ ක් 

දෙහි හෝ ලෙමන් යුෂ තේ හැඳි 02 ක් 

කරදමුංගු 6 ක් 

බැදගැනීමට තෙල් 

සාදාගන්නා ආකාරය 

මුලින්ම, පිටි මිශ්‍රණය සාදාගමු.

ඒ සඳහා තරමක් විශාල භාජනයක් ගෙන එයට පිටි, කෝන් ෆ්ලවර්, බේකින් සෝඩා, ආහාර වර්ණක, යෝගට් සහ වතුර එකතු කර පිටි කැට නොසිටින සේ හොඳින් කලවම් කරගන්න. 

ඊළඟට, මේ භාජනයේ කට හොඳින් සීල් වෙන සේ පොලිතීන් ආවරණයකින් වසා විනාඩි 15 ක් පමණ තබාගන්න.

ඒ අතරතුර අපි පැණි මිශ්‍රණය සාදාගමු.

ඒ සඳහා ගැඹුරු භාජනයක් මඳගින්නේ ලිප තබා එයට සීනි, වතුර, කරදමුංගු සහ දෙහි යුෂ එකතු කර සීනි හොඳින් දියවෙන තුරු කලවම් කරගන්න.

සීනි දියවූ පසු සීනි මිශ්‍රණය බුබුළු නගිමින් නටන තුරු රත්කර ගන්න.

නටන සීනි පැණි මිශ්‍රණය තවත් තත්පර දෙක තුනක් ලිපේ තබා ලිපෙන් ඉවත් කරගෙන නිමෙන්නට තබාගන්න.

දැන් තරමක් ගැඹුරු අඩිය පැතලි භාජනයක් ලිපේ තියල ඒ භාජනයට තෙල් දාල තෙල් රත්වෙනකන් තියාගන්න ඕන.

අපි හදාගත්ත පිටි මිශ්‍රණය පයිපින් බෑග් එකකට හරි රෙදි වලින් හදාගත්ත ගොට්ටකට හරි දාල පිටි මිරිකා ගන්න ගොට්ටෙ හෝ පයිපින් බෑගයේ  කෙලවර 5 mm ත් 6 mm ත් අතර ප්‍රමාණයක කුඩා සිදුරක් කපාගන්න.

දැන් ඒ සිදුරෙන් පිටි ස්වල්පයක් රත්වුන තෙලට මිරිකලා ඒ දාගත්ත පිටි කොටස පිම්බෙනවද බලන්න ඕන.

තෙල් හරි ප්‍රමාණයට රත්වෙලා නම් පිටි මිශ්‍රණය පිපිලා එනව ඔබට බලාගන්න පුළුවන්.

හොඳින් රත්වෙලා තියෙන තෙලට ගොට්ට ආධාරයෙන් පැණි වළලු වල හැඩේට පිටි මිශ්‍රණය මිරිකාගෙන පැණි වළලු හදාගන්න ඕන.

දෙපැත්ත හරවමින් පැණි වළලු ක්‍රිස්පි ගතියක් එනකන් බැදගෙන ලිපෙන් ඉවතට ගත් සැණින්ම දියකරගත් සීනි මිශ්‍රණයට දාගන්න ඕන.

පැණි මිශ්‍රණය සම්පූර්ණයෙන් නිමෙන්නෙ නැතුව ලාවට හෝ උණුවෙන් තියෙන්න ඕන. 

පැණි වල හොඳට පෙගුණ පැණි වළලු පැණි වලින් බේරල අරන් රස බලන්න ඔබට පුළුවන්.

මේ පැණි වළලු මහත නැතුව ගන්න එකෙන් පැණි වළලු වල ක්‍රිස්පි ගතිය තියෙනව වගේම පැණි හොඳින් උරාගන්නත් උපකාරී වෙනව.

එහෙනම් මේ විදිහට පැණි වළලු හදල බලමු නේද? 

සටහන – දුලානි නවෝද්‍යා

Related Articles

Don't Miss


Latest Articles